කතා කරන චිම්පන්සීන්ගේ රුදුරු පළිගැනීම

සීසර් හිතාගෙන උන්නේ වැරදියට ය.විල් සමඟ කෙළිදෙලෙන් ගත කාලය පුරා ම ඔහුට හිතන්නට වෙනත් දෙයක් නො තිබුණි.චාර්ල්ස්ට තරමක අමතක ගතියක් තිබුණත් සීසර්ට ඔහුගේ ඇසුර හොඳින් ම ගැලපුණි.බෝතලයකින් කිරි බීමේ සිට ආහාර ගැනීම තෙක් සියලු ම ක්‍රියාදාමය ඔහු තිතට අනුගමන කරමින් සියල්ල,නිසියාකාරව පවත්වාගෙන යන්නට විය.

විල් සමඟ තල්ලුකරනා කරත්තයක සැන් ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානය නැරඹීමට ගිය දින සීසර් ට යමක් හොඳට ම වැරදි බව වැටහුණි.චිම්පන්සීන් රදවා තිබූ කූඩුවක් ඉදිරිපසින් යන මොහොතේ දු‍ටු දර්ශන මෙන් ම ඇසුණු ශබ්ද සීසර් ගේ හිස අවුල් කර දැමීය.

චාර්ල්ස් ගේ අමතක වීමේ ගතිය අතරතුර ඔහුට තිබූ වාහන පැදවීමේ පිස්සුව එක් දිනෙක ඔහුව අසල්වාසියෙකු ගේ කාරයක් පැදවීම තෙක් දුර දිග ගොස් තිබුණි.චාර්ල්ස් ගේ අත්වැ‍රැද්දක් හේතුවෙන් වාහන දෙකක ම තමා පදවන්නට උත්සාහ කළ කාරය වැද්දීමෙන් කාරයේ අයිතිකරුව කෝප කිරීමට ඔහුට හැකි විය.චාර්ල්ස් ට තර්ජනය කරමින් බැණ වදින අසල්වැසියාව සීසර් දකින්නේ අහම්බයකිනි.සීසර් කෝපාන්විතව අසල්වැසියාට පහර දෙන අතර ඔහුව සපා කෑමට උත්සාහ කරයි.අවසන පොලීසියේ මැදිහත් වීමෙන් සීසර්ව සතුන් රදවා තැබෙන ස්ථානයක කූඩුගත කෙරෙයි.

සැබවින් ම සැබෑ කතාන්දරය පටන් ගන්නේ මෙතැනිනි.

මිනිස් ඇසුරේ සිටි සීසර් මිනිසුන් ගේ අකාරුණික බව අත් විදින්නේ මෙතැනදී ය.වානරයන් වන තම වර්ගයා මෝඩයන් ලෙස සලකන බව පළමු වරට ඔහු දැන ගන්නේ මෙවිටය.විල් ඇතුළු මොළකාරයන් දුන් දැනුම භාවිත කිරීමට සීසර් ඉටා ගන්නේ තමා සෙසු වානරයන්ගෙන් වෙන් කොට අනෙක් අය සැලකීමට පටන් ගත් තැන්හි පටන් ය.

සීසර් යනු රයිස් ඔෆ් ද් ප්ලැනට් ඔෆ් ද ඒප්ස් සිනමාපටයේ කතා නායකයා ය.රූපට් වයට් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් වූයේ අගෝස්තු මස 05 වැනිදා ය.අමෙරිකානු ඩොලර් 90,000,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනීම ඇ‍රැඹි සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් වී මුල් සතිය ඇතුළත උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 54.8 කි.බොක්ස් ඔෆීස් වාර්තා අනුව පළමු තැන ඉන්නා මේ සිනමාපටය මෙතෙක් අංක එකේ සිටි ස්මර්ෆ් පරදවා ඇත්තේ ඉතාමත් පහසුවෙනි.රික් ජෆා සහ අමන්ඩා සිල්වර් තිර නාටකය ලියූ රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් හි නිෂ්පාදනය පීටර් චර්නින් ගෙනි.සංගීතය පැට්‍රික් ඩොයිල් ගෙනි.රංගනයෙන් ජේමිස් ෆ්‍රැන්කෝ,ෆ්‍රෙයිඩා පින්ටෝ,ජෝන් ලිත්ගෝ,බ්‍රයන් කොක්ස්,ටොම් ෆෙල්ටන්, සහ ඇන්ඩි සෙරික්ස් දායක වී ඇත.

