පණිවුඩයේ අකුරු 140 සංක්ෂිප්ත බව සහ ට්විටර් පරාගණය

creative-twitter-wallpaper
ට්විටර් නම් ප්‍රකට අකුරු 140කි. ඒ,මයික්‍රෝ බ්ලොගින් සේවාවකි. 2006 තරම් මෑතක උපන් නිසා වයස අවුරුදු 09කි. ජැක් ඩෝසි සහ බ්ස් ස්ටෝන් ට්විටර් නිර්මාතෘ දෙපළය. අකුරු 140 ක් පුපුරුවමින් ට්විටර් බිත්තිය මත ලියන පණිවුඩය ට්විට් නමින් හඳුන්වයි. ඡායාරූප සහ සබැඳි මේ සමඟ යෙදිය හැකි අතර ඒවා ප්‍රසිද්ධ කිරීම පොදු හෝ පෞද්ගලික යන දෙවර්ගයට යටත්ව කළ හැකිය.
ට්විටරය සම්බන්ධයෙන් ඒ හා වැඩුණු ඊටම අනන්‍ය උප භාෂාවක්ද පවතී. ට්විටර් ගිණුම දරන්නාගේ ඡායාරූපය 'ඩීපී' ඩිස්ප්ලේ පික්චර්
ලෙස ද ට්විටර් ගිණුමේ සඳහන් ඔබේ නම් 'හැන්ඩ්ලර්' නමින් ද හඳුන්වයි. එකී නම ඉදිරිපිට ඇත්තේ ප්‍රකට @ සළකුණය. මේ උප භාෂාවේ තරම කොතරම් ද කිවහොත් අන්තර්ජාලය තුළ ඒ වෙනුවෙන් සැදුණු ට්විටර් ගැටපදවිවරණ පවා දක්නට ඇත. වඩාත් ප්‍රකට 'හෑෂ්'( #) සළකුණයි. යම් වචනයක් හෝ කරුණක් එක ගොණුවක් සේ වෙන්කර පෙන්වීමට 'හෑෂ්'සළකුණ යොදා ගනී. හෑෂ් සළකුණට පසුව යොදන වචනය අතර ඉඩක් නොතැබෙයි. යම් සෙවුමකදී මෙලෙස වෙනම ගොණු කළ වචන හෝ වාක්‍ය සොයා ගැනීම මෙමඟින් පහසු කරයි.
උදාහරණයක් ලෙස ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ හෑෂ් ටැගය දැක්විය හැකිය. එය #CWC15 නමින් සෙවුමක් කර පහසුවෙන් සොයා ගත හැකිය. ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ලොව පුරා විසිර සිටින ට්විටර් පරිශීලකයන් මුදා හැරිය ට්විට් එක ගොණුවක් යටතේ කියැවිය හැකිය. ඔබ ටිව්ටර් ගිණුමක් දරන්නෙක් නම් @cricketworldcup නම් පරිශීලක නාමය සෙවුමකින් ලබා ගෙන ඒ ගිණුම ලුහුබැඳිය හැකිය. අන් අයකුගේ ගිණුමක් ලුහුබැඳීම 'ෆලෝ' කිරීමකි. එසේ ලුහුබඳින්නන් 'ෆලෝවර්ස්' නමින් හඳුන්වයි. එකී ගිණුම් හිමියන්ට අවැසි නම් පමණක් ඔබේ ගිණුම 'ෆලෝ' කිරීමට හැකිය. ඔබ අනවශ්‍ය පීඩාවක් එක් කරන්නකු බව හැඟී ගියහොත් ඔබේ ගිණුම අවහිර ('බ්ලොක්’) කිරීමට හැකිය.
ඔබේ ගිණුමෙන් ලුහුබඳින අය 'ෆලෝවින්ග්' ලෙස හඳුන්වයි. ට්විටර් ගිණුමේ 'බයෝ' ලෙස හඳුන්වන්නේ ඔබේ ජීව දත්තයි. වචන 160ට සීමා කර ඇති මේ ජීව දත්ත සටහන විවිධාකාරය. මේ @KawdaBoy ගේ බයෝව සටහන් වී ඇති ආකාරයයි.
