කොමික් පොතෙන් සිනමාවට


අපිට කරදර දෙන පත්තරකාරයගේ නම මොකක්ද?
ටින් ටින්
එතකොට අර යක්‍ෂ බල්ලා?
ආ.... ඒ ස්නෝවි
එහෙනම් අර එක වගේ තොප්පි දාගෙන ඉන්න බස්තම්කාරයො දෙන්නගෙ නම් මොනවද?
අයියෝ... ඒ තොම්සන් සහ තොම්සන් නෙ.
ඔහේට මොකටද ඔය විස්තර හැබෑට?
උං අපේ නැවක් හොරකම් කළා. වටිනා නැවක්. අපි දැං උං ඔක්කෝම මරලා දාන්නයි හදන්නේ.
ආහ්... තව එකක්. අර නැව්කාරයගෙ නම මොකක්ද?
එයා කැප්ටන් හැඩොක් නෙ.
හ්ම්... අපි එහෙනම් ඌවත් මරලා දානවා.

මෙතෙක් ද්විමාන මාදිලියෙන් රූපවාහිනියේ දුව ඇවිදිමින් සිටි ටින් ටින් තරුණයාවත්, අලංකාර ස්නෝවිවත්, ත්‍රිමාණ මාදිලියට පෙරලීමට ස්ටීවන් ස්පිල්බර්ග්ට සිතී තිබුණේ අද ඊයේක පටන් නොවේ. ප්‍රංශ භාෂාවෙන් ප්ර‍කාශිත ටින් ටින් කොමික් පොත් මිලදී ගත් දා පටන් ස්පිල්බර් වෙත ටින් ටින් උන්මාදයක් පැවතුනි. ඔහු පළමුව රූප කියවීමට පටන් ගති. නොදත් ප්රංිශ භාෂාව අමතක කර ඔහු ටින් ටින් ගැන තවත් ගැඹුරින් සිතන්නට පටන් ගනී.
1983 දී ස්පිල්බර්ග් “ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් එෆ් ඩුම්” සිනමා පටය රූපගත කරමින් ලන්ඩනයේ සිටින අතරතුර ටින් ටින් නිර්මාතෘ හර්ජ් හට දුරකථන ඇමතුමක් ලබා දුනි. ස්පිල්බර්ග් කථා කළේ ටින් ටින් සිනමාපටයක් සෑදීම ගැන ය. දෙවරක් නොසිතමින් හර්ජ්, ස්පිල්බර්ග් හට තම අවසරය ලිඛිතව ම ලබා දුනි. ටින් ටින් සිනමාපටය ගැන තවත් බොහෝ කතාන්දර ඉතිරිව තිබියදී ම හර්ජ් මිය ගියේ ය. එවක් පටන් ස්පිල්බර්ග් ටින් ටින් තරුණයාවත් ස්නෝවිවත් කැටුව ලොව වටා ම ගමන් කළේ ය. ඔහුට කිසිම විටෙක තම ගමන් මල්ලෙන් ස්නෝවි සුනඛයාටවත් ටින් ටින් තරුණයාවත් අතහැර දැමිය නොහැකි විය.
වසර විස්සකට පසුව ස්පිල්බර්ග් ටින් ටින් තරුණයාවත් ස්නෝවි සුනඛයාවත් එළියට ගෙන ස්වල්ප කතාබහක යෙදෙන්නට තීරණය කර ගනි. ඊට ආසන්නත ම හේතුව ටින් ටින් සිනමාපටය කෙසේ නිපදවිය යුතු ද යන්න ඔහුට මතක් වීම ය. එවකට තිරගත වූ ත්‍රිමාණ සජීවීකරණයක් වූ “ද පෝලර් එක්ස්ප්‍රස්, බීවුල්ෆ් සහ ඇවටර් සිනමාපට ත්රි ත්වය ඔහු ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වූයේ ත්‍රිමාණ සජීවීකරණයේ මායාමය ගුණයයි.

