බිම වැ‍ටුණු වීදුරු කැඩපත

10960318735_6e34224ddd_h
ඕවලාකාර කුඩා කැඩපතකි. කැටයමින් නොසැරසුණු කැඩපතේ බද, මදීබාගේ වමතට හිරවී ඇත. බොකු‍ටු කොණ්ඩය සුදෝ සුදුය. දෑස විඩාබර මුත් තීක්ෂණය. සටන්කාමීය. හොඳින් බූ ගෑ රවුල සඟවන සුදු රවුල් ගස් අවසානය ළඟ බව අනතුරු හඟවා ඇති සෙයකි.
මේ සා වසක් බෝ දුක් පිරිපත සේම ජීවිතයේ ආනන්දය අත් විඳි නෙල්සන් මැන්ඩලාවන්ගේ අවසන් ඡායාරූප ගොණුව ට්විටර පණිවිඩයකින් පීරා සොයා ගත් හෙයින් ඒ එකිනෙක වෙනත් තැනක වචනවලින් ඇලවීම මගේ රාජකාරියයි.
හේ කාලය අයිස් කුට්ටියක සිර කර හදිසියේම නික්ම ගියේ දෙසැම්බර් 05 වැනිදාය. එතෙක් සහසක් සේයාරූවලට පෙනී සිටි ඉතිහාසගත අයිකනයක වූ නෙල්සන් මැන්ඩෙලාවන් පෙනී සිටි අවසන් ඡායාරූප ගොණුවේ අයිතිය ලැබුණේ ඒඩ්‍රියන් ස්ටේරින්ටය. '‍ටුවෙන්ටි ෆස්ට් අයිකන්ස් ප්‍රොජෙක්ට්' නමින් ප්‍රකට මේ ව්‍යාපෘතිය පිළිබද විශාල උනන්දුවක් හට ගන්නට පටන් ගත්තේ ඒ මැන්ඩෙලාවන්ගේ අවසන් සේයාරූ ගොණුව වූ බැවිනි.
මේ ව්‍යාපෘතිය කෙටි සිනමාපට සහ සේයාරූවලින් යුක්තය. දකුණු අප්‍රිකාව උත්කර්ෂයට නැංවූ ප්‍රකට චරිත කැමරාවට හසු කර ගැනීම ඔවුන්ගේ රාජකාරියයි. එවන් වූ සේයාරූ ගැනීමට ඔවුන් ‍තෝරා ගෙන තිබුණේ කදිම ස්ථානයකි.ඒ කේප් ටවුන්හි පිහිටි මැන්ඩෙලාගේ ළමා කල නිවහනයි.
මේ පිබිදුණු මුහුණින් යුක්තව ඒඩ්‍රියන් මැන්ඩෙලාවන්ගේ සේයාරූ ගැනීම පිළිබඳ කියන කතාවයි.
Nelson Mandela: Adrian Steirn's 21 Icons South Africa Series
'නෙල්සන් මැන්ඩෙලා එක්ක සමීපව කටයුතු කරන්න ලැබුණු එක අපි ලබපු පුදුම විදිහෙ වාසනාවක්. මීට අවුරුදු තුනකට විතර කලින් ඔහු අපේ ව්‍යාපෘතිය ගැන කතා කළා. ඔහු ව්‍යාපෘතියට කැමති වුණා. මං හිතන්නේ අනෙක් අයගේ සේයාරූ දැක්කම ඔහු එක්වරම තීරණය කළා කවද හරි මේ වෙනුවෙන් පෙනී ඉන්න. නමුත් ඒ කැමැත්ත වචනවලින් පිට කළේ නෑ. ඒ කැමැත්ත වචන වුණේ බොහෝ කාලයක් ගියාට පස්සෙයි.'
ප්‍රකට දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියෙකු වන ඒඩ්‍රියන් ඇතුළු කණ්ඩායම අවසානයේ ඉතිහාසගත මදීබා සමඟ එක පෙළට ඉන්නේ අවසන් සේයාරූ සඳහාය.
'අපි හරියට බය වෙලයි හිටියේ. ලයිට් සකස් කරලා,ඵුට වාඩි වෙන්න පු‍ටුවක් එහෙම ලෑස්ති කරලා අපි මඟ බලන් හිටියා. ඔහු බොහොම සැහැල්ලුවෙන් කාමරයට ඇතුළු වුණා. අර දැකලා පුරුදු ප්‍රිය මනාප,හැඟීම්බර හිනාවෙන්ම ඔහු අපිට සුබ පැතුවා. විහිලුවක්,දෙකක් කරලා හිනාත් වුණා. අන්න ඊට පස්සෙයි අපේ බය නැත්තටම නැති වුණේ.'
