කිටී බී

කිටී බී ට දැන් වයස මාස 5 කි.අළු පාට ශරීරයේ තැනින් තැන සුදු පැහැති තැන්ය.ළා අළු පාට ශරීරයේ තද අළු පැහැයෙන් වයිරන් වැටී ඇති හෙයින් ගාණට මිම්මට කළ බතික් සරමක් මෙන් කිටී බී පිළිවෙළය.රවුල් ගස් අට බැගින් දෙපැත්තටම සම සමව වැටී ඇති මුහුණ තරාදියක් මෙන් සමබරය.රවුල් ගස්වලින් මුහුණේ කොයි පැත්තටවත් අසාධාරණයක් වී නැත.
ස්ත්රීව දෑසක් කිටී බී ට කොහොම හිමි වුණාදැයි කිව නොහැකිය.කොළ පාටට හුරු අළු පාට දෑස නිතර දිස්නය දෙයි.බැලූවෙකු වශීකෘත වන ගතියක් ඇති කිටී බී ගේ දෙනෙතෙහි මනමාල පාටක් නැත්තේ ද නොවේ.
ස්ත්‍රීයක නොවූ කිටී බී පූසෙකු විය.
'මට මෙහෙම නිදාගන්න බෑ'
'දෙනවා මට හොඳ ටී ෂර්ට් එකක්'
ඒ කිටී බී ගේ පළමු තර්ජනයයි.ටයිල් පොළොවේ නිදා ගත නොහැකි බව කියන හෙයින් දැන් හොඳ සනීප ටී ෂර්ටයක් සොයා දිය යුතුය.කවුරුත් අල්මාරි පෙරළති.පෙරළ පෙරළා අනුන්ගේ ටී ෂර්ට් ගෙන කිටී බී ට ඉදිරිපත් කරයි.රවුල් ගස් කරකවමින් ,සාරි පොටක් සේ තම වලිගය ඇග වටා ඔතා ගනිමින් ටී ෂර්ට් පරීක්ෂා කරයි.
'ඔතන නෙවෙයි.ආං අර පු‍ටුව උඩින් දාලා දෙන්න'
යළිත් තර්ජනයක්,මෘදු ස්වරයෙන්.පුරු පුරු ගාමින් පු‍ටුවට එක පිම්මකින් පැන්න හෙතෙම නළගනක සේ ඇස් නටවන්නට විය.කුඩා නාසය ටී ෂර්ටය ළඟටම තබා එහි වයස නිර්ණය කරන්නට විය.වම් අතින් ටී ෂර්ටය හාරා බැලූ කිටී බී ටයරයක් සේ රවුම් වී නිදන්නට විය.
අම්මාත්,අයියාත් මැද සාලයේ රූපවාහිනිය නරඹති.රූපවාහිනියේ නේක ගායක,ගායිකාවෝය.අම්මාද කෙටි පණිවුඩ යවයි.කැමති අයෙකු ගයන විට රූපවාහිනියේ ශබ්දය ද වැඩි වෙයි.
'ඔය ටී.වී එක සද්දෙ අඩු කරන්න බැරිද හැබෑට'
'මං මේ නිදාගන්න හැදුව විතරයි'
කිටී බී ට ඩෝං ගොස් ඇත.හරියට හෙට උදේට අවදි වී රස්සාවකට යන්න තිබෙනවාක් මෙන් කිටී.බී දොඩවයි.පු‍ටුවෙන් බැස සැවොම ඉදිරිපිටට විත් නැට්ට සාරි පොටක් මෙන් පිළිවෙළට තබාගෙන බිම ඉද ගනියි.බිම හොඳින් මොප් කර ඇති දැයි ඒ අතරතුරත් පරීක්ෂා කර බලයි.කිටී බී ප්‍රමාණයෙන් ඉතා කොටෙකු හෙයින් යළිත් කාගේත් ඇස් මානයෙන් ගිලිහී යයි.සීසර් ගේ උරහිස ‍රැදි දිගු රෙදි කැබැල්ල ගස්සන්නාක් මෙන් තමන්ගේ නැට්ට වේගයෙන් ගස්සමින් සාලය මැදින් ඇවිද යයි.
නාකි ගැහනියක මෙන් මුණු මුණු ගාමින් අම්මාටත්,අයියාටත් බැණ වදියි.
'ඔය ටී.වී එක ඕෆ් කරනවලා.මොන කරච්චලයක් ද හැබෑට?
''මං කොහොමද දෙයියනේ මෙහෙම නිදාගන්නෙ?'
ඈතින් නැ‍ඟෙන කන්දොස්කිරියාව ඔහුගේය.රූපවාහිණියේ ගී කියමින් අඟර පෑ සියල්ලෝ කිටී.බී ට පැ‍රැදී පසු බැස්සෝය.
