හිතනලන්තය

කවි,කෙටි කතා සහ තවත් දෑ

මැරෙන්න බය මඩ ගොඩනැගිල්ල

| Filed under පුවත්පත් ලිපි

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ. 

ගොඩනැගිල්ලට මඩ සපයන්නෝ

උසැති ගොඩනැගිල්ලක් ඇඟිලිවලින් ඉස්සි, ඉස්සී ඈත බලනු පෙනේ. දුක්බර මුහුණින් තම බඩවත පිරිමදිමින් ගැලැවී වැටෙන මඩ කැබලි දෙසම බලා හිඳීයි. හදිසියේ මතක්ව අහස නරඹයි. චණ්ඩ වැලි කුණාටු ආරෝවට මෙන් උසැති ගොඩනැගිල්ල පසු කරමින් හමා යයි. දැන් වැස්ස අත ළඟ ය. ගොඩනැගිල්ල, මහල්ලෙකු මරණයට බියෙන් හැකිලෙන්නාක් මෙන් හැංගෙන්නට තැනක් සොයනු පෙනෙයි.
උතුරු අප්‍රිකාවේ මාලි නගරයේ මරණයට බය ගොඩනැගිල්ල පිළිසකර කිරීමේ වගකීම ඇත්තේ ඔවුස්මාන් හට ය. ඩිජේන් ගම්මානයේ අරුම පුදුම පල්ලිය වාර්ෂිකව පිළිසකර කළ යුත්තේ ගම්මානය අද්දරින් ගලන නයිජා ගංගාවේ මඩවලිනි. මේ ගොඩනැගිල්ල ලොව පැරැණිම සහ විශාලම මඩවලින් සුසැදි ගොඩනැගිල්ලයි. පරම්පරා ගණනාවක් මුළුල්ලේ වත් පිළිවෙතක් ආකාරයට පිළිසකර කරමින් පවත්වාගෙන ආ පල්ලියට වාර්ෂිකව මඩවලින් සංග්‍රහ කිරීමේ වගකීම තෝරාගත් වැඩිහිටියෙකුට පැවරේ. වසර ගණනාවක් මුළුල්ලේ ඔවුස්මාන් ඉටු කරන්නේ ඒ වගකීමයි.
පළමුව වියළි ගිය ගංඟාවේ අඩියේ තැන්පත් වී ඇති මඩ හොඳින් පදම් වී ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතුය. ස්වාභාවිකව වියළී ගිය මඩ අතරට වී පොතු ආදිය එකතු කර ගනිමින් එය හොඳින් පදම් කර ගැනීම ඉන්පසු අදියරයි. දින කිහිපයකින් පසුව ඔවුස්මාන් ගංඟාවේ මඩ පදම පරීක්ෂාවට ලක් කෙරෙයි. මඩ හොඳින් පදම් වී ඇති බවට සංඥාවක් නිකුත් වූ සැනින් මුළු ගම්මානයට ම උමතුවක් වැළදේ.
කුඩා ළමයින්, මහලු උදවිය නොයෙකුත් භාජන රැගෙන ගංඟාව වෙතට දිව යයි. කුඩා ළමයින් තම දෙඅතින්ම මඩ ගෙන යයි. හිස මත තැබුණු බාල්දි, කළගෙඩි, තාච්චි ආදියෙහි දුඹුරු පැහැති මඩ ගුලි ය.
තවත් තැනක හැල්මෙ දුවන තරුණයෝය. උසැති ඉණිමං රැගෙන පල්ලියේ මුදුනට හේත්තු කරමින් ලහි ලහියේ ඔවුන් ඒවා මතට නඟති. මඩ බාල්දි වහ වහා අතින් අත ගොඩනැගිල්ල මුදුනට ගමන් කරති. ගොඩනැගිල්ලේ මුහුණත තීන්ත තවරන්නාක් මෙන් තද දුඹුරු පැහැති මඩ තවරමින් මුළු ගම්මානයම කාර්යබහුල ය.
දූවිලි කුණාටුව හමා ආවේ මේ අතර ය. එක් මොහොතකින් මුළු ගම්මානයම දූවිල්ලෙන් වැසී ගියේය. මේ වැස්ස එන බවට කරන පළමු අනතුරු ඇඟවීමයි. පළමු වර්ෂාවට පෙර පල්ලියට මඩ සත්කාරය කළ යුතුය. එසේත් නැතහොත් වසර 700 ක් පැරැණි පල්ලියේ අවසානය දැක බලා ගැනීමට සිදුවනු නියත ය.
වර්ෂාවට පෙර මඩ තට්ටුවක් ආලේප කරගත් පසු ඔවුස්මාන් සැනසීම උදා වේ. ඔහු කර මත පැටවී ඇත්තේ සුළුපටු වගකීමක් නම් නොවේ. කාලය සමඟ සටන් වඳිමින් ගොඩනැගෙන මුස්ලිම් පල්ලියේ මඩ පින්තාරුව හෙළිකරන සංස්කෘතිය අපට අමතක කළ නොහැකි තරම් පැරැණි ය.
“..අපේ ආගම අපිට හරි වැදගත්, ඒ වගේම මේ පල්ලිය. මේක අපේ ජීවිතය තරම්ම අපිට වටිනවා..."
ඔවුස්මාන් හැඟීම්බරව පැවසූ ඒ කතාන්දරය පසුපස කෙතරම් නම් නොකියූ කතා තිබෙන්නට ඇතිද ?