'ඔහුටත් වඩා අපි ගොඩාක් ලොකුවට හැඟීම්බර වෙලා හිටියා කියලයි මට පෞද්ගලිකවම තේරුණේ. මේ වගේ දේවල් ඔහුට හරිම සාමාන්‍යයිනේ. ඒත් අපිට ඔහුව සාමාන්‍ය කෙනෙක් නොවන නිසා ජීවිතේ ලබන්න පුළුවන් භාග්‍යවත්ම අවස්ථාවක් විදිහටයි අපි ඒක සැලකුවේ.'
'තරමක කණ්ණාඩියකින් ඔහු තමාවම නැරඹීම තමයි ඔහුගේ සේයාරූ එකතුවේ කවරය වුණේ. මං හිතන්නේ නෙල්සන් මැන්ඩෙලා කොපමණ වයස වුණත් ඔහුගේ පෙනුම ගැන පුදුමාකාර විදිහට සැලකිලිමත් වෙනවා. මේ අත් කැඩපත සමඟ පෙනී ඉන්න සේයාරුවෙන් ඒක මොනවට ඔප්පු වෙනවා.'
Nelson Mandela: Adrian Steirn's 21 Icons South Africa Series
'අපි මේ සේයාරූ නම් කළෙත් 'පරාවර්තනය' කියලයි. මොකද කණ්ණාඩියකිනුයි පරාවර්තිත රූපයක් ලබා දෙන්නේ. මැන්ඩෙලාගේ පරාවර්තිත රූපයයි අපි කැමරාවේ සටහන් කර ගත්තේ. මට අමතක නොවන මොහොතක් ලැබුණා. ඒ මගේ අයි පෑඩයෙන් කලින් ගත්ත පින්තූර පෙන්නමින් ඉන්නකොට හිටපු ජනාධිපති එෆ්.ඩබ්ලිව්.ඩී.ක්ලාර්ක්ගෙ ඡායාරූපයක් ඔහු දැක්ක මොහොත. ඒක හරි පුදුමයි. ඔහුගේ මුහුණ හදිසියේම ආලෝකවත් වෙනවා මට පෙනුණා. ඒක හරි අනපේක්ෂිත සතුටක්. නමුත් හරිම අවංක සං‍තෝසයක්. මැන්ඩෙලා කියන්නේ වයස්ගත අයෙක්. ඔහු වැඩිපුර කතා කරන්නෙ නෑ. නමුත් හැඟීම් ගොඩාක් පෙන්නනවා. මේ ඒ වාගේ හැඟීම් රාශියක් එකට පෙන්නපු වෙලාවක්. එෆ්.ඩබ්ලිව්.ඩී ක්ලාර්ක් තමයි ඔහුව හිරෙන් නිදහස් කරන්න කටයුතු කළේ. '
සැබවින්ම නෙල්සන් මැන්ඩෙලා සමඟ තමන්ගේ ජීවිතයේ එක් මොහොතක් ගත කිරීම අමිල බව ඒඩ්‍රියන් සැලකීම අරුමයක් නොවේ. මද සිනා සහිතව කුෂන් පු‍ටුවක වාඩිවී සිටින මැන්ඩෙලාවන්ට තම කැමරාවෙන් ඡායාරූප පෙන්වන ඒඩ්‍රියන් අසලින් බිම දණ ගසාගෙන සිටින්නේ ඔහුගේ සහයකයාය. ඒ අසල ආලෝකය පාලනය කරන යන්ත්‍රය. බාගෙට විවර කළ තනි පැහැති ජනෙල් තිරය. මෘදු මතුපිටක් සහිත කාපටය උඩ නිදැල්ලේ හැසිරෙන වයර රෝලය. ඒ සියල්ලට යටින් හිමේ යන්නට මෙන් බූල් මතුපිටක් ඇති කදිම සපත්තු යුගලක් පැළැදි මැන්ඩෙලාගේ පාදය. ඡායාරූපයට පෙනී නොසිටින ඒ කදිම බූට් යුගල ඔහුට පහසුවෙන් වාඩි වී සිටින්නට සලසනවාක් මෙනි.
11048504694_7f6d76a2fd_h
ඡායාරූප ගන්නවා,ඡායාරූප ගැනීමේ කලාවය මේ ඔබ දැන් දකින්නේ. ගත් ඡායාරූපයක සැඟවුණු කතාවය මා දැන් මේ කියමින් සිටින්නේ.
'මදීබා තමන්ගේ හිරගෙදර ජීවිතය ගැන ඒ වෙලාවෙ කතා කළා. මුළු කාමරයම මීයට පිම්බා වාගේ නිශ්ශබ්ද වුණා. අපි ඔක්කෝම අන්තිමේදී අඬන්න පටන් ගත්තා. ඒ කඳුළු අකීකරු විදිහට හැමෝගෙම කම්මුල් තෙත් කරන් පහළටම ගලාගෙන ගියා.'
