කුරුලු මිනිසාගේ ඇකඩමි සම්මාන සම්ප්‍රාප්තිය

birdman-0a
නහය කුඩුපට්ටම් වෙන්න වෙඩි තියාගත් රිගන් තොම්සන් රෝහල් ඇදක පතබෑවී ඉන්නේ මුහුණ වැහෙන්නට වෙළුම්පටි ඔතාගෙනය. බර්ඩ් මෑන් ලෙස සුප්‍රකට සිනමා තරුවකට ඒ ආකාරයෙන් ඇත්තට වෙඩි තබා ගන්න සිදු වූයේ කුමක් හේතුවෙන්ද? සිනමාවේ උත්කර්ෂයෙන් අහසේ පියාඹමින් සිටි රිගන් පොදු සමාජය ඇතුළේ බිමට කඩා වැටෙන්නට යන බව දැනගෙන රසිකයන් වසඟ වෙතැයි සිතා ගසන තුරුම්පුව වේදිකා නාටකයකි. ඒ මදිවාට දශක දෙකකට පෙර රිගන් රඟපෑ බර්ඩ් මෑන් චරිතය ඔහුට උපදෙස් දෙමින් විවේචනය කරයි. කුරුලු ඇඳුමකින් සැරසී ඔහු පසුපස ඇවිදියි. හෙතෙම අහසේ පියඹමින් භාවනාවේ යෙදෙයි. ප්‍රකට නළුවන්ගේ කුමාර ජීවිත මෙන්ම එකී ප්‍රකටත්වය හීන වී ගිය පසු ඇති හිඩැස පිරවීමේ ක්‍රමෝපායන් අතර දෝලනය වන ආකාරය පෙන්වන්නේ නිර්දයවය. රිගන් තොම්සන් යනු සමකාලීන සමාජයේ කැපුම් පහරක්ද? කුරුලු මිනිසෙකු සමඟ භ්‍රාන්තියෙන් කතා කරන හෙතෙම සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ බොරු යෝධයකු ලෙසය. මේ සුප්‍රකට චරිතවල සැබෑ පෙනුමද? ඔවුන්ගේ භ්‍රාන්තියෙන් අප ප්‍රමෝදයට පත් වනවා නොවේද?
87 වැනි ඇකඩමි සම්මාන උළෙලේ 'හොඳම සිනමාපටය'ට හිමි සම්මානය බර්ඩ් මෑන් හිමි කර ගන්නේ මෙවන් වටපිටාවකය. හොඳම සිනමාපටය වෙනුවෙන් තරඟ වැඳුණු සෙසු සිනමාපට සුළුවෙන් තැකිය නොහැක්කේ ඒවා ද මහා කඳු මුදුන් මත තිබෙන හෙයිනි. ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළ ඇමරිකන් ස්නයිපර් ක්‍රියාදාම සිනමාපටයක් ඇතුළත මිනිස්කම ගැන සංවාදයක් ඇති කරන්නකි. රොකට් ලෝන්චරයක් අතැති කුඩා දරුවකුට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවන මොහොතේ ක්‍රිස් කයිල්ගේ මනසේ ඇතිවන සසැලීම පහසුවෙන් අමතක කළ නොහැකි තරම්ය. නෝරා ග්‍රොස්මන් අධ්‍යක්ෂණය කළ ද ඉමිටේෂන් ගේම් බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවට කැදවන කේම්බ්‍රිජ් ගණිතඥයකුගේ අසාමාන්‍ය බුද්ධිමය බලය ගැන කියයි. නාසි හමුදාවේ රහස් පණිවුඩ කියැවීමට ඔහු තනන නව යන්ත්‍රය යුද්ධයේ ගමන් මඟ වෙනස් කරන'යුරු විස්මිතය. එව ඩුවනේ අධ්‍යක්ෂණය කළ සෙල්මා පිහිටන්නේ පුරවැසි හිමිකම් පණත හා බැදුණු කතාන්තරයකි. වර්ණභේදවාදය පිළිබඳය. වඩාත් රිදෙන තැන් අවුස්සමින් ගලා යන සෙල්මා එතරම් ලේසියෙන් අමතක කර දැමිය නොහැකිය.
academy-award-winners-2015-2
