පින්තූරයක් කියන්නේ මොහොතක්

3 copy
ඈ වැඩිපුර කතා නොකරයි;පින්තූර පමණක් කතා කරවයි. වචන කෙතරම් බල රහිතදැයි කියන්නට 'මල් තුහින නොවේ මේ යාපනේ' සහ තවත් ඡායාරූප ගෙන නයනහාරි අබේනායක සහ සිරිපාල අබේනායක ආයෙන් මහත් ඝෝෂා දනවන මහ පාර ආසන්නයේ සිට අපි කතා කරන්නට පටන් ගතිමු. මේ හෘද සංවාදය ජූනි 19 සිට 22 තෙක් ලයනල් වෙන්ඩ් හිදී පැවැත්වෙන ඔවුන්ගේ අභිනව සේයාරූ ප්‍රදර්ශනය ගැනය.
'මල් තුහින නොවේ මේ යාපනේ' ඇයි මේ වාගේ තේමාවකට යොමු වුණේ?
ඒක එහෙම හිතලා කරපු දෙයක් නෙවෙයි. අපිට විවිධ ජාතීන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ අතරෙ යාපනේ ජීවත් වෙන මිනිස්සුත් එක්කත් වැඩ කරන්න ලැබුණා. යාපනේ ගියාම අපිට විවිධ ද්‍රවිඩ ජනතාව හම්බ වුණා. අපි බොහොම ග්‍රාමීය පැතිවලටයි ගියේ. උදාහරණයක් ගත්තොත් අපිට හම්බ වුණා අවුරුදු 70ක විතර කාන්තාවක්. එයා 77 රුවන්වැල්ල වත්තකින් යාපනේට තල්ලු කරපු කාන්තාවක්. මේ කාන්තාව බොහොම දුකින් හිටියේ. තව පිරිමි කෙනෙක් හම්බ වුණා අවුරුදු 85ක විතර. ඔහුත් ජූලි කලබල කාලෙ දකුණෙන් උතුරට යවපු කෙනෙක්. මේ අය විවිධ ජනපදවල තමයි ජීවත් වෙන්නේ. 'පුරම්' කියලා අගට එකතු වෙන මේ ජනපදිකයන්ගෙ ජීවිත තමයි අපි ඡායාරූපගත කළේ. මේ අය ගෙවන්නෙ බොහොම දුක්ඛිත ජීවිත. එක මහලු කාන්තාවක් තමන්ගේ ඉඩම සුද්ධ කරගෙන වැස්ස එනකන් බලාගෙන ඉන්නවා වගා කරන්න. එයාත් එක්ක කතා කරද්දි එයාට දුරකතන ඇමතුමක් ආවා. එයා පැය භාගයක් විතර කතා කළා. අපි ඇහුවා ඔය තරම් වෙලා කතා කරන්න පුළුවන්ද කියලා. එයා කිව්වේ මගේ ළමයි හත් දෙනාම පිටරටවල හොඳ රස්සා කරනවා. ඒත් මං එයාලගෙන් උදව් ගන්න කැමති නෑ. මේ ඉඩමෙ වගා කරගෙනයි මං ජීවත් වෙන්නේ කියලා.
විවිධ මිනිසුන් බොහොම ධෛර්යසම්පන්නව ජීවත් වෙන බවයි දකින්න තිබුණේ. තවත් අපි ඉස්කෝලවලට ගියා. ළමයි හරිම උනන්දුයි ඉගෙන ගන්න. ගැහැනු ළමයි යන්නේ බයිසිකල්වලින්. එක ස්කෝලයක් ළඟ බයිසිකල් හත් අට සීයක් තියෙනවා. බයිකලයට උස නැති පිරිමි ළමයි තමන්ගෙ අක්කලාව දාගෙන ඉස්කෝලෙ යනවා.
අපි ටියුෂන් පන්තිවලටත් ගියා. ඒවා පොල් අතු හෙවිළි කරපු බංකුවල ඉදගෙන ළමයි ඉගෙන ගන්න තැන්. මේ අයගෙත් ඡායාරූප අපි ගත්තා. කොච්චර පහසුකම් අඩු වුණත් මේ අය හරිම උනන්දුවෙන් ඉගෙනීමට යොමු වෙලා ඉන්න බවකුයි පේන්න තිබ්බේ.
