දාස්පෙතියා

'කෝසල අයියෙ
මාව කාල දාන්නකෝ..'
'මට බෑ.
බෑ කිව්ව ම බෑ
කී පාරක් මම කියලා තියෙනවද..?'
කෝසල හනි හනිකට දෙවැට දිගේ දිව යන්නේ කේන්තිය සපිරි මුහුණකිනි.කේන්තිය කෙතරම් ද යත් කෝසල ගේ මුහුණ රතු වී ඇඟිලි තුඩු ගැහෙයි.කරේ ලා ගෙන සිටින බෑගය ගැහෙන ඇඟිලි තුඩුවලින් අල්ලාගෙන කාර්යාල දුම්රිය මඟ හැරෙතැයි බියෙන් ගමන ඉක්මන් කරයි.
'බත් එකට ගල් ගෙඩියක් දාලද මන්දා
මේ හැටි ම බර..'
කෝසල වෙනත් දෙයක් ගැන සිතා කෝපයක් ඇති කර ගැනීමට උත්සාහ කරයි.ඒත් අලුතින් කෝපයක් උපයා ගැනීමට ඔහුට නොහැකි ය.පැ‍රැණි කෝපය ම යළි යළිත් ඔහු ගේ අතැගිලි වෙව්ලුවාලයි.
මුහුණ රතු කරවයි.පාලනය කර ගත නොහැකි ලෙස දහදිය දමයි.කෙමෙන් ඔහු දහදියෙන් තෙතබත්ව සිටියි.
කෝසල පරිගණක මෘදුකාංග නිර්මාණය කරන ආයතනයක මෘදුකාංග ඉන්ජිනේරුවෙකු ලෙස සේවය කරයි.කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට උදෑසන 9 ට පෙර වාර්තා කිරීම අනිවාර්යය.ප්‍රකට අමෙරිකානු මවු සමාගමකට අයත් ඔහු ගේ කාර්යාලය අතිශය කාර්යබහුල ය.වැඩ අධික ය.එපමනට ම වේතනය ද ඉහළ ය.පෙම්වතිය ද අතිශය රූමත් ය.
නමුත් කෝසල ගේ ජීවිතය අඩපණ කර දමන එක් ගැටලුවකි.කාටවත් කටක් ඇර කියන්නට බැරි මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ද මඟක් නොපෙනේ.
උදෑසන තමා මුහුණ දුන් සිදුවීම අමතක කර දමා කාර්යාලීය කටයුතුවල යෙදීමට කොපමණ උත්සාහ කළත් එක ම දෙයක් දියේ එබූ රබර් බෝලයක් මෙන් උඩට ම එයි.
වරු ගණන් කල්පනා කිරීමට තරම් කාලයක් කාර්යාලයෙන් නොලැබෙන මුත් ඉඩක් ලැබෙන සෑම මොහොතක ම හෙතෙම තද කල්පනාවක ය.
'මොකෝ කෝසල?ප්‍රශ්නයක් ද?'
කාර්යාලීය සඟයෝ අසති.
'මොකෝ පුතේ ඔය හැටි කල්පනා කරන්නෙ?'
අම්මා නිතර අසයි.
'ඇයි කෝසල මේ?මොනාද ඔයා ඔය හැටි කල්පනා කරන්නෙ?
ඔයාට මාව එපා වෙළා ද?'
පෙම්වතිය ප්‍රශ්න තුනක් ම එකවර අසයි.
'මිස්ට කෝසල..ඔයාගෙ ප්‍රශ්නෙ සැලරි එකද?
මං ඊළඟ මාසෙ ඔයාට ලොකු ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්න හිතං ඉන්නෙ'
කාර්යාලීය ප්‍රධානියා ප්‍රශ්නයක් මෙන් ම පිළිතුරක් ද නොමසුරුව ලබා දෙයි.
නමුත් අද වන තෙක් මේ කිසිවෙකුට කෝසල හරි පිළිතුරක් නම් ලබා දී නොමැත.
'නෑ.නෑ.මුකුත් නෑ.
ප්‍රශ්නයක් නෑ...'
වහා කලබල වන කෝසල අපරික්ෂාකාරී පිළිතුරක් ලබා දෙයි.
සේවය නිමවා දුම්රියේ එන තෙක් ම ඔහු යළිත් කල්පනාවට වැටෙයි.මිතුරන් දු‍ටු විට නිදි බවක් හගවමින් දෙනෙත් පියා ගනියි.
නිවසට ඒමට යළිත් දෙවැටින් හැරුණු විට තැන් පටන් කෝසල ගේ හිසටත්,මුහුණටත්,අත්වලටත් දහදිය දමන්නට පටන් ගනී.
