අන්තිම දුම්රියත් වැ‍රැදී ගිය රවුල්කාරයා

 KhushwantSingh2_PTI
ඒ රවුල්කාර මගියාට අන්තිම දුම්රියත් වැ‍රැදී ගියෙන් වෙනත් දුම්රියකට නඟින්නට සිදු විය. ටිකැට්‍ටුවක් අත නැතිව,වාර ප්‍රවේශපත්‍රයක් අත නැතිව නම නොදන්නා දුම්රියක නැඟි හෙයින් ද, 99 වැනි ඉතා නරක වයසක නතරව සිටි හෙයින් ද ඔහුට තම ගමන සම්පූර්ණ කරන්නට නොහැකි විය. ඒ සුවිසල් එන්ජිම නතර විය. රතු පාට දුම්රිය මැදිරිවල ගාගෙන,තට්‍ටු තුනේ අසුන් මත නිදි කිරා වැටෙමින්,කාඩ් ගසමින්,දුම් උරමින්,චායි බොමින් පාකිස් තානයට යන්නට වෙලාව මදි විය. මායම්කාර  නව දිල්ලිය මේ රවුල්කාර,ටර්බන් බැඳි මිනිසා ගිවිසුම් ප්‍රකාරව අතරමැද දුම්රිය පොළකින් අප නොදන්නා වෙනත් සාහිත්‍ය රාජ්‍යයකට තල්ලු කරන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. ඔහුගේ හිතුවක්කාර අකුරු,කැ‍රැළිකාරව පොත් මත පෙනී සිටින විට ඉන්දියානු සාහිත්‍යය සමාජය බිය වූයේ කෙසේද,ඒ තරමටම එවන් අකුරු අහිමිව ඒ සාහිත්‍යය සමාජයම කැළඹිල්ලට පත්ව සිටින බවට සැකයක් නැත.
ඒ රවුල්කරු-ටර්බන්කරු-99 වියැත්තා කුෂ්වන්ත් සිං ය. මුසල්මානුවන් හා ඉන්දියානුවන් අතර පවතින දේශපාලනික කෝන්තරයේ සැබෑ ගින්දර ගැන ‘ට්‍රේන් ‍ටු පකිස්තාන්’ නමින් නවකතාවක් ලියා ඉන්දියාව ගිනි කන්දක් කළ කැරළිකරුය. මේ සාහිත්‍යය කැ‍රැල්ලේ දුම් බෝම්බ තනන්නා ඔහුය. ඔහුට වුවමනා සෑම විට විවිධ වර්ණවල දුම් බෝම්බ සාහිත්‍යයට මෙන්ම ඉන්දියානු සමාජයට වීසි කරන ඔහු සම්ප්‍රදාය තඹ සතේකට මායිම් කළ අයෙකු නම් නොවේ. සීක් ජාතිකයෙකු වූ කුෂ්වන්ත් සිං උපන්නේ පන්ජාබයේය. එකල ඉන්දියාවට එක මිටට අයිතිව තිබූ මුත්, අද පන්ජාබය අයිති පාකිස්තානයටය. පාකිස්තානය හා ඉන්දියාව රටවල් දෙකක් ලෙස වෙන් වෙන්නට කළ දුෂ්ට අරගලය පදනම් කරගෙන ඔහුගේ 'ට්‍රේන් ‍ටු පකිස්තාන්' නවකතාව ලියැවී ඇත.

