සාගරයේ තෝරු මෝරු අතර මිනිස්සු

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහමසමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පළමුවැන්නයි මේ.

සුල්බින් හෙල්ලක් ‍රැගෙන දිය යට මාළු දඩයමේ

එදා මුහුද මුහුණ බලන කණ්ණාඩියක් වගේ පැහැදිලියි. සුල්බින් නිස්කාන්සුවේ තමන්ගේ ගමනට ලෑස්ති වුණා. ලීයකින් කපා ගත්ත ගොගල්ස් දෙක රතු නයිලෝන් නූලකින් බැන්දේ වැඩි පරිස්සමට.
ටිකක් දිග රයිෆලයක් වගේ අමුතු හෙල්ලයකුත් අතට ගත්තා. මීටර් 20 ක් මුහුදු පතුලට යන්න සුල්බින්ට උවමනා කළේ එච්චරයි.
මෝටර් බෝට්ටුව සැර දාගෙන මුහුද උඩ යනවා. හරිම කෙසඟ සුල්බින් හය හත් වතාවක් හයියෙන් හුස්ම අරගෙන කණ්ණාඩියක් වගේ පැහැදිලි මුහුදට මුහුණ ඔබලා බැලුවා. නිස්කලංකව ඔහු මුහුදට බැස්සෙ පුංචි දරුවෙක් තමන්ගෙ පුටුවෙන් බිමට බහිනවා වගෙයි.
පිලිපීනයේ බජාවු ගෝත්‍රයට අයිති මොහු තනි හුස්මකින් මුහුද යටටම පීනලා ගියේ රයිෆල් දුන්නෙන් මාළුවෙක් මරා ගන්න. මුහුදේ පතුලටම ගියාම ඔහු මුහුදේ ඇවිදින්න පටන් ගත්තා. දැන් සුල්බින්ගේ හදවත ගැහෙන වේගය තප්පරයට 30 වතාවක් තරම්.
ඒත් සුල්බින් නෙවෙයි කිසි කලබලයක් කළේ. මිනිත්තුවක් ගියාට පස්සෙ පෙත්තක් වගේ මාළුවෙක් ඔහුව පසුකරගෙන පීනලා ගියේ පුළුවන් නම් අල්ලගන්නවා කියලා වගෙයි.
රයිෆල් දුන්න තමන්ගේ රාජකාරිය ඉෂ්ට කළා. විනාඩි 2 1/2 කට පස්සේ දුන්නෙ ඇමිනිලා ඉන්න පෙති මාළුවත් එක්ක සුල්බින් දිය මතුපිටට ආවා. සාමාන්‍යයෙන් සුල්බින්ට පුළුවන් විනාඩි 05 ක්විතර එක හුස්මක් අල්ලගෙන මුහුද පතුලටම කිමිදිලා ගත කරන්න.
පිලිපීනේ බජාවු ගෝත්‍රිකයෝ හුඟ දෙනෙක් මේ අච්චුවේ අය. එයාලා ජීවත් වෙන්නේ මුහුද මැද හදපු බෝට්ටු ගෙවල්වල. ඈතට පේන්නේ මුහුදෙ හදපු නිවාස සංකීර්ණයක් වගෙයි. තැනක අම්මලා රෙදි වනනවා. තවත් තැනක පොඩි දරුවන්ව මුහුදු වතුරෙන් නාවනවා. ගෙයකින් ගෙයකට නෑගම් යන්නෙත් බෝට්ටුවල නැගලම තමයි.
“මං ඉපදුණෙත් බෝට්ටුවක. මගේ මුළු ජීවිතේම ගෙවුණේ මේ බෝට්ටු ගෙදරම තමයි. අපි ගොඩබිමට කැමැති නෑ. මේ විදිහ තමයි හොඳම...”
එහෙම කියන්නේ නොහාරා. ඇගේ ළමයින්ට හොඳින් ඇස් පේන්නේ මුහුද යටදී මිසක් ගොඩබිමදී නොවෙයි.

