දිය කිඳුරියන්ගේ කදුළු සොයන ජැක් ස්පැරෝ

 ජැක් ස්පැරෝ රජ ගෙදර ජනේලයෙන් පැන්නේ අනපේක්ෂිතව ය. දෙවැනි ජෝර්ජ් රජු තවමත් මුව විවර කරගත් ගමන් ය. ජනේලයෙන් බිමට පනිනු වඩාත් භයංකාර හෙයින් හෙතෙම මාර්ගයේ සැරසිලි පිණිස එල්ලා තැබූ විශාල කොඩියක එල්ලුනි. සෙබළෙකු විසින් කොඩි කණුවේ ආධාරකය වූ ඝනකම කඹය කපා දමනු ලැබී ය.
ජැක් ස්පැරෝ කාර්යබහුල ලන්ඩන් වීදියක අශ්ව කරත්ත මතින් සර්කස්කරුවෙකු මෙන් පිනුම් පනිමින් පලා යයි. එක් පැත්තකින් ඔහුව ලන්ඩනයේ දෙවැනි ජෝර්ජ් රජු සොයයි. තවත් පැත්තකින් ඇන්ජලිකා සහ ඇගේ පියා වූ බ්ලැක්බියර්ඩ් සොයයි. ලන්ඩනයේ තවත් අනුකාරක ජැක් ස්පැරෝ කෙනෙකු නැවකින් රහසිගත ගමනක් යාමට මිනිසුන් සොයයි. ස්පාඤ්ඤ රජු ද රහසිගත වස්තුවක් සොයයි.
මේ සියලු දෙනාටම ජැක් ස්පැරෝ එක ම විට අවශ්‍යය. තාරුණ්‍යයේ උල්පත සොයා යන ගමනට ජැක් ස්පැරෝ සහභාගි වීම අත්‍යාවශ්‍ය ඔහු සතුව ගමන් මාර්ගය සඳහන් සිතියමක් ඇති බැවිනි. සුපුරුදු ලෙස ජැක් සිතියම නැති කර ගනී. අන්සතු වූ සිතියම නොසලකා ජැක්ව ඇන්ජලිකා පැහැර ගන්නේ ස්ත්‍රී මායමක් සමඟිනි. ඔහු අවදිවන විට බ්ලැක්බියර්ඩ් ගේ නැව තුළ එල්ලෙන සයනයකය. සුපුරුදු චාටු කතා කියමින් හෙතෙම නැවේ සේවකයෝ පොළඹවමින් බැලැක්බියර්ඩ්ගේ නැව පැහැර ගනියි. සටනේ උච්චතම අවස්ථාවේ දී මිය ගියා යැයි සැලකුණු බ්ලැක්ඩියර්ඩ් ප්‍රාදුර්භූත වී ඔහු සතු ආශ්චර්යවත් අසිපතෙන් සියල්ලෝ ලණුවලින් නැවේ උඩ කොටසේ එල්ලා තැබෙයි.

සදාකාලික තාරුණ්‍යයේ උල්පත සෙවීමට බලහත්කාරයෙන් ම ජැක් ස්පැරෝ යොදා ගනී.
මැයි මස 11 වැනි දා සිනමාශාලා වෙත මුදා හැරිය “පයිරේට්ස් ඔෆ් කැරිබියන් – ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්” පෙර සිනමාපට ත්‍රිත්වය මෙන්ම අතිමහත් ජනපි‍්‍රයත්වයක් දිනා ගැනීමට සමත් විය. ජොනී ඩෙප්, පෙනලෝෆ් කෲස්, ජෙෆරි රෂ්, ඉයන් මැක්ෂේන්, කෙවින් මැක් නෙලී, සෑම් ක්ලැෆින් රඟන සිනමාපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ රොඩ් මාර්ෂල් විසිනි. ටෙඩ් එලියට් සහ ටෙරී රොසියො ලියූ තිර පිටපත සමඟ යළිත් කරළියට සපැමිණි මුහුදු මංකොල්ලකරුවෝ දිළිසෙන කඩු - කිනිසිම වන්නට වූහ.
පුරාතන මිත්‍යා කථාවකට අනුව සදාකාලික තාරුණ්‍ය ළඟා කර ගත හැකි අරුම දිය උල්පතක් ඇත. 16 වැනි සියවසේ ජනපි‍්‍රය මිත්‍යා කථාව හඹා ගිය ගවේශකයෙකු වූ ජුවාන් පොන්ස් ඩි ලියොන් වර්තමාන ෆ්ලොරීඩාව තෙක් සදාකාලික තාරුණ්‍යයේ දිය උල්පත සොයමින් වෙහෙසී ඇත. මේ කතා අනුව යමින් සිනමාපටයේ ජුවාන් පොන්ස් ට අයත් කුසලානයකින් දිය කිඳුරියකගේ කඳුළු සහිතව දිය උල්පතේ ජලය පානය කළ යුතු ය

