බෙර

රංකිරි ආතා වැඩියෙන් ම ආසා බෙර සද්දෙට ය.කොහේ හෝ බෙරයක් වැයෙතොත් ආතා ගේ සියොළඟ නැටවෙන්නේ ඉබේට ම ය.බේලින් ආච්චීට මේ මේ නැ‍ටුම වැඩිය අල්ලන්නේ නැත.

'...මොකෝ ඉලන්දාරියෙක් යැ
ඇහෙන ඇහෙන බෙර පදේට වැනෙන්න
ඔය සරීර කූඩුවෙ දැං ඇටක‍ටුත් හයිය නැතුව ඇති මයෙ හිතේ...'

බේලින් ආච්චී ලොඹු කට විදහා දක්වමින් හීන් හඬින් මුමුණයි.රංකිරි ආතාට බේලින් ආච්චී කියන දේ නෑසෙයි.ඒත් බෙර හඬ නම් හොඳින් ඇසෙයි.
රංකිරි ආතා නැට්ටුවෙකි.නම ගිය කට්ටඩියෙකි.යක්කු බැද වැඩ ගත්තෙකි.හොල්මන් අවතාර සියසින් ම දු‍ටුවෙකි.මේ කතාවලට බේලින් ආච්චී ද දන්නා කළ සිට ම සාක්කි ලබා දෙයි.මහසෝනා හමුවීම,තවත් නොයෙකුත් අවතාර මුලිච්චි වීම  මෙන් ම මළගිය ප්‍රාණකාරයන් සමඟ කතා කිරීමට ද ආතා රුසියෙකි.
ඒත් මේ කතාවලය අමතරව තවත් අමුතු කතාවක් ද රට්ටු කියති.

'....රංකිරි ආතාලගෙ ගෙදර නූලකින් බැදපු යකෙක් ඉන්නවලු..'
'යකා කොළ පාටයි.අග්ගලා කන්න තමයි වැඩිපුර ආස'
'හැන්දෑවෙ දොළට පැනලා යකා නාන්නෙ අමු නිර්වස්තරෙන්.ඇහැට ඇහැක් මුලිච්චි වුණොත් ඉවරෙට ඉවරයි'

රංකිරි ආතා මේ කතාවලට ලොඹු කටින් හිනැහෙයි.

'පිස්සුයැ ඇත්තට.අපි දෙන්නට ඉන්නත් ගෙදර ඉඩ මදි.
තව කොහෙද යකෙක් ඉන්නෙ.
මොකෝ හිටගෙන ඉන්නයැ...'

බේලින් ආච්චී ද මේ කොළ පාට යකා ගේ කතාවට ඇති පදම් හිනැහෙයි.සියොළග ම සොලවමින් හිනැහෙමින් දෙනෙතින් කඳුළු වගුරවයි.
බැරි ම තැන රංකිරි ආතා ගේ නිරුවත් පිටට ගසමින් හුස්ම අල්ලයි.

'මේ යෝදිට හරි ම පිස්සුවක් නොවැ.
මොකට මයෙ පිටට තඩිබානවද?'

රංකිරි ආතා මද සිනාවෙන් උත්තර දෙන්නේ බේලින් ආච්චි ගේ හිනාව දුර දිග ගිය හැකි බැවිනි.
දෙන්න දෙමහල්ලන්ට ඇරෙන්න තව යකෙක් මේ නිවසේ කොහේ ඉන්නදැයි ආතා අහන්නේ ඇත්තට ම ය.මේ නිවස ඒ තරමට ම කුඩා ය.නැට්ටුනවෙකු වූ රංකිරි පසුව කට්ටඩියෙකු විය.නැට්ටුවා තරුණ කළ හැබෑ ම කම්මැලියෙකි.
ස්ත්‍රීයක කැදවාගෙන ඒමට තරමට යාන්තමට ගෙපැලක් තිබුණා ම ඇතැයි සිතූ හෙයින් රංකිරි සෑදූ ගෙය සෙල්ලම් ගෙයකට වඩා වෙනස් වූයේ අත්තිවාරමෙනි.
නැට්ටුවා ගේ කරණම්වලට වහ වැටී උන් බේලින් තරුණියට මේ කම්මැලිකම පෙනුණේ ම නැති තරම් ය.

