මහා මූකලාන මැදින් අංකෙලිපව්වට

ගෙඹි යුවලක් නාන කාමරයට ආවේ මහා හදිසියකිනි.මට නාන්න ඕනෑ මුත් ගෙඹි යුවලට ඒ ගැන ගාණක්වත් නැත.ගෙඹි මැතිණිය දිගැටි නාන කාමරයේ එක් මුල්ලක තිබූ කුණු බදුන අසලින් හරි බරි ගැහී ඉඳගත්තේ ‘දැන් නම් කවු‍රැ කිව්වත් යන්නෑ’ කියන්නාක් මෙනි.ඇගේ ස්වාමි පු‍රුෂයා ඈ අසලින්ම අසුන් ගත්තේ , ‘..අනේ මෙයා නැතිව මං කොහේ යන්නද …’ කියමිනි.’..අපි ඉතිං නිකන්ම මෙතන ඉන්නෑ නෝනා.හොඳ පංකාදු සින්දුවක් කියන්නම්…’කියමින් ගෙඹි යුවල උගුර පාදන්නට විය.ස්නානය අතරතුර මට අසන්නට ලැබුණේ අගනා ගී රාවයකි.
මේ නාන කාමරය හරි අපූ‍රු එකකි.හරිහමන් බිත්තියකවත් නානකාමරයට නැති අතර එක් පැත්තකින් ඇත්තේ දැවන්ත ගලකි.අනෙක් දෙපැත්තෙන් බිත්ති ලෙසට ඇත්ත විවිධ හැඩයේ විශාල ගල් කිහිපයක් එකට තබා බැද බැද ඇති කෙටි පවුරකි.අනෙක් පස මුලුමුනින්ම හාත්පස පරිසරයට විවෘතය.අහස් කුස නි‍රුවත්ය.මන්දයත් නාන කාමරයට වහලක් තනා තනා නොමැති බැවිනි.මධ්‍යම රාත්‍රියක ත‍රු බලමින් ,‍රැහැයි ගීත,ගෙඹි ගායනා අසමින් මහා මූකලානක ස්නානය කෙ‍රැම කෙතරම් සොඳු‍රැද?
රාත්‍රියට ඇස් ලැබී ඇත්තාක් මෙනි.කොළඹ සිට පැය 5-6 ක වෙහෙසකර ගමන නිමාවට පත් වූයේ මහ මූකලානකිනි.කොළඹ සිට කෙමෙන් ,කෙමන් වෙනස් වූ දේශගුනය ඇල්ල,වැල්ලවායට පැමිණෙන විට උඩු යටිකු‍රැ විය.කොළඹත්-වැල්ලවායත් .මධ්‍ය ලක්ෂයේ පැවති ග්‍රීස්මය උහුලා ගත නොහී තරම් විය.පස් දෙනෙකුගෙන් සමන්විත වූ අපේ නඩය උඩවලව ජාතික වනෝද්‍යානය පසු කරන විට හිටියේ පාං කියාගන්නවත් බැ‍රිවය.එහෙදු පැය බාගයක පමණ වෙනසකින් පසුව දැනුණු මද සීතල සිත මවිතයට පත් කරවන සුළු විය.මොහොතකින් අහසින් බිමට තල්ලු කළ වැහි බිඳු එක දෙක බිමට පතිත වූයේ ‘..ඕං අල්ල ගන්නවලා ඉතිං…’කියමිනි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මද දුරක් ගිය කල්හි මහ ව‍රැසාව මැදින් පෙනුණේ කදිම බෝඩ් ලෑල්ලකි.ගසක වදුරෙකු මෙන් එල්ලී හුන් ‘ඇල්ල ඇඩ්වෙන්චර් පාර්ක්’බෝඩ් ලෑල්ලේ තිබුණු පුස් වැලක සලකුන මහිතේ කුහුල ඇවිස්සීය.පඩි කිහිපයක් නඟි තැන ඇත්තේකදිමට ඉලුක් හෙවිල්ලූ විසල් නිවසකි.නැත.එය ආපනශාලාවකි.එහි පිලිගැනීමේ කවුන්ටරය තනා තිබුණේනොදිලිසෙන ලී දඩුවලිනි.කවුන්ටර ඉහැත්තෑවේ තේජාන්විත මුව අං තට්‍ටුවකි.සියලුම දෑ ලීයෙන් තනා තිබුණේ නීතියකට මෙනි.පොළොවටද දමා තිබුණේ හොඳින් සකසා ගත් බර,මහත ලීය.’ඩොක්…ඩොක්…’හඬ නඟමින් ඇවිද යන්නට මුලින්ම ආස හිතුණේ මටය.මට පසුව අනිත් අයත්,’ඩොක්…..ඩොක්…’හඬ නඟමින් සෙල්ලක්කාර ලෙස ඇවිද යන්නට විය.
