අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අට වැන්නයි මේ.

කොරවායිලාගේ ගසක් උඩ තැනූ නිවස

 බොහොම උස ගස් කිහිපයක්ම තම බඩවතින් දෙකට නැවෙමින්  තවත් එවැනිම ගස් සමඟ කතාබහකය.මුණු මුණුවකින් පටන් ගත් කතාබහ ක්‍රමයෙන් උස්ව නැ‍ඟෙන්නට විය.වැර යොදා පහත් වෙමින් හරි කරදර  කොළ සහිත අතු නවා ගනිමින් පැපුවා නිව්ගිනියාවේ ගස් කතා කළේ තම මරණය ගැනය.
'...කොරවායිලා අලුතින් ගෙයක් හදන්න යනවලු..'
'...අපිට බෑ දැන්ම මැරෙන්න.....'
තරුණ ගස් කිහිපයක් කෑ මොර දෙන්නට දෙන්නට විය.මැදිවියේ අය දුක්බරව මුහුණ බිමට නවාගෙන  ම කතාබහ අවසන් කළේය.
වැසි වනාන්තරවල දිවි ගෙවන හුදෙකලා ගෝත්‍ර අතර බටහිර පැපුවා නිව්ගිනියාවේ වෙසෙන කොරවායි ගෝත්‍රය සුවිශේෂීය.
දැනට ලෝකයේ ජීවත්ව සිටින වැසි වනාන්තර ගෝත්‍ර අතර ඉහළ තුරු වියනේ ගෙවල් සාදන එකම ගෝත්‍රික සමූහය මොවුන්ය.
අලුත් නිවසක් තැනීමට 40 කට ආසන්න පිරිසක් ලහි ලහියේ වැඩය.විවිධ වයස්වල ගැහැනු,පිරිමි,ළමයි බොහෝම සැහැල්ලුවෙන් ශක්තිමත් වැල් වර්ගයක් කැපීමේ නිරතව සිටිති.තවත් තැනක වැඩිහිටි පිරිමිදස දෙනෙක් පමණ ශක්තිමත් නා ගසක් පාමුල කතාබහකය.දීර්ඝ කතාබහකින් අනතුරුව හිස සලමින් එකිනෙකා එකඟ වූයේ මේ ශක්තිමත් ගසේ තම නව නිවහන ඉදිකිරීමටය.දැන් විශාල ගස් කිහිපයක් කපා බිම හෙළීමේ වාරයයි.
වැඩිහිටි පිරිමින් මුලුමනින්ම නිරුවතිනි.අතොරක් ගැහැනු යටිකය පමණක් ආවරණය කරගෙනය.ඇතැමුන් සිහින් හඬින් ගී ගයයි.වහලය සෙවිලි කිරීමට ඉලුක් වැනි කොළ සමූහයක් ගොඩගසයි.ගස්වලින් ගලවා ගත් පොතු සිහින්ව තීරුවලට ඉරමින් ශක්තිමත් ලණු සාදයි.ප්‍රාථමිකව තැනූ ආයුධ භාවිත කරමින් දැවැන්ත ගස් කපා හෙළීමට සූදානම් වෙයි.සුවිශාල ගස් හඬමින් බිම පතිත වෙයි.
පළමු පියවර ගස මුදුනට ලී ඉණිමගක් සාදා ගැනීමයි.කාන්තාවෝ යුහුසුලුව බිම සිට ලී කැබලි සහ වැල් වර්ග සපයති.සමූහයකගේ ශක්තිය හේතුවෙන් ඉතා ඉක්මනින් ඔවුන් ඉණිමග තනා නිම කරයි.අඩි 35 ක් උසින් සාදන ගසක් මත තැනෙන නිවහනේ පොළොව සකස් කර ගැනීමට ඔවුන් සැරසේ.
උණ බම්බු දිගටත්,හරහටත් තබා ගනිමින් සැකිල්ල සාදයි.බිමට ශක්තිමත් පොතු වර්ගයක් එලා ගන්නේ ඉන් පසුවයි.මෙය නූතනයේ කාපට් එළීම හා සමානය.බොහොම සූක්ෂමව ඉ‍ටු කළ යුතු පොළොව තැනීමේ කාර්යය පැවරෙන්නේ අත්දැකීම් ඇති වැඩිහිටියන්ට පමණි.