'අනේ ඉතින් අපි දෙන්නට මේ මැදැයි'

කියූ තරුණිය ඉතා කුඩා නිවසට ආවේ ඒ ගෙදර ඇතුළට ගන්න බැරි තරමේ බඩු මුට්ටු  කන්දරාවක් ‍රැගෙන ය.ගෙතුළෙන් තැබූ බඩු මුට්ටුවලට අමතරව අනෙක් බඩු තැබීමට රංකිරි තරුණයාට පොල් අතු මඩුවක් ද සෑදීමට සිදු විය.නැට්ටුමවා කට්ටඩියාට මාරු වූවා මිස ගෙය විසාල වූයේ නැත.
දැන් රංකිරි ආතාට වයස 80 කි.බේලින් ආච්චීට යාන්තමින් 76 සපිරුණා පමණි.
බෙර සද්දය නැ‍ඟෙමින් බැසෙමින් වැයෙන විට රංකිරි ආතාට ඉහිලුම් නොදුණි.තම හිච්චි කොණ්ඩය ඉස මුදුනට කරමින් බදිමින් දිග අඩි තබමින් රංකිරි ආතා මිදුලේ සක්මන් කළේ හිස මදක් නටවමිනි.
උණ ලී බම්බු තුනක් දමා හරස් කර තිබූ වැට පනිමින් පාරට ගොස් හොඳින් ඇහුම්කන් දුන් රංකිරි ආතා යම්කිසි තීරණයකට එළැඹුණි.හේ යළිත් උණ ලී බම්බු පනිමි ගෙතුළේ සිටි අඹුව ඇමතීය.

'බේලින්...මං යනවා ආං අර බෙර ඇහෙන දිහාවට.ඔහෙත් එනවැයි ? '

එවර බේලින් ආච්චි ගේ කන නැසී ගියේ ය.උන්දෑ හිස අත ගාමින් උකුණන් සොයන්නට පටන් ගති.
රංකිරි ආතාට බෙර සද්දය ළඟට යන තෙක් ඉවසුම් නැතුවාය.ඕ,බැරි මරගාතේ වුව ද දුවමින්,හතිලමින්,යළිත් දුවමින් බෙර හඬ පසු පස ම යන්නට විය.

'යකෝ මේක ඇවිදන බෙරයක්නෙ.

කොයි අතටත් සද්දෙ ඇහෙනවා.මේං මේ අතෙන්ය ඇහෙන්නෙ කියන්න බැරි හැටි'
බෙර හඬ වරෙක රංකිරි ආතා වටාත්,තවත් වරෙක ගම වටාත් ඇවිදින්නාක් බඳු ය.කොපමණ දුර ගියත් බෙර හඬට ළං විය නොහැකි ය.රංකිරි ආතාට තවත් නම් වේගයක් උපදවා ගත නො හැකි ය.
රංකිරි ආතා හති අදිමින් විසාල රූස්ස ගහක් ළඟ ම නතර විය.එක් වර ම රූස්ස ගහ ඇතුළින් වඩාත් හොඳින් බෙර හඬ ඇසෙන්නට විය.හතිය අමතක කර රංකිරි ආතා රූස්ස ගස වටා ඇවිදීනට පටන් ගති.බෙර හඬ දැන් තව තවත් තීව්‍රව වාදනය වෙයි.
රංකිරි ආතාට නැටවෙන්නට ආසන්න ය.මේ ඇසෙන බෙර හඬ ඒ තරමට ම ආකර්ශණීය ය.මෙතුවක් කාලයකට නෑසූ ලස්සන ම බෙර හඬ සොයා ආතා රූස්ස ගස මුදුනට නඟින්නට පටන් ගත්තේ පුදුමාකාර තරුණ ජවයකිනි.
ගස මුදුනට නඟින්නට,නඟින්නට ආතාට හිතෙන්නේ තමා තරුණ වීගෙන එන බව ය.
ගස මුදුනේ තිබුණේ ලිඳක් තරම් විසාල බෙනයකි.බෙනයට එබී බැලූ ආතාට පෙනුණේ වැල් ඉනිමගකි.සරම කැහැපොට ගසාගත් ඔහු වැල් ඉනිමග දිගේ පහළට බහින්නට විය.
රූස්ස ගහේ පහළට යන්න,යන්න ඇත්තේ කදිම නගරයක් බව ආතාට පෙනුණි.මුලු නගරය ම ත්‍රිකෝණාකාර ය.නිවාස ද,මිනිසුන් ද සියල්ල ම ත්‍රිකෝණාකාර ය.

