හීලෑ අශ්වයෝ ගැන

cover
අත් පිටපත කීප පාරක් කියවලා,ඉතා අපරික්ෂාකාරීව ටයිප් කරපු පීඩීඑෆ් ගොනුවක් තවත් කීප පාරක් කියවලා,අක්ෂර වින්‍යාසෙ වැරදි හොයන්න ආයෙ කියවමින් මං සෑහෙන්න කාලයක් මේ පොතත් එක්ක කාලය ගත කළා. එහෙම කියවීම පොතක කීවෙනි හරි පාර්ශවකරුවෙක් වීමක් කියලා මං හිතන්නෑ. ඒත් මට මේ පොතත් එක්ක පැහැදිලි කරලා කියන්න බැරි සම්බන්ධයක් ඇති වුණා. සමහර විට තුන්වැනි පාර්ශවයක් නෙවෙයි හය වැනි හෝ හත් වැනි පාර්ශවයක් විදිහට හීලෑ අශ්වයෝ කියවමින් මං හිටියේ.
මං හිතන්නේ මං පොඩි වාසියක හිටියේ. ඒ කියන්නේ ස්ටේබල් හෝර්සස් කොළඹ හෝ කළුතර කිසිම පොත් කඩයකින් මිලදී ගන්න බැරි වෙච්ච වාසිය නිසා මට මුලින්ම කියවන්න ලැබුණේ හීලෑ අශ්වයෝ මිසක් ස්ටේබල් හෝර්සස් නෙවෙයි.
ඒක නිකං උස්සලා පොළොවේ ගහන වාතාවරණයක් නෙවෙයි. ඒත් ඒක විසාල බලපෑමක්.
ස්ටේබල් හෝර්සස් කියන්නේ කතාවක් තියෙන පොතක් නෙවෙයි,බොහොම රළු භාෂා රටාවක් තියෙන පොතක්,වැඩි දෙනෙක් නොකියවපු පාඨකයෝ අතරට නොගිය පොතක් විදිහටයි පොදුවේ මේ ගැන කතා කළේ.
ඒත් මොකක්ද කතාවක් තියෙන්නෙ ඕනා කියන්නේ?මොකක්ද භාෂාවේ රළු හෝ සෞම්‍ය බවේ තියෙන ප්‍රශ්නය?
හැම තිස්සෙම රාමුවෙන් එළියට බැහැලා ඉන්න හැමෝම හෙළුවෙන් නෙවෙයිනේ ඉන්නේ. හැම කතාවකම ඒ කතාවට අදාල,ඒ කතාවේ පෙනුමත් එක්ක එකට ගැලපෙන අමුත්තක් තියෙන්න ඕනා. අන්න ඒ අමුත්ත හීලෑ අශ්වයෝ කියවන්න පටන් ගන්නකොට මං දැක්ක නිසා මං ඒකට කැමති වුණා. විශේෂයෙන්ම මේ රචකයා චරිත විස්තර කරන විදිහ,සිද්ධි,වටපිටාව,ඉතාම ක්ෂුද්‍ර දේ පවා මහන්සි ගනිමින් විස්තර කිරීම ආදියට මං කැමතියි.
කතාවක් නැති බව පුන,පුනා කියන ස්ටේබල් හෝර්සස් මට පේන්නෙ කතා ගොඩක එකතුවක් විදිහටයි. හීලෑ කරන්න බැරි තරුණකමේ ප්‍රශ්න,ප්‍රශ්න විදිහට නොපෙනුන මහා සමාජයේ විසාල චිත්‍ර ඇතුළෙයි මේ පුංචි කතා ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ ආදර කතා ඔක්කෝම එක නූලකින් බැදගෙන පිළිවෙලක් කැමති නම් හදාගෙන කියවන්න කියලයි කතාව විසින්ම අපිට බල කරන්නේ. ඒක හිතන විදිහේ ප්‍රශ්නයක් මං හිතන්නේ. නෑ මං කියන්නේ කතාවකට පිළිවෙලක් අවශ්‍යයි කියලා පූර්ව නිගමනයක ඉන්න එක. අන්න ඒක හිතීමේ රාමුවෙන් එළියට බහින්න බැරිකමේ ප්‍රශ්නයක්. මං හිතන්නේ නවකතා,කෙටිකතා,කවි,ගීත මේ සියල්ලම ජීවිතේ ඉතාම සාමාන්‍ය සිද්ධි කියලයි. මේ කිසි දේක කවදාවත් පිළිවෙළක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපි හිතන් ඉන්නවා ඒ හැම දෙයක්ම ඉතාම පිළිවෙළටයි සිද්ධ වුණේ කියලා. ඒ නිසා ඉතාම මහන්සියක් දරලා අපි සාමාන්‍ය ජීවිතේ සිද්ධි පිළිවෙළකට හදාගෙන ඉන්නවා හදිස්සියේ කාට හරි කියන්නවත් වුණොත් කියලා.
නමුත් ලිවීමෙදි ඉතාම සාමාන්‍ය දේ මස් හොද්දක් වගේ හෝ වේලෙන්න වියපු පරිප්පු හොද්දක් වගේ අපිට වෙනස් කරගන්න බලයක් ලැබෙනවා. අන්න ඒ බලය පාවිච්චි කරන්න මැළි වෙන අති බහුතරය සාමාන්‍ය ජීවිතේ කතාව ඒ විදිහටම කියනවා. වඩාත් සූක්ෂම අනිත් සුළුතරය තමන්ගේ බලය පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරපු බලයක් තමයි මට හීලෑ අශ්වයෝ ඇතුළෙන් පේන්නේ.
ඔහු කියන්නේ ආදර කතාවක්. ඉතාමත් ලාස්‍ය ලීලා සහිතව පොත පුරා මේ චරිත ඇවිදිනවා. එකිනෙකාගේ ඇගේ හැපෙමින් ප්‍රේමයේ නිසි-අනිසි මිදි ඵල බුදිනවා. ඒත් යටිපෙළින් මිසක් උඩු පෙළින් ඒ ප්‍රේමයේ රසවත් බුදීම පෙනෙන්නෙ නෑ. මං කැමති අන්න ඒකටයි. කතා නායකයා පවිත්‍රානි ගැන හෝ ප්‍රශානි ගැන ඔක්කෝම නොකියා මඟාරින එකටයි මං කැමති. නවකතාවක අපිට යුතුකමක් හරි වගකීමක් හරි තියෙන්න ඕනා නෑ හැම දෙයක්ම තේරුම් බේරුම් කරලා නිරවුල් කරන්න වුවමනායි කියලා. අන්න ඒ බැදීමට යටත් වෙන බහුතරය අතර ඒ බැදීම උල්ලංඝණය කරන සුළුතරය විසින් තමයි හැමදාම සමාජයට බලපෑමක් වෙන හෝ එක් පුද්ගල චරිතයකට හෝ බලපෑමක් වෙන ලිවීමක් කරන්නේ.
කෞෂල්‍යන් කියන්නේ ඒ කාලයේ තරුණයන්ගෙන් හරස්කඩක් කියලා මට පේන්නෙ නෑ. ඔහු ඒ කාලෙ තාරුණ්‍යයේ අහඹුවක්. ඔහු වටා ඉන්න සෙසු චරිත මෙන්න මේ කියන හරස්කඩ පෙන්නනවා. මේ ඔක්කොම අතර කතා නායකයා තමන්ගේ මතවාදයත් විවිධ සංවාද,සිද්ධි ඇතුළෙන් මුදා හරිනවා. ඒත් ඒක බලපෑමක් විදිහට හෝ දේශණයක් විදිහට කියවන්නාට නොපෙනෙන්න තබාගන්නත් සූක්ෂම වෙනවා.
ඔහුගේ භාෂාවේ රළුකමම වැදගත් සාධකයක් විදිහට මට පේනවා.

