කාන්තාරයේ ජීවිත සටන්

 

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.

අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ.

 

මැමඩුල් තමාට බීමට ජලය එකතු කරමින්

කාන්තාරය ඔරවාගෙන අහස දෙස බලාගෙන ය. වැස්ස තවමත් මිල අධික ය. කාන්තාර පොළොවත් - ජේත්තුකාර අහසත් අතර මැද හිඩැසකි. මේ හිඩැස මත ජීවත් වන මිනිසුන් පොළොවටවත්, අහසටවත් බිංදුවක්වත් බය නැත. මිරිඟුව පසුපස දුවමින්, නොදුවමින් ඔවුන් ගෙවන මේ ජීවිත දැලි පිහියෙන් කිරි කනවා වැනි ය.
මැමඩුල් ගමන පටන් ගත්තේ නරකම නරක වෙලාවක ය. පොළොවේ රස්තියාදු වෙමින් සිටි වැලි කැට මැමඩුල්ගේ හිස මත වාඩිවුණේ තනි කැමැත්තට ය. සහරා කාන්තාරය කොහොමටත් හිතුවක්කාර ය. හිතුණොත් මීටර 5000 උසින් වැලි කුණාටුවක් වුණත් ඇති කරන්නට පුළුවන.
සහේල් ප්‍රදේශයේ මාලි ගෝත්‍රයට අයිති මැමඩුල්ට යාන්තම් වයස 16 පිරුණා පමණි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 බව දැන දැන හරක් රංචුවකට වතුර සොයාදීමට ඔහු කිලෝමීටර් 50 ක් යා යුතුය. පන්සේනා වැව කාටත් නොමසුරුව වතුර බෙදයි. දවස් තුනක් ගතවෙන මේ ගමනම තවත් අන්තයකින් අලි රංචුවක් පටන් ගත්තේ දෛවෝපගත ලෙස ය. ඉර දිගටම ආඩම්බර පෙන් වූ අතර දවස අවසන කොලු ගැටයා ගස් ගොන්නක් පාමුල නින්දට ගියේ ය. හිමිදිරියත් සමඟ යළි ගමන පටන් ගන්නා විට අලි රංචුව ගමනාන්තයට ළඟා වී තිබුණි.
දහවලේ මැමඩුල් ඇතුළු හරක් රංචුව වැව දකින විට අලි රංචුව වැවට මුරකාවල් දාගෙන ය. මැමඩුල් කල්පනා කරමින් ළතැවෙන විට අලි නායකයා පොළොවේ අඩි හප්පමින් හරක් රංචුව පලවා හරින්නට තැත් කළේ ය. මැමඩුල් අලි 50 ක් සමඟ සටනට යාමට තීරණය කළේ අත රැඳි කෙවිට විස්වාසයට ගෙන ය. නොනවත්වාම තමා වෙතට එල්ල වන කෝටු කෑලි, ගල් කෑලි ඉවසීමට බැරි තැන අලි රංචුව පසුපසට අඩියක් තැබී ය. කෙසඟ කොලුවෙකුගේ ධෛර්යයට අලි 50 ක් බය වී යන්න හැරුණි. හරක් රංචුවට කැමැති තරම් වතුර බොන්න වැව විවෘත විය. අලි රංචුව පන්සේනා වැවේම තවත් අන්තයක් සොයාගෙන වතුර බොන්න පටන් ගති. දැන් කාටත් අසාධාරණයක් නැත.
“ඉඩෝරය අලින්ව පිස්සු වට්ටනවා...”
මැමඩුල් වැඩිහිටියකු මෙන් දොඩයි.

 