khushwant_illus_20100816.jpg.ashx

නව දිල්ලියෙන් හා ලාහෝරයෙන් තම අධ්‍යාපනය ලබා ගත් හෙතෙම එය නතර කළේ ලන්ඩනයෙනි. වඩාත් විස්තරාත්මකව කිව හොත් නව දිල්ලියේ මොඩර්න් පාසලෙන්,ලාහෝරයේ රජයේ පාසලෙන්,නව දිල්ලියේ සෙන්ට් ස්ටෙපන් කොලීජියෙන් මෙන්ම ලන්ඩනයේ කින්ග්ස් කොලීජියෙන් හේ තම අධ්‍යාපනය ලබා ගති.
1938දී නීතීඥයෙකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළ හෙතෙම වසර අටක් ලාහෝර් උසාවියේ විවිධ තර්ක අතර ගිලී සිටියේය. 1947දී ලබා ගත් නිදහසත් සමඟ නව ඉන්දියාවේ විදෙස් සේවයට ඔහු අවතීර්ණ විය. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර තොරතුරු නිළධාරියෙකු ලෙස කටයුතු කළ හේ ලන්ඩනයේ සහ ඔටාවා හි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලවල උප තානාපති තනතුර සහ මහජන රාජ්‍ය නිළධාරියා ලෙස වසර හතරක් සේවය කරන ලදී. විදේශ සේවයෙන් සෑහීමකට පත් වීමට නොහැකි වූ මේ අපූරු මිනිසා 1951දී 'ඕල් ඉන්දියා රේඩියෝ'වට මාධ්‍යවේදියෙකු ලෙස ‍රැකියාවට බැදිණි. එපමණක් නොව 1954ත් 1956ත් කාලය ඇතුළත ඔහු පැරීසියේ පිහිටි යුනෙස්කෝ කාර්යාලයේ ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවේද සේවය කළේය. නමුත් 1956 වන විට පුවත්පත්හි කර්තෘ මණ්ඩලයට ඇතුළත් වුණු කුෂ්වන්ත් සිං 'යෝජනා','ද නැෂනල් හැරල්ඩ්',හින්දුස්ථාන් ටයිම්ස්' ආදී පුවත්පත්හි කර්තෘ ලෙස කටයුතු කරන ලදී. මිය යන තෙක්ම ඔහු ලියූ ප්‍රකට තීරු ලිපිය වූ 'විත් මලීස් ‍ටුවර්ඩ්ස් වන් ඇන්ඩ් ඕල්' සෝපාහාත්මකව බස හැසිරවීම පිළිබඳ උදාහරණයක් වැනිය. මිය යන විට පොත් 45ට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ඔහුගේ අවසන් කෘතිය 'ද ගුඩ්,ද බෑඩ් ඇන්ඩ් ද රිඩිකියුලස්'ය. මේ කෘතිය දොරට වඩින මොහොතේ ඔහුගේ පුත් රාහුල් කීවේ තම පියාගේ අන්තිම පොත මේ විය හැකි බවයි.
'තාත්තා එයාගේ අත් දුර්වල වෙලා කියලා සෑහෙන්න දුක් වුණා. ඒ වගේමයි ඇස් පෙනීමත් අඩු වෙලයි තිබුණේ. ඉතින් තවත් පොතක් ලියන්න බැරි වෙයි කියලයි එයා හිතුවේ.’
'ට්‍රේන් ‍ටු පකිස්තාන්' හැරුණු විට 'ද කම්පැනි ඔෆ් වුමන්','වුමන්,ලව් ඇන්ඩ් ලස්ට්','අයි ෂැල් නොට් හියර් ද නයිටින්ගේල්', යන නවකතා මෙන්ම ඔහුගේ ජීවිත කතාව වූ 'තෲත්,ලව් ඇන්ඩ් අ ලිට්ල් මලීස්' විසින් හෙළි කළ ඔහුගේ පුද්ගලික ජීවන තොරතුරු අතිශය විවාදාපන්න විය. කිසිදා සාධු චරිතයක්ව පෙනී සිටීමට උත්සාහ නොකළ ඔහුට සියල්ල නවකතා විය. අරුමැසි මාතෘකා විය. එහෙයින් තමන්ගේම ජීවිතය ඔහුට නවකතාවක් බදු විය.

