එක වවුලයි අපි දොළහයි

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හයවැන්නයි මේ.

වවුල් දඩයමේ සතුට

කඳු පන්තීන් තරබාරු යෝධයෝ මෙන් ඔහේ වැතිරගෙන සියවස් ගණනාවක් ම බලා සිටියහ. මිනිසුන් සතුන් දඩයම් කරන ආකාරයත්, සතුන් විසින් මිනිසුන්ව දඩයම් කරන ආකාරයත් දෙස මුවින් නොබැන බලා සිටි තරබාරු කඳු පන්තියේ මුවවිට තෙක් සරුවට වැඩුණු පාසි වර්ගයක් වැවී ඇති හෙයින් දැන් වුවමනාවක් තිබුණද කන්දට නම් වචනයක් වත් කිව නොහැකිය. මේ නුවමනා වවුල් දඩයම ගැන තරබාරු කන්ද කෙළ බිඳකුදු නොහෙලුවේ එහෙයිනි.

පැපුවා නිව්ගිනියාවේ ඇන්ග්ලෝ මොහිකන් ගෝත්‍රය දිවි ගෙවන එක්තරා ගම්මානයකට ඉර පායා ආවේ බඩගින්න ද රැගෙන ය. ඉවසා බැරිම තැන මිනිසුන් තිදෙනෙකු මැළවුණු මුහුනින් කැලය හරහා ගමනේය. මාකස්, ඇන්ඩෲ සහ ජෝර්ජ් ඇතුළු මුළු ගම්මානයට ම සති දෙකකින් මාංශ ආහාරයක් ලැබී නැත. මාංශ දඩයමට උගුලක් ඇටවීමට මාකස් මුල් විය.
ඔවුන් වනාන්තරයට වංචා කිරීමට ලක ලැහැස්ති විය. සරුවට වැඩී හිතුමනාපේ බිමට කොළ විසි කරන ගස් රැස අතරින් පොරොවත් රැගෙන මාකස් මතු විය. හෙතෙම තෝරා ගත් ගස් කිහිපයක් කපා දමනු පිණිස හිතින් ලකුණු කරගන්නට විය.
වනාන්තර භූමියේ පිහිටීම වෙනස් කිරීමට මාකස්ට වුවමනා විය. තරමක තැනිතලාවක පිහිටි වවුලන්ගේ ගමන් මාර්ගය වෙනත් දිශාවකට යොමු කිරීමට මාකස් කළේ වංචාවකි. ප්‍රවේශ මාර්ගය උගුල දෙසට යොමු වන සේ සියලු ගස් කපා දමා දෙපසින් උණ ගස් දෙකක් සිටුවීය. ශක්තිමත් දැලකින් වවුලන්ගේ රාත්‍රී කඳවුර දෙසට පියාඹන දොරටුව අවහිර විය.
මකුළුවන් මකුළු දැල් බඳින්නා සේ මාකස් ඇතුළු දෙදෙනා වවුලන්ට යස උගුලක් ඇටවීය. අඩි 130 ක් උසැති වවුල් උගුල හැන්දෑයාමය වන විට සිනාසීගෙන බලා සිටියේය. මාකස් ඇතුළු සගයෝ උගුලට තරමක් මෑතින් සැකසූ තාවකාලික කූඩාරමකට වී බලා සිටින්නට විය. ඔවුන්ගේ ප්‍රාර්ථනය වවුලන් මේ උගුල වෙතට යැවේවා යන්නයි.
රාත්‍රිය උදා වූයේ මරණය පිළිබඳ නපුරු ආරංචියක් වවුලන්ට ලබා දෙමිනි. නිදා ගැනීමේ සිහිනයෙන් මිදී වනාන්තරයේ අසිරිය බැලීමට දෝ මහා හදිස්සියෙන් යෝධ වවුලෙකු පියාඹා යනු මාකස් දුටුවේය. වවුලා උගුල මඟහැර පියාඹා ගියේ මාකස්ලාට ඔච්චමට ය.
“...අපි සති දෙකක් පවා මෙහෙම එකදිගට මඟ බලාගෙන ඉඳලා හිස් අතින් ගෙදර ගිහිල්ලා තියෙනවා...”
මාකස් බුලත් කහට බැඳුණු දසන් දක්වා හිනැහෙමින් කීවේය. එක ලොකු වවුලෙක් මරා ගත්තොත් අපි 12 දෙනෙකුට විතර බඩ පිරෙන්න බත්කන්න පුළුවන්...”
හදිසියේ ම බෙලෙක්ක හඬක් නැඟුනි. මාකස් කලබල වී ගිනි මැළයත් පෙරලාගෙන ම උගුල වෙතට දුවන්නට විය. උගුල සහිත විශාල දැලෙහි එක් කෙළවරක ගැට ගැසූ පැරැණි බෙලෙක්ක සැපයූ සංඥාව මාකස්ට සතුට ගෙනාවේය.
නොනවත්වා හඬන වවුලාගේ දුක්බර හඬ, නොතකමින් මාකස් දැලෙන් වවුලාව ගලවා ගත්තේය. දැන් වවුල් තෙමෝ මිය ගියා හා සමානය. මාකස් ගේ තාවකාලික කූඩාරමේ එක් මුල්ලක වවුලා අත්තටුවලින් එල්ලා තැබූ හෙතෙම යළිත් වවුල් උගුල වෙතට දිව යන්නට විය. ඔවුන්ගේ දඩයම දැන් සාරවත් ය. පැයක් ඇතුළත වවුලන් හය දෙනෙකු පමණ අල්ලා ගැනීමට මාකස් සහ සගයෝ සමත් විය.
මුළු රාත්‍රිය පුරාවටම නිදි වර්ජිතව ගෙවමින් එකතු කරගත් වවුලන් ගණන 15 දක්වා ඉහළ නැඟ තිබුණේ මාකස් ඇතුළු මුළු ගම්මානයට ම ඉමහත් ප්‍රීතියක් අත්කර දෙමිනි.
හිරු උදාවත් සමඟ වවුලන් දෙදෙනෙකු ආහාර පිණිස උයාගත් දඩයක්කරුවෝ එය සතුටින් බුදින්නට වූහ. වවුලෙකුගේ ඉවතලන කිසිම කොටසක් නොමැති හෙයින් ඔවුහු වවුලන් දෙදෙනාගේ මාංශවලට සැනින් වග කීහ. ප්‍රෝටීන් ආහාරවේලට එකතු කර ගැනීමේ ඉමහත් උවමනාව සපුරා ගැනීමට මාකස් ඇතුළු ගම්මානයට දැන් ඉඩ ඇත.