ඇන්ටනෝ විලේ මාළු දඩයම

එක් වරම මුළු ඉවුරම මිනිසුන්ගෙන් පිරී ඉතිරිණි. ඇන්ටනෝ විල කණගාටුවෙන් බිම බලාගෙන ය. ඒත් මිනිසුන්ට ඒ ගැන වගක් නැත. ඔවුනට ඕනෑ මාළුවෙක්, දෙන්නෙක් අල්ලා ගන්න ය. දියාලෝ 70 හැවිරිදි මාලි ගෝත්‍රිකයෙකි. වසර 30 ක් තිස්සේම ඔහු මේ සෙල්ලම කරගෙන යයි. සෙල්ලමට උවමනා කට ලොකුවට සාදා ගත් වේවැල් කූඩයක් විතරම ය.
වැව් ඉවුරෙන් වෙඩි හඬක් නැඟුණි. කවුරු කවුරුත් පොකුරක්ව වැවට පැන්නේ වේවැල් කූඩවල මුව බිමට හරවාගෙන ය. දැන් එතන වැවක් නම් නැත. ඇත්තේ මිනිස් හිස් ගොඩකි. ඇන්ටනෝ විල පූජනීය තැනකි. මාළු ඇල්ලීම තහනම් ය. වසරකට වතාවක් තහනම ඉවත් වෙයි. ඒ “කාන්තාර මාළු ඇල්ලීමේ උත්සවය” වෙනුවෙනි.
ඩෝගොන් වැසියෝ එවිට මුළු වැවම ඉහගෙන කති. විනාඩි 15කට පසුව ඇන්ටනෝ විල මාළු රහිත මඩ වළකි. වර්ෂාවසාන වැස්සට පෙර ඩෝගොන් වැසියන්ට ලැබෙන අවසාන ආහාර වේල මෙයයි. සෑම නිවසකම මුළු තැන්ගෙයින් මාළු සුවඳ නැෙඟයි. කාගේත් මුහුණු පී‍්‍රතියෙන් බැබළෙයි. කාන්තාරයක එහෙම දසුනක් දුලබ ය. සිනාවක් දුලබ කාන්තාරයට සිනාවක් ගෙනා මාළු උත්සවය ගමටම සිරියාවකි.

 

බී.බී.සී කැමරා කණ්ඩායම වාෂ්ප බැලුනයක් ආධාරයෙන් රූගත කිරීම් කරමින්.

 

 

කාන්තාවෝ ලෑස්ති වෙන්නෙ දවස් හතරක ගමනකට. ඔටුවන්ගේ පිටේ බඩු පටවාගෙන මේ ගමන යන්න අවසර තියෙන්නෙ කාන්තාවන්ට විතරයි. සහරා කාන්තාරයේ ගොසෝ ලොලොම්වල ජීවත් වෙන ටුබු ගෝත්‍රික කාන්තාවෝ මේ යන්නෙ වෙළෙඳපොළෙන් ලුණු සහ රට ඉඳි ගේන්න. ගමන අතරමඟදී ඔවුන් වතුර සොයාගත යුතුමයි. නැතිනම් මරණය නියතයි.
කොම්පාසුවක් හෝ සිතියමක් නැතිව යන මේ ගමනට මඟ සලකුණු කියන්නේ යෝධ වැලි කඳු විතරයි. එහෙත් හිතුවක්කාර සුළඟ වැලි කඳු සමතලා කරලා දානවා. එහෙත්, කාන්තාවෝ දන්නවා ගමන් මාර්ගය.
පැය 10 ක් තිස්සේ ඔවුන් ඇවිද්දා, දැන් විවේකයක් අත්‍යවශ්‍යයි. ඔටුවන්ට ඕට් මිශ්‍ර කෑමක්. කාන්තාවන්ට කිරි තේ. රාත්‍රිය ගත කළේ තාවකාලික කූඩාරමක. හිමිදිරියේම නැවත ගමන පටන් ගන්න ඕනෑ.
තවත් වැලි කඳු 8 ක් පහුකරාම හුදෙකලා ගහ හම්බවෙනවා. එතැන සිට හූවක දුරකින් ළිඳ තියෙනවා. ෂාඩේට අවුරුදු 10 යි. ඒත් ඈ දන්නවා අතරමං නොවී වතුර හොයා ගන්න. අන්තිමේදී හැමෝම හුදෙකලා ගහ දැක්කා. දැන් කාටත් සතුටුයි. දැන් ඉතිරි වෙලා තියෙන්නෙ වෙළෙඳ පොළෙන් ලුණුයි රට ඉඳියි මිලදී ගන්න විතරයි.

කාන්තාරයේ ජල වාෂ්ප සොරකම

 