'මොක්කු ද යකෝ මේ තුන් හුලස් මිනිස්සු?'

රංකිරි ආතා පුදුමයට පත්ව තනිව දොඩවන්නට විය.ඒ මුලු නගරයේ ම තිබුණේ බෙර ය.ගැට බෙර ය,යක් බෙර ය,තම්මැට්ටම් ය.........මෙකී ,නොකී සියලු බෙර වර්ගවලින් සපිරි නගරය පුරා අමුතු පාලුවක් ද දිස් විය.
රූස්ස ගස මුදුනින් ඇසුණු උන්මාදනීය බෙර ශබ්දය ද දැන් ඇසෙන්නට නැත.තුන් හුලස් මිනිසුන් ආතාව ගණන් නොගෙන ම තමතමන් ගේ වැඩ රාජකාරිවල යෙදයි.තුන් හුලස් ගෙවල් දකින විටත් ආතාට බකස් ගා හිනා යයි.තුන් හුලස් මිනිසුන් දකින විට ඊටත් වඩා හයියෙන් හිනා යයි.

'හනේ...මේ මිනිස්සු කොහොමැයි හරියකට එළි බහින්නෙවත්....
තුන් හුලස් ම තුන් හුලස්....
මං විතරයි හරි හත‍රැස්
මුං ඔක්කො ම තුන් හුලස්....'

ආතා නොනවත්වා ම හිනැහෙයි.අතරමඟ තබා ඇති සියලු බෙරවලට ඒ අතරතුර තට්ටු.වක් දමා බලයි.සියලු බෙර,
'බුම්.....' ගාමින් පැන දුවයි.

ඒ පාර බෙරත් දුවනවා.බුම්...බුම් ගගා දුවනවා.
මෙන්න ගැට බෙරයක්.
දුවාපිය උඹත් බුම්...බුම් ගගා...
බුම්....බුම්...
බිම්....බුම්...
බුම්.....බුම්....

එවර ආතා කටින් ශබ්ද දමයි.බෙරයක් දැකීමටත් පෙර බුම්...... බුම් ...නඟයි.සමහර බෙර ආතාව ඈත දකිත් ම බුම් නොගා ම පැන දුවයි.තවත් මෝඩ බෙර,ආතා තට්ටු. කළ පසු බුම් ගාමින් පැන දුවන්න මඟ බලා හිදියි.ආතාට තේරුම් ගත නොහැකි මොකක්දෝ අමුතු භාෂාවකින් මොනවා දෝ කියවයි.

බොලේ..ඒ පාර මෙන්න බෙර කතා කරනවා.
මතක නැතුවැයි මං රංකිරි...අර වෙලේගෙදර රංකිරි..
ඇයි අප්පා කාලයක් කට්ටඩිකම් කළේ...
මංනෙ නැට්ටුාවා...මතක නැතුවැයි...?

පු‍ටු...පු‍ටු ගාමින් බෙරත්,තවත් මොනවාදෝ සත්ත්ව කොට්ඨාසයකුත් ඒකාකාරී ශබ්දයකින් ආතාට උත්තර දෙයි.වැ‍රැද්ද කියන්නේ මේ කිසිවක් ආතාට නොතේරී ම ය.අනිත් සත්ත්ව කොට්ඨාසය හුරු පුරුදු මුත් හරියට නිච්චි නැත.අනික තුන් හුලස් ය.
බෙර මදිවාට තවත් එක් එක් විදියක නළා ය.ආතා දන්නේ උණ ලීයෙන් කපා සිදුරු සෑදූ නළා වර්ගය පමණි.ඒත් ඒ වීදියේ අප්රකමාණ නළා වර්ග තිබුණි.නයි වගේ දිග නළා,කිඹුල්ලු වගේ බඩ තඩි නළා,හරක් අඟක් මෙන් නැවුණු නළා මෙන් ම බිම සිටවා උඩ සිට පිඹින නළා වශයෙන් එතැන නළා වර්ග බොහොමයකි.
ආතා එතැනට ගිය සැනින් නළා ඇවිදීනට පටන් ගත්තේ ය.ආතාව මඟ හරිමින් වීදියේ දිගට ම ඇවිදින්න පටන් ගත් නළා ආතා දෙසට ඇගිලි දිගු කරමින් විස්මය පළ කළේ ය.
නළා තිබුණු වීදිය හැබෑ ම අලංකාර ය.ඒ තරම් ලස්සන,පිළිවෙල පාරක් ආතා උපන්තේකට දැක තිබුණේ නැත.පාරේ තැන,තැන තුන්හුලස් ලාම්පු ය.ලාම්පු ඇතුළත තුන්හුලස් ඉටිපන්දම් ය.

