මේක ට්විටර් යුගයේ හොරකමක්. වඩාත් පැහැදිලිව කියනවා නම් ස්ථාවර් වත්කම්වලට වඩා මේ කාලයේ වැඩිපුර වටිනාකමක් ලැබෙන්නෙ දත්තවලට. අන්තර්ජාලය තුළ ඔබ සිදු කරන ක්‍රියාවන්වලට. හොඳ හෝ නරක ලේබලය යටතේ වෙන් කර ගත්තොත් මේ දෙවර්ගය තුළ මිල කළ නොහැකි වටිනාකමක් පවතිනවා. දත්ත සොරකම් කිරීමෙන් සෘජු මූල්‍ය ලාභ ලැබීමට එහා ගිය ටෙරාබයිට් ප්‍රමාණයේ ලාභයක් මේ සොරකම් කරන්නන් අත්පත් කර ගන්නවා. දත්ත සොරකම් කිරීමේ අපවාදය නොයෙක් රටවල් වෙත එල්ල වෙලා තිබුණත් එහි වැඩිම බර තිබුණේ චීනයටත් අමෙරිකාවටත්. ඊමේල් ගිණුම්වල රහස්‍ය වචන සොරකම් කිරීමේ සිට බැංකු තොරතුරු සොරකම් කිරීම තෙක් ඇදී ගිය මේ අපවාදය පසුගියදා එල්ල වුණේ අමෙරිකාවට. ඒ සමාජජාලා අඩවි,සෙවුම් යන්ත්‍ර රාශියක් හරහා ඔවුන් අතිශය සංවේදී දත්ත සොරා ගන්නවා කියන කාරණාවයි.
වඩාත් පැහැදිලව කිව්වොත් මයික්‍රොසොෆ්ට්,යාහූ,ගූගල්,ෆේස්බුක්,පෑල්ටෝක්,ඒඕඑල්,ඩ්‍රොප්බොක්ස්,ස්කයිප්,යූටියුබ් සහ ඇපල් සමාගම් ඇමෙරිකානු රජයට තමන්ගේ සේවාදායකයන්ගේ දත්ත වෙත පිවිසීමට සෘජු මාර්ගයක් කැමැත්තෙන්ම සකසා දී ඇති බවයි. මේ චෝදනාව සුළුපටු එකක් නොවන්නේ වර්තමානය වන විට අන්තර්ජාලගත පුරවැසියා මුළුමනින්ම තම ජීවිතය ඒ වෙත හෙළිදරව් කර ඇති නිසයි. නමුත් මේ සියලු අපවාද මැද ට්විටරය හොඳ නමක් දිනාගෙන ඉන්නවා.
වොෂින්ටන් පෝස්ට් සහ ගාර්ඩියන් මේ බව ප්‍රකාශ කරන විට ඉහතින් සඳහන් කරපු සමාජජාලා අඩවි,සෙවුම් යන්ත්‍ර සහ දුරකථන නිපදවන සමාගම් සහ පරිගණක මෘදුකාංග සමාගම් තම තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න වීඩියෝ ආදිය නිකුත් කළා. එන්.එස්.ඒ කියා කෙටියෙන් හඳුන්වන ජාතික ආරක්ෂක ඒජන්සියට තමන් කැමති ඕනෑම විටෙක ඕනෑම දත්තයක් ඉහතින් සඳහන් කළ සමාගම් හරහා ලබා ගැනීමට හැකියාවක් තියෙන බවට පෝස්ට් පුවත්පතේ බාර්ටන් ගෙල්මන් සහ ලෝරා පොයිට්රාස් දෙදෙනා පවසා සිටිනවා.
PRISM නමින් හඳුන්වන මේ දත්ත සොරා ගැනීමේ වැඩසටහන අමෙරිකානු ආණ්ඩුවේ රහසිගත ව්‍යාපෘතියක් බවටයි ඔවුන් හඳුන්වන්නේ. එහෙත් අනුන්ගේ රහස් සොරකම් කරන්නට සැකසූ ව්‍යාපෘතියේ රහස කවුරුන් හෝ සොරා ගැනීම හේතුවෙන් මෙලෙස නිරාවරණය වූ බවටයි අපට සිතන්නට ඉඩ ඇත්තේ.
තව දුරටත් කීවොත් ෆේස්බුක් සහ ගූගල් සේවා සපයන ආයතන ද්විත්වය මෙහි මුල්ම චූදිතයන් කර තිබෙනවා. මේ චෝදනාවලින් තමන් විස්මයට පත් වූ බවයි ආයතන දෙකේම ප්‍රධානීන් පවසන්නේ. ගූගල් සමාගමේ ප්‍රධානී ලැරී පේජ් මෙන්ම ෆේස්බුක් සමාජ අඩවියේ ප්‍රධානී මාක් සකර්බර්ග් පවසන්නේ තමන් කිසිම විටෙක සේවාදායකයන්ගේ රහස්‍ය තොරතුරු තෙවන පාර්ශවයක් වෙත ලබා නොදෙන බවයි.
