16 May 2012
By කාංචනා අමිලානි
In කවි

කොට්ටම්බා ගස යට
හිටගෙන ම සිටි
කළු රුව
හති හළන්නේ කඩින් කඩ
කවුරුන් ලුහු බඳීවිද ඔබව
පුංචි මලිත්තන් බිම වාඩිගෙන සිටින
ඒ අයට තමයි අයිති වත්තේ ඔය හරිය
විසාල සුදු පිච්ච ගහ යට මල් හෙවන
ඒ අයිති නැට්ට කොට අළු බළලාට
කපා හෙළූ පොල් ගසේ ශේෂ මත
හැමදාම හිටියේ ගේ කුරුලු ජෝඩුව
ඔබට ඕනෑ කවුරුත් නැති හරිය
කුස්සියෙන් අඩි හතරක් එහා හරිය
බණ්ඩක්කා සමඟ කොච්චි මිරිස්
අත්වැල් බැඳන් බුම්මන හරිය
මෙන්න අමුත්තන්ට දෙන
මාරි බිස්කට් හතර
ස්තූතියක් එපා මට ඔය ටිකට
ඕනෑ නම් පහත් කරන්න
ඔබේ ඔය හිස මදක් පොළොවට
ලොම් සපිරි මුදු හිස අතගාන්නට
අමුත්තෙක් වී ආව බව හොඳයි කියන්න
හොඳට ම පාලුවෙන් හිටිය මේ හවසට
පසුව කියමි
මඳුරුවන් සපිරි තැනක
නොසෙල්වී වාඩි ගෙන
දිගු කර පුෂ්ටිමත් දෙපා ඉදිරියට
හොඳ හිත පෙන්වනවා නොවෙද ඔබ
බලු රාළ
ඔබ කැමති විට ආ හැකි බව
මෙන්න මං කියනවා අහගන්න
තවත් කිහිප තැනකට ගොස්
බලු සෙල්ලමක් කර
හෙටත් මේ වෙලාවට එන්න
අන් අයගේ තැන් මතකෙට දමා ගන්න
ඔබට මා දුන් තැන ම ඔබ වාඩි වී ඉන්න
Continue reading
16 May 2012
By කාංචනා අමිලානි
In කවි

සොරෙක් එන තෙක්
මඟ බලමින්
පිහියා මුවත් තබා සඟවමින්
වටිනා දේ කරා යාමට
ඊතල අදිමින්
තෙත පාපිසි අයින් කරමින්
කකුල පැටලී නොවැටෙන්නට
මල් පෝච්චි සඟවමින්
නිදි වරමින්
කෝපි බොමින්
හැඬූ කඳුළින්
එන තෙක් ම
කුමන හෝ සොරෙකු අප බලන්නට
Continue reading
15 May 2012
By කාංචනා අමිලානි
In කවි

මිහිරි නැති බව නොදැන
සවන් දී කළ වරද
සිය වරක් යළි කරමි මම
හැබෑ ලෝකේ තත් බිඳුණු තැන සිට
මිහිරි විය යුතුද හැම සිහිනයම
නින්දකට පෙර සිට ම
ලබන්නට යන පින්තූර පෙළ
කාට නම් කල් සිටම
දැන ගන්න හැකි වෙද
මිහිරි කටහඬ දිනෙක ඇසු විට
පසුතැවෙන්නට දිරිය නැති බව
සියක් වර-සිය දහස් වර
මුමුණ මුමුණා කියමි මම මට
Continue reading
15 May 2012
By කාංචනා අමිලානි
In කවි

දඩයක්කරුවන්ව
මුව පොව්වන්ව
එකම කාසියෙ දෙපැත්තක අප
දුනු හී දරාගෙන
මහා බය උසුලගෙන
දඩයමෙන් දඩයමට පැන යන
ඊතල හැරී ආපස්සටත් එන
දඩයමෙන් දඩයක්කරුව
ලුහු බැදීමෙන් – පැන දිවීමෙන්
හති හලන – බිය දෙවන
එකම කාසියෙ දෙපැත්තක අප
Continue reading
15 May 2012
By කාංචනා අමිලානි
In කවි

කළු කණ්ණාඩි රාමුව
තවමත් නිදි
වැසූ කන්තෝරු බෑගයක
අපහැදිලි වීදුරු ලෙන්ස මත
මේ දිලිසෙන්නේ
ඔබ තබා ගිය අකුරක්ද අපට
නතර වී ගෙදර ලී ඔරලෝසුව
බැටරි ඉල්ලන විට
පෙන්වා තම අලුත් හදවත
බෑගය ඇතුළෙන් ඇසෙන
ටික්-ටික් හඬ
නිදන මැදියමේ
මොනවාද කියනවා මට
යන්තමින් පාට වියැකී ගිය
රන් පැහැති පාකර් පෑන
මුතු වැනිම අකුරු ලිවූ බව
අද දුටුවොතින්
අදුනන්නවත් බැරිමය
ඒ තරමට ම අබලන්ය එය
අවසන් වරට ගෙන ආ
‘දෙනුවර අන්දරය’
ඔබේ පොත් රාක්කයෙන්
මවෙතට මාරු වූ බව
දුටුවේ අදයි සොයන විට සේකර
ණය ගෙවනු පිණිසක ලියනු නොහැකිව
කාබන් පෑනකින් ඉරි අදිමි
කාලය ආ බව අදහනු නොහැකිව
අලුත් ඔරලෝසුවෙන් වේලාව නොබලමි
ඔබේ අතකුරු මගේ අතකුරු බව
වෙනත් අය කියන තෙක් නොසිතීමි
මම තවම ඔබේ පැරැණි ඔරලෝසුව බලමි
ටික්-ටික් හඬින් මදක් කලබල වෙමි
පාකර් පෑනකින් කිසිමදා නොලියමි
අකුරු දහසකින් ඔබේ එක් අකුරක් හදමි
තාත්තා අහස බව මේ දැනුත් මම නොදත්තෙමි
Continue reading
15 May 2012
By කාංචනා අමිලානි
In කවි

