අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක සිව්වැන්නයි මේ.
දඩයක්කාරයා අපිළිවෙළ රවුල අතගාමින් තුරු ගොමුවක් ආසන්නයේ එකල මෙකල වෙනවා ලස්සන කුරුල්ලා දැක්කේ ම නැත.
වටාපතක් මෙන් ස්වකීය පිල් කළඹ නටවමින් කිරිල්ලියක රවටා ගැනීමට සිත යොමු කළ හෙයින් ම දඩයක්කාරයාගේ නිරුවත් පයට ටකස් හඬින් වියළි දර ඉපළක් බිඳෙනවාවත් ලස්සන කුරුල්ලාට ඇසුණේ නැත. වනාන්තරය බිම බලාගති.
කැටපෝලය ගෙලින්ග් නම් දඩයක්කාරයාට දාසකම් කරන බැවින් ලස්සන කුරුල්ලාගේ මනමාල නැටුම අහවර විය. එතැන කුරුලු මළ සිරුරකි.
පෙකේ , පැපුවා නිව්ගිනියාවේ තවත් කුරුලු දඩයක්කරුවෙකි. වලිගය දිග පිරකුරයුසස් සැපියර් පෙකේ ගේ ගස්ලබු උගුලට හසු වුණි. කහපාටින් බබළන ගස්ලබු ගෙඩියට හොට තැබූ සැනින් දිගු දුන්න දාසකමට පෙරළුණි.
වනාන්තරය සිසාරා ඇදී ගිය ඊතලය වලිගය දිගු තවත් කුරුල්ලෙකුගේ හදවත සිදුරු කෙරිණි. ගෙලින්ටත්, පෙකේටත් මෙයාකාර කුරුලු මරණ උවමනා වූයේ පැපුවා නිව්ගිනියාවේ පැවැත්වෙන මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවයට පේ වීමට ය.
පැපුවා නිව්ගිනියාව පුරාම දිවිගෙවන විවිධ ගෝත්‍රවල සහභාගීත්වයෙන් පැවැත්වෙන වනාන්තරයේ ලොකුම විප්‍රකාර ඇඳුම් උත්සවය මෙයයි.
ගෝත්‍ර 100 ක් පමණ සහභාගී වන මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවය වඩාත් වර්ණවත්, අලංකෘත පිහාටු හිමි තැනැත්තා උත්කර්ෂයට නංවන්නකි. තැනක වර්ණවත් වෙස් මුහුණු පැළඳි අයය.
තවත් තැනක දීප්තිමත් වර්ණවලින් තම මුහුණ පුරා අලංකාර රටා ඇඳගත් ගෝත්‍රිකයන්ය. ඔවුන්ගේ හිස සරසා ඇත්තේ කුරුලු පිහාටුවලිනි.
ගෙලින්ග් සහ පෙකේ වනාන්තරයට වංචා කරමින් කුරුලු සිරුරු දඩයම් කළේ එබැවිනි. ගෙලින්ග් තම දඩයමේ ලාභය වූ කුරුලු පිහාටු සහිත හිස් වැස්ම ලා ගැනීමට සූදානමිනි.
ඔහුගේ මුහුණ පුරා වර්ණවත් සායම් ය. සරුවාල වන් ඇඳුම් කෙළවර ද වර්ණවත් පිහාටු ය. තැනිතලාව සිසාරා අප්‍රමාණ ශරීර දරා සිටින කුරුලු පිහාටු හීන් සරින් ඉකිබිඳිනවා ඇසෙනවාත් වැනි ය.
බහුතරය පුරුෂයන් ය. වනාන්තරයේ කුරුලු ප්‍රජාව සිදු කළාක් මෙන් ස්ත්‍රී ආකර්ෂණය දිනා ගැනීම මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවයේ තවත් එක් අරමුණකි. සුළුතරයක් වූ ගැහැනු ද මේ සඳහා සහභාගි වී ඇත්තේ උඩුකය නිරුවතිනි. එහෙත්, වඩාත් විචිත්‍ර පුරුෂ පක්ෂයයි.
තැනිතලාව දෙවනත් කරමින් නැඟෙන බෙර හඬ අතරින් ගෙලින්ග් ප්‍රධාන වේදිකාවට නැගුණි. දැන් හැමෝගෙම අවධානය ඔහු ළඟ. ඔහු විප්ර්කාර නැටුමක් නටන්න පටන් ගති.
සම වයසේ කාන්තාවන් හැඟීම් විරහිතව ඔහු දිහා බලන් උන්නා. තරුණියන් නම් ඔහු දිහා බලන් උන්නේ විමතියකින්. ඔවුන්ගේ අවධානය තරුණයන්ටයි.
“දැන් ඉස්සර තරම් ගෑනු අය මං දිහා බලන්නෑ. මං දැන් වයසයිනේ...”
කුරුලු පිහාටු දඩයක්කාරයා නැටුමක් නටමින් යන්න ගියා. පැපුවා නිව්ගිනියාවෙන් කොන්ගෝ වනාන්තරයට කවුදෝ මාව ඇදගෙන ගියා. වනාන්තරය මැද්දෙන් ආවෙ උඩුකය නිරුවත් මිනිස්සු දෙන්නෙක්. එක් අයෙක්ගෙ උරය මත කෙටි පොරවක්. ඔවුන් සුවිශාල ගසක් ආසන්නයේ නතර වුණා.
