ඩිජිටල් යුගයේ ළමා මොළ සෝදන්නෝ

ට්විටර් යුගය නිල් පාට කුඩා පක්ෂියකුගෙන් මුද්‍රා තබාගෙන ඔබේ පරිගණක තිරය මතට එබෙනු ඇත. ජංගම දුරකථන තිරය මත හෝ ඔබේ ලැප්ටොප් පරිගණක තිරය මත තවත් බොහෝ සමාජජාලා අඩවි සංකේත ඇලවී තිබෙනු ඇත. වයස් භේදයකින් තොරව මෙකී අඩවි සංකේත ඔබේ ජීවිතයේ වටිනාම කාලය සොරාගෙන තිබෙනවාද විය හැකිය.
මවුපියන් සේම දරුවන් ද එකමාකාරයෙන් ඉහත කී සමාජජාලා වෙබ් අඩවි තුළ තම ජීවිතයේ ඩිජිටල් අවධිය දියකර හරින ආකාරය දැක ගත හැකිය.
විශේෂයෙන් ම ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් ආදී ප්‍රකට සමාජජාල අඩවි ව්‍යාප්ත වීමත් සමඟ ම පෞද්ගලිකත්වයේ සියුම් තාප්ප එකිනෙක ගැලවී, බිඳී යන්නට පටන් ගනී. අන්තර්ජාලය යනු බලගතු අවියක් යැයි පිළිනොගත් කාලය ඇතුළත අන්තර්ජාලය තමන් විසින්ම වඩාත් හැඩිදැඩිව වැඩෙන්නට පටන් ගති. ඒ මැදින් නොයෙකුත් අනතුරු ඇතිවීම වඩාත් කතාබහට ලක්වූ කාරණාව විය. විශේෂයෙන්ම කුඩා දරුවන් ගේ අන්තර්ජාල භාවිතය හේතුවෙන් මවුපියන් මහත් තිගැස්මකට පත්වීම මෙහිලා වඩා වැදගත් ය. ෆෙඩරල් වෙළඳ කොමිසම විසින් පසුගියදා බලවත් කර ගැනීමට යෙදුණු ළමයින්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පනත මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී ඇත. මෙය සම්මත වී ඇත්තේ 1998 දීය.
වයස 16, 13 සහ 17 දරුවන් සිටින විකී වර්නර්ට අනුව තම දරුවන්ගේ අන්තර්ජාලගත ආරක්ෂාව පිළිබඳ ඈ බොහෝ සේ තැවෙයි. ඈ ජීවත්වන කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ මවුපියන් මේ ආකාරයෙන්ම තම දරුවන්ගේ අන්තර්ජාලගත ආරක්ෂාව පිළිබඳ මහත් අවධානයක් මෙන්ම භීතියක් ද පෙන්නුම් කරයි.
ෆේස්බුක් සමාජජාලයේ නිර්මාතෘ මාක් සකර්බර්ග් වයස 13ට අඩු ළමයින්ටත් ෆේස්බුක් භාවිත කිරීමට අවසර ලබා දීමට සිතීම සම්බන්ධයෙන් විකී ටර්නර් තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි.
“එයා හිතන්නෙ තමන්ට ලැබෙන ආදායම ගැන විතරයි. මේකෙන් ළමයින්ට වෙන හානිය ගැන තැකීමක් කරන් නෑ...”
කෙසේ නමුත් පසුගිය සති කිහිපය ඇතුළත ප්‍රකට ෆේස්බුක් සමාජජාලා අඩවිය භාවිත කරන්නන් මිලියනය සම්පූර්ණ කළේය.