කොරවායිවරු මේ ආකාරයට ගස් මත නිවාස තැනීමට හේතු කිහිපයක්ම තිබේ.පළමුවැන්න ගංවතුර ආදී ස්වභාවික ව්‍යසනවලින් ආරක්ෂා වීම,දෙවැන්න වන සතුන්ගෙන් හා සතුරු ආක්‍රමණවලින් ගැලවීම්.තෙවැන්න තම ගෝත්‍රයේ කීර්ති නාමය පවත්වාගෙන යාම.ගසක් උඩ තැනෙන මේ නිවෙස වඩාත් ඉහළින්ම පිහිටා තිබීම ඔවුන්ගේ ගෝත්‍රයේ ලොකුම ආඩම්බරයයි.
ක්‍රමයෙන් නිවෙසේ සෙසු කොටස් නිම වෙමින් පවතී.වහලයට ඉලුක් වැනි කොළ වර්ගයක් මිටි බැද ලණු මඟින් ඉහළට යැවේ.වැඩිහිටි පිරිමි තිදෙනෙක් ක්‍රමානුකූලව වහලය මතට නැඟ ඒ මත කොළ අතුරයි.ඉන් පසුව වැල් මඟින්  ඒවා ශක්තිමත්ව වහලයේ රීප්පවලට තබා බඳියි.ගස උඩ තැනූ ගෙය අවට ඇති ගස්වල අතු කපා දැමීම ඊළඟ කාරිය වේ.දැඩි සුළං සහිත කාලයක මේ අතු නිවස දෙසට නැවී තිබීම අන්තරායකාරීය.
එම නිසා වඩාත් කල්පනාකාරීව මේ අතු කපා දැමිය යුතුය.එහෙත්,පොළොවේ සිට ගසක් කැපීමට වඩා ගසක් මත සිට තවත් ගසක් කපා දැමීම අති දුෂ්කරය.කොරවායි ගොත්‍රිකයන්ට නම් එය සුලු දෙයකි.ඔවුන් ඒ තරමටම තම හැකියාව ගැන දනී.
සති 02 ක් මුලුල්ලේ මිනිසුන් 42 එකතු වී සාදන්නට යෙදුණු නිවස දැන් අංගසම්පූර්ණය.ලී ඉණිමග දිගේ පළමුව සියලුම පිරිමි ගස උඩ තැනූ තම අලුත් නිවහනට නඟී.ඊළඟට නොයෙකුත් බඩු භාණ්ඩ ‍රැගෙන ස්ත්‍රීන් ගස උඩට නඟී.තම තමන්ගේ සුරතල් සතුන් මළුවල දමාගෙන මීටර් 35 ක් උඩට නැඟීමත් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.මේ ගමනේදී කිසිවක් අමතක කිරීමට නම් කිසිම ඉඩක් නැත.අමතකවීමක් මීටර් 35 ක් තරම් උසය.හරියට කිවහොත් මීටර 70 ක් නැඟීමත්,බැසීමත් සමඟම සුළු අමතකවීමකට පවා කැප කිරීමට සිදු වේ.
කොරවායිවරු ඉතාමත් ප්‍රීතියෙන් තම අලුත් නිවහනේ පළමු ගිනිගොඩ දල්වා සියල්ලන්ටම ආශිර්වාද කළහ.පුරුෂ පක්ෂය දුම් බොන උපකරණයක් අතින් අත යවයි.අත දරුවෝ පවා ගස උඩ නිවහනේ සිටිති.ඔවුහු තමාගේ සීමාව දනිති.වයස අවුරුදු තුනේ,හතරේ ළමයින් පවා උස ගැන දැඩි අවබෝධයකින් පසු වේ.සුරතල් සතුන් පවා කිසිම විට මීටර් 35 ක උසක් තරණය කරන්නටවත්,පොළොවට බහින්නටවත් පෙළඹෙන්නේ නැත.

