වාහනවල රොබෝ ආවේශය

සියල්ලට ම මුල සයිබර්ත්‍රෝනියානුවන් ය. සඳේ අඳුරු පැත්තට කඩාවැටුණු යානය ය. එහෙව් යානයක් සොයා පෘථිවියේ සිට ඇපලෝ 11 යානයේ නැඟී සඳ වෙත ගිය ඇත්තන් ය. නිදා සිටි සෙන්ටිනල්ප්‍රයිම් ඇහැරවාගෙන පෘථිවියට ගෙන ආවේ ඔප්ටිමස්ප්‍රයිම් රොබෝවරයා ය. මහා රොබෝ යුද්ධයකින් තොරව මේ අරුම ගනුදෙනුව පියවා ගත නොහැකි සැටියකි. දැන් ඔබ මහා යුද්ධයක් මැදය.
සෑම් වික්විකී ද, ඔහුගේ රූබර පෙම්වතිය ස්පෙන්සර් ද, රොබෝ යුද්ධය මැද ය. ස්පෙන්සර් ලෙස රඟන රෝසි හන්ටින්ග්ටන් මේගන් ෆොක්ස් ට නොදෙවැනිව සිනමා පටය පුරා සරාගීව සැරිසරයි. අති නවීන යුද්ධායුද මගින් ගොඩනැගිලි සුණු විසුණුව යන විටත් සුදෝ සුදු ඇඳුමකින් සැරසී ලාලිත්‍යවත්ව සෑම් ගේ අතේ එල්ලෙමින් දිව යයි.
ට්‍රාන්ස්ෆෝමර්ස්, ට්‍රාන්ස්ෆෝමර්ස් : රිවෙන්ජ් ඔෆ් ද ෆෝලන් සිනමාපට ද්විත්වයේ දිගුවක් වන ට්‍රාන්ස්ෆෝමර්ස් 3 හෙවත් ඩාර්ක් ඔෆ් ද මූන් සිනමාශාලා වෙත නිකුත් වූයේ ජූනි මස 29 දාය. නිකුත් වී පළමු සතිය ඇතුළත අමෙරිකානු ඩොලර් 97,400,000 ක් උපයා ගත් මේ සිනමාපටය අති විශාල මුදල් සම්භාරයක් වැයකොට තනන ලද්දකි. ප්‍රකට අධ්‍යක්ෂවරයෙකු වන මයිකල් බේ විසින් ට්‍රාන්ස්ෆෝමර්ස් 3 තිර නාටකය ලිවීමට යොදාගෙන ඇත්තේ ඒහ්රන් කෲගර්වය. නිෂ්පාදනය ස්ටීවන් ස්පිල්බර්ග් ගෙනි.