විශේෂයෙන් ම ත්‍රිමාණ පරිගණක ප්‍රයෝග නිර්මාණයෙන් වෙටා ඩිජිටල් දක්වා ඇති අනුග්‍රහය ලඝු කොට සැලකිය හැකි නොවේ.සීසර් ගේ චරිතය මුළුමනින් ම නිමවා ඇත්තේ ත්‍රිමාණ සජීවීකරණය මඟිනි.වෙටා ඩිජිටල් යනු සජීවීකරණ ප්‍රයෝග විෂයෙහි ඇකඩමි සම්මාන 05 ක් දිනා ගෙන ඇති අති දක්ෂ සජීවීකරණ නිපැයුම් සමාගමකි. සාර්ථක සජීවීකරණ බොහොමයක් නිමවූ වෙටා ඩිජිටල් සීසර්ව නිමවා ඇති තත්‍ය ආකාරය මේ කතාදරයට ප්‍රේක්ෂකයා බැදෙන්නට මූලික ම හේතුව වී ඇත.ඒ තරමට ම සීසර් ගේ මුහුණේ හැඟීම් දැක්වීම ස්වාභාවික ය.සුලු මොහොතකින් මේ තිමාණ සජීවීකරණ නිමැවුමක් බව අමතක වී මිනිස් නලුවන් සමඟ ම එක පෙළට ඔහුව තබා සැසදීමට සැරසේ.අනාගතයේ දිනෙක හොඳ ම ත්‍රිමාණ සජීවීකරණ නළුවාට සහ නිළියට ඇකඩමි සම්මාන පිරිනමන දිනයක් ද උදා විය හැකි ය.එදිනට තවත් බොහෝ දේ සිනමාව විෂයෙහි වෙනස් විය හැකි බවට විවාදයක් නම් නැති බව හඟිමි.

ප්ලැනට් ඔෆ් ද ඒප්ස් පළමු සිනමා පටය නිපැයුවේ 1968 දී ය.එහි ම නව නිපැයුමක් 2001 දී සිදු විය.අති විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් ප්ලැනට් ඔෆ් ද ඒප්ස් නව මානයකින් බැලූවක් වීම එහි ජනප්‍රියත්වයට හේතු විය.එහි දිගුව 2011 නිකුත් වූ රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් ය.

ජාන ඉංජිනේරු විද්‍යාවේ මහිමයෙන් ජාන පරීක්ෂණ සිදු කරන ආයතනයක ඇල්සයිමර් රෝගයට ඔසු සෙවීමට වෙහෙසෙන විල් ඇතුළු පිරිස මේ පරීක්ෂණ සඳහා යොදා ගන්නේ චිම්පන්සීන්ව ය.සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි මේ ආයතනයේ හිමිකරු විල්ව මෙහෙයවන්නේ පරීක්ෂණ සාර්ථක කර ගැනීමට පමණි.විල් කෘත්‍රිමව නිපැයූ රෙට්‍රෝවයිරසය චිම්පන්සීන් වෙත එන්නත් කරනු ලබයි.එක් චිම්පන්සි මාතාවකට මේ එන්නත ලබා දෙන අතර ඇය විශේෂ බුද්ධිමත්භාවයක් පෙන්නුම් කරයි.මන්දයත් මේ එන්නත මඟින් චිම්පන්සීට මින්සුන් සේ ක්‍රියාකිරීමට හැකි බුද්ධිය ලබා දෙන බැවිනි.පෙර කී චිම්පන්සි මාතාව හොර රහසේ පැටවෙකු බිහි කරන අතර තම පැටවාට අනතුරක් වේ යැයි නිතර බියෙන් පසු වන ඇය දිනෙක තම කූඩුව බිඳ ගෙන එළියට පැමිණ එක් අයෙකුව සපා කයි.මේ සමඟ විල් ගේ පර්යේශන වහා ම නවතන්නත් චිම්පන්සීන් මරා දමන්නත් අණ කෙරේ.චිම්පන්සි පැටවා විල් ගේ භාරයට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සියල්ල වෙනස් වන්නේ ඉනික්බිතිව ය.