'ඔවුන් දෙදෙනාම මුසාවක් නොකියනවා විය හැකියි. රජය වෙත සෘජු ප්‍රවේශයක් ලබා නොදුන්නත් ඔවුන් විසින් වක්‍රාකාරයෙන් තොරතුරු සොරා ගැනීමට ඉඩ හරිනවා විය හැකියි' තව දුරටත් පුවත්පත් පවසන්නේ ඒ ආකාරයටයි. වර්තමානය තොරතුරු මුදා හැරීමේ මෙන්ම තොරතුරු සොරකම් කිරීමේ යුගයක් බව අමතක නොකර සමාජජාලා අඩවි මත පෞද්ගලික ජීවිතය මුද්‍රා තබන සේවාදායකයන්ට මෙය කදිම අනතුරු ඇගවීමක් බව කීමට නොහැකියි. මන්දයත් අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසා පලක් නොවන හෙයිනි.
කිසිවෙකු අන්තර්ජාලය තුළ තමාව මුදා හැරීමට තීරණය කළ දින පටන්ම ඔබේ පෞද්ගලිකත්වය අවධානමකට ලක් කිරීමට ඒ පුද්ගලයා විසින්ම තීරණය කර ඇති බව වටහා ගැනීම එතරම් පහසු නැත. ෆේස්බුක් සමාජජාලය තුළ රහස්‍යභාවය සුරකිනු පිණිස විශේෂ ආරක්ෂිත වැඩසටහන් යොදා තිබුණත් එකී ගිණුම් වෙත අනවසරයෙන් ඉතා පහසුවෙන් පිවිසීමට සමතුන් සොයා ගැනීම එතරම් අපහසු නැත. එනම් අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන ඔබ කිසිම විට සුරක්ෂිත යැයි කිව නොහැකි තරම්ය.
යාහූ ඒ වෙනුවෙන් වඟ උත්තර බදින්නේ මේ ආකාරයටය.
'අපි සේවාදායකයන්ගේ රහස්‍යභාවය ගැන බරපතලව හිතනවා. ඒ නිසා කිසිම ආකාරයකින් රජයට අපේ දත්තජාලයට සෘජු පිවිසුමක් ලබා දීලා නෑ.'
මේ කිසිවෙකු PRISM ගැන අසා නොතිබෙන බවට දිවුරා කියන විට සෙස්සෝ PRISM ගැන කවුරුත් නොදන්නා තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත්ව සිටියි. ඒ අතරින් 'ද ඉන්ඩිපෙන්ඩන්' ප්‍රධානය. නයිජල් මොරිස් කියන්නේ PRISM යනු 2007 වසරේ ජෝර්ජ් බුෂ්ගේ පාලනය පැවති කාලයේ ගොඩනැඟූ ව්‍යාපෘතියක් බවයි. එම වසරේදී සම්මත කරගත් පරික්ෂා කිරීමේ අයිතිය සහිත නීතිය සමඟ මෙය ගොඩනැගූ බවත් ඉන් පසුව දිගින් දිගටම ඉතාමත් රහසිගතව ක්‍රියාත්මක වූ බවත්ය.
මේ චෝදනා ගැන අමෙරිකානු ජනාධිපත් බැරක් ඔබාමා කැලිෆෝනියාවේදී කීවේ මෙවැන්නකි.
'කවුරුවත් ඔබේ දුරකතන සංවාදවලට සවන් දෙන්නෙ නෑ.'
මේ සියල්ලෙම් සැබෑව කුමක් නම් විය හැකිද? ප්‍රකට රූපවාහිනී කතා මාලාවක් වන 'පර්සන් ඔෆ් ඉන්ට්‍රස්ට්' හි දැක්වෙන ආකාරයට 11/9 ප්‍රහාරයෙන් පසුව ආරක්ෂාව ගැන දැඩි හීනමානයකින් පෙළෙන ඔවුන් මිනිසුන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම නිරීක්ෂණය කිරීමට සුපිරි පරිගණයක් නිපදවා ඇතිද? පුරවැසියන්ගේ සමාජ ආරක්ෂණ නොම්මරය යටතේ සියලු දත්ත සොරකම් කර ගබඩා කර තබ ගන්නේද? මේ තාක්ෂණික ලෝකය මිනිසාව ගෙන යන්නේ කොතැනටද? දැන හෝ නොදැන දිගින් දිගටම ඒ උගුලේම වැටෙන මිනිසාට කුමක් නම් කළ යුතුද?
ප්‍රශ්න අටෝරාසියකි. මේ සයිබර් යුගය ෆේස්බුක් ස්ටේටසයකින් අවසන් නොවන මර උගුලක් බව වැටහෙන විට ප්‍රමාද වැඩි බව කිව යුතු නැත. එහෙත් ඉන් පලා යා යුතුද? සොරකම් කරන්නන් හට වංචනික තොරතුරු ලබා දීමට සූක්ෂම විය යුතුද? තව දුරටත් අවංක පුරවැසියෙකුව ඔබේ ජීවිතය ස්කෑනයකට හසු කර ගැනීමට ඉඩ හළ යුතුද?
ඔබට පිළිතුරක් නැත. සයිබර් යුගය ඒ තරමටම පිම්මක් ඉදිරියෙනි.
වොෂින්ටන් පෝස්ට් සහ ගාර්ඩියන් ඇසුරිනි
කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "සයිබර් යුගයේ කුප්‍රකට දත්ත සොරකම"