ජේම්ස් මාච් අධ්‍යක්ෂණය කළ ද තියරි ඔෆ් එව් රිතින්ග් හි කේම්බ්‍රිජ් සරසවි ශිෂ්‍යයකු සහ අනාගත භෞතික විද්‍යාඥයකු වන ස්ටීවන් හෝකින්ස් පීඩා විඳින රෝගයක් පිළිබඳ සංවේදී සිදුවීම් සමුදායක් අපට පෙන්වයි. ඩේමියන් චෑසෙල් අධ්‍යක්ෂණය කළ විප්ලෑෂ් ජෑස් ඩ්‍රම් වාදකයකුගේ සිහිනයෙන් පෙළෙන අ9 හැවිරිදි ඇන්ඩෲ ගැන ශබ්ද සහිත චිත්‍රයක් ඇද පෙන්වයි. රිචර්ඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂණය කළ බෝයිහුඩ් මෑතකදී වඩාත් අවධානයට ලක් වූ සිනමාපටයකි. මේසන් නම් කුඩා පිරිමි ළමයාගේ සම්පූර්ණ ජීවිතය සිනමාපටයකට කවා රසිකයාට ඉදිරිපත් කළ බෝයිහුඩ් එකම නළු,නිළියන් භාවිත කරමින් වසර 12ක් මුළුල්ලේ රූගත කළ ඉතිහාසගත චිත්‍රපටයකි. අනෙක වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල් ය. 1930 දශකයේ ප්‍රකට හෝටලයේ සිදුවීම් වැලක් වටා ගෙතෙන්නකි.
ඒ සියල්ල පරදා බර්ඩ් මෑන් විසින් හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීම එකාකාර කඳු මුදුන් කිහිපයකින් වඩාත් පරිපූර්ණ කඳු මුහුන ‍තෝරා ගැනීමකි. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නේ එඩී රෙඩ්මේන් විසිනි. ඒ ද තියරි ඔෆ් එව් රිතින්ග් සිනමාපටයේ ස්ටීවන්ස් හෝකින්ස් ගේ චරිතය ඉතා විශිෂ්ටව රඟපෑ හෙයිනි. ඔහු මේ සම්මානය සඳහා තරඟ වැදුණේ ස්ටීව් කැරල්,බ්‍රැඩ්ලි කූපර්,බෙනඩික් කම්බර්බැච් සහ මයිකල් කීටන් සමඟය. එඩී රෙඩ්මන්ට එකී සම්මානය අයිති විය යුත්තේ ඔහුගේ රංගනයේ ඇති විශිෂ්ට බව හේතුවෙන්ය. හොඳම නිළිය වූයේ ස්ටිල් ඇලිස් සිනමාපටයේ ඇලිස් ගේ චරිතය රඟපෑ ජූලියන් මෝ ය. ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් තමන් කවුදැයි කවුරු වී සිටියාදැයි සිහි එලවා ගැනීමට තැත් කරනු නැ‍රැඹීම සංවේදීය. ඈ තරඟ වැදුනේ ටූ ඩේස් වන් නයිට් හි මේරියන් කොටිලාඩ්,ද තියරි ඔෆ් එව් රිතින්ග් හි ෆෙලසිටි ජෝන්ස්,ගෝන් ගර්ල් හි රොස්මන්ඩ් පයික් සහ වයිල්ඩ් සිනමාපටයේ රීස් විදර්ස්පූන් ආදීන් සමඟය.
watch-oscars-online
සහාය නළුවාට හිමි සම්මානය විප්ලෑෂ් වෙනුවෙන් ජේ.කේ.සිමන්ස් ට හිමි විය. සහාය නිළිය බෝයිහුඩ් හි කළ රංගනය වෙනුවෙන් පැට්‍රීෂියා ආකේට් හිමි කර ගති. හොඳම සජීවිකරණ සිනමාපටය වූයේ ඩොන් හෝල් සහ ක්‍රිස් විලියම්ස් දෙදෙනා අධ්‍යක්ෂණය කළ බිග් හීරෝ 6 ය. සෝන්ග් ඔෆ් ද සී,ද බොක්ස්ට්‍රෝල්ස්,හව් ‍ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් දෙවැන්න,සෝන්ග් ඔෆ් ද සී සහ ද ටේල් ඔෆ් ප්‍රින්සස් කගුවා සෙසු සිනමාපටය. එහෙත් පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙන් මහත් පෙරළියක් ඇති කිරීමට මේ කිසිදු සජීවිකරණ සිනමාපටයකට නොහැකි විය.