කැක්ටස් මල් ජල වාෂ්ප හොරකම් කරන්න දක්ෂයි. ගෝබි කාන්තාරෙ සමහර පැතිවලට වතුර ඇත්තෙම නෑ. චිලියෙ ඇටකාමා කාන්තාරෙ තමයි පෘථිවියේ වියළිම ප්‍රදේශය. ඕර්ලැන්ඩෝ පරීක්ෂණ රාශියක් කරලා හොයා ගත්තා ඇටකාමා කාන්තාරෙට වතුර ලබාගන්න ක්‍රමයක්. වතුර හොරකම් කරන කැක්ටස් මල්වල ලයිකන මත රැදිලා තියෙන ජල බිංදු දැකලා තමයි ඔහුට මේ අදහස ආවේ.
කැක්ටස් මල් හොඳින් වැවෙන කන්ද උඩ ඕර්ලැන්ඩෝ මීටර් 06 ක් උස දැලක් බැන්දා. දැල යටින් ලොකු කානු තියෙන ප්ලාස්ටික් බටයකුත් බැන්දා. පැසිපික් සාගරය තියෙන්නෙ බොහොම ඈතින් වුණාට සුළඟ අරං එන ජල වාෂ්ප කඳු මුදුනට තල්ලු වෙන එක නවත්තන්න බෑ.
මීදුමක් වගේ ගලං එන මේ ජල වාෂ්ප තමයි ඕර්ලැන්ඩෝගේ දැල අල්ල ගන්නේ. මේ විදිහට ලීටර් 500 ක් විතර දවසකට එකතු කරගන්න ඔහුට පුළුවන්. ඔහු මේ එකතුවෙන වතුරෙන් කාන්තාරේ වගා කරනවා.
ෆෝඩේ ළිඳට බැස්සේ හරි පරිස්සමෙන්. මීටර් 9 ක් පහළට හෑරූ ළිඳෙන් තවත් ළිඳකට සම්බන්ධයක් දෙන්නයි ඔහු හදන්නේ. මීට වසර 700 කට විතර කලින් හිදිලා ගිය දිය උල්පත් නිහඬව පොළොව යට හැංගිලා පාෂාණ යටින් ගලං යනවා.
ඒවා පොළොව මතුපිටට ගේන්න තමයි මෙහෙම ළිංහාරන්නේ. දැනට ඔවුන් ළිං 800 ක් විතර හාරලා, ඒවා එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. ෆෝඩේ එයාගෙ වතුර පංගුවෙන් රට ඉඳිත් වවනවා.

විචිත්‍රවත්ව සැරසුණු ජෝ

 

 

ජෝ ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. කාලවර්ණ ශරීරය පුරා නොයෙකුත් පාට උලාගෙන ඔහු ගී ගයමින් නටන්නයි සැරසෙන්නේ. ලහි ලහියේ ජෝ ඇතුළු අනෙක් පිරිමි හැඩ වෙනවා.
තොල්වල කළුපාට අදුනක් ගාලා, හිසට වර්ණවත් තොප්පියක් දාලා. කවඩින්ගෙන් හදපු එල්ලෙන කරාබු දාලා. යටිකයට වර්ණවත් සාටක ඇඳගෙන. හෙරාවුල් කියන මේ උත්සවය පොඩ්ඩක් කාමයට බරයි. විවාහක අවිවාහක කාටත් විවෘත හෙරාවුල් උත්සවයේ දී පිරිමින් උගුරෙන් සිංදු කියමින් නටන්න ඕනා. දත් පෙන්වීම අනිවාර්යයි. පැය 05 ක් තිස්සේ ජෝ ඇතුළු පිරිමි නටනවා. දිනුවොත් කාට වුණත් අලුත් තරුණියක් ලැබෙනවා.
බටහිර අපි‍්‍රකාවෙ සහේල් කාන්තාරයට වැස්සක් ලැබුණට පස්සෙයි හෙරාවුල් උත්සවය පවත්වන්නේ. මේ පාර වැසි ලැබුණේ අවුරුදු හයකට පස්සේ. විනිශ්චයකාරියන් තුන් දෙනෙක්ව තේරුවා. අවාසනාවට ජෝ ඒ තිදෙනා අතර නෑ. ඔහුගේ මුහුණ මැළවුණා. ජෝගේ බිරියගේ මුහුණ මලක් මෙන් පිපුණා.
“කවුරු නැති වුණත් ඔයාට මං ඉන්නවා”
ඈ ජෝට රහසින් කිව්වා.
බී.බී.සී 'හියුමන් ප්ලැනට්' රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.

කාංචනා අමිලානි

ඡායාරූප - තිමොති ඇලන් timothyallen

උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ 'සිතිජය' අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ අප්‍රේල් මස 7 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය - http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/04/07
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , , ,

2 Comments on "කාන්තාරයේ ජීවිත සටන්"

  1. ලස්සන ලිපි පෙලක්.බොහොමත්ම ස්තූතියි

  2. ස්තූතියි කියෙව්වට,අදහස් දැක්වුවට.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com