වැලිකතරේ දෝංකාර දෙන ප්‍රේමණීය වැයුම

හේ ගයන්නේ සුපෙම්වතුන්ටය. වේදිකාව කෙතරම් විසල් වුවත්,නරඹන්නන්ගේ දහස් ගණනක් වුවත් ඇල්පෙනිති තුඩකුදු බිම නොවැටෙන කීකරු නිශ්ශබ්දතාවයක් නිතර ඔහුට හිමිය. මේ සා උමතු රසිකයන් පිරිසක් උපයා ගන්නට ඔහු කුමක් නම් කර ඇතිද? ඔහු කර ඇත්තේ පියානෝව අසලින් වාඩි වී ඇස් වසා ගනිමින්,මද සිනා නඟමින් ලෝ ප්‍රකට 'හෙලෝ' ගීතය ගායනා කිරීම පමණය. දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ පෙම් ගී ගයන ලයනල් රිචී මෙවර අරාබියට වසන්තය ‍රැගෙන ගොස් ඇත.
ඉනුත් ඉරාකයට වසන්තය උදා කර දීමට හේ සමත් වී ඇති සැටියකි. පොදුවේ ඉංග්‍රීසිය නොවහරන ඉරාන,ඉරාක ජාතිකයන් විෂයෙහි ලයනල් රිචී වැනි අමෙරිකානුවෙකු ඔවුන් වෛර කරන සෙසු අමෙරිකානුවන්ගෙන් වෙනස් වන්නේ කුමක් නිසාද? පිළිතුර ඉතාමත් සරලය. ඔහු ගීතය නම් උමතුව භාෂාවේ අනිසි බාධා බිඳ හෙළමින් රෝගයක් මෙන් බෝ කරන්නට සමත් අයෙකු හෙයිනි. පසුගිය දශක කිහිපය පුරා අරාබිකරය පුරා නින්නාද වුණ රිචී පෙම් ගීත කූටප්‍රාප්තිය පත් වූයේ ඔහුගේ සජීවී සංගීත ප්‍රසංගයන්ගෙනි. කටපාඩමින් රිචී ගේ ගී ගයන,ඔහු ගයන විට කඳුළු වඟුරන මේ රසික පිරිස අන් අයගෙන් වෙන් කර ගත නොහේ. 2003 වසරේ ඉරාකයේ පැවැත්වුණු රිචී ගේ සංගීත ප්‍රසංගය මීට හොඳම උදාහරණයයි. ඒ අමෙරිකානු යුද ටැංකි බැග්ඩෑඩය ආක්‍රමණය කළ වසරයි. අමෙරිකානුවන්ගේ කුප්‍රකට ගලවාගැනීමේ හමුදාව ගැන තාවකාලිකව අමතක කරන්නට රිචීගේ ගී අන්‍යාකාරයෙන් උදව් කළ බව මා නොකියා කියන්නේද? නැත. එහි ව්‍යංගාර්ථයක් නැත.