ගෘහ මූලිකයාද ,සෙස්සෝ ද මේ උද්දච්ච බළල් තඩියාට බය පක්ශපාතය.මොනවා කළත් කිටී බී තරහ කරගෙන බැරුවාය.කීකරු ශිෂ්‍යයන් මෙන් අම්මාත්,අයියාත් ටී.වී නිවා බොහෝ දුකින් නිදන්නට ගියෝය.අම්මා අඬන්නේ නැති ටික විතරය.අයියාට කේන්ති ගිය පාටය.ඒත් කවුරුත් කිටී.බී ට බයය.
උදේට ඇන්කර් කිරි බොන කිටී බී ට ඒ සමඟ මාරි බිස්කට්ටුයවක් ද පිරිනැමිය යුතුය.කිරිවලට යහමින් සීනි දැමිය යුතු අතර කිරි දමන භාජනය විම් දමා සෝදා තිබිය යුතුය.ඉදුල් අත්වලින් හෝ සායම් ගෑවුණු අත්වලින් කිසිම මොහොතක ඔහුව නෑල්ලිය යුතුය.ඇල්ලුව හොත්,
'ඔය මොනවද දෙයියනේ කරන්නේ.අතේ ඉදුල් නේද?'
'මගේ ඇගත් ගඳ ගහවි.'
'අනේ ඇත්තට සබන් ටිකක් ගාලා අත පය හෝදා ගන්න ඉගෙන ගෙන නැති හැටි..'
ඔයාකාරයෙන් කිටී බී දේශන මාලා අංක 20,61,54 වැනි ඒවාට සවන් දීමට කාටත් සිදුවෙයි.ඔහුගේ සාරි පොට වන් නැට්ට පෑගුනහොත් දඩ කොළයක් අනිවාර්යය.සොරි කීම සාමාන්‍ය ය
කිටී බී ගේ පෙම්වතියන් ට සුරතල් නම් ඇත.ටානියා,මෝක්ෂා,රෝසි.ටාටා,ජින්ජර් මේ අතර ප්‍රධානය.නමුත් මේ කිසිවෙකු සමඟ අපට ඇයි හොදයියක් තබා ගැනීම සපුරා තහනම්ය.පාතරාසයට රොටී ප්‍රිය කරන හෙතම දිවා ආහාරය පිණිස ඉල්ලා සිටින්නේ 'මාළු' ම පමණි.බත් අංශුවකුදු හේ නොකයි.
'ඔය මොකද ඉතිං කරන්නෙ?
අන්න මාළුකාරයා ඇවිල්ලා පාරෙ'
ගන්නවානම් සාලයො ගන්න.මට පේන්න බෑ කෙළවල්ලො'
එහෙම කියමින් පොද වැස්සේම ඔහු යන්න ගියේ නැට්ට ද ගස්සමිනි.
♠ ♠ ...................................................................................................  ♠ ♠ ♠
සාලයෝ හොද්ද ලිපේය.වෙනදාට දවල් ආහාරයට උඩගු බවින් යුක්තව හිස කෙලින් තබාගෙන එන කිටී.බී පේන්නට නැත.අම්මා ගේ මුහුණ ද ශෝකයෙන් බර වී ය.බැරිම තැන අම්මා ද අහර නොගෙන නිදන්නට විය.වැහි බීරුමත් ,සුළඟත් නිසා අම්මා ගේ නින්ද අධික විය.හැන්දෑවේ අවසන් අවු ‍රැල්ල ගෙවී යන්නට පෙර අම්මා අවධි විය.
කිටී බී මුණු මුණු ගාමින් මොනවාදෝ දොඩවනු පෙනෙයි.වේවැල් පු‍ටුවකට නැගි හෙතෙම විටින් විට කිවිසුම් හරියි.කොට්ටා සහිත අත්වලින් නාසය පිසියි.බිම බැලූ විට නාසයෙන් හො‍ටු ගලන හෙයින් කොට්ටා සහිත අතින් නාසය පිසියි.අමතකව යලිත් බිම බලයි.දෑසේ තිබූ කාන්තිය රෙදි සේදුම් කුඩු දමා අතුල්ලා ඉවත් කළාක් මෙනි.
කිටී.බී ලෙඩ වීලාය.
'මට ලේන්සුවක් හොයල දෙන්නකෝ'
