තීන්ත සත්කාරයක් ලබන ලොව ප්‍රකටම අකුරු නවය

හොලිවුඩ් සළකුණ උඩබැලියාවට ඔහේ හිටවී සිටියෙන් කවුරුත් ඒ ගැන කතා නොකරම උන්හ. ඒත් තමන්ට වයස 35 ක් බව කෑ ගසා කීමට හොලිවුඩ් සළකුණ විසාල කටක් සහිත ලවුඩ්ස්පීකරයක් සොයා ගති. බොහෝ දුරකට නින්නාද වූ ඒ පණිවුඩය ඇසූ බොහෝ දෙනා තැන් තැන්වලට වී කසු කුසු ගාන්නට පටන් ගත්තේ විමතියට පත් දෑසින් සහ මුහුණින් යුක්තවය.
අපි එහෙනම් අලුතින් තීන්ත ගාමු !
හොලිවුඩ් සළකුණට තීන්ත සත්කාරයක් ලබා දෙන්නට තීරණය කෙරුණි. හොලිවුඩ් සළකුණේ තීන්ත ආලේප කිරීමට මුල් වූයේ හොලිවුඩ් සංකේත පදනමේ ෂර්වින් විලියම්ස් විසිනි. ඔහු පවසන ආකාරයට මෙය නම් වෙහෙස දනවන යෝධ තීන්ත සංග්‍රාමයකි. මුළු සළකුණෙහිම තීන්ත ආලේප කිරිමට සති 08 ත් සති 10 ත් අතර කාලයක් ගත වන අතර ඒ සඳහා අවශ්‍ය වන තීන්ත ගැලුම් ප්‍රමාණය 275 කි. මෙහි අවසන් වතාවට තීන්ත ගල්වා ඇත්තේ මීට වසර හතකට පෙරය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි මේ අපූරු සළකුණ ලොව ප්‍රකටම බිල්බෝඩය යැයි කිව හැකිය. සැන්ට මොනිකා කඳු පන්තියේ මවුන්ට් ලී සහ හොලිවුඩ් හිල් අතර පිහිටි සළකුණ අමෙරිකානු සිනමාවේ අභිමානය කියන්නකි. අඩි 45 ක් උස,අඩි 350 ක් දිග අකුරු 09 කින් සමන්විත මෙය මුලින්ම වෙළෙඳ දැන්වීමක් ලෙස නිර්මාණය කරන ලද්දකි. සැබැවින්ම 1923 දී නිර්මාණය කරන ලද සළකුණෙන් කියැවුණේ හොලිවුඩ්ලෑන්ඩ් ලෙසිනි. එවකට හොලිවුඩ් ප්‍රදේශයේ විකිණීමට තැනූ නිවාස සංකීර්ණයක් පිළිබද වෙළෙඳ දැන්වීමක් ලෙස තැනුණ මේ සළකුණ නොසිතූ විරූ ලෙස ජනප්‍රිය විය. දේපළ වෙළෙඳාම්කරුවෙකු වූ වුඩ් රූෆ් විසින් මේ කොන්ත්‍රාත්තුව ප්‍රකට බිල්බෝඩ් සකසන සමාගමක් වූ 'ක්‍රෙසන්ට්' වෙත භාර කරන ලදී. සමාගමේ අයිතිකරු වූ ‍තෝමස් ‍ෆිස්ක් ගොෆ් විසින්ම මේ විස්මිත සළකුණ සැලසුම් කරන ලදී. හොලිවුඩ්ලෑන්ඩ් යන අකුරු 13 කඳු මුදුනේ සිට දකුණු පැත්තට මුහුණ ලා සිටවන්නට නියම විය. එක් අකුරක් අඩි 30 ක පළලකින් සහ අඩි 45 ක උසකින් යුක්තය. සම්පූර්ණ වචනයම වටා බල්බ 4000 ක් දල්වන අතර ඒවා දැල්වෙන්නට වූයේ එක්තරා පිළිවෙළකටය. එනම් පළමුව 'හොලි' යන වචනයත් ඊළඟට 'වුඩ්' යන්නත් අවසානයට 'ලෑන්ඩ්' යන්නත් ලෙසිනි. අමෙරිකානු ඩොලර් 21 000 ක් පමණ වැය කර තැනූ හොලිවුඩ්ලෑන්ඩ් සළකුණ එළිය කිරීමට වෙනම පිරික්සුම් ආලෝකයකින් විටින් විට එළිය කරන්නටද යෙදුණි.