ෆෙඩරල් වෙළඳ වෙත ලිපියක් යොමු කරමින් මොවුන් කියා සිටියේ ළමුන්ගේ තොරතුරු, ඡායාරූප ආදිය එකතු කිරීම ඉහත නීතියට පටහැනි හෙයින් වහාම එය නැවැත්වීමට කටයුතු යොදන ලෙසයි. ඔවුන්ගේ තර්කය සරලය. සාධාරණය. ෆේස්බුක්, ට්විටර්, ෆෝස්ක්වෙයාර් ආදිය මඟින් අන්තර්ජාලය තුළ පතුරුවන පෞද්ගලික තොරතුරු ප්‍රමාණය අති මහත් ය. ඡායාරූප, තොරතුරු, හැඟීම් ආදියට අමතරව තමන් දැනට සිටින ස්ථානය ගැන නිශ්චිතව පවසන ෆෝස්ක්වෙයාර් වැනි සමාජජාලා අඩවි යම් අනතුරක් දරුවන් වෙත ගෙන ආ හැකිය. සැබවි. තර්කය සාධාරණ මුත් ඩිජිටල්කරණය වූ සමාජයකින් මීට වඩා ආරක්ෂාවක් බලාපොරොත්තු විය හැකිද.
වත්මන් මවුපියන් හට දරුවන්ගෙන් ඇසීමට දැන් නව ආරක ප්‍රශ්න තිබේද?
“දැන් රෑ දහයයි. ඔයා කොහෙද ඉන්නෙ?” වෙනුවට පරිගණක තිරය ඉදිරිපිට වාඩිවී සිටින තම දරුවා අන්තර්ජාලය හරහා කොපමණ දුරක් ගොස් ඇත්දැයි සොයා බැලීමට සිදුව ඇත. මේ සඳහා දරුවාගේ පරිගණකය හැක් කිරීමට හෝ ඔහු භාවිත කළ තොරතුරුවල ඉතිහාසය හාරා බැලීමට මවුපියන්ට සිදු වෙයි. වඩාත් නුවණක්කාරව ඔහු හෝ ඇය විසින් සියලු තොරතුරු මකා දමා තිබුණහොත් එකී දෑ යළි ස්ථාපනය කරගත හැකි මෘදුකාංගයක පිහිට පැතීමට සිදු වේ.
දරුවා ශාරීරිකව තුවාල වී ඇති ප්‍රමාණය සෙවීමට වඩා මානසිකව කෙතරම් තුවාල වී ඇත්දැයි සොයා බැලීමට ඔවුන්ට සිදුව ඇත. සමාජජාලා අඩවි හරහා ඉතා ඉක්මනින් සමාජගත වීමට උත්සාහ කරන කුඩා දරුවන් අසාධාරණ පීඩනයකට ලක්වන බව මවුපියන්ගේ මතයයි.
ටයිප් රයිටරයේ තැන පරිගණකය ගැනීමත්, ස්ථාවර දුරකථනයේ තැන ජංගම දුරකථනය හිමි කර ගැනීමත් මේ ද්විත්වයේම තැන අයිෆෝනය හිමි කර ගැනීමත් සමඟම පරම්පරා ගැටුමට අමතර ඩිජිටල් යුද්ධය ආරම්භ විය. පොත් කියවන්නන් කින්ඩ්ල්, අයිපෑඩ් තුළින් පොත් කියැවීමට පටන් ගැනීමත් මිනිසුන් විනෝදය පිණිස හෝ සමාජගත වීම පිණිස එකිනෙකා සමඟ කථා කිරීම නවතා දැමීමත් සමඟ රොබෝවකු කරා යන ගමන ආරම්භ විය. ඩිජිටල් යුගය ඔබට හෝ ඔබේ දරුවාට අර්ධ රොබෝවෙකු බවට පත් කර ඇතැයි මොහොතකට හෝ ඔබට නොසිතෙයිද?
දරුවා වැඩිහිටියෙකු කිරීමේ වගකීම සමාජජාලා අඩවි තමන් වෙත කැමැත්තෙන් පවරා ගෙන තිබෙන විට ඊට විරුද්ධ වීමට හිතන විකී ටර්නර් වැනි මවක හුදෙකලා සටන්කාරිනියක ලෙස කාටත් පෙනෙනු ඇත. එහෙත් ඈ විරුද්ධ වීමට උත්සාහ කරන්නේ ස්ථාපිත වූ සුවිසාල ක්‍රියාදාමයක් සමඟය. ළමයින් විෂයෙහි ෆේස්බුක් සහ ට්විටර් සමාජජාලා හැසිරෙන ආකාරය මීට වඩා සහනදායි විය යුතු බව එම මවුපියන් ප්‍රකාශ කරන්නේ එහෙයිනි. සමාජීය අවශ්‍යතාවක් ලෙස පෙනී සිටින මේ සමාජජාලා අඩවි ළමයින් විෂයෙහි මීට වඩා සංවේදී විය යුතු බව ඔවුන්ගේ තර්කයයි.
බෲක්ලන්ඩ් හි වාසය කරන චිත්‍ර ශිල්පිනියක වන මීරියම් ෆ‍්‍රැන්සිස් තම යොවුන් දරුවන් ගැන පවසන්නේ මෙවන් කතාන්දරයකි.