ගස් උඩ තනා තිබූ නිවෙස් තිබුණේ පෙර කී ප්‍රධාන ගොඩනැගිල්ලට තරමක් එපිටිනි.කෙටි අඩි පාරවල් බොහොමයක් පැතිර තිබුණේ වනාන්තරය දෙසටය.හැම තැනම හතරමන් හන්දිය.තැන්,තැන දැවයෙන් ආවරණය කරන ලද ආලෝක පහන් ය.සර්පයන් සේ හතර අතින් ගස් උඩට දිව යන ‘කල’ වැල් සමූහයකි.කළුවර දුඹු‍රු පැහැයකින් යුක්ත ‘කල’ වැල් වසර සියයක් පමණ ආයු වැළදූ සැටියකි.කෙටි අඩි පාර දිගට මද දුරක් ගිය කල්හි වනාන්තරය මැද තැනුණු කදිම ලී නිවාසයකි.සැනින් මට සිහිපත් වූයේ ‘ලොස්ට් වර්ල්ඩ්’ රූපවාහිනී කථාංගයයි.ගේ හරි මැදට වන්නට දැවැන්ත පිඹුරෙකු වැනි පුස් වැලකි.කුඩා නිවසේ තට්‍ටු දෙකකි.දෙවෙනි තට්‍ටුවට ගිය කළ හාත්පස කඳු වළල්ල පෙනෙන්නේ යාන්තමින් බොඳ වී ගිය දිය සායම් චිත්‍රයක් මෙනි.
ඉතා ඉක්මනින් මේ කුඩා නිවාස හය,හත නැරඹූ අපි යළිත් ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසීමට පෙර කී අඩි පාරටම පැමිණියෙමු.කෙටි අඩි පාර අයිනට වන්නට බිම බදාගෙන උන්නේ සුදු පැහැති සර්පයෙකු බඳු යෝධ ගැඩවිලෙකි.
යළිත් වාහනයට නැඟුණ අපේ කුඩා නඩයට අපේ මඟ පෙන්වන්නා වූ නුවන් පැවසුයේ ‘ඇඩ්වෙන්චර් පාර්ක් යමු’කියාය.විනාඩි විස්සක පමණ ගමනකින් ඉක්බිතිව අප පැමිණියේ රතු පැහැති පස් සහිත බෑවුම්කාර භූමියකටය.හාත්පස තිබුණේ පුදුමාකාර පාළු ස්වාභාවයකි.අපේ මඟ පෙන්වන්නන් දෙපල ‘හා..යමු..’කීයෙන් දෙවරක් නොසිතා,ගමන් මළු වාහනයේ තබා බිමට බැස ලක ලැහැස්ති වූයේ ගමන් මළු අපේ කාමරයටම ඒවි යැයි සිතමිනි.’…මෙතනින් එහාට වාහනවලින් යන්න බෑ.පයින් තමයි……’ මුහුණු දික් කරගෙන බ‍රැති ගමන් මළු කරේ දමාගෙන මේ යන්න සූදානම් වන්නේ පැය දෙකක පමණ ගමනකි.
රඹ පැහැ වූත්,කෙටි වූත් ,මඳ බෑවුමක් සහිත වූත් පාර දිගට බැරි මරගාතේ මේ යන්නේ සුව පහසු ගමණක් පැතූ අපිමය.අපේ කුඩා නඩය සමන්විත වූයේ මඟ පෙන්වන්නන් දෙදෙනෙක්,මමත්,ඡායාරූප ශිල්පියෙක්,කුඩා ද‍රුවෙක් සහ ඇගේ මව ඇතුළත් විය.අපේ එක් මඟ පෙන්වන්නෙකු වූ නුවන් කටහඬ අවධි කළේ ගමනෙන් මදක් අහවර වූ විටය.’…අපි දැන් ඉන්නෙ කඳු වළල්ලක.ඒකෙ නිම්නයට තමයි අපි දැන් මේ බහින්නෙ…….’කිලෝ මීටර 5 ක් පමණ කඳු මුදුනක සිට බිමට බසින්නට නියමිතය.
කිලෝමීටරයක පමණ දුර ගිය තැන පිහිටියේ ඉදගැනීම පිණිස සකස් කළ ලී බංකු කිහිපයකි.එතැනම සුවිශාල ගස් මුදුනක ආඩම්බරයෙන් එල්ලී සිටියේ ලී පුව‍රැවකි.මඳක් නැවතී හිඳ ගිමන් නිවන්නට අවසර ලැබුණි.ගෝත්‍රික සමාජයේ සාමන්ය දෑ එකිනෙක අපට අහිමි වෙමින් පැවතිනි.මුලින්ම සැප පහසු වාහනය අපව හැර ගිය අතර.දෙවනුව ජංගම දුරකතන සබඳතාව අහිමි විය.ඩැන් ඉතින් වනාන්තරයටම පේ වී සිටිය යුතුය.