වෙටා ඩිජිටල් ත්‍රිමාණ සජීවීකරණ ස්ටුඩියෝව තම අතීත ආඩම්බරයත් රැගෙන ආවේ පළමුව ස්නෝවිට සජීවීකරණය කර පෙන්වීමට ය. වෙටා ඩිජිටල් යනු මෙතෙක් නිර්මිත අති සාර්ථක ත්‍රිමාණ සජීවීකරණ සියල්ලට ම පාහේ වගකිව යුතු පාර්ශ්වයකි. ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි “ගොලම්” ගේ චරිතය නිර්මාණය කරමින් තම දක්ෂතා ඔප්පු කළ වෙටා ඩිජිටල් එක්ස් මෑන් ෆස්ට් ක්ලාස්, එක්ස් මෑන් – ලාස්ට් ස්ටෑන්ඩ්, වෑන් හෙල්සින්ග්, කින්ග් කොන්ග්, ඇවටර්, රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් සහ ජම්පර් යන සිනමා පටයන්හි ත්‍රිමාණ සජීවීකරණ මගින් එය තවදුරටත් තහවුරු කෙළේ ය.
අවසන් තීරණය “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” ත්‍රිමාණ සජීවීකරණ මාදිලියෙන් නිර්මාණය කිරීමයි. නිෂ්පාදනයෙන් පීටර් ජැක්සන්, කැත්ලීන් කෙනඩි සහ ස්පිල්බර්ග් දායක වූ අතරඅධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ගේ ය. මේ ඔහු ගේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණය වීම වඩාත් ඓතිහාසික ය. ස්ටීවන් මොගට්, එඩ්ගාර් රයිට් සහ ජෝ කෝනිෂ් තිර නාටකයෙන් දායක වූ සිනමාපටයට පාදක වූයේ ප්‍රකට කොමික් කතා රචකයකු වූ හර්ජ්ගේ ටින් ටින් කතා මාලාවේ “සීක්රට් ඔෆ් ද යුනිකෝන්” කෘතියයි. එහෙත් යම් යම් දර්ශන සඳහා සෙසු ටින් ටින් කතාමාලාවලින් චරිත කිහිපයක් සහ අවස්ථා කිහිපයක් ද අතමාරුවට ලබා ගැනීමට ස්පිල්බර්ග් ඇතුළු සිනමා කණ්ඩායම අමතක කර නැත.

ජෝජස් ප්‍රොස්පර් රෙමි හෙවත් හර්ජ් ගේ ටින් ටින් කතා මාලාව හුදෙක් ද්විමාන කාටුන් බවට පෙරළීමත්, පැතැලි කඩදාසියක අඳින ලද වර්ණවත් චිත්‍ර චරිත බවට පත්වීමටත් එහාට ගිය සිනමා පටයක කතාන්දරය තරමක් බැරෑරුම් එකක් විය. විශේෂයෙන් ම හර්ජ් ගේ කොමික් කෘතිවල අතිශය පැහැදිලි, තොරතුරු සහිත පසුබිමක් සහිත චිත්‍රවල අඩංගු ආවේණික ස්වභාවය නොසලකා හැරීමට චිත්‍රපට කණ්ඩායමට හැකියාවක් නොතිබුණි. නමුත් සැබවින් ම ලොකුම අභියෝගය වූයේ ටින් ටින් ගේ චරිතය ගොඩනැගීමයි.
ජිමී බෙල් පෙනී සිටියේ ඒ භාරදූර කාර්යය ඉටු කිරීමටය. කින්ග් කොන්ග්, ජම්පර් සිනමා පටයන්හි රඟපෑමෙන් ඔහු උපයා ගත් කීර්තිය ඊට මූලිකව ම හේතු විය. මුළුමනින් ම ස්ටුඩියෝ තුළ රූගත කළ සිනමා පටය ත්‍රිමාණ සජීවීකරණ බවට පත් කළේ නවත ම තාක්ෂණය භාවිත කරමිනි. විශේෂ ප්‍රයෝග උපකරණ මේ සඳහා උපකාරී විය. නළුවන් ගේ මුහුණ මත තබන ලද අධි සංවේදී ආලෝක පැල්ලම් සහ සජීවී කැමරා මගින් නළුවන් ගේ හැඟීම් හා හැඩතල උකහා ගනු ලැබී ය. අති විශේෂ ඇඳුම් කට්ටලවලින් සැරසුණු නළුවෝ ස්ටූඩියෝව තුළ මවාගත් දර්ශන තලයක රඟපාති. ඔවුන් ඉදිරියේ ඇති සුවිශාල තිරය පෙන්වන ත්‍රිමාණ සජීවීකරණය මගින් නිර්මිත නළුවා ගේ රංගනය සජීවීව ඔහුට ම දැක ගත හැකි ය. පෙර පැවති ත්‍රීඩී මැක්ස්, මායා ආදී මෘදුකාංගවලින් කරනු ලැබූ අති සංකීර්ණ චරිත ගොඩනැංවීමට වඩා මේ සජීවීකරණ උපාය මාර්ග වඩාත් සාර්ථක ය. වඩාත් තථ්‍යය.