Caution: Dangerously Hyper,Grievously Annoying and Never Serious.Dare to fallow.Interests:X-men,Wolverine,SLCricket,Barca,Ocean,Swimming,WaterPolo.
එකිනෙකාගේ රුචි,අරුචිකම්,රැකියාව,වෘත්තිය ආදිය සටහන් කෙරෙන අතරතුර තරුණ,තරුණියන් තම බයෝව සටහන් කරන්නේ මේ අයුරිනි. ප්‍රකට පුද්ගල චරිත සහ රාජ්‍ය නායකයන් ඇසුරින් සොයා බැලූ විට ඔවුන්ගේ බයෝව මීට හාත්පසින්ම වෙනස්ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ට්විටර් බයෝවේ සටහන්ව ඇත්තේ Prime Minister of India ¬¬යනුවෙනි පමණි. එමෙන්ම 'වෙරිෆයිඩ්' ට්විටර් ගිණුම් සහ සාමාන්‍ය ගිණුම් ද පවතී. අනුමත කළ නොහෙත් ස්ථීර කළ ට්විටර් ගිණුමක් තිබීම නම්බුවකි,කීර්තියකි. එසේ අනුමත කළ ට්විටර් ගිණුමක් නිල් පාට රවුම් හැඩයක් ඇතුළත ඇති සුදු පැහැති 'හරි' සළකුණකින් සංකේතවත් වේ. ට්විටර් ගිණුමක් 'වෙරිෆයිඩ්' තත්ත්වයට පමුණුවා ගැනීම රාජ්‍ය නායකයකුට හෝ ප්‍රකට පුද්ගලයකුට හෝ පහසු කාර්යයක් මුත් එය සාමාන්‍ය ට්විටර් පරිශීලකයකුට නම් අති දුෂ්කර කාර්යයකි.
ගිණුමක් අක්‍රීය කිරීමට වුවමණා විට 'ඩි ඇක්ටිවේට්' ඔප්ෂනය භාවිත කළ හැකි අතර එසේ කර දින 30ක් ඇතුළත ඔබේ ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙයි. යලිත් එය සක්‍රීය කිරීමට අවශ්‍ය නම් දින 30 ඇතුළත ඇති සහන කාලය තුළ එය සිදු කළ හැකිය. ඔබේ පරිශීලක නාමය එවිට වෙනත් අයකුට ලබා ගත හැකිය.
'ඩිරෙක්ට් මැසේජ්' යනු පෞද්ගලික සංවාද කළ හැකි පරාසයකි. ඔබ විසින් 'ෆලෝ' කරන්නට යෙදුණ,පෙරලා ඔබව 'ෆලෝ' කරන අයට පමණක් 'ඩිරෙක්ට් මැසේජ්' හෙවත් ඩීඑම් යොමු කළ හැකිය. නමුත් අකුරු 140 සීමාව ඒ ලෙසමය. ඡායාරූප,අන්තර්ජාල සබැඳි,වීඩියෝ සහ හෑෂ් ටැග් මේ හරහා හුවමාරු කර ගත හැකිය.
'ෆේවරිට්' යනු අන්‍යයකු මුදා හළ ට්විටයක් තමන් ප්‍රිය කරන බව හැඟවීම පිණිස යොදා ගන්නා තරු සළකුණයි. යම් හෙයකින් මීට පෙර ඔබ ප්‍රිය කළ සියලුම ට්වීට් සොයා ගැනීමට වුවමණාවක් පවතී නම් ප්‍රොෆයිලයේ ඇති ෆේවරිට්ස් මෙනුවෙන් ඒ සොයා ගත හැකිය.
twitter_by_drunken_novice-d5a9x9v
'ෆලෝ' බොත්තම ඇත්තේ සෑම ගිණුමකම දකුණු අත පැත්තේ නිල් කො‍ටුවක් ලෙසය. ට්විටර් ගිණුම්ගත ඕනෑම අයකු ලුහුබැඳීමට,පසුපස ඇදී යාමට මේ නිල් බොත්තම අවකාශ සපයයි.