'කෝසල අයියෙ..
මාව කන්නකෝ....'
උදේටත්,හවසටත් එක ම ඉල්ලීමකි.එක ම උත්තරයකි.
'මට බෑ.බෑමයි.
කී පාරක් කියන්නද?'
කෝසල ගේ ශරීරය කේන්තියෙන් ගැහෙයි.තම හිසේ කෙස් ඇද ගනියි.දත් මිටි කමින් සපත්තු ගලවයි.කමිසයත්,කලිසමත් ගලවා කිළිටි කූඩයට විසි කර එයට පයින් ගසයි.නැවත කිළිටි කූඩය කෙලින් කර තබයි.ඔහුට රාත්‍රියටත් නින්දක් නැත.ඇස් පියවීගෙන යන විට ම ඇසෙන්නේත්,පෙනෙන්නේත් එක ම ඉල්ලීමකි.
'අනේ මාව කන්නකෝ..'
දාස් පෙතියා මලක් බිමට නැවෙමින් කෝසලගෙන් ඉල්ලා සිටියි.තැඹිලි පාට මේ මල නම් පරවී යන පාටක් පේන්නටවත් නැත.දැන් මාස හතරක කාලයක් සිට ම තැඹිලි පාට දාස්පෙතියා මලක් එක ම ආකාරයකට දෙකට නැවෙමින් ඉල්ලා සිටින්නේ තමාව කා දමන ලෙසයි.
'කවුද යකෝ මල් කන්නෙ?
මේ මොන මඟුලක්ද?
ඇයි මට පාඩුවෙ ඉන්නෙ දෙන්නෙ නැත්තෙ?'
කවුරුත් නැති මොහොතක් බලා කෝසල දාස් පෙතියා මලෙන් ප්‍රශ්න කළේ ය.
'මාව කන්න කෝසල අයියෙ..
ඊට පස්සෙ ඔයාට පාඩුවෙ ඉන්න පුලුවන්'
දාස් පෙතියා මල පුන පුනා කියයි.දැන් කෝසල දාස් පෙතියා මල් ගාල ළඟට යන්නත් බය ය.ඔහු ඒ ආසන්නයෙන් යන්නේත් හකුලා ගත් සිරුරිනි.
'මේක හරියට බාදුරා මලක් වගේනෙ.
අනිත් එක සිංහල යස අපූරුවට කතා කරන්නත් දන්නවා.
මාව රවට්ට ගන්නයි හැම තිස්සෙම හදන්නෙ.
අනේ ඇයි දෙයියනේ මට ම මෙහෙම වුණේ?'
කෝසල තනිව කල්පනා කරයි.කාර්යාලයේ සටහන් ලියන සෑම කොළයක ම ඇද ඇත්තේ දාස් පෙතියා මල් ය.පෑනක්,පැන්සලක්,පින්සලක් හෝ මවුසයක් ඇල්ලූ සැනින් ඇදෙන්නේ දාස් පෙතියා මල් ම පමණකි.
සති අන්තයේ දිනෙක,හවස් වරුවක මහත් කේන්තියෙන් සිටි ඔහු මල් ගාලට භූමිතෙල් බෝතලයක් හැලීය.
එදින රාත්‍රියේ සැනසිල්ලෙන් නිදා ගත හැකි යැයි සිතා නින්දට වැ‍ටුණත් රාත්‍රිය පුරා ම ඔහු පසුපසින් මන්නා,පිහි ආදී උල් ආයුධ ‍රැගෙන බෙල්ල කපා දැමීමට ආවේ දාස් පෙතියා මල් ය.එයිනුත් තැඹිලි පාට මල් ය.මුළු රාත්‍රිය පුරා ම ඔහු සිහිනෙන් දිව්වේ පණ බේරා ගැනීමට ය.
දාස් පෙතියා මල් මිනීමරන බවට දැන් නම් සැකයක් නැත.
පසුදා උදෑසන ජනේලය ඇර බැලූ කෝසල දු‍ටුවේ හිනා කටක් පුරෝගෙන පිපී ඉන්නා දාස් පෙතියා මල් ගාලකි.හාත්පස තණ කොළ ආදිය වේළී,පරඩැල්ව තිබුණත් දාස් පෙතියා මල් ගාලට නම් ඉහෙන් බහින රෝගයක් නැති පාට ය.
'මාව කාලා දාන්න බුදු අයියේ
ඔය ජනේලෙන් ම එළියට පැනලා ඇවිත්
එක කටකට මාව කාලා දාන්න....'
දාස් පෙතියා මල හිඟන්නියක සේ කෝසලගෙන් අයැදියි.
'කට වහපං..
මං උඹව කන්නෑ කවදාවත් ම