කැප්ටන් හැඩොක් ගේ මුතුන් මිත්තන්ට අයිති යැයි සැලකුණු වටිනා නිධානයක් ගැන කියැවෙන කතාන්දරය රුවල් නැවක ආකෘතියක සඟවා තිබූ පාච්මන් කඩදාසියක් මූලික කරගෙන දිග හැරෙයි. කුතුහලය,ත්‍රාසය සමඟ මනාව කලවම් කළ හාස්යක සමඟ සිනමා පටය ගලා යයි. විශේෂයෙන් ම ටින් ටින්, ස්නෝවි, කැප්ටන් හැඩොක් සහ තොම්සන් යුගල සිනමා පටය පුරා හැසිරෙන ආකාරය වඩාත් මනබඳින සුළු ය. ටින් ටින් ගේ මුහුණේ හැඟීම් දැක්වීම සැබෑවටම ඉහළ ය. මොහොතකින් සජීවීකරණ චරිත සමඟ තිරය මත සිටින බව ප්‍රේක්ෂකයාට අමතකව යයි.
විටෙක ටින් ටින් වීදි දිගේ වේගයෙන් දිව යයි. තවත් විටෙක කැප්ටන් හැඩොක් සමඟ කුඩා බෝට්ටුවක මුහුද මැද අතරමං වෙයි. තවත් විටෙක තොම්සන් සහ තොම්සන් යුවළ සමඟ ප්‍රහසනකාරී සිද්ධීන්වලට මැදි වෙයි. ඉඳහිට සතුරන් සමඟ සටනක පැටලෙන්නට ද සිදු වෙයි.

ටින් ටින්... ඔය නැව අතෑරලා දානවා.
ඒකෙන් හොඳක් වෙන්නෑ. ඒ මිනිස්සු හරි දරුණුයි.
ඔහේව මරලා දාවි.

එහෙත්, ටින් ටින් මේ සොඳුරු අවවාදවලට අනුමත වන කාණ්ඩයේ අයෙකු නොවේ. පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳපොළකින් මිල දී ගත් හුරුබුහුටි නැව් ආකෘතිය තවත් කිහිප දෙනෙකුට මිලදී ගැනීමට උවමනා වීමත්, ඉතාමත් අස්වාභාවික ලෙස රුවල් නැවෙහි නිවුන් ආකෘතියක් හමුවීමත් ටින් ටින් කුතුහලයට පත් කළේ ය.
... මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා ස්නෝවි...

