ලන්ඩනයට ආ අලුත් ඩ්‍රැකියුලා

dracula_2013_tv_series-wide
වෑන් හෙල්සින් කඹයක ආධාරයෙන් අන්ධකාර ගුහාවකට බහින්නේ නිද්‍රාවේ සිටින ව්ලැඩ් ද ඉම්පේලර්ට රුධිර සාත්තුවක් කරනු පිණිසය. වෑන් හෙල්සින් පසුපස රත්‍රන් තන්හාවෙන් අන්ධ වී පැමිණෙන ගැටයෙකි. රුධිර සාත්තුකරු ඔහුය. වෑන් හෙල්සින්ට වුවමණා යක්ෂයා අවධි කර ගැනීමටය. ඒ 1881 රුමේනියාවයි. යක්දෙස්සන්ද, වැම්පයරයන්ද හරි හරියට ඔට්‍ටු වූ කාලයෙන් ඉක්බිතිව එළැඹි ශාන්තවත් කාලයයි. ඉන් පෙර කාලය රාත්‍රියේ සැරිසරන වවුලන්ගෙන්ද, මිනිස් ගෙළ සපා කා ලේ උරා බොන වැම්පයරයන්ගෙන්ද ගහණ වූයෙන් වැම්පයර් දඩයක්කරුවන්ගෙන්ද අඩුවක් වූයේ නැත. එහෙයින්ම ව්ලැඩ් ද ඉම්පේලර් අඳුරු ගුහාවක තට්‍ටු දෙකේ මිනී පෙට්ටියක බහා හදවතට උල් ඇන බල රහිත කර තාවකාලික මරණයකට පත් කර තිබුණි.
ඩ්‍රැකියුලා පළමු කථාංගයේ මේ අවුස්සා ගැනීමට යන්නේ එහෙව් භීතියකි.
'රුධිරය තමයි ජීවිතය'
මේ උදාන වාක්‍ය කියමින් මරණයෙන් නැගිටින්නේ ඩ්‍රැකියුලාය. හේ කඩවසම්ය. නාන බේසමේ ගිලී සෙමින් උඩට මතුවන හේ මන බදින සුළුය. සම්පූර්ණ යුරෝපීය ඇඳුමකින් සැරසී ලන්ඩනයේ ධනපති පංතියට බාල් නැ‍ටුමකින් සංග්‍රහ කරන ඔහු නියම මහත්මයෙකි. දැන් මේ 1896 ලන්ඩන් නගරයයි. ව්ලැඩ් ද ඉම්පේලර් දැන් පෙනී ඉන්නේ ඇලැක්සැන්ඩ්‍රර් ග්‍රේසන් නමිනි. ඔහු නව නිපැයුම්කරුවෙකි. වයර රහිත බල්බයක් තනා ඒ විස්මය ලන්ඩනයේ ධනපති පංතියට පෙන්වීමට බාල් නැ‍ටුමක් නටන්නෙකි.

Dracula_105

මීනා මරී සුකුමාලය. ශතවර්ෂයක නින්දෙන් පසුව ඔහු බැඳුනේ මීනා මරීටය. අන්සතු කුසුමකටය. ඈ පුවත්පත් වාර්තාකරුවකු වූ ජොනතන් හාකර්ගේ පෙම්වතියයි. ඒද ඇලෙක්සැන්ඩ්‍රර් දැක ගැස්සුණු සිතින් යුක්තව සිටින්නියයි. ඈ ව්ලැඩ් ද ඉම්පේලර්ගේ පසුගිය ආත්මයේ ප්‍රිය බිරියයි. මේ දෛවෝපගත හමුවීමයි.
එන්.බී.සී නාලිකාවේ 2013 ඔක්තෝබර් 25 වැනිදා විකාශනය කළ ඩ්‍රැකියුලා රූපවාහිනී කතා මාලාව නිෂ්පාදනය කර ඇත්තේ ‍ෆිල්ම් කානිවල් නම් සමාගම විසිනි. ලෝප්‍රකට බ්‍රෑන් ස්ට්‍රෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව ඇසුරින් නව ඇසකින් ප්‍රති නිෂ්පාදනය කළ එකකි. කෝල් හැඩෝන් විසින් නිර්මිත ඩ්‍රැකියුලා රූපවාහිනී කතා මාලාවේ පළමු වෙළුමේ එපිසෝඩ 10කි. අයි.එම්.ඩී.බී සිනමා වෙබ් අඩවියේ 7.5ක අගයක් ගෙන ඇති මේ කතා මාලාවේ එක් එපිසෝඩයක් මිනිත්තු 43කි. ඩ්‍රැකියුලා පළමු වෙළුමේ පළමු කථාංගය නැ‍රැඹූ ප්‍රේක්ෂකයන් ප්‍රමාණය මිලියන 3.25කි. එහෙත් ඉතාම අවාසනාවන්ත ලෙස පළමු වෙළුමේ එපිසෝඩ 10 විකාශනය වීමෙන් පසුව එහි දෙවැනි වෙළුමක් නිකුත් වූයේ නැත. 2014 මැයි 14 වැනි දින එන්.බී.සී සේවය ප්‍රකාශ කර සිටියේ ඩ්‍රැකියුලා රූපවාහිනී කථා මාලාව පළමු වෙළුමෙන් නිමා වන බවයි. එනම් දෙවැනි වෙළුම තැනීම නවතා දමන බවයි.

