රෝගය

මම මහත් පීඩාකාරී රෝගයකින් පසු වෙමි.ඒ ඇස් වැසූවත්,ඇස් විවර කළත් නොයෙක් රූප පෙනීමේ අභාග්‍යමත් රෝගයයි.සති,මාස ගණනාවක් පසු කළත් කිසිදු බෙහෙතකට සුව කළ නොහැකි මේ රෝගය හේතුවෙන් කාගේත් ඒකමතික තීරණය වූයේ අන් අයටද මෙය බෝ වීමේ අවධානමක් ඇති හෙයින් මේ ප්‍රාන්තයෙන් මා පිටමං කර දැමීමයි.කැමැත්ත අසන ඡන්දයක් ද පැවැත්වුණු අතර විශාල ඡන්ද දූෂණයකින් එය කෙලවර විය.ඡන්ද ගණන් කිරීමට කැදවා තිබුණේද අන්ධයන් හතර දෙනෙකි.ඉතාමත් ක්‍රමවත්ව අන්ධයන් විසින් ගණන් කරණු ලැබුව,බිහිරන් විසින් අනුමත කරණු ලැබුව ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රියේ මට දැනුම් දෙනු ලැබීය.කදුළකුදු නොහෙලමින් ප්‍රතිඵල ඇසු මම මා ජීවත්වන ප්‍රාන්තයට සරිලන මෝඩභාවයකින් යුක්තවම එය පිළිගතිමි.
දැන් මා ළාදුරු රෝගියෙකු ගේ තත්ත්වයට පරිවර්තනය වී ඇති සැටියකි.බෙහෙත් නැති බෝ වෙන රෝගයකින් පීඩා විඳින්නෙකු ලෙස ප්‍රාන්ත ගේට්ටු වෙන් පිටතට යා යුතුය.මගේ රෝගය අන් ප්‍රාන්තයකදී වුව සැඟවීම පාපකාරීය.එය නොසඟවා කිව යුතුය.
කුඩා ආහාර මල්ලක් සහ ඇඳුම් කිහිපයක් සහිත පාර්සලයක් තෑගි ලෙස ලැබුණි.ඒ අතර මගේ අඩුම කුඩුම සහිත ගමන් මල්ලක්ද විය.ඒ මගේ මිත්‍රයන් හා නෑදෑයන්ගේ කදුළින් සැකසුනෙකි.ඒ අතර මා වඩාත් ප්‍රිය කළ තුන් හුලස් මුදුවද විය.කුඩා සිප්පි ක‍ටුවක්,දුර්වර්ණ වී ගිය පවුලේ සේයාරුවක්,පබළු ඇට කිහිපයක්,ෆීජි දූපතෙන් ලැබුණු තඹ වැලි කැට සීයක් සහිත කුප්පියක්,පිහා‍ටු පෑනක්,රැජින ගේ රුව කැවූ කාසි දෙකක්,කුඩා සාක්කු පිහියක් සහ සටහන් පොතක් ඒ අතර විය.

සෑම ප්‍රාන්ත ගේට්ටුවකදීම මගේ රෝගයේ ස්වරූපය විස්තර කර දීම අනිවාර්ය විය.පළමු,දෙවැනි,තෙවැනි වර මෙය මහත් පීඩාකාරී වූ මුත් කෙටි කලක් යන විට එය මහත් ප්‍රහර්ෂයක් ගෙන දෙන්නක් විය.මට හැර අන් කිසිවෙකුට වැළැදී නැති රෝගයක් ගැන අන් අයට විස්තර කර දීමේ උත්කර්ෂය මා නිතර වින්දනය කළෙමි.බාගදා එය මගේ රෝගය උත්සන්න වීමටද බලපාන්නට ඇත.ඉදහිට ප්‍රාන්ත ගේට්ටුවක් තරණයට පෙර පින් සලකා ආහාර සලාකයක් ලැබුණු අතර ස්පර්ෂයකින් තොරව එය පිරිනැමීමට නියමිතව තිබුණි.
කාලය අත්ත‍ටු ඔසවාගෙන පිස්සු ගැහැනියක මෙන් පියාඹන විට විය මගේ රෝගයට තවත් අංග එකතු විය.කාගේ හෝ අතැගිල්ලක් අල්ලා බැලීමේ ආශාවෙන් මඩනා සිතින් ඊළඟ මාසය පුරා ප්‍රාන්ත,ප්‍රාන්ත පසු කරමින් යන්නට වීමි.ඉන් පසු මට පෙනුනේ ශරීර නොවේ.අතැගිලි පමණි.දිගු රන්වන් අතැගිලි,දුඹුරු පැහැ අතැගිලි,රෝස පැහැ අතැගිලි සහ අවර්ණ අතැගිලි මගේ මනසේ හොල්මන් කරන්නට විය.අතැගිල්ලක් අල්ලා බලා ඒ ස්පර්ශය කුමණාකාර විය හැකි දැයි නිතරම සිතුවිල්ලේ පසු විය.එහෙත් සෑම ප්‍රාන්ත ගේට්ටුවකින් ම අතැගිලි අල්ලා බැලීමේ ඉල්ලීම ප්‍රතික්ශේපයට පත් විය.මම ඒ ඉල්ලීමෙන් ආතුරව සිටියෙමි.
තවත් කෙටි කලකින් මගේ රෝගයට අලුත් අංගයක් එකතු විය.ඒ නැටීමට ඇති ආසාවයි.එයිනුත් ආලිංගන නැ‍ටුමකට තිබූ කැමැත්තයි.මටම විශේෂ ගීතයක් තිබූ හෙයින් දිවා රෑ නොබලමින් එහි තාලයත්,වචනත් කටපාඩම් කර තබා ගතිමි.ස්පර්ෂය තහනම් හෙයින් ආලිංගන නැ‍ටුමක ඉල්ලීම ද ඉ‍ටු කිරීමට තරම් නිර්භීත අයෙකු සොයා ගත නොහැකි විය.
අවුරුදු ගණනාවක් නිකරුනේ ගත වුණත් මගේ රෝගය සුව වූයේ නැත.පෙනෙන රූප දැන් සර්පිලාකාරව පොළොවට බැස මා යන තැන්වල ගමන් කරනු ද පෙනෙන්නට විය.නින්ද අහිමිව වසර දහයක් ගත වූයෙන් නින්දත්,නොනින්දත් අතර වෙනසක් තව දුරටත් මට තේරුම් ගත නොහැකි විය.