එවර ආයාචනයකි.ඇහිල්ලක්,බැලිල්ලක්,සි​තුවිල්ලක් නොමැතිව අම්මා මගේ ලේන්සුවක් කිටී.බී ට පරිත්‍යාග කළේ හිඟන්නෙකුට දානයක් දෙන්නාක් මෙනි.එතරම්ම අනුකම්පාවෙනි.කොට්ටා සහිත අත්වලට ලේන්සුව හිර කර අල්ලා ගත් කිටී බී දිය ඇල්ලක් මෙන් වැගිරෙන හො‍ටු පිසියි.කිවිසුම් අරියි.දොඩවයි.වැළැපෙයි.කාගෙදෝ නමක් කියමින් සාප කරයි.
රාත්රිිය උදා වන විට තත්ත්වය වඩාත් දරුණු අතට පෙරලුනි.හෙම්බිරිස්සාව මදිවාට දැන් ඔහුට උණ ගැනී ඇතුවාය.
'අයියෝ මාව මැරෙනකන්ද ඔහේල බලන් ඉන්නෙ?'
'මාව ඛේමා ඩොක්ට ළඟට ගෙනියන්නෝ....'
'මට නම් තව ඉන්න බැරියෝ...'
කිටී බී මුළු ගමටම ඇසෙන තරම් හයියෙන් හඬා වැළැපෙමින් කෑ ගසන්නේ මරණයේ දූතයෝ ගෙයි උලුවස්ස ළඟ ඈන තියාගෙන ඉන්නවා දු‍ටුවාක් මෙනි.
යමු කීවාට කිටී බී හෙලවෙන පාටක්වත් නැත.
'මාව පයින් එක්ක යන්නද හදන්නෙ?අනිල් අයියට ත්‍රීවීල් එක අරන් එන්න කියන්න'
'මාව මරා ගන්නද ඔහේලා හදන්නෙ?'
ඔහුගේ අරමුණ ත්‍රීවීලයේ නැගී බහෙත් ගෙන ඒමට යාමය.දොඩම් ගෙඩි 6 ක් එකට තැබුවත් කිටී බී ගේ උස ගණනය කිරීමට වැඩිය.ත්‍රීවීලය දොඩම් ගෙඩි 100 පමණ උසය.මේවා කිටී බී ට කීමට බැරි තරමට අපි නෝංජල්ය.අසරණය.
ඛේමා බෙහෙත් දුන්නේ පෙතිත්,කරලුත් ස්වල්පයකි.බීමට රස පැණියකි.කොරෙක්ස් ඩී මේස් හැදි 2 බැගින් දවසට තෙවරක් .වෙන්ටලින් ද,පැරසිටමෝල් සමඟ කහ පාට කුඩා පෙත්තකි.
කිටී බී බෙහෙත් ගැන ද දනී.
'මම කොරෙක්ස් ඩී බොන්න නම් ආසයි.'
'පැනඩෝල් 2 ක් මට වැඩිත් එක්ක'
බෙහෙත් බිව් පසු ඔහුගේ නොනවතින කියවිල්ල නතර විය.මාළු සමඟ බත් ඉල්ලා පොළොවේ හැපෙන්නට විය.කැලෙන් මොනවාදෝ කොළ වර්ගයක් ගෙනවිත් මැල්ලුම් හදා දෙන්නයි අම්මාගෙන් ඉල්ලා සිටියි.ඒ මදිවාට බීමට කොළ කැද ද ඉල්ලයි.කැද බීමට කිතුල් හකුරුද තිබිය යුතුය.දැන් ඔහුට ඇත්තේ පුදුමාකාර බඩගින්නකි.නිතර කේන්ති යයි.උඩගුකමෙන් ‍තෝරා බේරාගෙන කෑම කෑ බළල් තඩියා දැන් ඕනෑම දෙයක් ආහාර පිණිස ගනී.මොබයිල් ෆෝන් චාජර්,හෑන්ඩ් ‍ෆ්රී ආදී ඕනෑම කුඩා වයර සැනින් කා දමයි.දැන් නිවසේ කිසිදු ෆෝන් චාජරයක් නැත.හේ සියල්ල අහරට ගෙන අවසානය.
♠ ♠   ............................................................................ ♠ ♠ ♠
හදිසියේ දිනෙක කිටී බී මොනරෙකු වමනය කළේය.
මොනරා මද වේලාවක් සිහිසුන්ව හිඳ ත‍ටු ගසමින් හොරණ බලා පියාසර කළේය.එදින සවස් යාමයේ කිටී බී සියඹලා ගහක් යටට වී කොක්හඬලමි සිනාසෙන්නට විය.අසල්වැසියෝද ,නාදුනන අමුත්තෝද මේ විප්‍රකාරය බැලීමට අපේ ගෙමිදුලේ ‍රැස් කන්නට විය.
පූස් තඩියෙකු විසින් පාලනය ගෙයක් ලෙස අපේ නිවස ප්‍රකට හෙයින් අසල්වැසියෝ සමච්චලයට කතා කරන්නට වූහ.මොබයිල් ෆෝන් තිබූ ඇත්තෝ වහ වහා කිටී බී ගේ කොක්හඬලෑම වීඩියෝ කර ගති.කැමරා ‍රැගෙන පැමිණි ඇත්තෝ ඡායාරූප ගත්හ.