ට්‍රාන්ස්ෆෝමර්ස් මුල් සිනමාපටයේ අන්තර්ගත සරල ගලා යාමට මෙවර අධ්‍යක්ෂවරයා අකමැති සැටියකි. ඩාර්ක් ඔෆ් ද මූන් ඇතුළේ කතාන්දර කිහිපයකි. සිනමා පටය අවසානයේ කුමක් නම් වී දැයි නිගමනයකට එළැඹිය නොහැකි ප්‍රේක්ෂකයෝ බහුතරයකි. එක් පැත්තකින් පළමු සඳ ගමනේ කතාන්දරයකි. තවත් පැත්තකින් පෘථිවිය ආක්‍රමණය කිරීමට එන රොබෝවරු පිරිසකි. එමෙන්ම ට්‍රාන්ස්ෆෝමර්ස් කථා මාලාවේ ප්‍රකට වීර චරිතය සෑම් වික්විකී සරුංගලයක් මෙන් සිනමාපටය පුරා පා කර හරින්නට ගත් තීරණයේ වාසිය කිසිවෙකුට හිමි නොවීම කනගාටුදායකය.
සයිබර්ත්‍රෝනියන්වරුන්ගේ යානයක් සඳ මත කඩාවැටීමත්, එය නිරීක්ෂුණය කිරීමට පෘථිවිවාසීන් එහි යාමත් 1969 සඳ ගමනේ මූලික පරමාර්ථය බව කියමින් ආරම්භ කළ ආකර්ෂණීය කතාන්දරය තම රිද්මය බිඳ ගන්නේ කතාන්දරයට අනවශ්‍ය සැරසිලි එල්ලීමට යාමෙනි. සඳේ   අඳුරු පැත්තෙහි කඩාවැටුණු පිටසක්වල යානයේ රහස් සෙවීමට යන ඔප්ටිමස්ප්‍රයිම් ඇතුළු පිරිසට ඔටෝබෝට්වරුන්ගේ නායක සෙන්ටිනල්ප්‍රයිම් හමුවීම ප්‍රධානය. ඔප්ටිමස්ප්‍රයිම් විසින් සෙන්ටිනල්ප්‍රයිම් වෙත ජීවය ලබා දීමෙන් අනතුරුව සැබෑ යුද්ධයට අඩිතාලම වැටෙයි.
අමෙරිකානු රහසිගත හමුදා මූලස්ථානයක රඳවා තබාගන්නා සෙන්ටිනල්ප්‍රයිම් වැඩිදියුණු කළ ඇඳුම් කට්ටලයක් සමඟ වඩාත් ප්‍රකෝපකාරීව හැසිරෙයි. පුරාතන කාලයක ඔහුගේ නිර්මාණයක් වූ අහස් පාලම ගොඩනැගීමට අවශ්‍ය කුලුණු නිරුපද්රිාතව ඇති බව දැනගෙන තාවකාලික තාරුකා ගේට්ටුවක් මගින් සයිබර්ත්‍රෝනියාවෙන් ආ රොබෝවරු සඳේ සිට පොළොව මතට කැඳවයි.
මෙගාත්‍රෝන් ඇතුළු සෙසු කුමන්ත්‍රණකාරී රොබෝවරු අමෙරිකානු සහ රුසියානු සඳ ගමනට සම්බන්ධිත පුද්ගලයන් රහසිගතව මරා දමන බව සෑම් වික්විකී තම කාර්යාල සගයෙකු වෙතින් දැන ගනී. රොබෝවරුන්ගේ අනවශ්‍ය යුද්ධයට අපේ කතා නායකයාව අධ්‍යක්ෂවරයා පටලවන්නේ එලෙසිනි.
ඔප්ටිමස්ප්‍රයිම්ට ද්‍රෝහී වූ සෙන්ටිනල්ප්‍රයිම් සයිබර්ත්‍රෝනියාව පෘථිවිය මත ස්ථාපනය කිරීමට පෘථිවිවාසීන් සමඟ යුද්ධයක පැටලෙයි. ඩාර්ක් ඔෆ් ද මූන් කතාන්දරයේ මුලත්, මැදත්, අගත් මේ යුද්ධයයි. පැය 03 ක් පුරාවට දිව යන සිනමා පටයේ නොනවත්වා ම ඔබට දැකිය හැක්කේ මේ යුද්ධයයි. ඉතාමත් ඉහළ තත්ත්වයේ ත්‍රිමාණ සජීවීකරණ යොදා ගැනීම මගින් ප්‍රේක්ෂක කුතුහලය පවත්වා ගැනීමට සමත් වන මුත් ප්‍රේක්ෂකයා මහත් වෙහෙසට පත්ව ඇති වග දැනෙන්නේ අවසානයටය.
ට්‍රාන්ස්ෆෝමර්ස් කීර්ති නාමය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නළු තෙමේ තම චරිතය රඟපෑමට බලා සිටිනා මුත් ඔහුට ඒ සඳහා සැලකිය යුතු ඉඩක් නොලැබේ. ප්‍රධාන නිළිය ඉඩ ඇති සෑම විටම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා මුත් ඒ සෑම විටකම සෙන්ටිනල්ප්‍රයිම් නැමැති නපුරා හෝ ඔප්ටිමස්ප්‍රයිම් තෙම ඒ අවධානය උදුරා ගනියි.