කාන්තාරයේ රට ඉඳි වගාව

සහාරා කාන්තාරය දෙසට ඇවිද යාමට සිදුව තිබේ. ඒ වයස 70 ක මිනිසෙක් ළිඳක් හාරන ආරංචියේ ඇත්ත - නැත්ත දැන ගැනීම පිණිස ය. ෆෝඩේ ලණුවක එල්ලී පොළොව යට කණිමින් පැවතුණු ළිඳකට බැස්සේ තරුණයෙකු මෙනි. මීටර් 09 ක් පහළ ඇති ළිඳ තවත් මදක් ගැඹුරට හෑරිය යුතුය. ළිඳ ඉහළින් මිනිසුන් කිහිප දෙනෙකු ෆෝඩේ ළිඳ තුළට බැස්සූ කඹය අත තබාගෙනය.
මාස 06 ක් මුළුල්ලේ සහාරා කාන්තාරයේ එක් කොනක හෑරූ මේ ළිඳත් එවැනිම ළිං ගණනාවක් එකතු කරන උමගකට සම්බන්ධ කිරීමටයි මේ සූදානම. මින් වසර 700 කට ඉක්බිති කාලයක සහාරා කාන්තාරය වතුර සපිරි සුරපුරයක් ලෙස සැලකුණි. කාලයාගේ නපුරු තීරණ හේතුවෙන් මේ වන විට සහාරාවට වතුර අහිමි වී ඇත. එහෙත් බොහෝ කාලයකට පෙරාතුව හිදී ගිය ජල උල්පත් සොරුන් මෙන් පොළොව යටින් ඇදී යන බව මුතුන් මිත්තෝ දැන සිටියෝය. ඒ දැනුම උපයෝගී කර ගනිමින් ෆෝඩේ ඇතුළු වැඩිහිටියෝ ඇල්ජීරියාවේ බහාමාවල මේ ආකාරයෙන් ළිං කැණීමට පෙළඹුණි.
තෙත පිරුණු පස් තට්ටු අතර තවත් ළිඳකට උමඟක් කැණීම අතීශය භයානක ක්‍රියාදාමයකි.පස් තට්ටු කඩා වැටීමේ සම්භාවිතාව වැඩිවීම ඔවුන්ගේ ජීවිතයේ අනියත බව පසක් කරනු ලබයි. මේ වන තෙක් ෆෝඩේ ඇතුළු සෙසු පරම්පරාවන් කාන්තාර පොළොව සමඟ ඔට්ටු වෙමින් කණින ලද ළිං ප්‍රමාණය 800 කට අධිකය.
මොවුන්ගේ ආත්ම ශක්තිය කෙතරම් ද කිවහොත් වසර ගණනාවක් මුළුල්ලේ ම මේ ළිං කැණීමේ ක්‍රියාවලිය පරම්පරා කිහිපයකින් වැඩි දියුණු වෙමින් වර්තමානය තෙක් පැවතී තිබේ. සුළුතරයක් මේ ජලයෙන් රට ඉඳී පවා වගා කරයි. කාන්තාරය මට්ටු කළ මහල්ලන් දත් නොමැති මුව විදහා හිනැහෙමින් පවසන්නේ ජීවිතය එතරම් අමාරු නැති බවයි. කාන්තාරයේ දිවි ගෙවන මිනිසුන්ට ජීවිතය එතරම් අමාරු නොවේ නම් සෙසු මිනිසුන් ගැන කවර නම් කතාද ?
බී. බී. සී. වන් නාලිකාවේ විකාශය වූ “හියුමන් ප්ලැනට්” රූපවාහිනී කතා මාලාව ඇසුරිනි

කාංචනා අමිලානි

ඡායාරූප – තිමොති ඇලන් timothyallen

උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.

[වර්‍ෂ 2011 ක්වූ ජුනි මස 16 වැනිදා බ්‍රහස්පතින්දා]

දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=07&tday=2011/06/23

ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Leave a Reply

Enter your WordPress.com blog URL


http://.wordpress.com

Proceed

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


Hit Counter provided by professional seo company
twitter-widget.com