ඉදිරියෙන් වූයේ බැරෑ‍රුම් බෑවුමකි.හතර අතින් ම නැ‍ඟෙන්නේ නේක කු‍රුලු ශබ්දයෝය.‍රැහැයි සමාජය ස්වකීය අත්ත‍ටු එකිනෙක ගසන්නේ ‘…ඕං අපේ සංගීතෙ….’කියමිනි.කඳු වළල්ලේ මධ්‍යයට පැමිණි අපි දැන් දුෂ්කරම මාර්ගයට පිවිස ඇත.එකවරකට එක් ආයෙකුට පමණක් ගමන් කළ හැකි කුඩා අඩි පාර විකාරරූපීය.ලිස්සන ගල් වර්ග හැම තැනකම විසු‍රැවා ඇත්තේ අත් වැරදීමකින් ටීක් බෝල බිම දැම්මාක් මෙනි.හදිසියේවත් කකුලක් ලිස්සා ගියහොත් අවම වශයෙන් කොන්දවත් කැඩී යනු නියතය.
හවස් යාමය දිගු අඩි තබමින් මේ දිව යන්නේ රාත්‍රිය සොයා ගෙනය.හැන්ඳෑ ඇදිරිය මිට මොළවාගෙන දැන් අපි පැමිණ සිටින්නේ වැල් පාලමක් අසලටය.පහළින් පෙනෙන්නේ දත් විලිස්සාගෙන ඉන්නා දිය පහරකි.පාලමින් එගොඩ වීමට පළමු අඩිය තැබුවා පමණි.හොඳ පාඩමක් උගන්වන්නම් කියමින් වැල් පාලම බීගත්තෙකු මෙන් නොනවත්වාම වැනෙන්නට විය.සෙලවෙන වැල් පාලමක දෙපැත්තේ එල්ලී,මර හඬ තලමින් අපි සැවොම එගොඩ වීමු.දැන් පෙනෙන්නේ කදිමට සාත්තු කර බලා ගත් භූමියකි.’….ආයුබෝවන්…’කියමින් අපිව පිළිගන්නට එතැන පිරිසකි.කිතුල් හකු‍රැ කැබැල්ලක් සමඟ පොල්කට්ටක පිළිගැන්වූයේ හොඳින් දුම් දමන බෙලිමල් වතුරය.මනාව පිරිසිදු වී සිටි ලබු කැටය අපිට නොනවත්වාම බෙලි මල් වතුර පිළිගැනීමට සූදානමිනි.
හාත්පස තිබූ මඳ අඳුර තුනී කර දැමුවේ තැන තැන එල්ලා තැබූ ලන්තෑ‍රැම් එළියෙනි.මේ භූමිය ‘අංකෙළිපව්ව’ නමි.අංකෙළිපව්වේ විදුලි බලය නොමැත.දුරකතන සම්බන්දතා නොමැත.කිසිම විද්‍යුත් උපකරණයක් නොමැති අතර සෙසු සියල්ල තනා තිබුණේ පරිසරයට අනුගතවය.අසුන් ගැනීමට වේවැලින් තනන ලද අපූ‍රැ පු‍ටු වර්ගයකි.ගසක කදක් ගෙන නොසැලකිල්ලෙන්  හාරා සකස් කළාක් මෙන් ලී කොටය.රළු නිමාවකින් යුක්ත මේ මෙස පු‍ටු දකින විට සිතට නැඟුණේ ගුප්ත හැඟුමකි.ජීවිතය බොහෝ සරලය,සන්සුන්ය කියා සිතුණේ එවිටය.
අංකෙළිපව්වේ ගෙවූ රාත්‍රිය ද සොඳු‍රුය.නවාතැන් ගැනුම පිණිස අපට වෙන් කර තැබූ කුඩා නිවස සිහිගැන්වූයේ ඉංග්‍රීසි චිත්‍රපටයකි.තට්‍ටු දෙකකින් යුක්ත නිවස තනා තිබුණේ සම්පූර්ණයෙන්ම දැවයෙනි.පළමු තට්‍ටුවේ බිත්ති කිසිවක් තිබුණේ නැත.බට පැළලි හතරක් සහ කපු රෙදිවලින් සැකසූ තිර රෙදි ආවරණය පිණිස යොදා තිබුණි.බිම සකසා තිබුණේ ලීවලිනි.
