භාෂාව කියන්නේ මෙවලමක් විතරයි -කත්‍යානා අමරසිංහ

Untitled-1
ඕ ප්‍රකට පරිවර්තිකාවකි. පුවත්පත් ලේඛිකාවකි. නවකතාකාරිනියකි. මේ කත්‍යානා අමරසිංහගේ  අභිනව ග්‍රන්ථය 'නිළි වැස්ස’ නවකතාව අරභයා කළ හෘද සංවාදයකි.
ඉතිහාස කතාවක් පසුබිමේ තියාගෙන කල්පිතයක් ගොඩනැඟීම කෙතරම් අමාරුද?
මං ඒ අමාරුව ගැන හිතුවේ නෑ. මට අවශ්‍ය වෙලා තිබ්බෙ මගේ හිතේ තියෙන චරිතයක් වටා කතාවක් ගොතන්න. ඒ චරිතය මම ඉස්සෙල්ල ගොඩනැඟුවා. ඒ චරිතය ගොඩනැඟීමේදී මට වුවමණා වුණා නම් මේක තව අවුරුදු 300ක් අනාගතේට ගිහිල්ලා රචනා කරන්න කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇත්තටම මම මෙතනදී කළේ චරිතය පෝෂණය කරන්න වඩා සුදුසු තැනකට අරගෙන යාමයි. අතීතයද,වර්තමානයද,අනාගතයද කියන එක නෙවෙයි චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීමයි එතනදී වැදගත් වුණේ. එහෙම බැලුවම අභියෝගයක් තමයි. ඉතිහාසඥයන් සතු‍ටු කරන්න මට අවශ්‍ය වුණේ නෑ. නවකතාව කියවාගෙන යනකොට අභව්‍ය ගතියක් නොදැනෙන්න මේ නවකතාව ලියන්නයි මට ඕනා වුණේ. කතාව ගලා යාමට යම් කිසි බාධාවක් වෙනවා නම් ඒක නවත්තන්න තමයි මූලිකවම මට ඕනා වුණේ. උදාහරණයක් විදිහට කතාවෙ එක චරිතයක් රබර් වත්තක් මැදින් හරි තේ වත්තක් මැදින් හරි ඇවිදගෙන ගියා නම් ඒක කියැවීමට බාධාවක් වෙනවනේ. ඒ වගේ තැන්වල මම සැලකිලිමත් වුණා. ඒ නිසාම කතාවට පසුබිම් වුණ සමාජ,දේශපාලන වටපිටාව වගේම සංස්කෘතිය ගැන දැනගන්න පරණ පොත්පත් රාශියක්ම කියෙව්වා. විශාල හැදෑරීමක් කළා.
යම් කෘතියකින් ඉතිහාස කතාවක් කීමට අමතරව ඒ කාලයේ සමාජ,දේශපාලන සහ ආර්ථික වටපිටාව නිරූපනය කළ යුතුයි නොවේද? ඔබ එය මඟහරිමින් කතාව කීම පමණක් කරගෙන ගොස් තිබෙන බවට මම චෝදනා කළොත් ඔබේ පිළිතුර කුමක්ද?