ස්නෝවි තම හුරුබුහුටි නාසය මදක් සොලවන අතර සුදුවන් නැට්ට ද වනමින් තම එකඟතාවය පළකරයි. කැප්ටන් හැඩොක් ද නිතර ම කතාන්දරය හරහා ඇවිද යයි. තොම්සන් යුවළ ද විප්‍රකාර කරමින්, නිතර වීදිවල ලාම්පු කණුවල හිස වද්දා ගනිමින්, තරප්පු පේළි මතින් බිමට වැටෙමින් සිනමා පටයට අවශ්‍ය හාස්‍යය එකතු කරයි.
කැප්ටන් හැඩොක් ලෙස රඟන සහ හඬ කවන මිනිස් ආකෘති චරිතය ඇන්ඩි සර්කිස් ය. අයිවනෝවිඩ් නොහොත් ප්රඩධාන දුෂ්ට චරිතය රඟන්නේ ඩැනියල් ක්රේග් ය. 2009 ජනවාරි 26 වැනිදා ඇරැඹි රූගත කිරීම් දින 32 කින් අවසන් කිරීමට ස්පිල්බර්ග්ට හැකි විය. යුරෝපය වෙත ඔක්තෝබර් අවසාන සතියේ නිකුත් කළ ටින් ටින් සිනමාපටය අමෙරිකාව වෙත නිකුත් කිරීමට නියමිත දෙසැම්බර් මස 23 වැනිදා ය. ඉනික්බිතිව ආසියාවේ සෙසු රටවලට එය නිකුත් කිරීමට නියමිත ය. එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ බෙල්ජියමේ දැනටමත් තිරගත වන ටින් ටින් සිනමාපටය පළමු දිනය ඇතුළත පමණක් උපයා ගත් ආදායම ඩොලර් මිලියන 8.5 කි.

“ද ඇන්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” සිනමාපටයේ සාර්ථකත්වය මත තවත් ටින් ටින් සිනමාපට ද්විත්වයක් ද නිකුත් කිරීමට නියමිත ය. 'ද සෙවන් ක්‍රිස්ටල් බෝල්ස්' කොමික් කතාන්දරය අනුව ඊළඟ සිනමාපටය නිර්මාණය කෙරෙනු ඇත. තෙවැන්නට පාදක වීමට නියමිත 'ප්‍රිසිනර්ස් ඔෆ් ද සන්' නම් කොමික් කතාන්දරය පාදක කර ගත් සිනමා පටයකි. පීටර් ජැක්සන් තම නවතම සිනමාපටය වූ “ද හොබිට්ස්” රූගත කිරීමෙන් ඉක්බිතිව ඉහත සිනමාපට ද්විත්වය අධ්ය්ක්ෂ ණය කිරීමට කැමැත්ත පළ කර තිබේ. එක් සිනමා පටයක් ස්පිල්බර්ග් සහ පීටර් ජැක්සන් දෙදෙනා විසින් සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කිරීමට නියමිත බව ද පැවසෙයි. එහෙත් ස්පිල්බර්ග් පවසන්නේ තවමත් ඒ ගැන නිශ්චිත තීරණයකට තමා පැමිණ නැති බවයි.
ටින් ටින් සිනමාපටයේ ආරම්භය ගැන ද යමක් කිව යුතු ම ය. ටින් ටින් කලබලකාරී වීදියක ආලේඛ්‍ය චිත්‍ර අඳින සිත්තරකු ඉදිරිපිට වාඩි වී සිටියි. සැනෙකින් ඒ සිත්තරා කවුරුන්දැයි ටින් ටින් රසිකයන්ට හඳුනාගත හැකි ය. ඒ අන් කිසිවෙකු නොව ප්‍රකට කොමික් චිත්‍ර ශිල්පී හර්ජ් ය. මේ නම් ටින් ටින් නිර්මාතෘවරයාට කළ සැබෑම ගෞරවයකි. ටින් ටින් කතා පොත් 23 ක් ලියා, චිත්‍රණය කර පළ කළ ජෝජස් ප්රොස්පර් රෙමී කොමික් කතා කලාවට අමුතු ම දොරටුවක් විවර කළ අයෙකි.
ටින් ටින් තිරය මතුපිට වේගයෙන් දුවනු පෙනෙයි. හේ කවුරුන් හෝ ලුහුබඳින සැටියකි. හිතාදර ස්නෝවි ද බුරමින් ටින් ටින් පසුපස දිව යයි. තුවක්කු රැගත්, නපුරු මුහුණු ඇති කිහිප දෙනෙකු ද දිව යනු පෙනී යයි. දැන් නම් තත්ත්වය බොහෝ බරපතළ ය. නිධානයක් වෙනුවෙන් බොහෝ පිරිසක් යුද වැදී ඇත්තේ නිකමට නම් නොවේ.
කැප්ටන් හැඩොක් ගේ මුතුන් මිත්තන්ට අයත් රහසිගත නෞකා භාණ්ඩාගාරයක තිබුණා යැයි සැලකෙන නිධානයක් සොයන සොර මුලක් පැරදවීම ආයුධයක්වත් නැති ටින් ටින් මහත්මයාට තනිව කළ හැකි නොවේ.

