ලෝකය ඔත්තු බලයි අපි හෙළිදරව් වී සිනාසෙයි

Person-of-Interest-person-of-interest-30429661-1280-1024
ඔබේ ජීවිතය කෙතරම් පෞද්ගලික විය හැකි ද?ඔබේ ජංගම දුරකතනය,විද්‍යුත් තැපෑල,ෆේස් බුකිය,ට්විටර් ගිණුම,ලැප්ටොපය තුළ බහාලන තොරතුරු ආදිය කෙතරම් සුරක්ෂිත විය හැකිද?බලවත් රහස්‍ය අංක යොදමින් ප්‍රවේසම් කරන සමාජ ජාලා තොරතුරු ආදිය ඉතාමත් පහසුවෙන් තෙවැනි පාර්ශවයක් බාගත කරගන්නේ නම් ඔබ කලබල විය යුතු නොවේද?අතිශය පෞද්ගලික දුරකතන සංවාද වෙනත් පාර්ශව අසා සිටිනවා පමණක් නොව ඒවා පටිගත කරන්නේ නම් ඔබ තිගැස්සිය යුතු නොවේද?පාර මාරු වන තැන ඇති පුවරුවල,මාර්ග සංඥා පුවරුවල,ඔබ මුදල් ගන්නා ජංගම බැංකු මැෂින තුළ ඔත්තු බලන කුඩා කැමරා ඇති බව දැන සිටීම කෙතරම් අවුල් සහගත විය හැකිද?ඔබේ නිවෙසේ කුඩා ඔත්තු බලන කැමරා සවිව ඇති විට වයිෆයි සංඥා මඟින් ඔබේ පරිගණකයට ඇතුළුව එහි අහුමුළු සිසාරා තෙවැන්නෙකුගේ ඇසක් ගමන් කරන විට ජීවිතය අතිශය පෞද්ගලික විය හැකි ද?
නැත.මේ කිසිවක් සරල,සාමාන්‍ය පුරවැසියෙකු ගේ සිහිනයට ඇතුළත් නැත.මේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය කණපිට හරවන්නකි.

Provenance

එහෙත් තව දුරටත් වයර රහිත සමාජ සබඳතා හිමි පුරවැසියන් හට ‍තෝරා ගැනීමට අන් යමක් නැත.තමාගේ ජීවිතය අනුන් නරඹනු ඉවසීම කළ යුතුය.ඒ ප්‍රගුණ කළ යුතුය.නැතහොත් ඔබ මේ සමාජ ක්‍රමයෙන් පිටමං විය යුතුය.උඩුගං බලා පිහිනිය යුතු නොවේ.මන්දයත් ජලය ඒ තරමටම සීතල බැවිනි. අමෙරිකානුවන් ගේ හදවත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයත් සමඟ තම ආරක්ෂාව ගැන බිය වුණු ආණ්ඩුව තැනූ ඔත්තු බැලීමේ නූතන සංකල්පීය යන්ත්‍රය සියලු ජීවිත දෙස බලා සිටියි.තොරතුරු ‍රැස් කරයි.එහි බල පරාක්‍රමය කොපමණද යත් අනතුරක පසුවෙන්නෙකු හෝ අනතුර සිදු කරන්නා ගැන පූර්ව දැනුම්දීමකට පත් වෙයි.උනන්දුවට පත් තෙවැනි පාර්ශවයක් අනතුර ලුහු බදියි.සංවෘත ඔබේ ජීවිතය ඔබ නොදන්නා අයෙකු ඉදිරියේ විවෘත වන්නේ ඉන් පසුවය.
මේ අමෙරිකානු රූපවාහිනී ටෙලි නාටකයකි. Person of Interest වෙළුම් 04 ක්, එපිසෝඩ 74 ක් දිගට විකාශනය වූ ප්‍රකට මාලා නාටකයකි.මෙහි නිපැයුම්කරු ජොනතන් කාටර් ය.ජිම් කැවීසෙල්,ටරාජි පී.හෙන්සන්,කෙවින් චැප්මන් සහ මයිකල් එමර්සන් ප්‍රධාන චරිත රඟන අතර අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙකි. මයිකල් එමර්සන් ගැන විශේෂ සටහනක් තැබිය යුතුය.මීට පෙර විකාශය වූ අතිශය ජනාදරයට පත් වූ ටෙලි කතා මාලාවක් වූ 'ලොස්ට්' හි විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ ඔහු පර්සන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් හී ද අද්විතීය රංගනයක නිරත වේ. 2011 සැප්තැම්බර් 22 වැනිදා සිට සී.බී.එස් නාලිකාවෙන් විකාශනය ආරම්භ කළ මේ ටෙලි කතා මාලාව නොසිතූ තරම් අවධානයක් දිනා ගත්තකි.මීට පෙර විකාශණය වූ අතත්‍ය කතා මාලා අතරට හදිසියේ කඩා පැන්න පින් කඩා දැමූ අත් බෝම්බයක් වැනි විය.එය පුපුරන බව දැන දැන ප්‍රේක්ෂක ඔබ නැරඹිය යුතු විය.

