ගජ බින්න

මේක වුණේ කොහොමද කියලා කවුරුත් දන්නෑ.

ටිකිරිලන්තෙන් හමාගෙන ආපු අද්භූත සුළඟකට අපි 24 දෙනෙක් අහු වුණා.එතකොට අපි හිටියේ බස් හෝල්ට් එකක.හැමෝටම ඕන වුණේ ඉක්මනට බස් එකට නැඟලා වාඩි වෙන්න.ඉතිං ඔක්කොම බලං හිටියෙ බස් එකේ සීටි දිහාව.කාටත් හොරෙන් ටිකිරිලන්තෙන් ආපු හුළඟ අපිව ගිල ගත්තා.මට නම් තේරුනේ ළාවට සීතලක් මගේ කන් දෙක දිගේ පපුවට බහිනවා විතරයි.මගේ ළඟම හිටපු තරුණයාට නම් ජංගම දුරකතනෙට උත්තර දෙන්න බැරිකමක් ඇති වුණා.කොයි තරම් උත්සාහ කළත් ඔහුට දුරකතනයෙන් කතා කරන්න වචන පිට වුණේ නෑ.
එහා පැත්තෙ හිටපු මැදිවියේ ගෑනු කෙනාට තමන් හැම තිස්සෙම කරන විදිහට තොල් ආලේපන නියමාකාරයෙන් ආලේප කරගන්න බැරි වුණා.කට වටේම ගෑවුණු තොල් ආලේපන ඈට ගෙනාවෙ විසුළු පෙනුමක්.

තද සීතලක් කන් දිගේ පපුවට ගලං ගිය මට විනාඩි කීපයකට පස්සේ කිඹුහුම් යන්න ගත්තා.මගේ නහයෙන් පුංචි තුන්ඩු කැබලි වැටෙන්න ගත්තෙ එතකොටයි.හැම තුන්ඩු කෑල්ලකම මොකක් හෝ පණිවුඩයක් ලියලා තිබ්බා.මට තිබ්බෙ ඒ පණිවුඩ අදාල අයට ගිහිල්ලා කියන්න.ටික වෙලාවකින් මගේ කටිනුත් තුන්ඩු කෑලි වැටෙන්න වුණා.මගේ අසල්වැසියා කිව්වේ වහාම පණිවුඩ කියන එක පටන් නොගත්තොත් මට හුස්ම ගන්න නාසය පාවිච්චි කරන්න බැරි වෙයි කියලයි.
අපි නැඟපු බසයේ හිටපු හැමෝටම මොකක් හරි ඇබැද්දියකට මුහුණ දෙන්න වෙලා කියලා එක බැල්මකින් මට පෙනුණා.

අන්තිම සීට් එකේ වාඩිවෙලා හිටපු තරුණියකගෙ වම් අතින් ටො‍ෆි ගහක් පැන නැඟලා.විනාඩි ගණනක් ඇතුළත නොයෙක් රසවල ටොෆී ඉන් මතුවෙන්න ගත්තම පාරෙ හිටපු කොල්ලො,කුරුට්ටො ඇවිල්ලා ඇගේ වමත බසයෙන් එළියට නවාගෙන ටොෆී නෙළාගන්න පටන් ගත්තා.අපේ බසයේ රියදුරු සීට් එකේම එරමිණියා ගොතාගෙන අමුතු බාවනාවක් කරනවා.කොන්දොස්තර මහත්තයා ෆුට්බෝඩ් එකේ වාඩිවෙලා බසයේ වාඩි වෙලා ඉන්න මගීන්ට නිහතමානීකම ගැන දේශනයක් කරනවා.බස් රථය පිටිපස්සෙන් නොඉවසිල්ලෙන් හෝන් ගහන රියදුරාට ළඟ කඩෙන් මාර්ස් චොකලට්ටුකවක් අරගෙන ගිහින් දීලා අපේ බසයේ කොන්දොස්තර මහත්තයා සමාව ඉල්ලනවා තමන් බසය ධාවනය නොකර නිකරුනේ නවත්තගෙන ඉන්නවට.