'ජියෝලොකේෂන්' යනු ඔබ කොතැනක සිටීද යන්න හැඟවීමට භාවිත කළ හැකි උපක්‍රමයකි. සත්‍ය මොහොතේ ඔබ සිටින තැන අන්‍යයන් හට දැන්වීමට 'ට්වීට් විත් යුවර් ලොකේෂන්' ටැබය භාවිත කළ හැකිය. එමඟින් අන්තර්ජාලයට මුළුමනින්ම ඔබව විවෘත වන අතර මේ මොහොතේ ඔබේ ජංගම දුරකතනය අතැතිව හෝ ස්ථාවර පරිගණකගතව හෝ ඔබ සිටින තැන ඕනෑම අයකුට දැනගත හැකිය. බොහෝ විට පෞද්ගලිකත්වයේ සීමා අප නොදැනුවත්වම අපෙන් උදුරා ගැනීමට මෙවන් ආකර්ශණීය තාක්ෂණික උපක්‍රමවලට හැකියාවක් පවතින බව නොකියාම බැරිය.
නිතර ට්විටර් ගිණුම් 'හැක්' වේ. අනවසර පුද්ගලයන් ඔබේ ගිණුමට ඇතුළු වී එහි අයිතිය පවරා ගැනීම 'හැකින්ග්' නම් වේ. යම් මොහොතක ගිණුමක් අන්සතු වී ඇත්නම් සහන සේවාගත උපකාර ට්විටරය තුළ ඇත. මේ අවස්ථාව 'කම්ප්‍රොමයිස්' වීමක් ලෙස ද වහරයි. එමෙන්ම මේ තත්ත්වය සුලබ බවද කිව යුතුය.
'හෑෂ්ෆ්ලෑග්ස්' යනු වැඩිපුර අවධානයක් දිනා නොගත් තවත් සලකුණකි. හෑෂ් සළකුණට පසුව ඉඩක් නොතබමින් එක ළඟ යොදන මෙය බොහෝ විට ජාතික කොඩියකි. ලෝක පාපන්දු කුසලාන තරඟ,සහ ලෝක ක්‍රිකට් කුසලාන,ඔලිම්පික් තරඟ අවස්ථාවල මේ හෑෂ්ෆ්ලෑග් බහුලව යොදා ගනු ලැබිණ. 'හෙඩර් ෆොටෝ' යනු ඔබේ ප්‍රොෆයිලයේ දිගු පින්තූරයක් යෙදීමට ලබා දී ඇති අවකාශයයි. 'හෝම්' යනු සත්‍ය මොහොතේ ට්විට් ගලා යන අවකාශයයි. 'ඉම්පර්සනේෂන්' යනු වෙනත් අයකු වෙනුවෙන් ව්‍යාජයෙන් පෙනී සිටීමයි. ට්විටරයට අදාල නීති-රීති මත එකී ගිණුම අක්‍රීය කළ හැකිය. එනමුත් වත්මන වන විට මෙවන් ව්‍යාජ ගිණුම් අප්‍රමාණයකි. ප්‍රකට පුද්ගලයන් වෙනුවෙන්,රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවා මෙවන් ගිණුම් රාශියක් ට්විටරය තුළ සැරිසරයි. එහි අනර්ථය අප්‍රමාණ මුත් සයිබර් නීතිය පමණක් මේවා නැවත්වීමට ශක්තිමත් නොවේ.
twitter-nail
'ලිස්ට්' යනුවෙන් තවත් ඔප්ෂනයකි. එමඟින් ගිණුම් හිමියාට අවැසි ආකාරයට විවිධ පුද්ගලයන් ගොණු කළ හැකිය. යහළුවන්, ප්‍රකට පුද්ගලයන්,ක්‍රීඩකයන්,පවුලේ ඥාතීන් මෙන්ම මෙනම් අනවශ්‍ය පුද්ගලයන් මේ ගොණුගත කිරීම්වලට යොදා ගත හැකිය.
