ඕ එක් නවකතාවක් පමණක් ලියා අප්‍රමාණ ප්රහර්ෂයක් කියවන්නන් හට අත් පත් කරදී බොහෝ කලකට නිහඬව උන් තැනැත්තියකි. ඒමතුද නොවේ, තමා ලියූ පළමු නවකතාව උදෙසා 1997දී බුකර් සම්මානයද ලබා ගනිමිනි. 'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' ඉන්දියාවෙන් පටන් ගෙන නොයෙකුත් දේශසීමා තරණය කළ අපූරු නවකතාවකි. ඒ ශ්‍රී ලංකාව තරණය කළේ 'සුළු දෙය ඇසුරු කළ දෙවියා' නමිනි. වසර හතරක් මුළුල්ලේ ලියූ මේ නවකතාව හාපර් කොලින්ස් සමාගමේ පන්කජ් මිශ්රා විසින් බ්‍රිතාන්‍යයේ ත්‍රී බ්‍රිටිෂ් පබ්ලිෂර්ස් වෙත යොමු කරන ලදී. පවුම් මිලයන භාගයක අත්තිකාරමක් ලද මේ අපූරු නවකතාව විසින් අරුන්දතී රෝයි නම් ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාව එක වරම ලෝකයට නිරාවරණය කිරීමට සමත් විය.
එහෙව් අරුන්දතිය වසර 17ක් මුළුල්ලේ තවත් නවකතාවක් නොලියා අන් කුමක් නම් කළාදැයි ඇසිය යුතු තරම්ය. එහෙත් ඒ ප්රශ්නය ඇය වෙත ඔසවා තබන්නට පුවත්පත් සම්මුඛ සාකච්ඡා නිතර උත්සුක වු සේම ඕද නිසි පිළිතුරු ලබා දුන්නීය.
'මට දැන් වයස 52යි. තවත් නවකතාවක් ලිවීමේ උන්මාදයෙන් මං පෙළෙනවා. නමුත් මං රජයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීම හේතුවෙන් ඔවුන් විසින් තවත් කතාවක් ලිවීම වළකනවා. මගේ පෑන හුදෙක් වාගාලාප ලිවීමට මා භාවිත නොකරන බව ඔවුන් දන්නවා. කොටින්ම කියනවා නම් මා ලියන දේට ඔවුන් බයයි. මොකද මං සත්‍ය දවටනයක ලා ලෝකයට ඉදිරිපත් කරන නිසා'
'ඉතාම පැහැදිලිව කිව්වොත් හැමෝම ඉන්නෙ භයානක තැනක. ඒ නිසා තනි කෙනෙකුට විතරක් හිතන්න බෑ මං විතරයි භයානක තත්ත්වයකට පත් වෙලා ඉන්නෙ කියලා. මේ අවධානම හැමෝටම පොදුයි. උණ්ඩයට ජීවිතය දීම ,වධ හිංසාවට ලක් වීම සහ බඩගින්න,මන්දපෝෂණය අතර වැඩි වෙනසක් නෑ. මං කාලයක් ජීවිත අවධානම නිසා කැළේට වෙලයි හිටියේ. ඒ අතීතය මට අමතක නෑ. ඒ අතීතයෙන්ම තමයි මං මේ නැඟී සිටින්නේ. මේ පසුබිම මත තවත් නවකතාවක් නොලියන්නේ ඇයි කියලා ප්‍රශ්න කරන එක සාධාරණ නෑ.' මේ 2011 වසරේදී ස්ටෙපන් මෝස් සමඟ අරුන්දතී 'දා ගාර්ඩියන්' පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසකි.
මේ සියලු අතීත කතා වැලමිට වංගුවක් මෙන් මඟහැර වර්තමානයට පිවිසි විට ඈ තමන්ගේ දෙවැනි නවකතාව ලියන බව නිළ වශයෙන් ප්‍රකාශ කළේය. එහෙදු නවකතාව පිළිබද තොරතුරු හෙළි කිරීමෙන් වැළැකී ස්වකීය උස් තානයකින් යුක්ත කටහඬ ලෙළවමින් ඈ කියන්නේ කලක සිට තම දෙවැනි නවකතාව ලියමින් සිටින බවක් පමණකි.
