මමත් කැමති එහෙම,පෙම් කවි කියවන්න-අඬන්න;ඉදහිට

1513750_10204405305866290_5213341178543612787_n

'මං කැමති එහෙම
ඇගේ යටතෙම ඉන්න
ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට'

'තෙමි තෙමිම මම' - දමිත් උදයංග දහනායක
13 වැනි කවිය.

මට ඔහුව මතක හිටියෙ අහම්බෙන්. ඒත් හරි තදට. ටිකක් රිදෙන විදිහට. පෙම් කවි ඇති කරන රිඳුම් හරිම බයානකයි. මෘදුවට කිණිසි පහර ලැබෙන්නෙ ඒ රිඳුමෙන්. ප්‍රේමය ඔහු උත්ප්‍රාසයට නංවන්න උත්සාහ නොකර අනෙකාටම දිගින්,දිගටම ආදරය කිරීම කවි ඇතුළෙන් ගලා හැලීම නිසා වෙන්නත් ඇති මේ කවි පොතට කියන්න බැරි බැදීමකින් මං හිටියේ.
පිදුමක් විය හැකි කුඩා පේලි කිහිපයක් ඊළඟට මාව කැළඹුවා. කළු පසුබිමක සුදු අකුරුවලින් මුද්‍රණය වෙලා තිබුණේ සියුම් කණගා‍ටුවක් ඒකට එකතු කරන්නද මන්දා.

'ඔබ ම'හැර ගිය බැවින්
තව තවද කවි බිහි වෙයි

අප මුණ නොගැසුණානම් මැනවැයි
ඒ කවිවලින් කියැවෙයි'

කිසිවෙකු මුණ නොගැසීමෙන් හෝ අත්හැර යාමෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ කියලා මං හිතනවා. දෛවය නෙවෙයි. නියමිත වෙලාවක,නියමිත තැනක දෙදෙනෙක් එක වර සිටීම. එකිනෙකාගේ හිතේ හැප්පීම. බොහෝ විට හැර යාමට වඩා බයානක මුණ නොගැසී හිටියා නම් යහපත් යැයි කෙනෙකු හිතන එක කියලා මං හිතනවා.
ආදරයේ ඉතාම නිශ්චිත අවසානය වෙන්වීම නෙවෙයි කියලයි මං හිතන්නේ. නිශ්චිත අවසානය ඇත්තේ ආදරය නොකර සිටීමට තීරණය කිරීම තුළයි. ඒ නිසාම පිදුමක් යැයි සඳහන් කරලා නැති ඒ පිදුමෙන් මගේ හිත රිදුණා.

'සීරුවට අඩිය තිය යිය
ඔබයි ඇවිදින්නෙ මගේ හැම කවියකම'

මං ප්‍රියයි ඔහුගේ මේ රොමෑන්තික ගතියට. ආදරේ ඒ හැටියෙන්ම කවිවල තියෙන්න අරින ඔහු ආදරේ බර වචනවලින්,රූපක හෝ උපමාවලින් හංගන්න යන්නෙ නෑ. සඟවාගෙන ඉන්නෙ නෑ. ඒත් මේ ගති සොබාව ඔහුගෙ හැම කවියකම නැහැ. නමුත් කවි කිහිපයක් එක්ක මං පැටලිලයි ඉන්නේ.

'කොන්දොස්තර මෙන්ම
ආපන ශාලාවෙ වේටර්ද
සලකනා විදිහෙ අපට
පපුව හීතල කරන උණුසුම් අමුත්තක් ඇත

බාහිරට පෙන්වමින් අපි පෙම්වතුන් වග
ඇතුළතින් මෙහෙම ප්‍රවේසම් වන එක
විකාරම සෙල්ලමකි
රසකි,අන් කවරදාකත් මා නොලද'

22 වැනි කවිය

කවියා උත්සාහ කරන්නෑ කිසිවක්.ඔහු අපව කළඹන්නවත්,කිතියක් ඇති කරන්නවත් තැත් කරන්නෑ. මං හිතන්නෙ ඔහුට එහෙම කරන්න වුවමණාවක් නෑ. ඒ සියල්ල අපි කැමැත්තෙන් සිද්ධ කරගන්නවා. මට ඔහුගෙ කවිවල මොකක්දෝ අවංකකමක් දැනෙනවා. හරියට වීදුරු ගෙයක් ඇතුළෙ වගේ. සියල්ලම පේනවා. කිසිවක් හංගන්න උත්සාහ කරලා නෑ.
35 වැනි කවිය ළඟ මම.