දැන් ඉතින් ජුවාන්ට අයන් මැජික් කුසලානය සොයා ජැක් ස්පැරෝ යා යුතු ය. එහෙත් ස්පාඤ්ඤයන් කුසලානය රැගෙන ගොසිනි. මුහුදු මංකොල්ලකරුවෙකුට සොරකම තරම් තවත් අග්‍ර  දෙයක් තිබේ ද? ජැක් ස්පාඤ්ඤයන්ගෙන් කුසලානය නැවත සොරකම් කරයි.
බ්ලැක්බියඩ් ඇතුළු මුහුදු මංකොල්ලකරුවෝ නැව් නඟින්නේ දිය කිඳුරියන් ගේ කඳුළු සෙවීමටටය. මුහුද රළු වන්නේ ගමන් ආරම්භ කළ සැනිනි. කුඩා බෝට්ටුවල නැගී බ්ලැක්බියඩ් ගේ අතවැසියන් මුහුදු කැලඹීමක් සමඟ දකින අතිශය රූමත් තරුණියන්ට වශී වෙයි. බෝට්ටුවේ බඳ වෙත පීනා එන තරුණියක මිහිරි හඬින් ගී ගයයි. සියල්ලෝ ම මුලාවේ වැටී ඇත. දිය කිඳුරියෝ මරණීය ගී ගයන විටත් අතවැසියෝ ආලයෙන් ම මුසපත් වෙති. දිය කිඳුරියන් මිනීමරු මෝරුන් වන්නේ ඉක්බිතිව ය.
සිනමාපටයේ අතිශය ආකර්ෂණීය දර්ශනය මෙයයි. මේ දර්ශනය රූ ගත කිරීම සඳහා වෘත්තීය මට්ටමේ පිහිනුම් ශිල්පිනියන් 22 ක් පමණ යොදා ගෙන ඇත. ඉන් බහුතරය 2008 බීජිං ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරඟ සඳහා සහභාගි වූ අයයි. දිය කිඳුරියන් ගේ වරල් දැක්වීමට ත්‍රිමාණ සජීවිකරණ මෘදුකාංග යොදා ගෙන ඇති අතර එය කොතරම් සාර්ථක දැයි උක්ත දර්ශනය නැරඹීමෙන් වටහා ගත හැක වනු ඇත.
එහෙත්, වඩාත් ආකර්ෂණීය දර්ශන, අවස්ථා ඉතාමත් කෙටියෙන් අවසන් කිරීමට තීරණය කිරීමෙන් මීට පෙර තිරගත වූ පයිරේට්ස් ඔෆ් කැරිබියන් සිනමාපටවල අන්තර්ගත හාස්‍ය සහ ත්‍රාසය හීන කරගෙන ඇත. සෞම්‍ය ගලායාමක් වෙනුවට එක් තැනකින් තවත් තැනකට පැනීම සිනමාපටයේ කතාවට කර ඇති හානිය ජැක් ස්පැරෝ ගේ රඟපෑමෙන් මෙවරත් වසා ගැනීමට සමත් වීම සතුටුදායක ය.