වර්ෂ 1923 සැප්තැම්බර් 18 වැනිදා නිළ වශයෙන් එළි දැක්වුණ හොලිවුඩ්ලෑන්ඩ් සළකුණ එවක මහත් පුදුමයක් ලෙස සැලකුණි. දේපළ වෙළෙදාම පිණිස මෙය තැනුවද කල් යත්ම වෙනත් අර්ථයකින් එය සැලකීමට පටන් ගති. එනම් අමෙරිකානු සිනමාවේ රන්වන් යුගය එළැඹීමත් සමඟම මේ සළකුණ සිනමා කර්මාන්තය ඇසුරින් අර්ථ නිරූපනය වන්නට විය. අමෙරිකානු සිනමාව හොලිවුඩය යන එක් වචනයකට ලඝු කර කතාබහ කරන්නට පටන් ගත් විට එහි ආකර්ශනය වඩාත් වැඩි බවක් ඇති විය. මේ ආකර්ශණීය වචනය සමඟ සියයට සියයක් ගැලපෙන මහා විසාල හොලිවුඩ්ලෑන්ඩ් බිල්බෝඩය සිනමාවට පක්ෂව කටයුතු කරන්නට පටන් ගත්තේ ස්ව කැමැත්තෙනි.
මේ අතර නිළියකට මේ සළකුණ පාමුල සිට සිය දිවි නසාගන්නට සිත් විය. ඈ ප්‍රකට සිනමා නිළි පෙග් එන්ට්විස්ට්ල් ය. ඇගේ ප්‍රාණය රහිත ශරීරය හොලිවුඩ්ලෑන්ඩ් පුවරුව පාමුලින් සොයා ගන්නා ලදී. මේ හදිසි නිළි මරණයත් සමඟ යළිත් හොලිවුඩ්ලෑන්ඩ් සළකුණ කතාබහට ලක් විය. ඇගේ පසුම්බිය සමඟ සියදිවි නසා ගැනීමේ සටහනක් හොලිවුඩ්ලෑන්ඩ් පොලිස් ස්ථානය මත දමා ගොස් තිබියදී සොයා ගන්නා ලදී. පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ ඈ හොලිවුඩ්ලෑන්ඩ් වචන පේලියේ මුල් අකුර වූ 'එච්' මතින් බිමට පැන සිය දිවි නසාගත් බවයි. ඇගේ මරණයත් සමඟ මේ සළකුණ අසුබ යැයි විවිධාකාර මතිමතාන්තර පැතිරී යන්නට විය. එනම් කුමක් හෝ සාපයක් සමඟ ගොඩනැඟුණු සළකුණ සමඟ නොයෙක් කටොලු කතා පැතිර යන්නට විය. හොලිවුඩ්ලෑන්ඩ් අකුරු සිටවා මාස 18 ගත වන්නට පෙර ම එය පිළිසකර කළ යුතු විය. හොලිවුඩ්ලෑන්ඩ් සළකුණේ භාරකරු වූ ඇල්බට් කොතේ 1940 දී 'එච් ' අකුරු පළුදුවට ලක් කරමින් හදිසි අනතුරකට ලක් විය. එනම් ඔහු පැදවූ වාහනය පාලනය කර ගත නොහැකිව හොලිවුඩ්ලෑන්ඩ් අකුරු 13 පළමු අකුර මතින් වාහනය පැදවීය. වාසනාවකට මෙන් ඇල්බට්ගේ දිවි ‍රැකුණ අතර ඔහුට සුළු තුවාල පමණක් අයත් විය. එහෙත් ඔහු පැදවූ ෆෝඩ් වර්ගයේ මෝටර් රථය දැඩි අලාභහානියකට ලක් වූ අතර 'එච් ' අකුරද දැඩි ලෙස පළුදු විය.