'මෙන්ෂන්' යනු ට්විටරය තුළ ප්‍රකටම වදනකි. තවත් පරිශීලකයකු උපුටා දැක්වීම මෙමඟින් සිදු කෙරෙයි. එය @ සළකුණ සමඟ යෙදෙයි. එක් අයකුට හෝ කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට යමක් පැවසීමට වුවමණා විට මෙන්ෂන් කිරීමක් සිදු වේ. මෙවැනි මෙන්ෂන් හරහා සංවාද වැල් බිහි වේ. එකිනෙකාට තමන් කැමති ඕනෑම අයකු මේ මෙන්ෂන් කිරීම මඟින් සංවාදයට යොදා ගත හැකිය. සංවාදශීලී මාතෘකා පැන නඟින සෑම විටකම මෙන්ෂන් හරහා එය යටයා නොදී මතුකර තබා ගැනීමට හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලාංකීය දේශපාලන කාරණා සංවාදගත වූයේද මේ අප්‍රමාණ මෙන්ෂන් හරහාය. පුද්ගලයන් සහ කණ්ඩායම් තම අදහස් හා විරෝධය දැක්වීමට ට්විටරය යොදා ගනු ලැබීය. අකුරු 140ක් ඇතුළත සබැඳි සහ රූප භාවිත කරමින් දිගු සංවාද කරා අනෙක් අය යොමු කිරීම තරමක් මවිතය පල කරන සුළු සිදුවීමකි.
ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම සක්‍රීය ට්විටර් ගිණුම් පවත්වාගෙන යාම,ට්විටර් ප්‍රශ්නවාර ලබා දීම ආදිය හේතුවෙන් දැඩි උනන්දු සහගත වාතාවරණයක් ට්විටර් මෙන්ෂන් සහ හෑෂ් සළකුණු පෙරට කරගෙන ඇති විය.
ට්විටරයේ වඩාත් ආකර්ශණීය අංගය වූ මොබයිල් වෙබ් දිගුව ගැන බොහෝ දේ කිව යුතුය. ස්ථාවර පරිගණක සහ උකුලු පරිගණක ආශ්‍රයෙන් ට්විටරය භාවිත කරන්නන් ප්‍රමාණයට සාපේක්ෂව ජංගම දුරකතම හරහා පාවිච්චි කරන්නන් ප්‍රමාණය ඉහළය. ඇපල් දුරකතන මාදිලිය, ඇන්ඩොයිඩ්,වින්ඩෝස් ආදී සියල්ලම වෙනුවෙන් වෙන්,වෙන් වශයෙන් ට්විටර් ඇප් ඇති හෙයින් එය බාගත කරගෙන දුරකතනයේ පිහි‍ටුවා ගැනීම සුළු වූත් සරල වූත් කාරණයකි.