දිවි පරදුවට තබා කැවියර් එකතු කරමින්

ස්පාඤ්ඤයෙන් ඇහෙන මේ කතාව ලෝකයේ මිල වැඩිම ආහාරය වූ “කැවියර්” එකතු කරන්නන් ගැනයි. ප්‍රපාතාකාර කන්දකින් පහළ මරු කපොල්ලකටයි මේ නිර්භීත මිනිස්සු දෙන්නා යන්නේ.
ශක්තිමත් කඹයක්, උල් යකඩයක් පමණක් අරගෙන යන මේ ගමන භයානක කම ඔවුන් දන්නවා. කඳු දෙබොක්කාවෙන් උඩට බුර බුරා නැගෙන දිය කඳ මිනිස් ශරීරයක් කුඩුපට්ටම් කරලා දාන්නෙ ඇසිපිය හෙළන්නත් කලින්.
කඹයක එල්ලිලා මේ ගල් දෙබොක්කාවට බැහැලා “කැවියර්” එකතු කිරීම ඇඟ කිළිපොළා යන රස්සාවක්. විශාල දිය රැළි එන්න කලින් ඉක්මනින් කැවියර් එකතු කරගන්න ඕන. දෙවැන්නා ගල් දෙබොක්කාවට බැස්සේ කඹයේ උපකාරයක් නැතිව.
මරණයට වංචා කරමින් කරන මේ රස්සාව මොවුන්ට දවසකට ඩොලර් 1200 ක් උපයලා දෙනවා. ඒ වගේමයි වසරකට මේ රස්සාව නිසා අවමයෙන් 05 දෙනෙක්වත් මිය යනවා. ඒත් වසරින් වසර ඒ අඩුව පුරවන්න තරුණයො එකතු වෙනවා.

බෙන්ජමින්ගේ මාරාන්තික හෙල්ල පහර

බෙන්ජමින් පුහුණුව ඉන්නේ මහ මුහුදේ අවධානම්ම දඩයමක් කරන්නයි. දිග උණ ලීයක් කරේ තියාගත් බෙන්ජමින් මුහුද දෙස බලන්නේ තර්ජනාත්මකවයි. හදිසියේම මුළු ගමට ම පිස්සුවක් වැළඳුණා. හැම මුවඟින්ම එකම නමක් කියන්නට පටන් ගත්තා.... තල්මහෙක්... තල්මහෙක්...
ගම්මානයම දිග උණ ලී අතට අරගෙන බෝට්ටු මුහුදට තල්ලු කරන්නට පටන් ගත්තා.
“මේ රස්සාව හරිම භයානකයි. ඒත් එහෙම කියලා අපි මේක නොකර හිටියොත් මුළු ගමම බඩගින්නේ...”
එහෙම කියන්නේ ඉන්දුනීසියාවේ ලිම්බාටා දුපත් වැසියෙක්. ගමෙන් භාගයක් මුහුද අයිතිකරගෙන. ඉතිරි ටිකෙන් භාගයකට වැඩිය කඳු අයිති කරගෙන. වගාවක් කරන්න නම් හිතන්නවත් බෑ.
ගමෙන් භාගයක් බෝට්ටුවල නැඟගෙන තල්මසා පස්සෙන් එළවයි. අවුරුදු 600 ක් පමණ මේ දඩයම ලිම්බාටාවන්ට ලොකු ගෞරවයක්. මීටර 18 ක් දිග තල්මසා සටනක් නොදී මැරෙන්න ලෑස්ති නෑ. බෙන්ජමින්ගේ සහෝදරයා දිග උණ ලී හෙල්ල අත් දෙකට ගෙන ශරීරය දුන්නක් වාගේම දිග හැර තල්මසාගේ ගෙලට පැන්නේ පුදුම වේගයකින්.
ඉලක්කය වැරැදී ගියා. දෙවරක් නොසිතා බෙන්ජමින් දුන්නක් වාගේ දිග ඇදි උණ ලී හෙල්ල තල්මසාගේ හිස පසාරු කරගෙන යන්න මරණීය තුවාලයක් ඇති කළා.
තල්මසා මරු විකල්ලෙන් බෝට්ටුව දියඹට ඇදගෙන යන්නයි හදන්නේ. එක පිට හෙල්ල පාරවල් කීපයක්ම තල්මසාගෙත් හිසට වැදුණා. පැය 8 ක සටනකින් පස්සේ තල්මසා නිසල වුණා. බෙන්ජමින් වීරයෙක් වුණා. දඩයම සාර්ථකයි. මාස කීපයකට ඔහුගේ ගම්මානයේ අයට බඩගිනි දැනෙන එකක් නෑ
බ්ලේස් ඉන්නේ පැපුවා නිව්ගිනියාවේ. මේ මහලු මිනිසා මිනීමරු මෝරු දඩයම් කරන්න මන්තරයක් දන්නවා. ඔහුගේ පපුවෙ තියෙන කැපුම් පාරවල් කිහිපය ඒ ගැන සාක්කි කියනවා.
මුලින්ම අමුතු ගීතයක්. ඊට පස්සෙ වේවැලකින් බැදපු පොල්කටු මාලයක් දිය යටට දාලා හොලවනවා.
මෙයින් නැඟෙන තරංග මෝරුන්ව මෙහි කැඳවනවා. කිලෝමීටර් 3 ක් විතර ඈත ඉන්න මෝරෙකුට වුණත් මේ ශබ්දය ඇහෙනවා. නමුත් දැන් ඔහු මෝරුන් මැරීම අත් ඇරලා. ඒ අනාගත පරම්පරාව ගැන හිතලා.