සමාජයට මුහුණ දී ගත් නුහුණු හෙයින් අපි දොර,ජනේල වසා ගෙන ගෙතුළට වැදීමු.එහෙත් ජනේලවලින් හොරෙන් බැලීමු.බැලූ ,බැලූ තැනින් පෙනුණේ අපට සිනාවෙන මිනිසුන් හෙයි වැලපීමු.
තවත් හවසක කිටී.බී කකුළුවෙකු වමනය දැම්මේය.කකුළුවා කිටී බී ගේ රවුල් ගසක් උගුල්ලා ගත්තේ කවුරුත් නොසිතූ විරූ ලෙසිනි.සිනාසීම ප්සෙක තබා ජනේලයෙන්ම ගෙට රිංගූ කිටී බී කණ්ණාඩියෙන් මුහුණ බලමින් දුක්වෙනු අපි දුටිමු.දැන් හෙතම නිවැසියන් දකින විට බල්ලෙකු මෙන් නැට්ට වනයි.ටයිල් පොළොවේ ද ,සිමෙන්ති පොළොවේ ද පැමිණිලි නොමැතිවම සැතපෙයි.
'මාව කන්ද විහාරෙ එක්ක යන්න'
කියමින් ටික දවසක පටන් කිටී බී අම්මාට කරදර කරන්නට විය.
'එහෙම නැත්නම් මාව ලෙෂර් වර්ල්ඩ් එක්ක යන්න'
අම්මා ‍තෝරා ගත්තේ අඩු වියදම් ගමනයි.බස්වල හෝ කෝච්චිවල ගමන් යාම මදිපුංචිකමක් ලෙස කිටී බී සලකන හෙයින් අනිල් අයියාගේ ත්‍රීවීලයෙන් අම්මාත්,අයියාත්,මමත් ,කිටී බී ත් කන්දේ විහාරේ යාමට පිටත් වීමු.
ගමන අතරමග මෝනිස් බේකරියෙන් මාළු පාන් කෑමට කිටී බී ට උවමනා විය.රවුල් ගස් පුච්චා ගනිමින් කිටී බී උණු තේ ද බීවේය.
කන්දේ විහාරෙන් පූජා වට්ටියක් ගත්තා පමණි.කිටී බී කෙදිරි ගාන්නට විය.
'අයියෝ මාව මැරෙන්නයි යන්නෙ.වොන්ඩර් බාර් එකක් අරන් දෙන්න'
මේ ‍රැවටිලිකාර කතා අසා හොඳට පුරුදු හෙයින් අපි අහක බැලීමු.නෑසුණු කන්ව සිටීමු.
හදිසියේ ම කොට්ටා සහිත පූස් කකුල් දිගු විය.කොට්ටා සහිත අත්ද දිගු වී කොට්ටා නැති විය.සාරි පොටක් මෙන් හැඩකාර නැට්ට නොපෙනී ගියේය.ර්වුල් ගස් සියල්ල් හදුන්කූරු කුඩු මෙන් බිම පතිත විය.කැටි ශරීරය දිගු වී එසැනින් කිටී බී අළු පාට ඇස් ඇති හැඩකාර තරුණියක විය.අම්මා හනි හනික නිරුවතින් සිටින තරුණිය ට අමමාගෙ සාරි පොට පෙරවීය.අසල්වාසී කඩ හිමියෝ බෙඩ් ෂීට් ආදී පොරෝන ගෙනැවිත් දුන් හෙයින් ඇදුමේ ප්‍රශ්නය සැනින් විසැදුනි.
අයියාත්,මමත් අධික භීතියට පත් වීමු.
අනිල් අයියා ද භය බිරාන්තව බලා හිදිනු පෙනෙයි.
'මේත් ඉතිං අපේ දරුවෙක්නෙ'
'දැං මොනා කරන්නද...යමු පුතේ ගෙදර...'
කියමින් අම්මා තරුණිය ත්‍රීවීලය වෙත කැදවා ගෙන යන්නට විය.අයියාත්,මමත් අම්මා පිටිපසින් ගෑ‍ටුවේ කිසිදු අවබෝධයකින් තොරවය.ත්‍රීවීලයට නැඟුණු අම්මා පළමු ප්‍රශ්නය තරුණියට යොමු කළේය.
'පුතේ...මාළු පාන් රසද හැබෑට....?'
තරුණිය යස අපූරු සිනාවක් පා අම්මාට උත්තරය ලබා දුනි.
ඤාව්...ඤාව්...ඤාව්...!
කාංචනා අමිලානි 2011