1469855_10203004602824610_990103827_n1544946_10202433383733062_448371936_n

මං හිතන්නේ හිමාලිට හීලෑ අශ්වයෝ කියන්නේ භාෂාත්මක අභියෝගයක්. ස්ටේබල් හෝර්සස් කතුවරයා විහංග පෙරේරා ඒ හදිසි පපුවෙ අමාරුව නියමෙට ඇයට අත් කරලා දීලා තියෙනවා. ඈ දිව යට පෙති තියාගන්න නොයා බොහොම පරිස්සමිනුයි මේ මුළු කාලයම ගත කරලා තියෙන්නේ. පරිවර්තනයක විසාල වගකීමෙන් පැන නොයා ඒ වෙනුවෙන් උත්තර බඳින්න ලෑස්ති වීම ප්‍රශංසාත්මකයි.
එකඟ නොවන,අනවශ්‍යයි කියලා මං පෞද්ගලිකව හිතන තැන් ගැන තවම මං ඉන්නේ දෙගිඩියාවක. ඒක හරිම සාමාන්‍යයි. මොකද හැමෝටම කියන්න තියෙන කතාව සාපේක්ෂව වෙනස්. මට පේන්නේ මගේ කතාවට අදාළ දේ විතරයි. ඒ කතාව වටේ ඇවිදිමින් පෞද්ගලිකව අදාල කරගන්න පුළුවන් දේවල් හෙවීමයි බොහෝ විට කියවන්නා කරන්නේ.
හිලෑ අශ්වයෝ ගැන මට හිතෙන්නෙ අන්න ඒ වගේ දේවල් ටිකක්. ඒවා නිකං පොඩි සිතුවිලි පදාස මිසක් වැදගත් දේවල් නෙවෙයි. නමුත් මඟ හැරලා යන්න බැරි පොඩි ඉඳික‍ටු තුඩු රාශියක් ඒ සිතුවිලි පදාස ඇතුළේ තියෙනවා. ඇනී,ඇනී දුකටම පත් කරන ඒ තියුණු තුඩු ඔබව අතීතයෙන් නිතරම ඇහැරවනවා. හරියට නිකං සූක්ෂම ශරීරය වගේ, ඔබව අත් හරින්න කැමති,නමුත් ඔබ යන්න නොදී බලෙන්ම වගේ ළඟ තියාගෙන ඉන්න පැ‍රැණි පෙම්කතා මතු වෙනවා. අන්න ඒ රස මට දැනුණා.
ඒක තමයි මේ හීලෑ අශ්වයන් වෙනුවෙන් මගේ හිතේ තියෙන්නේ.
ඒක රසක්. ඉතාම අහඹු-අනිවාර්ය රසයක්.

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "හීලෑ අශ්වයෝ ගැන"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com