මීකොං ගඟේ සෑම්ගේ සර්කස්

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක නව වැන්නයි මේ.

සෑම්ගේ සර්කස්

ගඟ හඬමින් සිටියේ කුඩා ළමයෙකු මෙනි.මහා ශබ්දයෙනි.විටින් විට මොන,මොනවාදෝ මුමුණන ගඟ ,සුවිශාල ගල් කුළු මත හිස ගසා ගනියි.ගල් කුළු මතට නැඟ දියට පනියි.මේ කුමන අරුමයක්ද?ගඟක් වැළපෙන්නේ මන්ද?කිසිවෙකුදු වදනකුදු නොදොඩයි.දියට නැවුණු කුඩා ගස් මුහුණු හංගා ගත් ගමන්ය.සුදු පැහැති බඩවතක් ඇති මාළු මුව පියවාගෙන සිටින්නේ වචනයකුදු නොකියනා ලෙස පොරොන්දු වී ඇති අයුරිනි.
ලාඕසයට ආඩම්බරය ගෙනදෙන මීකොං ගංඟාව කුපිත වී ඇත්තේ මෝසම් සමය එළැඹ ඇති බැවිනි.එහෙත් සෑම් නියෑන්ග් ඇතුළු පවුලේ සැමට නිරාහාරව දිවි ගෙවිය නොහැකිය.සෑම් ගේ ‍රැකියාව මසුන් මැරීමයි.මීකොං ගඟ සැඩ වූ විට දෛනික මසුන් මැරීමේ ක්‍රියාවලිය ත්‍රාසජනක ක්‍රීඩාවක් බවට පත් වෙයි.
සෑම් සැරසී සිටියේ කොට කලිසමකින් සහ ලාබ සෙරෙප්පු යුවළකිනි.වම් උරයේ මාළු දැලකි.හේ කල්පනාකාරීව මීකොං ගඟේ එක් ඉවුරකින් විශාල ගල්කුලක් මතට නැංගේය.සැඩ පහර සිත කළඹවන සුළුය.සෑම් ඉලක්කය ගෙන මාළු දැල විසි කළේය.මේ නම් භයානක දැල් එළීමකි.නියමිත තැනට දැල විසි නොකල හොත් පහළින් එක සීරුවට හඬාගෙන ගලා යන ජල පහර විසින් ඔහුව ගල් කුළෙන් පහළට ඇදගනු නියතය.
සංක්‍රමණික මාළු වර්ග රාශියක් මේ චණ්ඩ රළ පහර අතර සිටින මුත් එකෙකු හෝ අල්ලා ගැනීම අති දුෂ්කරය.පැය ගණනාවකින් පසුව සෑම් තම මාළු දැල අකුලා ගත්තේ මැළවුණු මුහුණිනි.එකදු මාළුවෙකු හෝ හසු වී නොමැත.ඔහු ගඟ දිගේ යාමට තීරණය කළේ තවත් තුරුම්පුවක් ගසා බැලීමටය.අධික බෑවුමකින් යුක්ත පර්වතයක් තරණය කිරීම ඊළඟ අදියරයි.පර්වතය පාමුල චන්ඩ දිය රළය.දිය සීරාවට ලක් වුණු පර්වත බිත්තිය ලිස්සන සුළුය.සෑම් ජිම්නාස්ටික් ශිල්පියෙකු මෙන් එහාටත්,මෙහාටත් වැනෙමින් පර්වතය මත මකුළු ගමනින් ගමන් කරන්නට විය.
දැන් ඇත්තේ ජීවිතය පරදුවට තබමින් ගමන් කළ යුතු ඉලක්කයකි.ඔහු හිස ගස්සමින් තම තීරණයට එළැඹුණි.ගඟේ එක් කෙලවරක සිට තවත් කෙලවරක ඇති කුඩා දූපතට ළඟා වනු පිණිස ශක්තිමත් ගස් දෙකක ගැට ගැසූ කම්බියකි.මෙය සෑම් විසින් මීකොං ගඟ හිදුණු කාලයේ කළ වික්‍රමයකි.ඔහු අවසන් තුරුම්පුව ගසා බැලීමට තීරණය කළේය.කකුල තබමින් ඇවිද යාමට එක කම්බියකුත්,නොවැටෙනු පිණිස ආධාරකයක් ලෙස තවත් කම්බියකුත් ඉහළින් ගැට ගසා ඇත.මේ කම්බි ද්විත්වයම යා කිරීමට තිරස් අතට මැදින් ගැට ගැසූ තවත් ශක්තිමත් කම්බි කිහිපයකි.
සෑම් සර්කස්කරුවෙකු මෙන් පහළින් ඇති කම්බියේ ඇවිද යාම ආරම්භ කළේය.රබර් සෙරෙප්පු යුවළෙන් ඔහුට ඇවසි සමබරතාවය ලබා දෙයි.මීකොං ගඟ තම නපුරු බව පෙන්වන්නට මෙන් දිය පහර ඉහළට විදියි.සෑම් ගේ කකුල ලිස්සා ගියොත් ඔහුට අත් වන්නේ අකාරුණික මරණයකි.එහෙත් ඔහු සර්කස්කරුවෙකු මෙන් නම්‍යශීලීය.උපායශීලීය.කම්බිය තරණය කළ පසු අසල ගල් කුළක් යට සඟවා තැබූ මාළු දැලක් ගෙන සැඩ පහරට දැමීය.ගත වූයේ ස්වල්ප මොහොතකි.මාළු රෑනක්ම දැළ බදාගති.ඔහු මාළු දෙදෙනෙකු පමණක් ‍තෝරා ගති.කම්බිය තරණයට එතරම් බර නොසෑහේ.නැවතත් වයරය මතින් ඔහු නිවසට යන ගමන ඇරඹීය.උරය මත මාළු දැලත්,අල්ලා ගත් දෙදෙනාත් සුවසේය.හත් දෙනෙකු ගෙන් යුක්ත පවුලක බඩගිනි නිවීම ඔහුගේ අරමුණයි.පාන් සමඟ මාළු හොද්දකින් කුසගිනි නිවා ගත් සෑම් නියාන්ග්ලාගේ එක දවසක අරගලය නිමා වුණි.එහෙත් ජීවිත කාලයට එවන් දින තවත් කොපමණ  නම් තිබිය හැකිද?

ජීවිතය පරදුවට තබා පාසල් යන්නෝ

දුක් වීමට කාලයක් ඉතිරිව නැත.ටිබෙටය හිමෙන් වැසී යාමට පෙර එහි යා යුතුය.හිමාලය පාමුල පිහිටා ඇති ගමක,කුඩා නිවසක වීදුරු ජනේලයකින් අවට බලන මැදිවියේ මිනිසෙකි.ඒ අසලම කුඩා ගැහැනු ළමයෙකු නොඉවසිල්ලෙනි.ඈ පා ඇඟිලි මතින් ඉස්සෙමින් වීදුරුවෙන් එබෙන්නට උත්සාහ කරයි.නොබෝ වේලාවකින් භයංකාර පාසල් ගමනක් ඇරඹීමට නියමිතය.ඩොල්කා සහ ස්ටැන්සින්තම නේවාසික පාසලට නැවත යන දිනය උදා වී ඇත.එහෙත් අයිස් තට්‍ටු මුළු ගම්මානයම ගිල ගෙන අහවරය.නගරයට යන එකම මඟ වැටී ඇත්තේ ප්‍රකට සැන්ස්කාර් ගඟ මතිනි.මුළුමනින්ම අයිස්වලින් වැසී ගොස් ඇති ගංඟාව මරණයට අත වනයි.මේ ලෝකයේ අතිශය භයානකම පාසල් ගමනයි.
පියා සහ ළමයින් දෙදෙනා ගමන් ඇරඹූයේ මරණයේ පණිවුඩය ගැන නොදැන නොවේ.පියා තම අත ඇති දිගු සැරයටියෙන් අයිස් තට්‍ටුවට අනිමින් බර පිළිබද නිගමනයකට පැමිණි පසු මිදුණු ගංඟාව මතින් ඇවිද යාම කළ හැකිය.එහෙත් නියමිත කාලයට පෙර අයිස් දියවීම අරඹා ඇති හෙයින් ගංඟාවේ මධ්‍ය වතුර බවට හැරවී ඇත.ගංඟාව තරණයට යොදා ගත හැක්කේ එක් කෙළවරක අයිස් මිදුණු සිහින් කොටසක් පමණි.
උෂ්ණත්වය සෙල්සියස් අංශක  රින 30කි.අයිස් තට්‍ටුව පුපුරා ගංඟාවට ඇද වැ‍ටුණොත් මිය යාමට විනාඩි 08 ක් ලැබේ.එහෙත් දින 06 ක ගමනක් විනාඩි 08 කින් නිම කිරීමට තිදෙනාම සූදානම් නැත.නිවසේ සිට පාසලට ඇති කිලෝමීටර්100 දුර ජීවිතය පරදුවට තබමින් ඩොල්කාත්,ස්ටැන්සිනුත් නිම කළේ පියාට ආඩම්බරයක් අත් කර දෙමිනි.'ලේ 'නම් ප්‍රදේශයේ පිහිටි නේවාසික පාසලට ළඟා වුණු ලමයින් දෙදෙනා පියාට සමු දුන්නේ ආරක්ෂිතව නිවසට යාමට ආශිර්වාද කරමිනි.
මොවුන්ගේ ජීවිත කෙතරම් සංකීර්ණද කියා පුන පුනා කීම විහිලුවකි.එහෙත් ලෝකය කෙතරම් විෂම දැයි ඔබට තව එක් වරක් නිවාඩු පාඩුවේම සිතා බැලිය හැකිය.

 

 

කාංචනා අමිලානි
ඡායාරූප – තිමොති ඇලන් timothyallen
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ ජුනි මස 16 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය –
ටොරන්ට් -6254831
බී.බී.සී හියුමන් ප්ලැනට් වෙබ් පි‍ටුව- humanplanetexplorer

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, , , ,

One Comment on "මීකොං ගඟේ සෑම්ගේ සර්කස්"

  1. ලස්සනයි…

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com