නමුත් එක්තරා උණුසුම් කාලගුණයක් සහිත දිනෙක මායාකාර නගරයකට ඇතුළු වෙන්නට මට හැකි විය.කිසිදා අසා නැති අන්දමේ නගර සැලැස්මක සහිත ඒ නගරයට ගේට්ටුවක් නොවීය.මගේ රෝගය ගැන අසන්නට කෙනෙකු එහි නොවීය.පරණ පුරුද්දට ම මගේ රෝග විස්තරය කිහිප දෙනෙකුට පැවසූවත් කිසිවෙකු ඒ තකන බවක් නම් නොපෙනුණි.

'ආ...ආව එක හොඳයි..අපිත් කම්මැලිකමේ හිටියෙ..'

සැවොම කීවේ එවන් කතාය.මම මොහොතකට වචන අහිමිව අයා ගත් මුවින් ඒ නගර මැද පිළිමයක් මෙන් සිටගත් වනම උන්නෙමි.
නගරය එකම සැනකෙළියකි.තැනක ආහාර කඩය.තැනක සුපුෂ්පිත මල් විකුණන්නන්ය.සිනාසෙමින් දුව පැන ඇවිදින,එකිනෙකා ගේ අත් අල්ලාගත් කුඩා ළමයින්ය.ඒ අතර ප්‍රීතිමත් පෙම්වතුන්ය.මහල්ලන්ය.ලොඹු කටින් සිනාසෙන මැහැල්ලන්ය.සිනා මුහුණු දක්වමින් එහා මෙහා ගමන් කරණ බල්ලන්ය.
එක්තරා අන්තයකින් සංගීතයක් නැඟී ආයෙන් පිළිම ස්වාභාවයෙන් මිදී මා හාත්පස බැලීමි.පේලි,පේලි සැදී කණ්ඩායම් නැ‍ටුමකට ලෑස්ති වෙන සැටියකි.පෙනුමේ හැටියට ආලිංගන නැ‍ටුමක් නොවුවත් කුමක් හෝ නැ‍ටුමකි.ගමන් මල්ලත්,දුක් කන්දත් බිම තබා මා නටන්නට පටන් ගතිමි.සැනෙකින් තවත් ප්‍රීතිමත් පුද්ගලයෙකු පැමිණ මා සමඟ ම නටන්නට විය.හේ කතාවක් නැතිවම සිනා මුහුණින් නටයි.මගේ රෝග ලක්ෂණ මතු වූයෙන් ඔහු ගේ අතැගිලි අල්ලා බැලීමේ
ආශාවෙන් මොහොතකට ආතුර වීමි.එවිටම තම දෙ අත පාමින් රවුමට කැරකීමට ඔහු ආරාධනා කරන්නට විය.එවර අතැගිල්ලක ස්පර්ෂය කොතරම් සිනිඳු දැයි මට වටහා ගන්නට හැකි විය.ලෝකය අවසාන වන තෙක් ඒ නැ‍ටුමෙන් කාලය ගත කරන්නට මට උවමනා විය.

********************************************

ඈතින්....ඉතාමත් ඈතින් නොපැහැදිලි කටහඬ කිහිපයක් ඇසී නෑසී යන්නට වූයෙන් මා ඒ කෙරෙහිම අවධානය යොමු කළෙමි.

'පව් අනේ....පොඩි කෙල්ලෙක්නෙ...මෙහෙට ආව දවසෙ ඉදන් කරන්නෙ ඔය විදිහට නටන එක තමයි..'

'..මයෙ හිතේ පොඩි පෙම් පටලැවිල්ලක් නිසයි ඔහොම වෙලා තියෙන්නෙ..'

'..කල් යනවා ඔහොම අයට හොඳටම හොඳ වෙන්න..ඇයි ඉතිං බෙහෙත් බොන්නත් හොරනෙ..'

'..පව් දෙයියනේ !'

කාංචනා අමිලානි | 2012

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "රෝගය"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com