හිටපං මං උඹව උදලු ගාලා දානවා..
කාලකන්නි මල...'
කෝසල 'දඩෝං' හඬින් ජනේලය වසා දමා කෙන්තියෙන් ඇදේ හාන්සි විය.ජනේලය අසලින් මහත් අදෝනාවක් ඇසෙයි.
'මිනීමරුවෙක් වෙන්නෙපා කෝසල අයියෙ..
මාව කාලා ඉවරයක් කරලා දාන්න
අප්පිරියා නම් පෙති හපන්නැතිව ගිලලා දාන්න..'
හීන් හඬින් නොනවත්වා ම දාස් පෙතියා මල් දොඩවයි.කෝසලට ‍රැකියාවට පිටත්ව යන්නට තරම්වත් හිත එකලස් කර ගත නොහැකි තරම් ය.ඔහු අද නිවාඩුවක් දමා මේ කරදරය දෙකෙන් එකක් බේරා ගැනීමට තනිව සිතා ගත්තේ ය.
'පුතා අද යන්නෙ නැද්ද?
මොකෝ සනීප නැතුවද?
'හ්ම්..මට උණ ගන්න වගෙයි.
ඇගත් රිදෙනවා..'
කිරි වීදුරුව ද නොබී කුස්සියේ දොරින් ම එළියට බැස්ස ඔහු මඩුවේ තිබූ උදැල්ල ගෙන මල් ගාල දිහාවට යන්න විය.කෝසල තමා බලන්නට එනවා දු‍ටු දාස් පෙතියා මල මහත් උද්දාමයට පත්ව සුපුරුදු වැකිය කියන්නට කට ඇරියා පමණි.
'කතා කරන්නෙපා..මං අද තොපිව උදලු ගාලා දානවා
හැතිකරේ...මට වධ දෙනවා ඉවරයක් නෑ..'
කෝසල උදැල්ල ඉහළට එසෙව්වා පමණි.අම්මා කොහේදෝ සිට එතැනට දිව ආවේ ය.
'ඔය මක් කරනවද පුතේ?
මගේ මල් ගාල උදලු ගාන්න හදන්නෙ මොන යකා වැහිලද?
කොන්ද කඩන් ළිදෙන් වතුර ඇදලා හදාගත්ත මල් ටික
හොඳයි වැඩේ...මගේ මහන්සිය උදලු ගාලා දාන්න
පලයන් යන්න මගේ යකා අවුස්සන්නෙ නැතිව
අම්මපා මේ ළමයට උණ විකාරද කොහෙද ..'
කෝසලව මල් ගාලෙන් එළියට ඇද දැමූ අම්මා මහත් ආදරයෙන් යුක්තව දාස් පෙතියා මල් දෙස බලාගෙන ඉන්නට විය.මහත් ශබ්දයකින් මල් ගාලටත්,අම්මාටත් බැණ වදිමින් ගෙතුළට වැදුණු කෝසල යළිත් කිරි වීදුරුව නහයට අල්ලා බලා මේසය උඩ තබමින් යන්න ගියේ දෙපැත්තට විසි වෙමිනි.
ඔහු නතර වූයේ නාන කාමරයේ ය.
නොනවත්වා දත් මදිමින්,ඒ සමඟ ම ස්නානය කරමින් හෙතෙම පැය දෙකක් පමණ නාන කාමරයේ දිය ක්‍රීඩා කළේ ය.තෙත ඇඳුම් පිටින් ම එළියට ආ කෝසල තුවායක් ‍රැගෙන නැවතත් නාන කාමරයට රිංගී ය.
සුලු මොහොතකට අම්මාට කෝසල ගැන අමතක විය.ළිදෙන් වතුර අදිමින් හිතවත් මල් පැළ නාවමින් සිටි ඇය තෙත බත්ව සාලයේ ඇවිදින කෝසල දැක බය බිරාන්ත විය.
'ඈ..ළමයෝ...උණ කිව්වා නේද දැන් ටිකකට කළින්..?
දැං ඔය නාල මොකෝ?
මොන පිස්සුවක් හැදිලද ඒ පාර?
'හා...දැං මට හොඳයි අම්මෙ..'
කෝසල මුළු දවස පුරා ම නින්දේ පසු විය.දහවල් ආහාරයටවත් හ්ම්...හ්ම්...කියමින් උන්නා මිස නැගිට්ටේ නැත.රාත්‍රී ආහාර ගැනීමට පෙර හුලං වැදෙන්න යනවා කියමින් එළියට ගිය ඔහු ආවේ බොහෝ රෑ වූ පසුව ය.පුතා ළඟින් අමුතු සුවඳක් මුසු ගඳක් නැඟී ආයෙන් අම්මා වික්ෂිප්ත විය.