“... අද නම් මී පැණි නැතුව ගෙදර යන්න බෑ. ගෙදර උන්දැට හොඳටම තරහ ගිහින්. අවුරුද්දකින් විතර මට මී පැණි ගෙදර ගෙනියන්න බැරිවුණා...”
මීටර 40 ක් තරම උස ගහ මඳක් නැවිලා බිම බැලුවා. ටෙටේ සහ මොංගන්ජේ තමන්ගෙ හයිකාරකම් පෙන්නන්න මුදුන නොපෙනෙන ගහ දිහා බයක් නැතුවම බලාන හිටියා. තවත් බිමට නැමෙන්න බැරි නිසා උස ගහ ආයෙත් අහසම බැලුවා.
බයාකා ගෝත්රියකයෝ දෙන්නා දඩයමකටයි අර අදින්නේ. ටෙටේ තමන්ගෙ උරේ වාඩිවෙලා හිටපු පොරව අතට අරන් හොඳටම හයිය වැලක් කපාගත්තා.
මීටර් 14 ක් පළල ගහ තරණය කරන්න වළල්ලක් විදිහටයි ඔහු මේ ශක්තිමත් වැල යොදාගන්නේ.
දෙවරක් නොසිතමින් ටෙටේ ගහ තරණය කරන්න පටන් ගත්තා.
තමන්ගේඋරය මත නැවත අසුන් ගත්ත පොරවෙන් ගහේ හරස් අතට කැපුම් යොදමින් ටෙටේ මී පැණි හොයන්න ඉමක් නොපෙනෙන ගහක් තරණය කරනවා.
මොංගෙන්ජේ ඒ අතරතුර වනාන්තරයෙන් සොයාගත් වියළි කොළ අවුළුවා ගින්නක් සැකසුවා. ගින්නෙන් නඟින දුම මී මැස්සන් පලවා හරිනවා. පැය ගණනාවක් මුළුල්ලේ ආදාරකයට වැලක් පමණක් යොදාගෙන ටෙටේ ගහ තරණය කරනවා.
මී පැණි සොයන්න ටෙටේ ගහක් තරණය කරන ආරංචියට තටු ලැබිලා. ඔහුගෙ බිරිය ඇතුළු දරු පරපුර ඊතලයක වේගයෙන් ගහ මුල. සැලකිය යුතු දුරක් ගෙවූ පසු ටෙටේ වැල්පොට අතහැර ආදාරකයක් නැතිව ගමන් කළ යුතු ගස් දෙබලකට පැමිනුණා. ජීවිතය පරදුවට තබා යන මේ ගමන ධෛර්ය මත පදනම් වන්නක්.
අවසානයේ ටෙටේ මී වදය සොයා ගත්තා. දුම් ගසන කොළ සමූහය එක අතකින් අල්ලගෙන ඔහු මී මැස්සන් සමඟ අරගලයක්. පළමු මී වද පොකුර වැල්වලින් තනපු බාජනයකින් තම දරු පවුලට යොමු කළා. ගුම් නඟන මී මැස්සන් පලවා හරිමින් කුඩා ළමුන් දීප්තිමත් දෑසින් මී පැණි අනුභව කරනවා.
“...ටෙටේ තමයි මං දැකපු හොඳම පිරිමියා. එයා හරි නිර්භීතයි. ළමයි තාත්තා ගැන බය නෑ. එයාලට තාත්තා ගැන ආඩම්බරයි...”
වනාන්තරය ඇතුළත දී බොහෝ සරල දේ ක්ෂණිකයකින් වඩාත් වටිනා දේවල් බවට පරිවර්තනය වෙයි. කුරුලු පිහාටුවේ සිට මී පැණි බිංඳුව තෙක් ඒ වටිනාකම අසමසම වෙයි.
ටෙටේ ප්‍රීතියෙන් සිනාසෙයි. ගෙලින්ග් සහ පෙකේ බුම්මාගත් මුහුණිනි. කිසිත් නොදත් වලිගා දිග කුරුල්ලෙකු ඉහළ තුරු වියනට පියාඹා යනු පෙනෙයි.
බී.බී.සී ‘හියුමන් ප්ලැනට්’ රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.
කාංචනා අමිලානි
ඡායාරූප – තිමොති ඇලන් timothyallen
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්ෂ 2011 ක්වූ මැයි මස 12 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/05/12
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පිටුව- humanplanetexplorer
ප්‍රතිචාර
Powered by Facebook Comments
01/08/2011 at 1:19 pm Permalink
පව් නේද මේ මිනිස්සු.මටත් ආසයි මේවා මගේ ඇස් දෙකන්ම බලා ගන්න
01/08/2011 at 1:44 pm Permalink
ඔව්.මිනිස්සු හරිම පුංචි දේවල් වෙනුවෙන් කැප කරන තරම දැක්කම පුදුම හිතෙනවා.මේ අපේම ලෝකෙ ඇතුළෙ සිද්ධ වෙන දේවල් නිසයි තවත් පුදුම.