ඒ අතර බුරුසු ‍රැවුලක් තියෙන , සරමක් ඇදගත්තු පිරිමි කෙනෙක් ඇවිත් මැදිවියේ නෝනා කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එකක් අස් කරලා දෙනවා.තුන්ඩු කෑලි,බස් ටිකට්,ස්වීප් ටිකට්,කෑම බිල්,ලිපින ලියපු කොල කෑලි,බාගෙට කාපු ටොෆී,චොකලට් හෑන්ඩ් බෑගයේ නියමිත තැන්වල තැන්පත් කරනවා.වයසක නෝනා දත් නැති කටින් හිනා වෙනවා.
මම ඉක්මනින් බසයෙන් බැහැලා පණිවුඩ ටික අයිතිකාරයන්ට බෙදන්න පටන් ගත්තා.හැමෝම මට මුව නොසෑහෙන්න ස්තූති කරන්න පටන් ගත්තා.ක්‍රම ක්‍රමයෙන් නහයෙන් තුන්ඩු එන එක නතර වුණා.අර පපුවෙ තිබ්බ සීතල ගතියත් අඩු වෙලා යනවා තේරුණා.

මහා රස්නයක් ඇඟට දැනිලා මම ඇදෙන් බිමට පැන්නා.එතකොට වෙලාව උදේ 7.15 යි.
මගේ ඇද වටේම මොන මොනවාදෝ කුරු‍ටු ගාපු තුණ්ඩු කෑලි වගයක් වැටිලා තිබ්බා.ඒවාවල ලියලා තිබ්බේ මහා අමුතු දේවල්.
එකක ලියලා තිබ්බා 'තුරු දෙවියාගේ බාල්දිය සෝමලතාට දෙන්න' කියලා.
තවත් තුණ්ඩුවක තිබ්බෙ 'හතලිස් පහ එකසිය එකෙන් බෙදා සාවාලයන් සමඟ කන්නැයි මහතුන්ට කියන්න'.

තරමක් රතු පාට කොළයක ලියා තිබුණේ මෙහෙම දෙයක්,'වලාකුළුවලට මුත්‍රා කළ දෙකේ වාට්ටුවේ උස සතිස්චන්ද්‍රට ගස්ලබු බීම ගෙනැත් දුන් මනෝහාරි සමඟ කතා නොකරන්නැයි කියන්න'.
මම ඇදේ වාඩිගෙන ම කල්පනා කරන්නට වීමි.කොපමණ සිතුවත් කිසිම දෙයක් මතක් වූයේ නම් නැත.

සාලය දෙසින් පුංචි අම්මා හා සෝමසිරි බාප්පා කතා කරනවා නම් මට ඇසුණි.ඔවුන්ගේ කටහඬ මෙතරම් පුරුදු කොහොම දැයි මට සිතන්නට අපහසුය.

'....අපොයි පුදුම වධයක්නෙ සෝමසිරි අයියෙ මේ ළමයා දුන්නේ.ඉවරයක් නැතිව තුණ්ඩු කෑලි ලිය ලිය නහයෙයි,කටෙයි ඔබා ගත්තා.ඒවා ආයෙ දිග ඇරගෙන කාටදෝ මොනාද කියන්න යන්න තියෙනවා කියලා මොර දුන්නා...'
'...දොස්තර කිව්වේ රස්සාවෙ කරදර නිසා මෙහෙම වෙන්න ඇති කියලා.ඇයි අප්පේ ලිව්වෙම ගජ බින්නනේ.

එක එක මහත්තරු,නෝනලට නොයෙක් කතා හදලා ලිව්වා.බෑ කිව්වොත් රස්සාව හබක් කියලයි අපිට කිව්වේ.අන්තිමට එයාටම උහුල ගන්න බැරි වුණා.....'

'...ඔහොම තමයි අනුලා නංගියෙ ජීවිතේ.ඔය දැන් යස අපූරුවට එයාම ලියපු තුණ්ඩු බල බලා හිනාවෙනවා පේන්නෙ…..’

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

,

3 Comments on "ගජ බින්න"

  1. සෝරෝ
    05/09/2011 at 3:03 am Permalink

    හික් හික් හික්…
    වෙනස් විදියකට හිතලා ලියලා තියෙන්නේ… මරු… :D

  2. Beetle
    05/09/2011 at 6:56 am Permalink

    නියමයි… :)

  3. හිම කුමාරි
    12/09/2011 at 2:57 am Permalink

    හෑ… බොලේ… තුණ්ඩුවක් ගිය දුරක්.. :D
    අපූරුයි…!!! :)

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com