අද චන්ද්‍රග්‍රහණයක්,හඳ බලන්න.(කලකට පසුව ඇගෙන් කෙටි පණිවිඩයක්)

'ඔයා එළියට ආවද
මම නම් ඉන්නෙ එළියෙමයි
ඇතුළ වාගෙම මෙහේ
එළියත් හරිම අඳුරුයි'

ප්‍රේමය කියන්නේ ආලෝකයක දිළිසෙමින් ඉන්න එකද කියලා අහන එකේ තේරුමක් නෑ. ප්‍රේමයට තනි අර්ථකතනයක් මට දැනගන්න ඕනා නෑ. තවත් කෙනෙක් කියන අර්ථකතනයක හිර වෙලා ඒක වටේ පැද්දෙන්න මට ඕනත් නෑ. ප්‍රේමය කියන්නේ එක වචනයකින් කියන්න බැරි අමුත්තකට. සමහර විට ආලෝකයක් නැති වීමට. ඒ අඳුර ඇතුළෙ නොයෙක් එළි දල්වගන්න අපිට පුළුවන්. සමහරවිට ඉටිපන්දම් වැනි ස්වල්ප ආලෝක. ගිනිකූරක් දල්වනවා වගේ ක්ෂුද්‍ර ආලෝක. කවියක් ඇතුළෙ නිකං කුහරයක් ඇතුළට ගිලෙනවා වගේ කිමිදෙන්න බොහෝ දෙනෙකුට වුවමණා නොවෙන්න පුළුවන්. ඒත් මට වුවමණාවක් ඇති වුණා කවියක් ඇතුළෙ කිමිදිලා බලන්න. පීනන්නවත් නොදන්න කෙනෙක් කිමිදීමට උත්සාහ කිරීම සියදිවි නසා ගැනීමක්. සමහර විට ප්‍රේමය කියන්නෙම ආදරණීය සිය දිවි නසා ගැනීමක්,නොයෙක් දවටනවලින් ඔතලා තියෙන. බාගදා දිවි බේරෙන.

'ඇඟිල්ලෙන් ඇල්ලුවත් ඉරෙතැයි හිතෙන සුලු
පිරිසිදු සිනිඳු සලු අඳින
සිල්වියා
සෙලුවට වඩා කොතරම් මිහිරිද
ඔබේ සලු'

45 වැනි කවිය

'විසිරී ගිය අනෙකුත් සෙරෙප්පු අතර
ඇගේ පාවහන් යුවළ
තරප්පුව පාමුල
නිසි පිලිවෙලට තබා ඇත

මහත් ආයාසයකින්
එතැන පසු කර යමි'

46 වැනි කවිය

නැවතත් මං ඔහුගේ රොමෑන්තිකභාවයට කැමති වෙනවා. කැමති නොහිතුණ කවි ප්‍රමාණය විශාල වුණත් කැමති වුණ කවි කිහිපයෙන් තු‍ටු වෙලා නොතෙමුණු හවසක් ගැන හිතනවා.
පසු කාලීනව අපි හමුවුණ ඉතාම හදිසි හවස්වරු ගැන හිතනවා. ඒ කිසි දවසක වැසි නොවැටීමේ වැ‍රැද්ද මං ඔබේ පිට පටවනවා. මං දන්නවා ඔබ යළිත් ඒ වරද මටම දෙන බව. නමුත් එක් වතාවකට හෝ ඔබේ පිට වරදක් පටවන්න මං උත්සාහ කරනවා.
'තෙමි තෙමිම මම' කියවපු මේ හවස මම නොතෙමීම ගැන අන්තිම වරටත් හිතනවා.

කාංචනා අමිලානි |

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "මමත් කැමති එහෙම,පෙම් කවි කියවන්න-අඬන්න;ඉදහිට"

Trackbacks

  1. [...] [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com