කෙසෙල් ඇවරියක් සේ දත් විදහා හිනැහුණු ඔහු කෙලින් ම ගියේ කාමරයට ය.රාත්‍රිය පුරා ම කෝසල ගේ කාමරය තුළින් ඇසුණේ 'රූං රූං ' හඬක් පමණි.ත‍ටු ගසන්නාක් මෙන් නිතර,නිතර ඇසුණු අතර වීදුරුවල මෘදු යමක් තදින් හැප්පෙනු ද ඇසුණි.
සිහිනයක් වෙන්නට ඇතැයි සිතා අම්මාත්,තාත්තාත් අනෙක් ඇලයට හැරී නිදන්නට විය.එළාම් ඔරලෝසුවේ 'චක්'හඬින් අවදි වන තෙක් ත‍ටු ගසන ශබ්ද ඔවුන් ගේ කන් තුළ නින්නාද දුනි.
උදෑසන අවදි වූ කෝසල ගේ මව පුතාගේ කාමරය පැත්තෙන් කිසිදු ශබ්දයක් ඇසෙන්නට නොවූයෙන් අම්මා සිතූයේ කෝසල අදත් හොරට නිවාඩු ගන්නට ඇති බවයි.
'වසන්ත..බලන්න ඔය පුතාට තාම උණ ද කියලා..
අදත් යන්නැද්ද මන්දා...
දැං හොඳට ම පරක්කුත් වෙලා..'
තාත්තාගෙන් 'හුම්' සද්දයක් නො ඇසෙයි.
හැදි ගාමින් සිටි හොද්දත් අත් හැර දමා පොල් ක‍ටු හැන්දත් අතැතිව කෝසල ගේ කාමරයට යන්න හැරුණු ඇයට තම ස්වාමියා මතක් වී සාලයට හිස පොවා බැලීය.ඔහු නැති.
අවසන ඈ කෝසල ගේ කාමරය දෙසට හැරුණේ ස්වාමියා එහි සිටිය හැකි බැවිණි.
'අනේ ඇත්තට වසන්ත...ඔයාගෙත් කන ඇහෙන්නැති හැටි ..'
වසන්ත ඇස් උඩ තියාගෙන තම බිරිය දෙසට හැරී ඇද උඩ තිබූ යමක් දෙසට ඇස් හැරවීය.
ඇද උඩ සිටියේ මහා විශාල සමනලයෙකි.නිල් පාටත්,කහ පාටත් මිශ්‍රිත ත‍ටු අතර ඉතා තද තැඹිලි පැහැති ඉරි ය.ඒ ඉරිවලින් විහිදෙන්නේ පුදුමාකාර අන්දමේ ආලෝකයකි.වසන්ත ඒ දීප්තියට මෝහනය වී ඇති සැටියකි.කාමරය පුරා මල් පෙතිය.ඇද පුරා ම විවිධාකාර මල් පොහොට්‍ටු ය.
මල් පෙති නොපාගමින් අම්මා ඇද අසලට ම ගොස් සමනලයා දෙස හොඳින් බැලී ය.අම්මාට දැනුණේ අප්‍රමාණ පුරුදු කමකි.මේ විශාල සමනලයා ගේ දෙනෙත් තමා හොඳින් හදුනන බව ඊළඟට ඇයට සිහිපත් විය.
'පුතේ....!!!!'
ඈ එක් වර ම යටි ගිරියෙන් කෑ ගෑවා ය.
'මං දාස් පෙතියා මල කෑවා අම්මේ...!!!!'

 

| කාංචනා අමිලානි | 2011 මාර්තු 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

3 Comments on "දාස්පෙතියා"

  1. Anu
    23/07/2015 at 10:55 am Permalink

    Read your short stories, couldn’t comment in Sinhala hence um in office. But can’t control ma patient after reading this, Sinhala nethi unath mekata comment nokara mata yanna ba.. Patta.. pattama patta.. digatama liyanna sis.. Best Of Luck!!!

  2. thanks Anu!!!

  3. අරු
    04/01/2018 at 5:37 pm Permalink

    පට්ට…. කියන්න වචන නෑ

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com