එහි තැබූ සයනයද කදිමය.උණ ලීයෙන් තනා තිබූ මේ සයනය නිදන්නට පවා ලෝබ හිතෙන තරමට සුන්දරය.කාමරය එකළු කළ ලන්තෑ‍රැම වටා ආලිංගන නැ‍ටුම් දක්වන මෙ‍රු සමූහයකි.එක පෙළට නැ‍ඟෙන්නේ නම් නොදන්නා සතුන් සමූහයකගේ එකිනෙකට වෙනස් ශබ්ද රාශියකි.
කුඩා නිවස පහලින් ගලා යන්නේ දොළ පහරකි.නිල් කැටයක දිය සපිරි මේ දොළ පහර  ගලන්නේ ‘ නාන්නේ කොයි වෙලාවටදැයි ‘ අපෙන් අසන්නාක් මෙනි.හිමිදිරියේ කු‍රුලු පුරය නැරඹීමට ගිය අපට දැක ගත හැකි වූයේ අතිශය දුර්ලභ කු‍රැලු නර්තන බොහොමයකි.මද වෙලාවකින් ඉක්බිතිව ත්‍රාසජනක ක්‍රීඩා සඳහා වෙන් වූ කාලය එළඹුනි.කඳු දෙකක් අතර දමා තිබූ ශක්තිමත් කඹයක් දිගේ යාම පළමු අංගය විය.බැලූ බැල්මට අඟ හිරි වට්ටන මේ කඹ සෙල්ලමට පැළදගත යුතු ආරක්ෂක උපකරණ බොහොමයකි.එක් කන්දක සිට අනෙක් කන්ද තෙක් එල්ලී යාමට පළමුව එක් කන්දකින් බිමට පැනිය යුතුය.ඉහළින් ආදාරක බොහොමයක් තිබුණත් හිත හදාගෙන කන්දකින් බිමට පැනීම අසී‍රු කාර්යයකි.දෙතුන් වතාවක් යළි පසුපසට යමින් හිත හදා ගත් එක් මොහොතක පෙර කී භයංකාර කන්දෙන් මා බිමට පැන්නෙමි.මුහුන කපාගෙන යන සීතළ සුළං ‍රැලි කිහිපයක් පළමුව මා පිළිගත් අතර සැනෙකින් භයංකාර ප්‍රපාතයේ විය‍රැ මුව පෙනී නොපෙනී  පසුපසින් ඇසුණු කෑ ගැසීම්වල පිහිටෙනි. ‘බිම බලන්නෙපා….බිම බලන්නෙපා…පැඩ්ල් කරන්න….’ කන්දෙන් පහළට පැනීමට පෙර ලැබුණු උපදෙස් මාලාව සිහිපත් වූයේ එවිටය.කිසි විටෙක බිම බැලීම නම් නොකල යුතුය.එහෙත් මා පළමු අවවාදයම නොතකා හැර ඇත.දෙවැන්න බයිසිකලයක් පාගන්නාක් මෙන් මා කකුල් දෙකන් ඉදිරියට බලයක් යෙදවිය යුතුය.දෙවෙනි අවවාදය පිළිපදිමින් මා සිතින් මවාගත් බයිසිකලයක් පදින්නට වීමි.මේ නම් මහා විහිලු වැඩකි.බො‍රැ බයිසිකල් පැදීමක්…….
කෙසේ වුවත් අධික භීතියත් සමඟ ඇග කපා ගෙන යන සුළඟේ පහස විඳිමින් අනෙක් කෙළවරට කඹයක එල්ලී යාම ආශ්වාදජනකය.මෙය ඔවුන් විසින් හදුන්වනු ලබන්නේ ‘ඒරියල් රෝප් ‘ නමිනි.එසේම තවත් ත්‍රාසජනක ක්‍රීඩාවක් ද ඇත.එය ‘ ස්ලිදරින් රෝප් ‘ නමි.කඳු මුදුනක සිට පහළට කඹයක ආධාරයෙන් බැසීමට අප්‍රමාණ දිරියක් තිබිය යුතුමය.
අංකෙලිපව්වේ ගෙවූ අවසන් රාත්‍රියේ වග කියූ එළිමහන් භෝජන සංග්‍රහය අමතක නොවන්නකි.දඩෝරි බස්සෙකු වෙසෙන ගඟක් අසබඩ සකසා තිබූ රාත්‍රී ආහාර වේලට පෙරාතුව දැල්වූයේ ගිනි මැලයකි.නැවතත් අපි ගෝත්‍රිකයෝම වීමු.
(2005 ඔක්තෝබර් 27 වෙනි බ්‍රහස්පතින්දාවේ ‘දිනමිණ’ පලස අතිරේකයේ පළ වූවකි.)
කාංචනා අමිලානි | 2005

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "මහා මූකලාන මැදින් අංකෙලිපව්වට"

  1. Saku
    09/10/2012 at 10:13 am Permalink

    sooo nice I also want to go Ankelipawwa

  2. ya.u should go.such a nice place.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com