hashflags
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකතන සඳහා ගූගල් ප්ලේ ද, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ස්ටෝර් ද, ඇපල් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ඇප් ස්ටෝර් ව ද යොදා ගත හැකිය. මේ ත්‍රිත්වයම හරහා ට්විටර් ඇප්ලිකේෂනය බාගත කරගෙන ඇති වාර ගණන ගිණිය නොහැකි තරම්ය. 'නොටි‍ෆිකේෂන් ටැබ්' මඟින් සත්‍ය මොහොතේ ක්‍රියාකාරී ට්විටර් පරිශීලකයන්ගේ ක්‍රියාකාරකම් දැනගැනීමට සලස්වයි. 'පිෂින්ග්' තරමක් බිය දනවන්නකි. ට්විටර් භාෂාව තුළ ඒ හැදින්වෙන්නේ ඔබේ ගිණුම වංචාකාරී ක්‍රම මඟින් අත්පත් කර ගැනීමයි. ඇතුළත් වීමේ රහස්‍ය පද සොරා ගැනීමට ව්‍යාජ ඇතුළත් වීමේ පි‍ටුවක් යොමු කර රහස්‍ය වදන සොරා ගැනීම සිදු වෙයි. එසේත් නැත්නම් වැඩිපුර ෆලෝවර්ස්ලා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඇතුළත් වීමේපරිශීලක නම සහ රසස් වදන ඔබ වෙතින්ම ලබා ගැනීමයි. බොහෝ විට ඩීඑම් යොමු කිරීමෙන් හෝ ඊමේලයක් යොමු කිරීම මඟින් මේ තත්ත්වයට පමුණුවනු ලබයි.
'පින්ඩ් ට්වීට්' බහුලව භාවිත නොකරන්නකි. වැදගත් යමක් අවධාරණයෙන් පැවසීමට අවශ්‍ය විට ඔබේ ගිණුමේ උඩින්ම යම් ට්විටයක් රදවා තැබීම 'පින්ඩ්' කිරීම නම් වේ. මේ අතර 'ප්‍රොටෙක්ටඩ් එකවුන්ට්ස්' ද ඇත. සාමාන්‍යයෙන් සියලු ට්විටර් ගිණුම් පොදු වන මුත් මෙලෙස ආරක්ෂාකාරී විධාන ලබා දුන් පසු එකී ගිණුම් හිමියා විසින් අවසර ලබා දුන් අයට පමණක් එම ගිණුමේ ඇතුළත් දෑ සමඟ ගනුදෙනු කළ හැකිය. 'රිප්ලයි' කිරීම පිළිතුරු දීමට භාවිත කරන ට්විටර් භාෂාවයි. එය ප්‍රශ්නයක් ඇසූ පුද්ගලයාගේ @සළකුණ සමඟ දිස් වේ.
'රීට්වීට්' යනු අනෙක් ප්‍රකටම වර්ගයයි. වෙනත් අයකු විසින් මුදා ගරින ලද ට්විටයක් නැවත වෙනත් අයකු විසින් මුදා හැරීම රීට්වීට් නම් වේ. බොහෝ විට වැදගත් ප්‍රවෘත්ති ආදිය මෙලෙස රීට්වීට් වෙයි. ට්වීටයේ හිමිකාරී පුද්ගලයාගේ නම සමඟ නිතරම රීට්වීට් දිස් වේ. ස්පෑම්,ෂෝට් කෝඩ්,සස්පෙන්ඩඩ්,ටෙක්ස්ට් කමාන්ඩ්,ටොප් ට්වීට්ස්,ට්‍රෙන්ඩ්ස් ආදී තවත් වචන බොහොමයකි. ඒ සියල්ලටම සයිබර් අවකාශය තුළ මෙන්ම ට්විටර් ගිණුම තුළ වෙනම අර්ථ ඇත.
a723ef99be0dbce82752c546f808b678-d50w6va
'ටයිම්ස්ටෑම්ප්' එතරම් ප්‍රකට නැති යෙදුමකි. යමකු ට්විටයක් මුදා හළ දිනය සහ වේලාව සොයා ගැනීමට අවශ්‍ය විට ටයිම්ස්ටෑම්ප් යොදා ගත හැකිය.