npn2loiv7jrysnymgymp

සී.අයි.ඒ ඔත්තු සේවාවේ ‍රැකියාව කළ පුද්ගලයෙකු සහ ගුප්ත ගතිගුණ ඇති සල්ලිකාරයෙකු එක්ව නිව්යෝර්ක් නුවර සිදු වන්නට යන නොයෙකුත් වර්ගයේ අපරාධ සහ සාහසික ක්‍රියාවන් මැඩ පැවැත්වීම මෙහි කතා තේමාවයි.
පළමුව මේ උනන්දුවට පත් තෙවැනි පාර්ශවය අනවසයෙන් ඔබේ නිවසට ඇතුළු වී සියලු පරිගණක දත්ත සොරකම් කරයි.දෙවැනුව කුඩා මෘදුකාංගයක් මඟින් ඔබේ ජංගම දුරකතනය හැක් කිරීමට පටන් ගනී.ජී.පී.එස් පහසුකම ඇති දුරකතනයක් ඔබ භාවිත කරයි නම් ඉතාමත් පහසුවෙන් ඔබ යන එන තැන් ගැන ඔවුන් දැන ගනී.වයර් රහිත කැමරා මඟින් ඔබේ රූප ලබා ගැනීම සරල ක්‍රියාවකි.දැන් අන් අයෙකු ඔබේ සොඳුරු ජීවිතය තුළ නැරඹුම් ප්‍රීතිය අත් විඳිමින් සිටියි.
රූපවාහිනි ටෙලි කතා මාලා අතර 'පර්සන් ඔෆ් ඉන්ට්‍රෙස්ට්' විශේෂ වන්නේ එය සත්‍යයට වඩාත් සමීප හෙයිනි.මෙවන් දෑ සැබෑ ලෝකය තුළ සිදුවිය හැකිය.එසේත් නැත්නම් වර්තමානයේ පවා සිදුවෙනවා විය හැකිය.ත්‍රස්තවාදය තිබුණා-නොතිබුණා යන්න ගැටලුවක් නොවේ.බලය සඳහා කෙරෙන අරගල එදා සිට අද දක්වාම එකාකාරයෙන්,වඩාත් තීක්ෂණව සිදු වෙයි.බලය හරහා සමාජගතවන දේශපාලනය සියල්ල තීරණය කරන පාර්ශවය වන විට සාමාන්‍ය පුරවැසියන් චෙස් පතක ඉත්තන්ටත් අන්ත තත්ත්වයකට පත් වීම වලක්වාලිය නොහේ.අයි ෆෝනයේ අන්තර්ගත සමහර වැඩසටහන් ඔත්තු බලන්නේ යැයි සැක සංකා පහළ වූයේ ඉකුත් කාලයේදීය.සැබැවි තාක්ෂණය අසීමිතව පැතිරෙන විට,තාක්ෂණය මිනිස් මොළයට පියචරක් ඉදිරියෙන් සිටින විට ලෝකට වඩාත් අනාරක්ෂිත විය හැකිය.එවන් අනාරක්ෂිත ලෝකයක ජීවත් වන අමෙරිකානුවන් ගැන කියන මේ කතාන්තරය විටෙක බිය උපදවන සුළුය.