අපි තව තැනකට යද්දි අවුරුදු 40ක විතර පුද්ගලයෙක් ලියවන පට්ටලයක වැඩ කරනවා. එයා වෘත්තියෙන් ගුරුවරයෙක්. විවේක වෙලාවට තමයි මේ ලියවන පට්ටලයේ වැඩ කරන්නේ. මේ දේවල්වලින් යාපනේ අයගේ ධෛර්යය සම්පන්නබව,අධ්‍යාපනයට තියෙන ලැදිකම වගේම ඔවුන්ගෙ ජීවිතේ පේනවා. ඒ විතරක් නෙවෙයි අපි ගියා මාන්කුලම්,චාවකච්චේරි පළාත්වලට ගියා. මේ හැම පළාතකම ජීවිතේ එකයි. ත්‍රීවීල් එලවන කෙනෙක් හම්බවුණා ඔහුගේ කකුලක් දෙකම නෑ. නමුත් ඔහු ත්‍රීවීල් එලවනවා. ඉතිං මේ කියන ජීවිතය තමයි ඡායාරූපවලට පාදක වුණේ.
නයනහාරිගේ ඡායාරූප හරි අමුතුයි. කොහොමද එහෙම වුණේ?
මං ඡායාරූප ශිල්පය ඉගෙන ගත්තේ ලාල් හෑගොඩ ගුරුතුමාගෙන්. ඔහු අපිට නිකන්ම ඡායාරූප ගැන විතරක් ඉගැන්නුවේ නෑ. සාහිත්‍ය,සිනමාව වගේ පුළුල්ව පැතිරුණු දේවල් ගැන කතා කරනවා. මේ කතාබහෙන් උගන්වන්න උත්සාහ කරන්නේ අධ්‍යාත්මික ඡායාරූප ගැනීමක්. එතකොට අපි මිනිස්සුන්ගෙ හැඟීම් එක්කයි වැඩ කරන්නේ. මේ හැඟීම් එක්ක වැඩ කරද්දි කතාවක් කියන්න පුළුවන් පින්තූර වැඩිපුර ගැනීම තමයි කරන්න උත්සාහ කළේ. මගේ පින්තූරවල ඔබ දකින වෙනස ඒක වෙන්න ඇති.
_MG_1147n
ඡායාරූපයකට කොයි තරම් දුර යන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
චිත්‍රපටියකින්,වීඩියෝවකින් ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒත් එක නිශ්චල ඡායාරූපයකින් මේ ඔක්කෝම දේවල් කියන එක ටිකක් අමාරුයි. ඒක අභියෝගාත්මකයි. ඒකට හොඳ පරිකල්පනයක් තියෙන්න ඕනා. ඒ වගේම අත්දැකීම්,තාක්ෂණ උපකරණ ආදියත් තියෙන්න ඕනා. පින්තූරයක් කියන්නේ මොහොතක්. අන්න ඒ මොහොත හරියටම ආවරණය කරගන්න අපි දැනගන්න ඕනා. ඒ වගේම ක්ෂණික තීන්දු ගන්න දැනගන්න ඕනා. මේ මොහොත අහිමි වුණොත් මේ ලෝකෙ කිසිම තැනකදි ඒ මොහොත ආයෙ එන්නෙ නෑ.
මට උදාහරණයක් කියන්න?
අපි ගියා එක වැඩපොළකට පින්තූර ගන්න. පාරෙ වැඩ කරන්නෙ තරුණ කාන්තාවෝ. අපි ඇහුවා ඇයි ඔයගොල්ලො වැඩ කරන්නෙ?කෝ පිරිමි කියලා. එයාලා කියනවා අපේ පවුල්වල පිරිමි නෑ කියලා. ඒත් එයාලට නඩත්තු කරන්න ළමයි ඉන්නවා. මේ අය මැරිලා. ඉතිං අපිට මේ කතාව කියන්න ඕන වුණා. ඉතිං කොහොමද පිරිමි මැරිලා,මේ අය පවුල් නඩත්තු කරනවා කියලා කියන්නේ? ඒක හරිම භාරදූර වැඩක්. නමුත් මේ අයගෙ මූණුවල තියෙන අති දුක්ඛිත පෙනුමෙන් ඒ ඔක්කොම කතා කියාගන්න පුළුවන් කියලා අපිට හිතුණා. තරුණ අය බොහොම සතුටින් හිනාවෙලා ඉන්න අය කියලා. ඒත් අපි දැක්ක මේ තරුණ අයගෙ මුහුණු බොහොම දුක්ඛිතයි. මේ තරුණ අයෙග් මුහුණු පින්තූර ගන්න එකයි වැඩේ. මුලින්ම මේ අය තරුණයි කියලා පෙන්නන්න ඕනා,මූණුවල තියෙන දුක්ඛිත ගතිය මතු කරන්න ඕනා,එළිය-අඳුර පාලනය කරගන්න ඕනා,පසුබිම හරියන්න ඕනා. මේ වගේ වෙලාවකදි අපි සංවේදී වෙනවා. මෙන්න මේ සංවේදීභාවය මතු වීම නිසාම අපිට ඒ පින්තූරය ගන්න බැරි වුණා.
මේ හින්දාම ඡායාරූපයකට යන්න පුළුවන් දුර අසීමිතයි කියලා අපි හිතනවා. නමුත් අපිට ඡායාරූපයකින් පමණක් ප්‍රශ්නවලට උත්තර දෙන්න ටිකක් අමාරුයි.
ඡායාරූප කොච්චරක් මේ ප්‍රදර්ශනයේ තියෙනවද?
යාපනයේ සහ තවත් තැන්වල ගත්ත ඡායාරූප 60ක් විතර මේ ප්‍රදර්ශනේ තියෙනවා. තාත්තාගේත්,මගේත් දෙන්නාගේම ඡායාරූප මේ ප්‍රදර්ශනේදි දැකගන්න පුළුවන්. හැබැයි වැඩිපුර තියෙන්නේ මගේ ඡායාරූප තමයි.
DSC_3330
නයනහාරිට අනිත් අයගේ ඡායාරූප පේන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් අපි ලෝකෙ දකින්නෙ පස් විදිහකට. ඇහෙනවා,දකිනවා. ඒ වගේ දේවල් අපි නොයෙක් විදිහට පිට කරනවා. මං කරන්නෙ ඡායාරූප ගන්න එකෙන් ඒ හැඟීම් පිට කිරීම. මං කැමති ඡායාරූප ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නවා. සමහර යුද ඡායාරූප ශිල්පීන් ඉන්නවා. පින්තූරයක් දැක්කම ඒකට මුලින්ම ඇහැ ඇදිලා යනවට අමතරව ගැඹුරක් එක්ක ඒ පින්තූරෙ ඇතුළට බැහැලා බලන්නයි මං කැමති. ටික වෙලාවක් ඡායාරූප දිහා බලන් හිටියට පස්සෙ මට මුලින් දැක්කට වඩා වෙන තේරුමක් දැනෙන්න ගන්නවා. විශේෂයෙන්ම ලාල් හෑගොඩ ගුරුතුමාගෙ ඡායාරූපවලට මං හරි කැමතියි. ඒවාවල හරිම පොඩි,පොඩි සිද්ධි ගොඩාරියක් තියෙනවා. මේ ඔක්කොම එක්කහු වුණාම මං වෙනම කතාවක් හදාගෙනයි ඒවා බලන්නේ. ඒවා නිකං කවි වගෙයි වෙලාවකට.
ඡායාරූපයක් ගන්න කොට ඒ 'මොහොත' ‍තෝර ගන්නෙ කොහොමද?
මං කැමති නෑ එකම වගේ පින්තූර ගන්න. නීති-රීතිවලටත් මං වැඩිය කැමති නෑ. මට ඕනෙ කලින් කවුරුත් නොගත්ත පින්තූරයක් ගන්නයි. මොකද කලාවට නීති නෑ කියලයි මං හිතන්නේ. හදිසියේම තමයි මේ මොහොත මං ‍තෝරගන්නේ. ඒක මෙන්න මෙහෙමයි කියන්න බෑ. ඒක හරිම ක්ෂණිකයි;විවිධයි;හදිසියි.

 

සංවාදය
කාංචනා අමිලානි
පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "පින්තූරයක් කියන්නේ මොහොතක්"

Trackbacks

  1. [...] පින්තූරයක් කියන්නේ මොහොතක් [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com