traintopakistan8bb81b15f1b54825a44d6d1dcc2c82aa9780143065876_0109201

එහෙව් මිනිසෙකුට අයිති ගෞරවය ලබා දීමට ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං කටයුතු කළේය. ඒ තරමක් නවීන ආකාරයකටය. අගමැතිතුමා කුෂ්වන්ත් සිංගේ මරණය සැල වීමත් සමඟම තමන්ගේ ට්ව්ටර් ගිණුම යාවත්කාලීම කළේ මෙන්න මේ අකුරු 15 පණිවිඩය මඟිනි.
'සහජ දක්ෂතාවකින් පරිපූර්ණ ලේඛකයෙක්,අවංක විචාරකයෙක් වගේම දයාබර මිතුරෙක් වුණ ඔහු ගත කළේ අතිශය නිර්මාණශීලී ජීවිතයක්'.
සැබවින්ම මේ ලැබිය යුතු බුහුමනකි.
ශ්වසන ආබාධයක් හේතුවෙන් 99 වැනි වියෙන් ඔබ්බට යාමට නොහැකි වූ මේ අපූරු ලේඛකයා විහිලුකාර දේ කෙරෙහි තැබූයේ මහත් උනන්දුවකි. එහෙයින්ම ඔහු තම මරණ දැන්වීම වර්ෂ 1943දී කෙටිකතාවක ලිවීය. පසුව එය මුද්‍රණය විය. 'පොස්තුමස්' ලෙස නම් කර තිබූ ඒ කෙටිකතාවේ ඔහු තම මරණ දැන්වීම ලියූයේ මෙන්න මේ අයුරිනි.
'සර්දාර් කුෂ්වන්ත් සිං ගේ හදිසි මරණය අපි ඉතා කණගා‍ටුවෙන් යුක්තව දැනුම් දෙමු. මරණය සිදු වී ඇත්තේ ඊයේ සවස 6.00ට පමණය. ඔහුගේ මරණයෙන් තැවෙන්නේ තරුණ වැන්දඹුව,අත දරුවන් දෙදෙනා සහ විශාල සංඛ්‍යාවක යහළුවන් සහ රසික,රසිකාවියන් පිරිසයි.'
තම මරණය වෙනුවෙන් පවා විහිලු කරන්නට දැන සිටි හෙතෙම ඉන්දියානු අගමැතිතුමා තම ට්විටර් පණිවිඩයේ කී පරිදිම ඉතාම නිර්මාණශීලී ජීවිතයක් ගත කළ අයෙකි. එසේත් නැත්නම් ජීවිතයේ සැබෑ ආනන්දය අත් විදි අයෙකි.
නන්දිනී මේතා යනු කුෂ්වන්ත් සිං ගේ සමීප යෙහෙළියක මෙන්ම පෙන්ගුවින් පොත් සමාගමේ ඔහුගේ කෘති සංස්කාරකතුමියයි. ඔහු ලියූ 'කුෂ්වාන්තම:ද ලෙසන්ස් ඔෆ් මයි ලයිෆ්' නම් කෘතිය මෙන්ම 'සන්සෙට් ක්ලබ්' සංස්කරණය කළේ ඇයයි. ඔවුන්ගේ මිතුරුකම නිසාම ඈ ඔහු මිය යන තෙක්ම සැප-දුක බලන්නට යාම පුරුද්දක් කොට ගත්තීය.
'ඔහුගෙන් මං හැම තිස්සෙම අහනවා කන්න මොනාහරි ඕනද කියලා. ඒත් හැම තිස්සෙම ඔහු කියන්නෙ එපා කියලයි. ඉතිං මං ඉදලා හිටලා අහනවා බොන්න මොනාහරි ඕනද කියලා. අන්න එතකොට එයාගෙ මූණ එළිය වෙලා බ්ලූ ලේබල් ජොනී වෝකර් වීදුරු බාගයක් ඉල්ලනවා.'
නන්දිනී ඒ සිහි කරන්නේ සිනහවෙනි.

khushwant-3_650_032114104155

'දිල්ලියේ නරක නාකි මනුස්සයා' කියන ලේබලය ඔහු විසින්ම ඔහුට අලවගෙනයි තිබුණේ. පහුගිය ජූලි 02 වැනිදාට යෙදිලා තිබුණ අනූ නව වැනි උපන්දිනේ දා ඇපල් පයි එකකින් සහ ඉස්සන්ගෙන් සන්තර්පණය වෙලයි ඔහු සැමරුවේ. ඒ වගේම ඔහුගේ ප්‍රියතම උර්දු කවියා වුණ ගලීබ්ගෙ කවිවල පද ඔහුට හොඳින් මතකයි. නිතර, නිතර ඒවා මතකයෙන් කියන්න ඔහු හුරු වෙලා හිටියේ. ඒ වගේමයි තවත් කවුරු හරි යාළුවෙක් ඔහුව බලන්න ආවොත් නොවරදවාම අහන්නෙ 'මොනවද අලුත් ඕපදූප?' කියලයි. හැබැයි ඒත් එක්කම ඔහු තවත් වාක්‍යයක් කියන්න පුරුදු වෙලයි හිටියේ.'ඔයාලට මට කියන්න අලුත් ඕපදූප නැත්නම් කරුණාකරලා මගේ ළඟින් වාඩි වෙලා ටිකක් ඉදලා යන්න.'
ඒ කුෂ්වන්ත් සිං ගේ මිතුරන් කියන්නකි.
ඒ අතර කුෂ්වන්ත් සිං කියන්නේ මෙවැන්නකි.
'මං කැමතියි පාවිච්චි වෙන්න'.
මේ සියලු විප්‍රකාර මධ්‍යයේ බොහෝ බරපතලව හැසිරෙන්නත් ඔහු දනී. ඔහුගේ බරපතල හැසිරීම ගැන කල්පනාකාරී මුහුණින් යුක්තව මතක් කරන්නේ ඔහුගේ පුත්‍රයා වූ රාහුල්ය.
'තාත්තා හරිම දැඩි, නීතිකාරයෙක් විදිහට මට මතකයි. මං මගේ මුල්ම රස්සාවට මුම්බායට යද්දි තාත්තා කිව්වේ මං උඹට මාසයක කාමර කුලිය විතරයි දෙන්නේ. හැබැයි ඒකත් බොහොම අඩු ගාණෙ හෝටලේකට. ඊට එහාට වෙන දෙයක් ගැන උඹ බලාගන්න ඕනා'
කුෂ්වන්ත් සිං ගේ අරක්කැමියා චන්දන් සිං අත් පපුව වටා බැඳගෙන දුක්බරව බලා සිටින්නේ 'දැං කාට නම් රස කෑම හදන්නදැයි' සිතමින් විය යුතුය. අළු පාට කුර්තා කමිසයකින් සහ සුදු දෝතියකින් සැරසුණ චන්දන් සිං බලා සිටින්නේ තමන්ට ඊළඟ නියෝගය ලැබෙන තෙක්ය.
'දැං මොනාද කරන්න හිතන් ඉන්නේ?'
'අනේ මන්දා. පවුලෙ අය කියන දෙයක් තමයි'