සතුරන් පසු පස මෝටර් සයිකලයක නැඟී හඹා යන ටින් ටින් මහත්මයා හදිසියේ ම තම වේගය පාලනය කර ගත නොහැකිව විදුලි වයරයක් දිගේ ගමන් කරයි. මෝටර් සයිකලයේ ඉදිරි රෝදය වයරයේ එල්ලී යාමට ආධාරකයක් ලෙස භාවිත කිරීමට සිදුවන ටින් ටින් තවත් මොහොතකින් බිමට ඇදවැටීමට නියමිත ය.
තවත් රූප රාමුවක කැප්ටන් හැඩොක් විසින් කුඩා බෝට්ටුවක් මැද ගිනි ගොඩක් දල්වයි. මොහොතකින් බෝට්ටුව මත කදිම හිලක් සෑදෙන අතර බෝට්ටුවේ හරස් අතට පාවෙමින් ටින් ටින් සහ හැඩොක් බේරාගැනීමට කවුරුන් හෝ පැමිණෙන තෙක් බලා සිටියි. සැනෙකින් වෙඩි වර්ෂාවක් සමඟ ගුවන් යානයක් ඔවුන්ට ඉහළින් පියාසර කරනු පෙනෙයි.
මේ නම් සැබෑවට ම වීර ක්රිනයා සමුදායක් අන්තර්ගත ටින් ටින් සිනමාපටයකි.

"... මේ මගේ ළමා කාලෙ සිහිනයක්...”

ස්පිල්බර්ග් ටින් ටින් සිනමාපටය ගැන පවසන්නේ එවැන්නකි. සැබවි. “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” යනු ටින් ටින් රසිකයන් ගේ කුඩා කළ සිහින සැබෑ වීමකි.

.... ටින් ටින් මහත්තයා... ඔහේ සෙල්ලම් කරන්න ගත්තෙ නරක මිනිස්සු එක්කයි...

එවරත් ටින් ටින් සෝපහාසයෙන් සිනාසෙනු පෙනෙයි. ස්නෝවි ද සිනාමුසු මුහුණින් වලිගය සොලවයි.

මං ඔහෙලට බය නෑ.

ඒ නම් තර්ජනයකි. කුඩා ශරීරයකින් නැඟුණු තර්ජනාත්මක අවවාදයකි. ඉතිං ඔහුට නිධානයක් සොයා ගැනීමට අපහසු බව කාට නම් සිතිය හැකි ද? හර්ජ් කල්පනාකාරීව රැවුල කසමින් මතු වෙයි. ඔහුට කැමැත්තක් කරගන්නට හැරිය යුතුය. මන්දයත් ටින් ටින් අයිති ඔහුට බැවිනි.

කාංචනා අමිලානි

උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි.
[වර්‍ෂ 2011 ක්වූ නොවැම්බර් මස 04 වැනිදා බ්‍රහස්පතින්දා]
දිනමිණ පුවත්පත් සබැදිය -සිතිජය

ටොරන්ට්

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL


No Comments on "කොමික් පොතෙන් සිනමාවට"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com