මම එහෙම කළා නම් මේක ඓතිහාසික නවකතාවක් වෙනවා කියන එකයි මගේ මතය. ඓතිහාසික නවකතාවක් වීමට නම් යම් කොන්දේසි ප්‍රමාණෙකට යටත් වෙන්න ඕනා වෙනවා. දැන් මෙතන තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි. කල්පිත චරිතයක් වටා ගෙතුණු කල්පිතයකුයි මෙතන තියෙන්නේ. මං නවකතාවට ඉතිහාසයෙන් යොදා ගත්තේ දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ චරිතේ විතරයි. රජ්ජුරුවන්ව යොදා ගන්නෙත් රන් මැණිකාගේ චරිතෙ ගොඩනඟන්න අවශ්‍ය නිසයි. රන් මැණිකා බලාපොරොත්තු වෙන්නෙ ටිකක් ඉදිරිගාමී පුරුෂයෙක්වයි. ඉතිං මේ චරිතෙට ගැලපෙන කෙනෙක්ව මට ඕනා කරලා තිබ්බා. ඉතිහාසෙ තුළ එහෙම අය හිටියද කියලා මම හෙව්වා. එතකොට තමයි දෙවැනි රාජසිංහගේ චරිතෙ අහු වෙන්නේ. කතාව ලියන්න ඉතිහාසය පාවිච්චි කළා මිසක් ඉතිහාසය නිසා කතාවක් බිහි වුණා නෙවෙයි. රන් මැණිකා කියන්නේ නිදහස හොයාගෙන යන කෙනෙක්. ඈ කැමති නෑ සමාජෙ සාමාන්‍ය කො‍ටුවට වැටෙන්න. එයා හොයාගෙන යන්නෙ ඒ කො‍ටුවෙන් එළියට යන්න පුළුවන් කෙනෙක්වයි. මේක අතීතයේ කියලා නෑ. අද වුණත් ඒ තත්ත්වය පොදුයි.
යම් හෙයකින් සමාජ,දේශපාලන,ආර්ථික කරුණු විස්තර කරමින් මේ කතාව කියන්න ගියා නම් අනිවාර්යයෙන්ම මේකට ඉතිහාස කතාවක ගති සොබාව එනවා. ඒකෙන් මගේ ප්‍රබන්ධයට හානියක් වෙනවා. ඒ නිසා සමහර කරුණු මඟ හරිමින් මගේ චරිතය වර්ධනය කරමින්,ඈව නවකතාව තුළ වඩා වටින තැනක තියන්නයි මට වුවමණා වෙලා තිබුණේ.
දෙවැනි රාජසිංහ රජ දවස පසුම්බි වුණ මේ නවකතාවේ සමකාලීන භාෂාව නිසියාකාරයෙන් භාවිත කර තිබෙනවාද?
මේ කතාවට පසුබිම් වන්නේ දෙවැනි රාජසිංහ ගේ රාජ්‍ය කාලයේ 1940- 1945 අතර වකවානුවයි. මේ කාලය ටිකක් අමුතුයි. පෘතුගීසිත් හිටියා. ලන්දේසිත් හිටියා එතකොට. ඒ ගොල්ලො අතර කඹ ඇඳිල්ලකුයි තිබුණේ. කවුරුත් මුකුත් කරන්නෙ නෑ. ඒත් යමක් සිද්ධ වෙයි කියලා හිතනවා. අපිට ඉතිහාසෙ හදාරන්න වෙලා තියෙන්නේ පෞරාණික පොත්-පත්වලින්. ඒවාවලිනුත් ලිඛිත සාක්ෂි මඟින් තමයි අපි බොහෝ දේවල් තහවුරු කර ගන්නේ. ප්‍රධානම තැනක් ගන්නේ විදේශිකයන් විසින් ලියූ සටහන් සහ පොත්. මේ අතරේ බැල්දියස්,රොබට් නොක්ස් ආදීන් ලියපුවා ප්‍රධානයි. ලංකාවේ පෘතුගීසි සමය,ලන්දේසි සමය ගැන ලියැවුණු බොහෝ පොත් මට උපකාරී වුණා. නමුත් මට වුවමනා කාලය ගැන තොරතුරු මේ පොත්වලින් ඒ තරම් ප්‍රමාණයක් හොයාගන්න ලැබුණේ නෑ. මම මේවාවලින් ගත්තේ දේශපාලන,සංස්කෘතමය කරුණු විතරයි. සෙසු සියල්ල කල්පිතයක් විදිහටයි ගොඩ නැ‍ඟෙන්නේ.