'සංසාරේ....මෙච්චර ඉටිපන්දම්...
කවුරු පත්තු කළාද හැබෑට?

එක් තැනක තුන්හුලස් මිනිසුන් කන්දරාවක් බිමට පාත් වෙමින් මොකකට දෝ පිඹිනු පෙනෙයි.පහන් කණු වැනි මොනවා දෝ ගොඩාක් අවට තිබුණත් ඒ මොනවාදැයි ආතාට නිච්චියක් නැත.අර මිනිසුන් කන්දරාව යළි යළිත් බිමට පහත් වෙමින් පිඹිනු පෙනෙයි.
මෙහෙම දෙකට නැවුණොත් තුන්හුලස් මිනිසුන් කන්දරාව ම දෙකට කැඩී යන්නට පුලුවනැයි ආතාට හදිසියේම කල්පනා විය.

'අනේ එතකොම මුන්දැලාට එළි බහින්නවත් බැරි වෙයි.
තුන් හුලස් මදියට දෙකටත් කැඩිලා...'

ආතා යළිත් හිනාවෙන්නට පටන් ගති.තුන්හුලස් මිනිසුන් දෙකට නැවෙන විට ම ,දෙකට කැඩී යන අයුරු සිහිපත් කරමින් රංකිරි ආතා නැවත සිනාසෙන්නට විය.

'මේ මළසමයං බලන්න අපේ බේලිනුත් උන්න නම් පංකාදුයි.
තුන් හුලස්සු දෙකට කැඩිලා..පට...පට...ගායි
අපේ බේලිනුත් පට...පට ...ගායි
බේලිනුත් තුන්හුලස් වෙයි.
දෙකට නැවිලා පිඹලා පිඹලා බේලියවත් දෙකට කැඩිලා යයි.
අනේ උන්දැට එළි බහින්නවත් බැරි වෙයි...'

හදිසියේ ම ආතා ගේ විප්‍රකාර සිනාසීම වෙනුවට පටන් ගත්තේ හැඬීමකි.

'අනේ මගේ බේලියා දෙකට කඩලා ගියෝ...
බේලිය මළෝ....
මයෙ ගෑනි මළෝ
දෙකට කැඩිලා මළෝ....'
රංකිරි ආතා මහ හඬින් විළාප තබයි.
එතැනට දැන් මුලු ගම ම ‍රැස් වී ඇත.රංකිරි ආතලා ගේ නිවසින් අඩි සීයක පමණ දුරක පිහිටි ‍රැස්ස ගස ළඟ මුලු ගම ම කට ඇරගෙන බලා හිඳියි.
රංකිරි ආතා රෑස්ස ගහට බඩ ගාන්නට ගොස් දෙරි ගසා ගහ පාමුල බාවා තිබුණි.
බේලින් ආච්චී දෙකට කැඩී මිය ගිය බව කියමින් ආතා තවමත් මොර දෙයි.බේලින් ආච්චී රංකිරි ආතා ගේ හිස අත ගාමින් එතැන ම බිම වාඩි වී විස්සෝප වෙයි.

'මොකෝ බං ආතට වෙලා තියෙන්නේ?
ඇලඩින් මාමා ඇසුවේ ළඟ ම උන් ලේන්සුවාගෙනි.
'කවුදෝ නොසන්ඩාල කොල්ලො වඟයක් ආතට ගංජා සුරුට්ටු වක් ඔතල දීලා'

-කාංචනා අමිලානි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "බෙර"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com