තත් සිදුණු සිතාරයකි
මේ නොකියූ පෙම
ගයන්නට නොහැකි බව
දැන දැන ම
ඔහේ වැතිරී සිටින
තත් ඉල්ලා හඬක් නැඟිය නොහැකිව ම
ඉඟියකින් කියා-නොකියා වෙහෙසව
පියානෝවක මිහිරි බවටම ඉරිසියාවක
ළය පැලී මිය යන්නත් නියමිතව
ඔහේ වැතිරී සිටින
සිතාරය මම
තත් සිඳුණ
Broken Strings
A sitar, with broken strings
merely lying down
knowing it can’t sing
the melody of this unspoken love
can’t make a sound
asking for strings
yet,
getting tired of the allusion
and being jealous of the sweet melodies
playing on a piano
and destined to die of a broken heart
the sitar, I am
merely lying down
with broken strings!
Continue reading
13 May 2012
By කාංචනා අමිලානි
In කවි

මේ කඳුළු සීතාගාරයක ලා තබන්න
තනියක් නොදැනෙනු පිණිස
වියළි පිච්ච මල් කිහිපයක්
ඒ අසල රඳවන්න
අපට කඳුළු නැති දිනෙක
ප්‍රයෝජනයට ගන්න
ඉතා ඉක්මනින් එන දිනයක,
කඳුළක හැඩය බලා ගන්න
සුරකිව තබා ගන්න
Continue reading
12 May 2012
By කාංචනා අමිලානි
In කවි

මැදියමක
සිහිනෙන්
මා සිප ගන්න දිරි ලැබුව
මනස්කාන්තය
මේ රැය තව දිගු කරව
ගැඹුරු හුස්මක්
මට ලබා දෙව
ලිහී සසැලී
මඳ විරාමයක් ලබනු පිණිස
දැඩි ශීතලක් ලබා දෙව
උනුන්ට තුරුළුව
ගිලී යන්නට
මඳ අන්ධකාරයක් ලබා දෙව
මනස්කාන්තය
මේ සිහිනයෙන් ම
ඉක්මනින් නොපැමිණිය හැකි තැනක
මා අතරමං කරව !
Continue reading
12 May 2012
By කාංචනා අමිලානි
In කවි

ක්ලාන්තය අඩු හැන්දෑවට
කිටි කිටියේ තදව
කෝච්චි පෙට්ටියක ගාල්ව
එළු රැළක් මෙන්
එමු
එමු
එමු
හන්දි-හන්දි පසු කර
මහත්වරු උර වඩාගෙන
තනි අතින් දහදිය පිසිමින්
අනෙක් අත කරුවක්ව
තබාගෙන
මඳ සිනා නඟන්නෙමු
එයාටත්
මෙයාටත්
එක ලෙස ම
කොණ්ඩා විහිදාගත්
ලලනාවන් අතින් පරක් කර
දහදිය පිසිමින් එක අතකින්
වාරු කරගමි අනෙක් අත
ලලනාවන්ගේ මුහුලස වෙත
සිග්නල් කණුවෙන්-කණුවට
හිස හරවා පසුපසට
එස්.එම්ට බනින්නෙමු
ඩ්‍රයිචර්ට බනින්නෙමු
ගාඩ් මහතාටත් බනින්නෙමු
වෙලා ඇතොත්
පවුලේ අයටත් බනින්නෙමු
හවසට විත්
පිච්ච මල් මෙන්
හිනාවෙන්නට සිටින
අපි
අපි
අපි
පව් !
Continue reading
12 May 2012
By කාංචනා අමිලානි
In කවි

එතරම් පෙම්වත් රැයක්
මවා ගන්නවත් හැකිද
බිම වැටුණු මාර්ස් කවරයකට
බිත්තිය අසල හේත්තු වී සිටින
හිස් දොඩම් පැකට්‍ටුවකට
අන්ධකාරය මැදින්
දුම් රොටු ඉහළ නඟින
වලාකුළු රවුමකට ගොඩ වී
කාමරය පුරා එහා-මෙහා පියඹන
විසුරුණු කෙහෙරැළි එකතු කර
සිහින් කඹයක් ගොතන
ප්‍රේමයේ උස් කඳු මුදුනින්
බිම වැටුණු විට
ගොඩ එනු පිණිස
එය පරෙස්සමට තබන
මේ තරම් උමතු රැයක්
සඳකටවත් තිබිය හැකිද
අපට මිස
තිබුණා මිස
Continue reading
ප්‍රතිචාර
Powered by Facebook Comments