සීසර් විල් පිළිබද විස්වාසය අත් හැර ගැනීමට පටන් ගන්නේ කාලය ගත වීමත් සමඟ ය.තමා ව රදවා තැබෙන ස්ථානයේ සිටින සියලුම චිම්පන්සීන් එකතු කර ගත් යුතු බව සීසර්ට වැටහේ.මොළය පාවිච්චි කරමින් සාක්කු පිහියක් සොරා ගන්නා සීසර් විල් ගේ නිවසට හොරෙන් ඇතුළු වී ඔහු නිවසට ගෙනා එන්නත් කිහිපයක් සොරා ගෙනවිත් තමා රදවා තබා ගන්නා ස්ථානයේ සෙස්සන්ට බුද්ධිය දෙනු පිණිස එය පරිසරයට මුදා හරියි.සතුන් වත්තේ චිම්පන්සීන්වත් කූඩුවලින් මුදා ගන්නා සීසර්, විල් පරීක්ෂණ කළ ආයතනයට වැදී යකා නටයි.එහි රදවා සිටි චිම්පන්සීන් මුදා හරියි.

දැන් සටන ඇ‍රැඹීමට සීසර් ලැහැස්තිය.

ගෝල්ඩන් ගේට් පාලම උඩින් සහ යටින් දිවෙන්නේ චිම්පන්සී රෑනකි.

මේ දර්ශනය වඩාත් මනරම් ය.සිනමාපටයේ කූටප්‍රාප්තිය සටහන් කරන මේ සටන මොහොතකට අපව මායා ලෝකයකට ‍රැගෙන යයි.සිනමා තිරය මත සිටින යෝධ චිම්පනිසීන් කෙරෙහි තිගැස්මක් ඇති වීම පටන් ගනී.මරණයෙන් නොනැවතෙන මේ සටන වෙඩි උණ්ඩයකට නැවැත්විය නොහැකි බව මිනිසුන් වටහා ගන්නා විට තරමක් ප්‍රමාද ය.

විල් , සීසර් සොයා යන්නේ තමා කළ වැ‍රැද්ද වටහා ගෙන ය.එවිට සටන ජය ගෙන වනාන්තරය වැදී සිටින සීසර් ඇතුළු වානරයෝ ගිමන් නිවති.

එහෙත් සුපුරුදු මිනිස් උද්දච්චකම පාලනය කර ගත් නුහුණු ඔහු සීසර් ට ගෙදර යාමට කතා කරයි.මිනිසුන් බලවත් බැවින් තමාට සීසර්ට ආරක්ෂාව දිය හැකි බව කියන විල් හට කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් ලැබේ.

'....සීසර් ගෙදර ඇවිල්ලයි ඉන්නේ.....'

සීසර් කියන්නේ පැහැදිලි ඉංග්‍රීසියෙනි.ඒ ද විල් ගේ කණට කොදුරා ය.

ඉතින් කතා කරන චිම්පන්සීන් ගේ පළිගැනීම මෙතෙකින් නිම වේ යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකුට සිතිය හැකි ද?

 

කාංචනා අමිලානි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

,

No Comments on "කතා කරන චිම්පන්සීන්ගේ රුදුරු පළිගැනීම"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com