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, ,

6 Comments on "කිටී බී"

  1. ```Outsider```
    31/07/2011 at 7:36 am Permalink

    මේකනම් හිනායන කතාවක්. හොඳට කතා කරපු පූසා තරුණියක් වුණාට පස්සෙ කතා කරන්න බැරිවෙලා.
    කොහොම වුණත් අමුතුම වර්ගයේ රචනාවක්. ඒත් එහි යටි අදහස් මට හරියට තේරුණාද කියන එක මමවත් දන්නෙ නෑ.

  2. මට උවමනා වුණේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන කියන්නයි.ඒ වගේම කියවන කොට පොඩි හාස්‍ය රසයක් මතු කරන්නයි.අපේ ජීවිතවල සමහර සිදුවීම් තියෙනවා මීට සමාන.මම කැමතියි මගේ කතාවලින් කියවන අය තමන්ට කැමති දෙයක් හිතා ගන්නවට.
    ස්තූතියි කොමෙන්‍ටුවට.

  3. ලස්සනට ලියලා තියෙනවා.මට එච්චර තේරුනේ නම් නැහැ.හැබැයි හොදට හිනා නම් ගියා.

  4. ස්තූතියි කියව්වට.

  5. අමා
    07/08/2015 at 12:25 pm Permalink

    අක්කේ ඔයා මිනිස්සුන්ව ලස්සනට සත්තුන්ගෙන් කියවනවා…. ^_^ ^_^ තවත් ලියන්න…තව තව තව…..ලියන්න

  6. බොහොම ස්තූතියි අමා.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com