සෑම් ගේ සුරතලුන් වන බම්බල්පී සහ රැට්චෙට් සුළු හාස්‍යයක්ගෙන එන මුත් එමඟින් ප්‍රේක්ෂකයා තුටු කිරීමට සමත් නොවෙයි. වඩාත් නොසැලකිලිමත්ව ගොඩනැංවූ කතාන්දරය වඩාත් පැටලිලි සහගත වීමට මයිකල් බේ වගකිව යුතුව ඇත. මේ ඔහුගේ නිදහසට කාරණාවයි.
“..... පැරමවුන්ට් සමාගම  ට්‍රාන්ස්ෆෝමර්ස් 3 නිකුත් කරන්න පුළුවන් දවස ගැන මගෙන් ඇහුවෙ දුරකථනයෙන්. ඔවුන් ඇහුවෙ ජූලි 01 දා පුළුවන් ද කියලා. මම ඔව් කිව්වා. හැබැයි ඒ 2011 ජූලි 01 දාට නෙවෙයි. 2012 01 දාට. මට පිස්සු හැදුණේ නැති ටික විතරයි. මගේ මොළයට නිවාඩුවක් ඕනා. ගහගන්න මරාගන්න රොබෝවරු ගැනම විතරක් මට හිතන්න බෑ. කොහොම නමුත් ඉතාමත් ඉක්මනින් මට  ට්‍රාන්ස්ෆෝමර්ස් 3 චිත්‍රපටිය හදන්න සිද්ධ වුණා....”
2010 මැයි මස චිකාගෝවේ ෆ්ලොරීඩාවේ සහ මොස්කව් නුවර රූගත කිරීම් ආරම්භ කළ මයිකල් බේ කාම්බෝජීයාවේත්, චීනයේත්, වොෂින්ටනයේත් දර්ශන කිහිපයක් රූගත කිරීමට අමතක කර නැත.
ජූලි 14 වැනිදා වන විට ට්‍රාන්ස්ෆෝමර්ස් 3 සිනමා පටය උපයාගෙන තිබෙන ආදායම වඩාත් ඉහළ අගයක් ගෙන ඇති බව පෙනේ. එය අමෙරිකානු ඩොලර් මිලියන 705.4 කි. එහෙත් ට්‍රාන්ස්ෆෝමර්ස් 3 ඩාර්ක් ඔෆ් ද මූන් ඉතිහාසයට එකතු වන්නේ මේ උපයා ගත් මුදල නිසා නම් නොවේ. පෙර සිනමාපට ද්විත්වයේ කීර්ති නාමය නිසාවෙන් ම පමණි. මන්දයත් තෙවැනි සිනමා පටය හුදෙකලාව කීර්තියක් අත්පත් කර ගැනීමට සමත් නොවීම නිසාවෙනි.
සයිබර්ත්‍රෝනියාවේ නපුරන් සදහටම විනාශ වී ගියාක් මෙන් අතීත කීර්ති නාමයක් වෙනුවෙන් අනාගතයට තනන ට්‍රාන්ස්ෆෝමර්ස් හතර වැන්නක් තැනීම අමතක කර දැමීම වඩාත් නුවණක්කාරය. ඔප්ටිමස්ප්‍රයිම්ලාට වුව සාධාරණ කේන්තියක් ඇතිවිය හැකිය. තමාව නොසලකා හැරීම ගැන සෑම් සහ ප්‍රියාදරියට ද එවන් කේන්තියක් තිබිය හැකිය.

“මේ සියලු සටන් මැද
පෙම් යුවළ අත් බැඳගෙනම
එහෙ මෙහෙ දුවන
අන්තිමව දිව ඇවිත්
සිප වැළඳ සැනසෙන
මේවා හරි ජාති සිනමාපට...”

කාංචනා අමිලානි
උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ ජූලි මස 21 වැනිදා බ්‍රහස්පතින්දා ]
දිනමිණ පුවත්පත් සබැදිය –http://www.dinamina.lk/sithijaya/?id=02&tday=2011/07/21

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, ,

3 Comments on "වාහනවල රොබෝ ආවේශය"

  1. මට තාම මේක බලන්න බැරි උනානේ ෂික්

  2. බලන්න තරම්ම වටින්නෑ.ඒත් නොබලා ඉදලා වැඩකුත් නෑ.

  3. DarKneT | ඉෂාර
    04/08/2011 at 3:33 pm Permalink

    කලින් දෙකේම හිටපු කෙල්ලව වෙනස් කිරීම ගැන නම් මාගේ අප්‍රසාදය,

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com