නවකතාව ලිවීමේදී යොදා ගන්න ඕන භාෂාව ගැන ප්‍රශ්න තිබුණා. කොහොමත් පෘතුගීසි,ලන්දේසි භාෂාවල බලපෑමක් ඒ කාලයේ අපට තිබුණා. ඒ නිසා අන්තිමට මම තීරණය කළා උප භාෂාවක් පාවිච්චි කරන්න. සබරගමු භාෂාව තමයි ඒ වෙනුවෙන් මගේ හිතේ තිබුණේ. නමුත් නූතන වචන යොදා නොගන්න මම ප්‍රවේසම් වුණා. ජනප්‍රවාද එක්ක කතා කරන ගතියකුයි සබරගමු භාෂාවෙ තිතියෙන්නේ. ඒ වගේම පාඨකයාට භාෂාවෙන් සීමාවක් දාන්න මට ඕනා වුණේ නෑ. ඒ නිසා මෙතනදී මම භාෂාව මෙවලමක් විදිහටයි පාවිච්චි කළේ.
මගේ මෙතන තර්කයක් තියෙනවා. අවුරුදු 1000ට එහා කතාවක් කියන්නනේ අපි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ රජවරුන්ගේ කාලෙ දැන් අපි කතා කරන භාෂාවට වෙනස් එකක්නේ තිබුණේ. අද අපි කතා කරන එක වචනයක්වත් ඒ අයගේ ශබ්දකෝෂෙ නොතිබෙන්න ඇති. එහෙම බැලුවම කාලයට අනුරූපීව භාෂාව වෙනස් කෙරුවොහ් සෙල්ලිපිවල තියෙන භාෂාවෙන් තමයි අපිට ලියන්න වෙන්නේ. ඒ භාෂාවෙන් අද අපිට නවකතාවක් ලියන්න බැහැ. යම් කිසි ප්‍රමාණයකට අපිට නූතනවාදී වෙන්න සිදු වෙන එක නවත්තන්න බැහැ. ඒ විදිහට හිතලා දැන් පාඨකයාට කියවන්න පහසු වෙන්න සබරගමු උප භාෂාව පාවිච්චි කරමින් මං නිලි වැස්ස ලිව්වා.
ජාතිය සහ ආගම උත්කර්ෂයට නැංවුණ යුගයක මේ නවකතාව ලිවීම තීරණාත්මකයි කියා ඔබ සිතනවාද?
මේ නවකතාව කාලය අනුව ගත්තම අහම්බයක් නෙවෙයි. මේ කාලයම ඒකට හේතුවක් වුණා මිසක්. පොඩි කාලෙ ඉඳන් රන් මැණිකාගේ චරිතේ මගේ හිතේ වැඩෙමින් පැවතුණා. පහුගිය කාලෙ ආගම,ජාතිය උත්කර්ෂයට නැංවුණානේ. අවට පරිසරයේ හිටපු අපිට මේ කම්පනය දැනුණා. ඒ නිසාම මේ කතාවට රාජසිංහ රජ්ජුරුවන්ව යොදා ගන්න මට සිද්ධ වුණා. රාජසිංහ රජුව ඉතිහාසඥයන් පවා වැ‍රැදියට හඳුනගෙනයි කියලයි මට හිතෙන්නේ. රජ කෙනෙක් විදිහට ඔහු විසිනුත් යම්,යම් අකටයුතුකම් කරන්න ඇති. එහෙත් ඔහු රාජතාන්ත්‍රික විදහට අනෙක් රටවල් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. එයාට යුද්ධ කරන්නම අවශ්‍ය වෙන්නේ නෑ. රාජසිංහ රජු පවා මිශ්‍ර විවාහයකින් උපන් කෙනෙක්. පියා බෞද්ධාගමිකයෙක්. මව ක්‍රිස්තියානි කාන්තාවක්. ඒ නිසාම එයාට මේ ගති ලක්ෂණ දෙකම ඉතාම හොඳට මිශ්‍ර වෙලා පිහිටලා තිබුණා. ඒ නිසාම ඔහු අන්තවාදීව හැසිරුණේ නැහැ. රාජසිංහ රජු කියන්නේ ටිකක් ඉදිරිගාමී කෙනෙක්. ඔහු රට පාවා දුන්නා කියලා කිව්වට ඔහු ඒ වෙලාවෙ කළේ කරන්න පුළුවන් හොඳම දේ. අන්න ඒ නිසයි මට රන් මැණිකා කියන මගේ ප්‍රධාන චරිතෙ පැවැත්මට ඔහු වාගේ කෙනෙක් ඕන වුණේ.