SkyLiving_Dracula_Lucy_G-1

පොදු ප්‍රේක්ෂකාගාරය ඩ්‍රැකියුලා ප්‍රතික්ශේප කළාද, හුදෙක් එන්.බී.සීය එය ප්‍රතික්ශේප කළාදැයි නොදැන අප යළිත් එහිම ගිලිය යුතුය. මන්දයත් වර්තමානයේ ජීවත් වන අපි ඉතාම සාහසිකව නොකළ යුතු බොහෝ දේ කෙරෙහි ප්‍රේමයෙන් පසුවන බැවිනි. මීනා මරී ද ජොනතන් හාකර් අත් හැර ඇලෙක්සැන්ඩ්‍රර් ග්‍රේසන් වෙත ප්‍රේමයෙන් බැඳී යන්නේ ඒ සාහසිකභාවය නිසාම විය යුතුය. ඉතාම භයානක දේ වුව සුකුමාල කර පෙන්වන මේ රූපවාහිනී කථා කලාවේ ප්‍රහර්ෂය විඳීමට නම් ඒ තුළ මදක් ගිලී බැලිය යුතුය. ඩ්‍රැකියුලා යන අරුතින් මෙතෙක් ලෝකයා දැන සිටි ප්‍රචණ්ඩ යක්ෂයා වෙනුවට රොමෑන්තික මිනිසෙකු අපට මවා දෙන රූපවාහිනී කතා මාලා රචකයන් ගැන සැක සංකා ඇති කර ගත යුතුය. එමතු නොවේ මන:කල්පිතය කෙරෙහි මද විනෝදයකින් යුතුව බැදී සිටිය යුතු ද වේ.

Dracula - Season 1

ඇලෙක්සැඩ්‍රර් ග්‍රේසන් හෙවත් ඩ්‍රැකියුලාට රඟන ජොනතන් රේස් මේයර්ස් මෙන්ම මීනා මරීට හා ඉලෝනාට ද්විත්ව රඟපෑමක නිරත වන ජෙසිකා ඩි ගොව් ඩ්‍රැකියුලා කතා මාලාවට අවශ්‍ය භීතියත්, ලලාසාවත් අඩු නැතිව ලබා දෙයි. වෑම් හෙල්සින් ලෙස රඟන ‍තෝමස් ක්‍රෙච්මන් ද ජේන් වෙදර්බී ට රඟන වික්ටෝරියා ස්මර් ‍ෆි ද ඩ්‍රැකියුලාට ලබා දී ඇත්තේ ආලෝකයකි. නොමනා ආලයක පැටලැවුණු සුරූපී ලුසී වෙස්ටර්නර්ට රඟන කේටී මැක්ග්‍රාත් මෙන්ම ජොනතන් හාකර්ට රඟන ඔලිවර් ජැක්සන් ආදීන්ද මේ භයංකාර කතාවට රුධිරය ඉසින්නාක් මෙනි. අවැසි විට ආදර වැසි වස්සවන්නාක් මෙනි.

Dracula-Crypt-16x9-1

පළිගැනීමේ රුදුරු කෙලවර ඇත්තේ කුමක්දැයි සිතන්නට ඩ්‍රැකියුලා අපට ඉඩ නොදෙයි. සුරූපී ලුසී වැම්පයරයකු වෙයි. ජොනතන් ඇලෙක්සැන්ඩ්‍රැර්ව උගුලක හසු කරයි. මීනා මරී ඇලෙක්සැන්ඩ්‍රර් සමඟ ප්‍රේමයෙන් බැ‍ඳෙයි. ඩ්‍රැකියුලා ඉතා මෘදුව ඈ අභියස දිය වී යයි. වෑන් හෙල්සින් අලුත් පළිගැනීමක නිරත වෙයි. ලෙයට-ලෙය ඉල්ලූ හෙතෙම දැන් ඇසට-ඇස ඉල්ලයි. නවීන විද්‍යාවේ අනුහසින් ඉර එළියේ ඇවිදින ඩ්‍රැකියුලා නව නිපැයුම්කරුවෙකු වී ලන්ඩනය කළඹයි. වැම්පයර දඩයම්කරුවන් තම දඩයම පසුපස ලුහු බදියි. එහෙත් සියල්ල අවසාන වීමට පෙර ඩ්‍රැකියුලා පළමු වෙළුම නිම වෙයි.
අපි තවම සාහසිකව කළ නොයුතු තරමට ඩ්‍රැකියුලාටද පෙම් කරමින් ඉන්නෙමු. ඒද යම් අවසානයකි. භයංකාර ලුහු බැදීමකි.
මුද්‍රික පානය ඩ්‍රැකියුලා අතය. ඔබට ඇත්තේ රතු දෙතොල විවර කර පානය කිරීම පමණි. ඔහු ඔබව සුසර කරනවා නියතය.
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය
ටොරන්ට්

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "ලන්ඩනයට ආ අලුත් ඩ්‍රැකියුලා"

Trackbacks

  1. [...] ලන්ඩනයට ආ අලුත් ඩ්‍රැකියුලා [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com