එමෙන්ම ට්විටර් උප භාෂාවේ RT යන වචන මඟින් රීට්වීට් හැඳින්වෙන අතර This යන්න ට්වීටයක් මුලට යෙදීම මඟින් එහි ඇති වැදගත්කම අවධාරණය කරයි. අනිවාර්යයෙන්ම කියැවිය යුතු යන අදහසින් මෙය යෙදෙයි. TBH යන්නෙන් to be honest යන්නත් MT යන්නෙන් modified tweet හැඟවෙයි. OH යනු overheard ය. +1 කියා ඇත්නම් එයින් හැඟවෙන්නේ සහෝදර සමාජජාලා වෙබ් අඩවියක් වූ ගූගල් ප්ලස්ය. H/T හෝ HT ලෙස ට්විටය මුලට යෙදී ඇත්නම් එයින් හැඟවෙන්නේ නම් එහි තේරුම hat tip යන්නයි. එනම් පිළිගත් සමාජජාලා අඩවියක තිබුණු බව,එය අනුමත කළ එකක් බව එමඟින් අර්ථ දැක්වෙයි.
යම් තැනක ට්විටයක් මුලට TL;DR ලෙස සඳහන්ව එහි අගින් යම් වෙබ් සබැඳියක් ඇත්නම් ඉන් හැඟවෙන්නේ Too long; didn’t read කියාය.
2006 දී ඇ‍රැඹි ට්විටරයට 2012 වන විට මිලියන 100ට වඩා අධික පරිශීලකයන් පිරිසක් සිටින බව විකිපීඩියාව කියයි. එසේම දිනකට මිලියන 340ක ට්වීට් ප්‍රමාණයක් සයිබර් අවකාශයට මුදා හරියි. සෙවුම් බිලියන 1.6ක් සඳහා දෛනික සේවාවක් ලබා දෙයි. 2014 වන විට ට්විටර් පරිශීලකයන් මිලියන 500කි.
සැන් ෆ්‍රැස්න්සිකෝවේ මවු ශාඛාව පිහිටා ඇති ට්විටර් සමාගමේ උප ශාඛා 25ක් ලොව පුරා පිහි‍ටුවා ඇත. එහි දැනට සේවකයන් 3600කි. ප්‍රකට වෙබ් ශ්‍රේණිගත කිරීමේ ඇලක්සා වෙබ් අඩවියට අනුව ට්විටර්ය ඇත්තේ අංක 08 ය. තවමත් පළමු වැන්නා ගූගල්ය. දෙවැන්නා ෆේස්බුක්ය.
Failwhale1
අද භාවිත වන Twitter යන්න වෙනුවට පළමුව යෝජනා වී ඇත්තේ twttr යන්නයි. වචන පහකින් දිගකින් යුක්ත අමෙරිකානු කෙටි පණිවුඩ සේවාව හැඟවීමට ජැක් ඩෝසි විසින් twttr යන්න භාවිත කිරීමට උත්සාහ කළත් අවසානයේ එය Twitter බවට පත් විය. ජැක් ඩෝසි ට්විටරය හරහා සයිබර් අවකාශයට මුදා හළ පළමු ට්විටය වන්නේ ‘Just setting up my twttr’ යන්නයි. ඒ 2006 මාර්තු 21 වැනිදා රාත්‍රී 09.50ටය. ඉන් පසුව මිලියන,බිලියන ගණනින් ට්වීට් සයිබරය පුරා වැපිරෙන්නට විය. ට්විට් පරාගණය සිදු වූයේ මිලියන ගණනින් වැඩුණු පරිශීලකයන් අතිනි. මයික්‍රෝ බ්ලොගින් සේවාවක් වූ ට්විටරයේ ලාංකීය භාවිතය වෙනමම කතා කළ හැකි තරම් පැතිරුණු මාතෘකාවකි. එහෙත් කිව යුතු යමක් ඇත. ඒ සිංහලෙන් ට්වීට් කිරීම පටන් ගැනීමත් සමඟ ට්වීටරයට තරුණ පරිශීලකයන් විසින් අපූරු ලාංකීය හැඩයක් සහ පැහැයක් ලබා දී ඇති බවය.
පරාගණය නොනැවතී සිදු වන්නේ ඔවුන් අතිනි.

කාංචනා අමිලානි
@moogater

පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "පණිවුඩයේ අකුරු 140 සංක්ෂිප්ත බව සහ ට්විටර් පරාගණය"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com