ඔබ ප්‍රකට පරිවර්තිකාවක්. වඩාත් දුෂ්කර පරිවර්තන කාර්යයද? නවකතා ලිවීමද?
පැහැදිලිවම ඒ දෙක එකිනෙකට වෙනස්. පරිවර්තනයක් කරන එක හිතට බරක්. ඒක පීඩාවක් එක්කයි කරන්නේ. වෙන කෙනෙක් ලියපු දෙයකුයි මම වෙනත් භාෂාවකින් නැවත කියන්නේ. ඉතින් ඒකෙන් මට තෘප්තියට පත් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. නවකතාවක් ලියන එකත් ඒ වගේම අමාරුයි. නමුත් කලින් කියපු පීඩාව මට දැනෙන්නෙ නෑ.
'රන් මැණිකා' යනු කාලත්‍රයේ සැරිසරන ස්ත්‍රීවාදිනියක්ද?
ඈ ස්ත්‍රීවාදිනියක් නෙවෙයි. කාල තුනක් නියෝජනය කරපු කාන්තාවක්. මට ඇත්තටම වුවමණා වෙලා තිබුණේ එක එක සම්බන්ධතාවලදී ගැහැනිය ක්‍රියා කරන ආකාරය,ඇය කොතරම් තෘප්තිමත්ද,ඇය හොයන්නේ මොකක්ද වගේ දේවල් මතු කරන්නයි. තව ටිකක් දුරට ඔය කතාව ගෙනිච්චා නම් රන් මැණිකා සාමාන්‍ය සාම්ප්‍රදායක ගැහැනියක් වෙනවා. මොකද අන්තිමට මුණ ගැහෙන ලන්දේසිකාරයත් එක්ක රන් මැණිකා ගියා නම් ළමයි හදාගෙන,ඔහුගේ බලකො‍ටුවට වෙලා ඈට ඉන්න සිද්ධ වෙනවා. රන් මැණිකා කියන්නේ මට එක වියෝ දුකක් ඉවර වුණා නමුත් තවත් දුකකට පැටලුණා කියලයි. රජ්ජුරුවන්ගේ ආශ්‍රයේ ඉන්නකොට ඈට තිබුණේ රජ්ජුරුවන්ගේ මන දොළ සපුරන්න පමණයි. වෙන දේවල් ගැන වධ වෙන්න ඈට වුවමණා වුණේ නෑ. ඒත් ලන්දේසි සෙනවියා එක්ක ඉන්නකොට ඈට තවත් අලුත් ප්‍රශ්න රාශියක් ඇති වුණා. මේ ඔක්කොම සම්බන්ධකම් එක්ක රන් මැණිකා හැසිරෙන විදිහ මතු කරන්නයි මං උත්සාහ කළේ. එහෙම බැලුවම ඇගේ සියලු සම්බන්ධකම් අතර වඩාත් සෞන්දර්යාත්මක සහ අවංක රජතුමා බව නොදැන හිටිය කාලෙ ඔවුන් දෙන්නා අතරෙ තිබ්බ සම්බන්ධයයි.