විශේෂයෙන් ම සිනමාපටය නිකුත් වී පළමුසතිය ඇතුළත උපයා ගත් ආදායම ඩොලර් මිලියන 90 ක් වීම නොසලකා හැරිය නොහැකි ය. එසේ ම එය නිකුත් වූ දා සිට අද තෙක් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 346 ක් වීම කෙසේවත් අමතක කළ නොහැකි ය. බොක්ස් ඔෆීස් වාර්තා අතර මෙතෙක් ඉහළින්ම සිටි බ්රැයිඩ්ස්මේඩ්ස්, තෝර්, හාස්ට් ෆයිව් සහ රියෝ පසුබැස ඇත්තේ ලජ්ජාශීලිව ය. එතරම් උන්මාදනීය ආකර්ෂණයක් ‘පයිරේට්ස් ඔෆ් කැරිබියන් 4’ අත්කරගෙන ඇත්තේ හුදෙක් කතාන්දරයේ අපූර්වත්වය නිසා නම් නොවේ. ප්රෆකට නළු ජොනී ඩෙප් සහ පෙනලොප් කෲස් ඒ සඳහා ලබා දුන් දායකත්වය අති විශාල ය.
දිය කිඳුරියක හා පෙමින් බැඳෙන තරුණයා ද අමතක කළ නොහේ ජැක් ගේ රහසිගත ප්‍රේමය වූ ඇන්ජලිකා වස සහිත කඩු පහරින් මිය යාමට නියමිතව සිටින විට ඇගේ දිවි ගලවා ගන්නේ තරුණයා හා පෙමින් බැදුණු දිය කිඳුරිය ගේ කඳුළු බිංදුවයි. වංචාකාර ජැක් ස්පැරෝ සදාකාලික තාරුණ්‍යයට පයින් ගසා ඇන්ජලිකාගේ ජීවිතය ගලවා ගන්නේ සැබෑ ප්‍රේමයවන්තයෙකු මෙනි. ඇන්ජලිකාව කුඩා දූපතක තනි කර එන්නේ නියම මුහුදු මංකොල්ලකාර ජැක් ස්පැරෝ මෙනි.
ත්‍රිමාණ මාදිලියෙන් නිෂ්පාදනය කිරීමට තිබූ මේ සිනමාපටය අවසන ද්විමාන ගණයට බසින්නේ මුදල් අපහසුතා හේතුවෙනි. ටීම් වර් ගේ නවකතාවක් වූ “ඔන් ස්ට්රේයන්ජර් ටයිම්ස්” ඇසුරින් ලියූ තිර නාටකය පළමු සිනමාපට ත්‍රිත්වය සමඟ සමපාත වන අයුරින් වෙනස් කර ඇත.

“...කෝ දියකිඳුරියො ටික...”
වංචාකාර සිනාව මුවඟ අලවා ගනිමින් ජැක් ස්පැරෝ මගෙන් අසයි. මේවාට පිළිතුරු දීමට මම බැඳී නැත. මුහුදු මංකොල්ලකාරයෙකුට දිය කිඳුරියෙකුවත් තනිව සොයා ගත නොහැකි නම් කුමන කාන්තාවක් ඔහුට කැමැති වේ ද?
මම කරබා ගතිමි. තරමක් වේලා කෑ ගසමින් හිඳ හිස බැඳි තලප්පාව ද ගළවා පොළොවේ ගසා ඔහු යන්න ගියේ ය. ඔහු නැවත එන බව නම් විස්වාස ය. ඇයි ඉතිං ඇන්ජලිකා තවම අර පාළු දූපතේ නොවැ.
කාංචනා අමිලානි
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ මැයි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා ]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=10&tday=2011/05/26

 

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, ,

No Comments on "දිය කිඳුරියන්ගේ කදුළු සොයන ජැක් ස්පැරෝ"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com