හොඳම සිනමාරූපනය වෙනුවෙන් බර්ඩ් මෑන් හි එම්මානුවෙල් ලුබෙස්කි සම්මාන දිනා ගති. හොඳම වේෂ නිරූපණය ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල් වෙනුවෙන් මිලෙනා කැනනොරෝ ලබා ගති. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් බර්ඩ් මෑන් සිනමාටයේ අධ්‍යක්ෂ ඇලජැන්ඩ්‍රෝ ජී.ඉන් ඇරි‍ටු සම්මානය දිනා ගන්නා ලදී. හොඳම වාර්තා චිත්‍රපටය වූයේ සිටිසන් ෆෝ ය. හොඳම සංස්කරණය විප්ලෑෂ් වෙනුවෙන් ටොම් ක්‍රොස් හිමි කර ගනු ලැබීය. විශිෂ්ටම විදෙස් භාෂා සිනමාපටය වූයේ කළු-සුදු සළරුවක් වූ ඉඩා ය. එය පෝලන්තය නියෝජනය කරනු ලැබීය. හොඳම අංග රචනය සහ කොණ්ඩා සැරසිලි වෙනුවෙන් ද ග්‍රෑන්ස් බුඩාපෙස්ට් හොටෙල් වෙනුවෙන් ෆ්‍රාන්සස් හැනොන් සහ මාක් කෝලියර් දෙදෙනාට සම්මනය හිමි විය.
2015-02-23T045907Z_01_OSC480_RTRIDSP_3_AWARDS-OSCARS
හොඳම සංගීතයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තේද ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල් ය. මේ සම්මාන සටහන තවත් බොහෝ දිගුය.
සමස්ථයක් ලෙස 87 වැනි ඇකඩමි සම්මාන උළෙල සිනමා රසිකයන්ට අත්‍යවශ්‍ය කම්පනයක් ලබා දී ඇතැයි කිව හැකිය. බර්ඩ් මෑන් සහ ද ඉමිටේෂන් ගේම් අන්ත දෙකක සිට අපට ජීවිතයේ යථාර්ථය පෙන්වයි. සිනමාපටයක් තුළ තවත් සිනමාපටයක් ඇතැයි බර්ඩ් මෑන් රහසින් කියයි. සියලු ප්‍රකට චරිත සෙසු සමාජය විසින් ආයිත්තම් දවටන ලද,සුවඳ විළවුන් ගල්වන ලද මවාපෑමක් පමණක් බව අවසන හෙළි කරයි.
සිනමාවෙන් චිත්‍රනය නොකෙරෙන යටි පෙළක්ද ඇති බව එළිපිටම සිතිය හැකි සංක්‍රාන්ති යුගයක ඇකඩමි සම්මාන උළෙලකින් උත්කර්ෂයට පත් වී ඊළඟ වසරේ අලුත් උත්කර්ෂයක් බලාපොරොත්තු වීම කළ යුතුද? මේ පොදු රසිකයා විසින් සිනමාත්මක හිරි වැටීමක් බල කරමින් ඉල්ලා සිටිය යුතු කාලයයි. ටොරන්ට්ගත සිනමා වින්දනයකින් පෘථුල වූ රසික සමාජය සෑහීමකට පත් නොවී තවත් යමක් ඉල්ලා සිටින හෙයින් මේ අප ඉල්ලා සිටි දෙයම නොවේ. නොවන්නේද නොවේ.

කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "කුරුලු මිනිසාගේ ඇකඩමි සම්මාන සම්ප්‍රාප්තිය"

  1. g
    04/03/2015 at 5:12 am Permalink

    Patta Patta. Thanks for sharing :)

Trackbacks

  1. [...] කුරුලු මිනිසාගේ ඇකඩමි සම්මාන සම්ප්‍ර... [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com