1949 දී හොලිවුඩ් වාණිජ මණ්ඩලය විසින් මේ අකුරු 13 පිළිබද සොයා බැලීමත්,එය ආරක්ෂා කිරීමත් තමන්ට පවරා ගති. ඒ අනුව අවාසනාවන්ත ලෙස විනාශයට පත් 'එච්' අකුර පිළිසකර කිරීම ඇරඹුණි. එපමණක් නොව වර්තමානයට වඩාත් වැදගත් අකුරු අකුරු නවය සැකසුණේ ඉනික්බිතිවය. එනම් හොලිවුඩ්ලෑන්ඩ් යන්නේ ලෑන්ඩ් යන වචනය ඉවත් කර එය හොලිවුඩ් ලෙස පමණක් හැදින්වීම ඇරඹුණි. හොලිවුඩ් වාණිජ මණ්ඩලයට අනුව මෙය තව දුරටත් දේපළ වෙළෙඳාම ගැන කියැවෙන්නක් නොවන අතර මින් පසුව සිනමා කර්මාන්තය සහ හොලිවුඩ් ප්‍රදේශය අර්ථ ගැන්වෙන අයුරින් එය කඳු මුදුනේ සිටගෙන සිටිනු ඇත.
නමුත් තොරණක් මෙන් ඒ මත බල්බ 4000 ක් පත්තු කිරීමට ඔවුන් කටයුතු යෙදුවේ නම් නැත. එහෙත් 1970 වන විට 'ඕ' අකුරේ ජීවිත කාලය ගෙවී අවසන් වන්නට විය. එය පළුදු වෙමින් අලුත් 'ඕ' අකුරක් ඉල්ලා සිටින්නට විය. පළමු 'ඕ' අකුරේ මුදුන කැඩී ගොස් එය 'යූ' අකුරක් සේ දිස් වන්නට වූ අතර තෙවැනි 'ඕ'අකුර සම්පූර්ණයෙන්ම බිමට කඩා වැටී තිබුණි. දැන් ඉතිරි අකුරු සමඟින් කියැවුණේ අසම්පූර්ණ වූත් විප්‍රකාර වූත් වචනයකි. 1978 වන විට යළිත් හොලිවුඩ් සළකුණ පිළිසකර කිරීමට අයෙකු ඉදිරිපත් විය. ඒ ෂොක් ලොකර් ඇලිස් කූපර්ය. ඔහුගේ ධන පරිත්‍යාගයෙන් බිමට හැළුණු 'ඕ'අකුර යළිත් සවි විය. නව දෙනෙකුගේ අධාර ඇතිව අමෙරිකානු ඩොලර් 249 300 ක වියදමින් හොලිවුඩ් යළිත් සිනාසෙන්නට පටන් ගති. මෙවර අකුරු තැනුයේ වානේවලිනි. මේ අලුත් අකුරු අඩි 45 ක් උස වූ අතර පළල අඩි 39 කට ආසන්න විය. හොලිවුඩ් සළකුණේ අලුත් මුහුණුවර නිළ වශයෙන් එළි දක්වන ලද්දේ අමෙරිකානු සිනමාවට වසර 75 ක් පිරුණු දා ය.
එමෙන්ම හොලිවුඩ්ලෑන්ඩ් සළකුණේ මුල් 'එච්' අකුර ඊ-බේ හරහා වෙන්දේසියට පත් විය. බිල් මැක් විසින් මිලදී ගන්නා ලද මේ වටිනා එච් අකුර ඔහුට රටක් වටින බව නම් කිව යුතුමය.
එහෙව් හොලිවුඩ් සළකුණකට වසර 35 ක් පිරීම තීන්ත ගා පමණක් සැමරීම එක්තරා මදිකමකි. තීන්ත ගාන්නැයි කියා මුහුණ උඩට හරවාගෙන ඉන්නා එක්,එක් අකුරු හොර රහසේ සිතන්නේ එය විය හැකිය.

කාංචනා අමිලානි

පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "තීන්ත සත්කාරයක් ලබන ලොව ප්‍රකටම අකුරු නවය"

  1. අඩවි රජා
    11/10/2012 at 11:19 am Permalink

    මේක නං මරු…. අදමයි මේක දැනගත්තේ
    නියමයි ඈ අක්කේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  2. ස්තූතියි !
    රාජ සම්පත් ලැබේවා ! කතාව මරු ඈ !!
    like ! LIKE !

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com