කාලයේ වෙනසක් නෑ. අවුරුදු 300ට කලින් වුණා කියලා මිනිස්සුන්ගේ හැඟීම්වල කැපිලා පෙනෙන වෙනසත් ඇත්තෙ නෑ. යම්,යම් අවස්ථාවල ඒ අය හැසිරිච්ච විදිහෙයි වෙනස තිබිලා තියෙන්නේ. මේ වගේ අවස්ථා මගේ ජීවිතෙත් තිබ්බා කියලා යම් කෙනෙකුට දැනෙන්න පුළුවන්. සදාකාලිකවම පොදු මිනිස් හැඟීම් මේ කතාව ඇතුළේ කාලයේ වෙනසක් නැතිව තියෙනවා කියලයි මං හිතන්නේ. රන් මැණිකා කියන්නේ 'නිළි වැස්සේ' ඉන්න මට නිර්මාණය කරන්න වුවමණා වුණ කාන්තාවයි. මට පූලාන් දේවි වගේ කාන්තා චරිතයක් මවන්න ඕන වුණේ නෑ. රන් මැණිකාගේ මානසික තත්ත්වයට වැටෙන එක,ඇගේ චරිතෙට ආරූඩ වීම තමයි මට අමාරුම කාර්යය වුණේ. අනිත් එක ඉතිහාසෙ පුරා මීට වඩා සෑහෙන්න විවෘත සම්බන්ධකම් තිබුණා.
ඔබ වඩාත් ප්‍රිය කරන විදේශීය ලේඛකයා හෝ ලේඛිකාව කවුද? එසේ ප්‍රිය කිරීමට හේතුව කුමක්ද?
මම කැමතියි පාවුලෝ කොයියෝට. ඔහුගේ නවකතාවල ජීවිතේ ගැන කියන බොහෝ දේවල් ඉතාම සමීප විදිහට මට දැනිලා තියෙනවා. විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. කියැවීමෙන් මගේ ඔළුව නිදහස් වෙන ගතියට මං කැමතියි. ඉසබෙල් අයියන්දෙගෙ පොත්වලටත් මං කැමතියි. නමුත් අවාසනාවට මට ඔවුන්ගේ නවකතා පරිවර්තනය කරන්න ලැබිලා නෑ.
අවසන් වරට කියැවූ,ඔබව ප්‍රමෝදයට පත් කළ කෘතිය කුමක්ද?
සුමිත්‍රා රාහුබද්ධගේ 'තුරු සමුදා' නවකතාව වගේම ශ්‍යාම් සෙල්වදොරෙයිගේ 'හන්ග්‍රි ගෝස්ට්' නවකතා දෙක මාව ප්‍රමෝදයට පත් කළා.
සාහිත්‍යකරුවා යනු මැජික්කරුවෙක්ද?
එක්තරා ආකාරයකට ඔහු මැජික්කාරයෙක් තමයි. සාමාන්‍ය පුද්ගලයෙකුට නැති බලයක් ඔහුට හෝ ඇයට තියෙනවා. මොකද තමන්ට දැනෙන දේ කීමේ දුෂ්කරතාවයක් ඒ පුද්ගලයාට තියෙන්න පුළුවන්. ඒත් සාහිත්‍යකරුවාට පුළුවන් තමන්ට දැනෙන දේ වගේම අනිත් මිනිස්සුන්ට දැනෙන දේවල්,ඔවුන්ගේ අත්දැකීම් වෙනත් ක්‍රමෝපායන් පාවිච්චි කරමින් කියන්න. සමහර වෙලාවට අපි ලියපු දේවල් කියවලා පාඨකයන් කියනවා 'ඔයා මට හිතුණ දේවල් ලියලා තියෙනවා. ඕක මටත් වෙලා තියෙනවා. ඔය මගේ කතාවනේ' වාගෙ දේවල්. ඒ අතින් සාහිත්‍යකරුවා කියන්නේ මවන්නෙක්. ඒක අනිත් මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් තමයි. ඒ අර්ථයෙන් ගත්තම ලේඛකයා කියන්නේ මැජික්කාරයෙක් තමයි.

සංවාදය- කාංචනා අමිලානි
ඡායාරූප - ගයාන් පුෂ්පික

පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "භාෂාව කියන්නේ මෙවලමක් විතරයි -කත්‍යානා අමරසිංහ"

Trackbacks

  1. [...] [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com