ඕරලැන්ඩෝ මකුළු ආහාරය අතැතිව

 එහෙත් මම හිතින් හිතින් දුර ගණනය කරමින් මීටර් 35 ක් උස ගසක තැනූ නිවසින් බිමට බැසීමි.දැන් වෙනිසියුලාවට යා යුතුය.ඕර්ලැන්ඩෝ ඇතුළු ළමයින් දෙදෙනෙකුට වනාන්තරය මැද තනිව දිවි මකුළු දඩයමක යෙදෙන්නට ඉඩ හැරීම යුතු නොවේ.
ඕර්ලැන්ඩෝගෙ වයස අවුරුදු 05 කි.ඔහුගේ යහළුවෙකු සහ යෙහෙළියක මේ භයානක මකුළු දඩයමට සහභාගි වන්නේ බොහෝ කැමැත්තෙනි.තම ආහාර වේලට ප්‍රෝටීන් එකතු කර ගැනීමට මාංශ සොයා යන ඔවුන්ට අතරමඟ හමුවන ගෙම්බන් කදිම ආහාරයකි.එහෙත් මේ වනාන්තරයේ අධික විස සහිත ගෙම්බන් සුලබය.බත් කූරන්,‍රැහැයියන් ලෙහෙසි ඉලක්කයන්ය.එහෙත් ළමයින් තිදෙනා සොයන්නේ ඊටත් වඩා රස ආහාරයකි.
වියළි ගස් කොටන් අතර ,වියළි කොළ පෙරලමින්යමක් සොයන ඕර්ලැන්ඩෝට මකුළු ගුහාවක් හමු විය.දිග,සිහින් කෝ‍ටුවක් එතුළට දමමින්,එය රිදිමයකට කරකවමින් මකුළුවන් එළියට ඇද ගැනීමට පිරිමි ළමයා සමත් විය.
මේ ලොව දිවි ගෙවන විශාලම මකුළු වර්ගයයි.ඕර්ලැන්ඩෝ මකුළුවාගේ බඩ මැදට කෝ‍ටුවක් තබා  තද කරන්නට විය.මකුළුව දමනය විය.ඕර්ලැන්ඩෝ මකුළුවාගේ අඩු හතර එක වර අතින් අල්ලාගෙන ඝනකම කොළයක මකුළුවා ඔතා දෙකට නවා අමුතු ගැටයක් ගැසුවේය.
මකුළුවන් අල්ලා ගැනීමට බඩ මැද්දට කෝ‍ටුවක් තබන මොහොත වඩා අවදානම්ය.මන්දයත්,මෙවිට මකුළුවන් තම ලොම් ගසමින් ආරක්ෂාකාරී ක්‍රියාවක් සිදු කරන හෙයිනි.මකුළු ලොම් ශරීරයේ තැවරුණු විට රතු පළු දමා සම මතුපිට දැඩි වේදනාවක් ඇති කරයි.එහෙත්,ආහාර වේලක් වෙනුවෙන් මෙවැනි කැප කිරීමක් සාමාන්‍යය.ළමයින් තිදෙනා වනාන්තරය මැද ගිනි මැළයක් දල්වා මකුළුවෝ හොඳින් පුච්චා ගනිති.මකුළුවන් හොඳින් පිළිස්සුනේ නැත්නම් විස ශරීරගත විය හැකිය.නිතරම ඔවුන්ගේ සාක්කුවල ලුණු,ගම්මිරිස්,මිරිස් එකට දමා කොටාගත් කට ගැස්මක් තිබේ.මකුළුවන් ආහාරයට ගන්නත් ඔවුන් යොදා ගන්නේ ඒ කටගැස්මයි.
මේ වැසි වනාන්තරවල මිනිසුන් සුළු ආහාර වේලකට ජීවිතය පරදුවට තබන අයුරුයි.එහෙත් වඩාත් සිනහ උපදවන්නේ මේ විශ්ව ගම්මාන යුගය යැයි පුරසාරම් දොඩවන ලෝකයේම එක් පැත්තක් වීම නිසාවෙනි.
බී.බී.සී ‘හියුමන් ප්ලැනට්’ රූපවාහිනී කතා මාලාව ඇසුරින් ලියූවකි.
කාංචනා අමිලානි
ඡායාරූප – තිමොති ඇලන් timothyallen
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ ජුනි මස 11 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , , ,

One Comment on "අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු"

  1. අම්මෝ දිවි මකුලුවෝ..මට පේන්න බෑ මකුලුවෝ නම්

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com