“මගේ ළමයි හුස්ම ගන්න වාතය තමයි අන්තර්ජාලය කියන්නෙ.”
පසුගිය කාලය ඇතුළත කරන ලද පරීක්ෂණ කිහිපයකින් හෙළි වී ඇත්තේ බොහෝ දරුවන් අවම වශයෙන් දවසකට පැය 04 ක් වත් අන්තර්ජාලගතව වෙසෙයි. දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික ඇඟිලි සලකුණු අන්තර්ජාලය තුළ රැඳී අනාගතයේ දිනෙක ඒවා වැරැදි ලෙස හඹා එනු ඇතැයි බහුතරයක් මවුපියන් බිය පළ කරයි.
මැයි මස නිකුත් කළ Consumer Report සඟරාවේ එක් ලිපියක සඳහන් ආකාරයට ෆේස්බුක් සමාජජාලය තුළ සිටින භාවිත කරන්නන් අතරින් මිලියන 7.5ක ළමයින් වයස 12 හෝ ඊට අඩුය. මින් බහුතරයකට සිය මවුපියන් විසින්ම ව්‍යාජ උපන්දින යොදමින් ෆේස්බුක් ගිනුම් විවෘත කර දී ඇත. ලෝකය ඩිජිටල් වීමේ වේගය මත අසම්බන්ධිතව සිටීම කෙරෙහි මේ මවුපියන් මෙන්ම දරුවන්ද අසීමිත භීතියකින් පෙළෙන සැටියකි.
එහෙත් මෙහි අනෙක් පැත්තද නැත්තේ නොවේ. දරුවන්ගේ පරිගණක භාවිත කරමින් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අඩවි වෙත පිවිසෙන මවුපියන් ගැන පැමිණිලි කරන දරුවෝද වෙති. අන්තර්ජාලය කෙරෙහි ඇබ්බැහි වූ මවුපියන් නිසා වධ වේදනා විඳින දරුවන්ද සිටින බව මානසික වෛද්‍යවරයෙකු වූ හග්හේ පවසයි.
ඩී. ජේ. ස්ප්‍රෝල්ස් 22 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. කාලිෆ් හි වෙසෙන ඔහු අන්තර්ජාලය හා සබඳකම් පටන්ගෙන ඇත්තේ වයස 08 දීය. දැන් ඔහු දිනකට පැය 06 ත් 11 ත් අතර කාලයක් අන්තර්ජාලයේ ගත කරයි. එනම් ඔහු අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වී ඇත. ඔහුට අන්තර්ජාලය හැර සෙසු ජීවිතයක් නැති තරම්ය. එහෙත් ඔහු පසුවන්නේ සතුටිනි.
හොඳ හා නරක අතර දෝලනය විය යුතු අන්තර්ජාලය ළමයින් විෂයෙහි නරක මුහුණක් පෙන්වීම සාධාරණ නැත. එහෙත් සියලු නරක අතරින් හොඳ දේ පෙරා ගැනීමට තරම් මිනිසා බුද්ධිමත් බව යළිත් සිහිපත් කළ යුතුව ඇත. මිනිසා නිපද වූ දේ මිනිසා අතික්‍රමණය කළ හැකිය. එහෙත් මිහිපිට මිනිසා ජීවත්වන තෙක් එකී දේ පරාජය කිරීමටද ඔහුට හැකිය.

නිව්ස්වීක් ඇසුරිනි
කාංචනා අමිලානි

පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "ඩිජිටල් යුගයේ ළමා මොළ සෝදන්නෝ"

  1. dammika sandaruwan
    22/10/2012 at 5:57 am Permalink

    අපේ අම්මෝ… නියම ලිපියක්.

  2. බොහොම ස්තූතියි ලිපිය කියෙව්වට.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com