ඔසවාගෙන යාම

මම වවුල් මළ සිරුරු පාගාගෙන හිමාලය කන්ද නඟින්නට පටන් ගතිමි. අධික සීතල මුළු සිරුර කිළිපොලා යයි. හිමාලය කඳු පාමුල ජීවත්වන මිනිසුන් රාශියකි. හරියටම කිවහොත් මිලියන 70 කට අධිත පිරිසක් හිමාලය සහ සෙසු කඳු ශිඛර පාමුල තවමත් ජීවත් වෙති.
නේපාලයේ ඩොරොම්බා දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකට සීතල සමඟ තවත් අකාරුණික යමක් උරුම වී තිබුණි. හිමාලය කඳු පන්ති අසබඩ දිවි ගෙවන මිනිසුන් මුහුදු මටටමෙන් විශාල උසක දිවි ගෙවන හෙයින් ඉරෙන් සිදුවන හානිය සුවිශාල ය.
ඍජුවම ඉර එළියෙන් බැට කෑමට සිදු වන හෙයින් ගම්මානයෙන් අර්ධයකට පමණ ඇස් ආබාධවලින් පීඩා විඳියි. ඉරට ආසන්නයේ දිවි ගෙවීමෙන් ඇස්වලින් වන්දි ගෙවූ 65 හැවිරිදි ටටීනි ජීවිතයේ අවසාන භාගය ගෙවන්නේ ඉමහත් ශෝකයනි.
හිමාලයේ කඳු පන්ති පාමුල ජීවත්වන මොවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිහිනයකි. කත්මන්ඩුවෙන් දොස්තර රූචි ආවේ මේ අතරය. ඔහුගේ ජංගම අක්ෂි සායනය ඇත්තේ ටටීනිගේ ගමේ සිට කිලෝමීටර් 10 ක් දුරිනි. මේ මිනිසුන් සතු එකම ප්‍රවාහන මාධ්‍ය, එක් අයෙකු විසින් තවත් අයෙකුව ඔසවාගෙන යාමයි. ටටීනි හට පිහිට වන්නට හිත මිත්‍රයෙකු ඉදිරිපත් විය. කිලෝමීටර් 10 ක් දුර ගෙවා දොස්තර වෙතට ගිය ටටීනි පැය භාගයේ සැත්කමට මුහුණ දුනි.
පැය 24 කට පසුව ඇගේ ඇස විවෘත කිරීමට දොස්තර සූදානම්ය. ඇය සිනාසුණේ ඉර එළිය දුටු හෙයිනි.
“...මට දැන් පේනවා...”
ටටීනි දත් නොමැති මුවෙන් සිනාවෙමින් කීවේය. දොස්තර රූචි ගේ මුහුණට ද සිනාවක් ලැබුණි.
බී.බී.සී ‘හියුමන් ප්ලැනට්’ රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.
කාංචනා අමිලානි
ඡායාරූප – තිමොති ඇලන් timothyallen
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ මැයි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/05/26
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , ,

2 Comments on "එක වවුලයි අපි දොළහයි"

  1. මට මේ ටික ගන්න විදියක් නැද්ද.බාන්න ගියොත් නම් මට ගොඩක් කල් යයි.මගේ මේල් එක sanchithadesilva@yahoo.com

  2. හරි.මම මේල් එකට එවන්නම් ගන්න විදිහ.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com