පාලින් මසුන් මරන්නන් මාරාන්තික හුස්ම ගෙන මාළු දැල සමඟ සටනක

පාලින් කිමිදෙන්නන් ගැනත් නොකියාම බැහැ. පාලින් වැසියෝ ජීවත් වෙන්නේ පිලිපීනයේ. මුහුද යට මීටර 40 ක් කිමිදෙන මොවුන් ඔක්සිජන් ලබා ගන්නේ කම්ප්‍රෙසරයක් ආධාරයෙන්. 100 ක විතර තරුණ කණ්ඩායමක් මේ අවදානම් මාළු ඇල්ලීම කරන්නේ ජීවිතය පරදුවට තියලා.
ඔවුන් ලොකු මාළු දැලක් මුහුද පතුලට එලනවා. ගල්පරවල හැංගිලා ඉන්න මාළුන්ගෙන් අඩක් මේ උගුලට අහුවෙනවා. අබලන් කම්ප්‍රෙසරයකින් හුස්ම ගැනීම තමයි භයානකම. බෝට්ටුව උඩ ඉන්න අය කම්ප්‍රේසරයට සම්බන්ධව ඔක්සිජන් බට හසුරවනවා.
ඒවා හරියට එකිනෙකා මත පැටළුණ සර්පයො වාගෙයි. හරිම අවුල් සහගතයි. තැනින් තැන හිල්වෙලා අබලන් වුණු මේ බටයක් ගැලවුණොත් හරි පුපුරලා ගියොත් හරි ඒ බටය දරන්නාගේ මරණය නියතයි.
නිසියාකාරව ඔක්සිජන් ලැබෙන්නැති නිසා බොහෝ දෙනෙකුගේ ඇඟට නයිට්‍රජන් ඇතුළු වෙනවා. කොදු ඇට පේළිය රිදුම් දෙන්න ගන්නවා මේ වෙලාවට. හුස්ම ගැනීමේ අපහසුතා නම් සාමාන්‍යයි.
ගොඩ දෙනෙක් දිය මතුපිටට ආවට පස්සෙ සදාකාලික ලෙඩ්ඩු වෙනවා. අංශභාග රෝගීන් වෙනවා. අඩුම තරමින් ඒ වගේ කෙනෙකුට ප්‍රථමාධාර දෙන්න ඔක්සිජන් ටැංකියක්වත් මොවුන්ට නෑ. මරණය අතේ තියාගෙනයි මොවුන් ඉන්නේ.
ජෝසප් කියන විදියට මේ ඔවුන්ගේ ජීවිතයයි.
“...මීට වඩා හොඳ රස්සා ඇති. ඒත් අපිට හරියන්නේ මේ රස්සාව විතරයි...”
ජෝසප්ලාට එසේ හිත සකසා ගන්න පුළුවන් වුණාට සනසා ගන්න තරම් හිතක් අපිට තියෙනවද ?

 

බී.බී.සී 'හියුමන් ප්ලැනට්' රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.

කාංචනා අමිලානි

ඡායාරූප - තිමොති ඇලන් timothyallen

උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ 'සිතිජය' අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ මාර්තු මස 31 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය - http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011%2F03%2F31
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , , ,

One Comment on "සාගරයේ තෝරු මෝරු අතර මිනිස්සු"

  1. ලස්සන ලිපියක්.අපි ජීවත් වෙන්න කරන දේවල් මොනවද කියලා හිතෙනවා මෙයාලා කරන දේවල් දැක්කම

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com