url

දූෂණයට ලක් නොවූ අල්ප පොලිස් නිළධාරීන්,රහස් ඔත්තු සේවයේ යෙදෙන්නන්,නම් නැති,හැදුනුම්පත් නැති තෙවැනි පාර්ශව,සී.අයි.ඒ ඒජන්තවරු,ෆෙඩරල් ඔත්තු සේවා,මංකොල්ලකරුවන්,ආයුධ සපයන්නන්,මත්ද්‍රව්‍ය මිලදී ගන්නන් සහ මත්ද්‍රව්‍ය සපයන්නන් ආදී මෙකී නොකී පාර්ශව සෑම කතාන්තරයක් තුළම සැරිසරයි.දූෂිත නිළධාරීන් පසුපස සෙවනැලි සේ සිටින රාජ්‍ය නිළධාරීන් සහ දේශපාලඥයන් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත තවත් අසීරු බවට පත් කරයි.
මේ සත්‍ය පොළොවේ හට ගත් සත්‍ය කතාවක් වන්නේ එහෙයිනි.අසාධාරණය සහ දූෂණය හට ගන්නේ බිම් මට්ටමෙන් නොව ඉහළම ස්ථරයෙන් බව නොකියා කියන මේ ටෙලි කතා මාලාව වත්මන් අමෙරිකානුවන්ගේ ජීවිත ගැන කියන්නට උත්සාහ ගන්නවා පමණක් නොවේ ඒ හෙළි කරන්නේ බල අරගල හරහා ඔට්‍ටුවට තැබෙන පුරවැසියන්ගේ ජීවිත කෙතරම් නොවටීද යන කාරණයයි.ඔබට මෙයට එරෙහි විය නොහැක.මේ ජීවිතයෙන් පළා යා නොහැක.චෙස් අතක ඉත්තන් මෙන් අන් අයෙක් වෙනැත් තැනකට ‍රැගෙන යන තෙක් ‍රැදී සිටීමට පමණක් ඔබට හැකිය.
'පර්සන් ඔෆ් ඉන්ට්‍රෙස්ට්' රූපවාහිනී කතා මාලා අතර වැඩිම නැරඹීමක් සහිත කතා මාලාව ලෙස වාර්තා වී ඇත්තේ එහෙයිනි.මෙහි පළමු කොටස සී.බී.එස් නාලිකාව හරහා විකාශනය වූ දා පමණක් මිලියන 13.2 ක ප්‍රේක්ෂකයන් පිරිසක් එය නරඹා ඇත.බාගත කළ පිරිස ද ඊට වඩා බොහෝ වැඩිය.2012 පීපල්ස් චොයිස් සම්මාන උළෙලේ ප්‍රියතම නව රූපවාහිනී කතා මාලාවට හිමි සම්මානය 'පර්සන් ඔෆ් ඉන්ට්‍රෙස්ට්' දිනා ගෙන් ඇත්තේ එහෙයිනි.

A House Divided

ජරාජීර්ණ දේශපාලඥයන් සහ පොලිස් නිළධාරීන් මෙන්ම උසස් රජයේ නිළධාරීන් මෙහෙයවන රූකඩ නැ‍ටුමක් බදු රටක අවාසනාවන්ත කතා කිහිපයක් පමණක් ප්‍රේක්ෂකයාට පෙන්වන 'පර්සන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ' හැදෑරිය යුතු ගණයේ කතා මාලාවකි.සෝප් ඔපෙරාවෙන් ඔබ්බට පියවර විශාල ප්‍රමාණයක් තැබූ මේ කතාන්තරය අන් අයගේ ජීවිත අපේ නැරඹුම් ප්‍රීතියට ද එක් කරයි.අවිඥානික අපිත් අනෙකා ගේ ජීවිත දෙස එබී බලා සතු‍ටු වෙමින් සිටින්නෙමු.මේ අප නොදැනුවත්වම ඇතුළු වීමට උත්සාහ කරන සීමා ඉරයි.සීමා ඉරි ඉක්මවා ගියාට කමක් නැති බව ඔවුන් අපටත් ඉඟි කරයි.යහපත - අයහපත අතර එතරම් දිගු පරතරයක් නැති බව ඔවුන් ඉඟි කරයි.වරදට පොළඹවයි.වරදින් පසු ඔබ දඩුවමට ලක් වෙයි.නමුත් යහපත සහ අයහපත අතර ඇති හිඩැස ළං නොකරයි.
මේ අපේ ම ජීවිත නොවේද?උනන්දුවට පත් තෙවැනි පාර්ශව අප තුළ ම සිටින්නේ නොවෙද?
ඉතින් තව දුරටත් අතිශය පෞද්ගලික ජීවිතයක් තිබිය හැකිද?ඔබ චෙස් අතක නොවටිනා ඉත්තෙකු පමණක් නොවන්නේද?
 
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය
 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ලෝකය ඔත්තු බලයි අපි හෙළිදරව් වී සිනාසෙයි"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com