burial-at-sea

කුෂ්වන්ත් සිං මිය ගියේ බොහෝ තැන්වල මකුළු දැළක් මෙන්, දම්වැලක් මෙන් ඔහු විසින්ම එකතු කර තැබූ සබඳතා බොහොමයක් බිඳ හෙළමිනි. ශෝකයේ අවසාන රසය තොළ ගෑමට ඒ සියල්ලන්ටම ඉඩ සලසමිනි. ලිවීමේ දැඩි ශක්‍යතාවක් තිබූ හෙතෙම තම ලිවීමේ උත්කර්ශය අත් වින්දේ තීරු ලිපි ලිවීමෙන් මෙන්ම නවකතා ලිවීමෙනි. 'දෙවියෙකු නැතැයි' නිතර කියූ හේ පුනරුප්පත්තිය හෝ අවතාර විස්වාසයට නොගත්තෙකි. දෙව් ලොව සහ අපාය කියා දෙයක් නැති බව කියූ ඔහු තමන්ගේ අන්තිම පොතේ මේ දේව විශ්වාස මෙන්ම පූජකයන් විවේචනය කර ඇත. උග්‍ර ආගමික භක්තිකයන් සිටින ඉන්දියාව වැනි රටක ආගම නොසලකා ජීවත් වීමට තරම් දිරියක් තිබූ මේ අපූරු මිනිසා විශ්වාස කළේ මරණයෙන් සියල්ල අවසන් වන බවයි.
එහෙත් මරණයෙන් සියල්ල අවසන් වේද? විශේෂයෙන්ම කුෂ්වන්ත් සිං වැන්නෙකුගේ මරණයෙන් ඉක්බිතිව සියල්ලන්ටම සතුටින් විසිර යා හැකිද? තැඹිලි පැහැ ගත් යාර හතක් දිග ටර්බනය හිසේ බැඳි කුෂ්වන්ත් සිං නම් කියන්නේ,
'අපොයි,මොකද බැරි?' කියාය. එහෙත් වැ‍රැදි දුම්රිය ගමනකට,වැ‍රැදි වෙලාවක,වැ‍රැදි දුම්රිය නැවතුමකින් ඔහු ගොඩව ඇති බව මට සිතෙයි. දිල්ලියේ පහර්ගන්ජ් ප්‍රධාන දුම්රියපොළින් දුර දුවන දුම්රියක තැන්පත්ව පාකිස්ථානය බලා ගමන් කරන තෙක් ඔහුට ඉවසන්නට තිබුණ බවත් ඒ අතර මට සිතෙයි. අතරමඟ චායි බොන්නටත්,පරාටා සහ චෝලා බටෝරි කන්නටත් පුළුවන්කම තිබියදීය ඔහු තම එන්ජිම නිවා ගත්තේ. ගාජර් හල්වා අතුරුපසට කන්නටත් නිදා ගැනීමට තිබෙන දුම්රිය ඇදන් මත වාඩි වී ඕපාදූප අහන්නටත්, දුම්රිය සෙලැවෙන රාත්‍රියේදී කළු සුරුට්‍ටුවක් උරමින් පැ‍රැණි හින්දි ගීතයක් මුමුණන්නටත් ඔහුට හැකියාව තිබියදීය මේ සියල්ල සිදු වූයේ.
'මං යනවා. ඔහේලට බැරියැ අනිත් වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න.'
කුෂ්වන්ත් සිං කාට හරි එහෙම කියන්නට ඇත. එහෙත් එය පුනරුච්ඡාරණය කරන්නට ඒ කිව් 'කාට හරි' අමතකව යන්නට ඇත.
සැබැවි. මරණයෙන් සියල්ල අවසන්ව ඇත. ඔබ තද නින්දක ඉන්න.

 

කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "අන්තිම දුම්රියත් වැ‍රැදී ගිය රවුල්කාරයා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com