එහෙත් අරුන්දතිය තම දෙවැනි නවකතාව ඉතාම රහසිගත ලිවීමේ පසුවන බව අලුත් රහසක් නොවන බව විචාරකයන්ගේ මතයයි. මේ මතයට අරුන්දතිය කොක්හඬලා සිනාසෙන්නේ 'ද ඉන්ඩිපෙන්ඩන්' 2011දී කළ සාකච්ඡාවකදීය. 2012දී පබ්ලිෂින් පර්ස්පෙක්ටිව් වෙබ් අඩවියට තම දෙවැනි නවකතාව ගැන ඈ කීවේ මෙවැන්නකි.
'මට කවදාවත් බලාපොරොත්තු තිබ්බෙ නෑ අහවල් දවසෙ තවත් නවකතාවක් ලියන්න ඕනා කියලා. මම වෘත්තීමය නවකතාකාරිණියක් නෙවෙයි. නවකතා ලියා ඒ වෘත්තියේ කුමක් හෝ තැනකට යන්න මං උත්සාහ කරන්නෙ නෑ. මං හිතන විදිහට වඩා වැදගත් වෙන්නේ සමාජ ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමයි. ජීවත් වී නොයෙක් අත්දැකීම් එකතු කර ගැනීමයි.
නමුත් ලිවීම මගේ ඩී.එන්.ඒ අනු තුළ තියෙනවා කියලා මං විස්වාස කරනවා. ඔබ ලියන්න පටන් ගත්තම ඒ ලියන කාරණා ගැන නිශ්චිත වෙන්න ඕනා. මං කාලයක් තිස්සේ හිතන දෙයක් තියෙනවා. ඒ මාළු අල්ලන්නන් ලිවීමේ නිරත වෙනවා නම් බොහෝ අපූරු දෑ ලියැවේවි කියලයි. මොකද ඔවුන් බොහෝ කාලයක් ගත කරන්නේ නිහඬව,මාළුන්ට එරෙහිව කැරළි ගසමින්'
ඕ විප්ලවකාරිනියක් යැයි කියන්නේ එහෙයිනි. ලිවීමට බොහෝ නිහඬ, මාළු අල්ලන්නන්ට ආරාධනා කරන ඈ තමාගේ දෙවැනි නවකතාව ගැන කෙළ බිඳකුදු නොහෙළයි. නවකතාවක් ලිවීම පැහැර හැරි ඈ ඒ වෙනුවට තවත් බොහෝ දේ ලියා මුද්‍රණය කර ඇත.
'ද එන්ඩ් ඔෆ් ඉමිග්රේෂන්', 'ද කෝස්ට් ඔෆ් ලිවින්ග්', 'ද ග්‍රේටර් කොමන් ගුඩ්','පවර් පොලිටික්ස්','වෝ ටෝක්','ද ෂේප් ඔෆ් ද බීස්ට්','ලිස්ට්නින්ග් ටු ග්‍රාස් හොපර්ස්' ඉන් අතලොස්සකි.
එවන් කැරළිකාරිණියක ලියන අලුත් නවකතාව ගැන නොදැන සිටීම ලජ්ජාවක්දැයි අසනු නොහී. එහෙත් ඈ සාගරයක් කළඹන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. ගිනි කන්දක් සක්‍රීය කරන බවත් විස්වාසනීයය. ලේඛකයා විසින් පාඨකයා අභිබවා යන්නේ අන්න එවිටය. වත්මන් පාරිභෝගික සමාජය තුළ එලෙස පාඨකයන් අභිබවා යන ලේඛකයන් අපට හමු වන්නේ කලාතුරකිනි. විද්‍යුත් සමාජයේ බ්ලොග්ගත දැනුමෙන් සන්නද්ද කියවන්නා තවත් ලියන්නෙකි. එනිසාම ප්‍රවේසම්කාරී ලියන්නෝ බහුල නැත. එවැනි සුළුතරය පාඨකයා හමුවේ ලේඛකයෝ අභීතව නැඟී සිටිති. අරුන්දතී රෝයි ද එවැනි අභීතව නැඟී සිටින්නියකි. ඕ කියවා ගැනීමට අප මඟ බලා සිටින්නේ එහෙයිනි.
ද හින්දු ඇසුරිනි
කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය
ප්‍රතිචාර
Powered by Facebook Comments
29/11/2013 at 2:29 pm Permalink
හොඳයි ඇය එනතුරු අපි බලා හිඳිමු.