ඒඩ්‍රියන්ගේ දෑස මේ දැන්ද තෙතය. හේ සංවේදීව ඇත්තේ මැන්ඩෙලාවන් තම දුක්බර අතීතය සිහිපත් කිරීමටද,එසේත් නැත්නම් මැන්ඩෙලා මිය ගිය බව ප්‍රත්‍යක්ෂ වීමෙන්දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත් ඔහු දුකෙනි. ඡායාරූප ශිල්පියා දුකෙනි.
'ඔහු අපට කියපු පළවෙනි දේ තමයි ඔහු සාමාන්‍ය මනුස්සයෙක් කියන එක. ඒත් ඔහුට එතැනින් නතර වෙන්න බෑ. සාමාන්‍ය මනුස්සයෙක් විතරක් වෙලා නතර වෙන්න බෑ. මැන්ඩෙලා කියන්නේ අයිකනයක්;ඉතිහාසයක්;අපි හැමෝගෙම කොටසක්. ඔහු තරම් අන්‍යයන්ට සමාව දීපු වෙන කෙනෙක් නැති තරම්. සෑම ආකාරයකම හොඳ ඔහු නියෝජනය කළා. අපි තුළත් ඒ හොඳ යටපත් වෙලා තියෙන්න පුළුවන් කියන ඉඟියයි ඔහු ලෝකයට වටහලා දෙන්න උත්සාහ කළේ.'
11048485884_9253c4ae90_b
ඒඩ්‍රියන්ගේ ඇසින් මේ අපට පෙනෙන මැන්ඩෙලාවන් කළු සුදුවටම දකින්න සලස්වා ඇත්තේ ඔහු දියත් කළ කළු-සුදු අරගලය සංකේතවත් කිරීමට යැයි සිතිය හැකි මුත් ඒඩ්‍රියන්ගේ ඡායාරූප ඇතුළත් ෆ්ලිකර් ඇල්බමය පෙරලා බැලූ විට ඔහුගේ සෙසු සේයාරූ සියල්ලමත් කළු-සුදු බව පෙනෙයි. එහෙයින් මේ අහම්බයක් නොවේ. මැන්ඩෙලා වෙනුවෙන්ම දවසක රූගත කරන්නට නියමිතව ඒඩ්‍රියන් විසින් ඉකුත් දවසක අවිඥාණිකවම ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපෘතියකි.
ලෝකය කළු-සුදෙන් ගලවා එහි වර්ණ ගල්වා යලි පිහිටි තැනන් මදක් උස් තැනක ස්ථානගත කිරීමට සමත් වූ මැන්ඩෙලාවන් මෘදු තැනිතලාවල පුළුන් වැනි මතුපිටක් ඇති බූට් යුගල ලාගෙන සන්සුන් ගමනින් යනු ඇතැයි මා උපකල්පනය කරමි. ඉදහිට තම කුරු කොණ්ඩය මත ‍රැළි වැ‍ටුණු අත්ල තබමින් සෙමෙන් හිස කෙස් පස්සට පීරන හේ ඉර කොහේ ඇත්දැයි විමසන්නට අහස බලනු ඇත. අන්න ඒ මොහොතේ තදබල නිදිමතකින් තමන් පෙළෙන බව ඔහුට හැ‍ඟෙන්නට ඇත. ඒ අධික නිදිමතින් නින්දට වැ‍ටුණු ඔහුට මම සුබ රාත්‍රියක් පතන්නේ සුවහසක් සිහින සමඟිනි.

 

කාංචනා අමිලානි
සේයාරූ -ඒඩ්‍රියන් ස්ටේරින්
පුවත්පත් සබැදිය
ඒඩ්‍රියන්ගේ ෆ්ලිකර් පින්තූර පි‍ටුව

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "බිම වැ‍ටුණු වීදුරු කැඩපත"

  1. dulshan nawarathne
    17/12/2013 at 9:50 am Permalink

    ලස්සන,හිතට දැනෙන ලිපියක්..

  2. බොහොම ස්තූතියි දුල්ෂාන්.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com