ඊළඟට ආසන්නම උදාහරණය සපයන්නේ මේ වසරේ අර්බිල් හි කුර්දිස්ථානයේ පැවැති කාව්‍ය උළෙලයි. ලයනල් රිචීගේ ගී ඇසුරින් ඔවුන් රචනා කළ කාව්‍ය සමූහයක් මෙහිදී ගැයුණු අතර එය බ්‍රිතාන්‍ය-කුර්දිස්ථාන-අරාබි ලේඛකයන් එක පෙළකට ගෙන ඒමට කළ උත්සාහයක් බවට නිර්වචනය කර ඇත. යුද ටැංකියෙන් උදා කර දිය නොහැකි වූ සාමය ගීතයෙන්,සාහිත්‍යයෙන් උදා කිරීම කෙතරම් නුවණක්කාර විය යුතුද?
ලයනල් රිචීගේ මනෝහර කටහඬ ඉරාකයෙන් ලිබියාවටද විසිරුණ එකකි. ගඩා‍ෆි වෙනුවෙන් ලිබියාවේදි ගැයූ රිචී ලිබියාවටද කිසිදා නොලැබූ වසන්තයක් උදා කර දුනි. එපමණක් නොව සෞදි අරාබියේ ධනවතුන්ගේ පෞද්ගලික සාදයන්හි ගී ගැයීමටද නිතර,නිතර ඔහු වෙත ආරාධනා ලැබුණි.
ලයනල් රිචී ඒ ගැන 'ද ඉන්ඩිපෙන්ඩන්' පුවත්පතට කියන්නේ මෙවන් දෙයකි.
'මගේ සංගීත දිවියේ වර්ණවත්ම මොහොතක් තමයි මේ ගෙවිලා යන්නේ. සංගීතය තමන්ගේ ගමන් මාර්ගය හොයාගෙන මැද පෙරදිගටම ඇවිල්ලා. ඉරානය වගේම ලිබියාව මගේ ගීත විඳින විදිහ දැක්කම මට ඇතිවෙන්නෙ සතුටටත් එහා ගිය සං‍තෝසයක්. ගායකයෙකුට ලබන්න පුළුවන් උපරිම තෑග්ග මේක වෙන්න පුළුවන්'
දැනට ඔහු මිලියන 100ක සංගීත තැටි අලෙවි කර ඇති ගායකයෙකි. වයස 63දීත් මධුරව,මනෝහරව ගයන රිචී ඒ සා අලෙවියක් ඇති ගායකයෙකු වීමේ ප්‍රාතිහාර්යක් තිබීම අරුමයක් නොවේ.
ජූලි මස 14 වැනිදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය වසන්ත සංගීත සැනකෙළිය වෙනුවෙන් රිචී සමඟ ජෙනිෆර් ලෝපස්ද ගී ගැයීමට නියමිතය. එපමණක් නොව ඔහු බැග්ඩෑඩයේද තමන්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
'අරාබිය තරම් තහංචි ඇති වෙනත් රාජ්‍යයක් තවත් නැති තරම්. නමුත් මේ හැමෝටම මට එකම හඬින් 'මම ඔබට ආදරෙයි' කියන්න පුළුවන්. මම දන්නවා ඔවුනුත් නැවත මට ආදරෙයි කියලා කියන බව. මොකද ආදරය මේ සෑම රාජ්‍යයක් හරහාම ගිනි සිළුවක් වාගෙම හමා ගෙන යනවා. හැම හදවතක්ම ඒ ස්වල්ප ගින්දරෙන් පිලිස්සිලා තියෙනවා. නැවත සිසිල් වෙලා තියෙනවා. මම ඔවුන්ට සිසිලස අරගෙනයි එන්නේ. ඒකයි මේ තරම් ආදරෙන් ඔවුන් මාව පිළිගන්නේ'
'සෞදි කුමාරවරුන් මට පෞද්ගලිකවම ආරාධනා කරනවා ඔවුන් වෙනුවෙන් ගී ගයන්නයි කියලා. ඒක මට ලොකු ආඩම්බරයක්.'
ඒ කෙසේද යත් ඔහු බෲනායි හි සුල්තාන්වරයෙකුගේ පුත්‍රයා වූ අසාම් කුමරු වෙනුවෙන් අමෙරිකානු ඩොලර 250,000ට ගී ගැයීය. සාමය වෙනුවෙන් තමා ගී ගැයූ බව රිචී කීවත් මේ ගැන විවිධ විවේචනද පළ විය. ඔහු අරාබියේ සුරතලෙකු වන්නට යන බව එක් අපවාදයකි. රන් කාසි සෙල්ලමේ මුදුනේම සිටින අරාබිකරය බොහෝ වෘත්තීන් මුදලට ගැනීමේ රුසියෝය.
එහත් නෙල්සන් මැන්ඩෙලා රිචීට කීවේ මෙවැන්නකි.
'මම හිරගෙදර ඉන්නකොට ඔබේ ගීත මාව සුවපත් කළා. මට ධෛර්යය ලබා දුන්නා. ඔබ අපූරුම ගායකයෙක්. ස්තූතියි ඔබේ ගීතවලට. ස්තූතියි ඔබ ගී ගයනවාට'
1968දී ඇ‍රැඹි 'කොමදෝර්' සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූද,ගායකයෙකු,සංගීතඥයෙකු,නළුවෙකු සහ සංගීත තැටි නිෂ්පාදකයෙකු වූ ලයනල් රිචී මෙතෙක් නිකුත් කර ඇති සංගීත තැටි ප්‍රමාණය 11කි. රඟපා ඇති සිනමාපට ප්‍රමාණය 09කි. ඉනුත් වඩා ප්‍රකට ගීතය වූ 'හෙලෝ' 1984 නිකුත් වූ ඔහුගේ තෙවැනී ගී ඇල්බමය වූ 'කාන්ට් ස්ලෝ ඩවුන්'හි අන්තර්ගත වූවකි. මේ ගීතයේම අන් අය ගැයූ වෙළුම් 17ටත් වඩා නිකුත් වී ඇත. 'සේ යූ සේ මි','අයි කෝල් ඉට් ලව්', 'ජස්ට් ෆෝ යූ','ස්ටක් ඔන් යූ','ඕල් නයිට් ලෝන්ග්' සහ 'ටෙන්ඩර් හාට්' ආදී ගී දශක කිහිපයක් එහාටත් මෙහාටත් සුමුදු සුළඟක් මෙන් හමා යන තරම් ප්‍රේමණීය ඒවාය. ඔහු වයස 63දීත් කල් ඉකුත් වූ ගායකයෙකු නොවන්නේ ඒ නිසාවෙනි.
'ඔබ කොහේ හෝ හුදෙකලාවෙන් තැවෙනවාද
කවුරුන් හෝ ඔබට ආදරය කරනවාද
මට කියන්න ඔබේ හදවත දිනාගන්න ක්‍රමයක්'
ඒ රිචී ඔබෙන් අසන පැනයයි. පිළිතුරක් ඔබ සතුද?

කාංචනා අමිලානි

පුවත්පත් සබැදිය

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "වැලිකතරේ දෝංකාර දෙන ප්‍රේමණීය වැයුම"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com