අවුරුදු සියයක් වැයූ ඒ රතු වයලීනය The red violin

MV5BMzg5MDczNzQxNV5BMl5BanBnXkFtZTcwMjQ0MjM3MQ@@._V1__SX1303_SY581_
ඒ රතු වයලීනය පණ ඇති යමකි. පරම්පරා ගණනාවක් අතින්, අතට මාරු වෙමින් නොනැසී පැවතියේය. නිකලෝ බුසොටි අතින් සෑදුණු අන්තිම වයලීන ඒ වූයේ ස්වකීය බිරියගේ ලේ මිශ්‍ර කොට පින්තාරු කළ හෙයිනි. වයලීන සකසන්නෙකු වූ නිකලෝ බුසොටි ගේ බිරිය ගැබ්බරිනි. ඈ ඇනා රුඩොල්‍ෆි ය. මැදි වයසේ හෙයින් දරු ප්‍රසූතිය ගැන බියෙනි. මෙහෙකාරියක වූ සෙසා තම ස්වාමි දුවගේ නූපන් බිළිඳා ගැන අනාවැකි කියන්නේ ටැරොට් කාඩ් කුට්ටමක ආදාරයෙනි.
සියල්ල කණපිට පෙ‍රැලෙන්නේ වයලීනකරුගේ ප්‍රිය බිරියත්, බිළිඳාත් මිය යාමෙනි. සියල්ල පටන් ගන්නේ එතැනිනි. ප්‍රකට වෙතැයි නොසිතූ රතු වයලීනය ළමා නිවාසයකට පරිත්‍යාග කෙරෙයි. ඒ නද දෙන්න පටන් ගන්නේ අනාථ ළමයින් ගේ උරතලය මත වැතිරීගෙනය. ඒ නම් රම්‍ය ආවේශයකි. ලොකු, කුඩා භේදයකින් තොරව වයලීනය මහත් ශෝකයක්ම වගුරුවයි. හද කම්පා කරමින් වැයෙන්නේ ඒ වයලීනයයි. වසර සියයක් මුළුල්ලේ අතිනත මාරු වෙමින්, නොයෙක් ව්‍යසන ආදියෙන් ගැලවී, කුඩා පිරිමි ළමයෙකුගේ මිනී පෙට්ටියක පවා වැළලෙමින්, යළි ගොඩ එමින් මේ වයලීනය නොමැරෙන මිනිසෙකු මෙන් ජීවත් වෙයි. හුස්ම ගනියි. තත් සැලෙයි.
maxresdefault
'ද රෙඩ් වයලින්' නිමැවුණේ 1998 දීය. ෆ්‍රාන්සුවා ජිරාඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මේ සිනමාපටය දශක හතරක් සහ රටවල් පහක් පුරා වැතිරෙමින්, පැතිරෙමින්, දිය ‍රැළි නංවමින් ගලා යයි. වයලීනය අභිරහසක් තරමට එහි අයිතිකරුවන්ද අමුතුය. ඇතැමුන් ඒ නිසා මියෙයි. වයලීනය සහ එයින් උපදින සංගීතය කෙරෙහි මේ සියලු අයිතිකරුවන් ලලාසාවෙනි. මහත් වූ ප්‍රේමයෙනි.
ළමා නිවාසයේ  සිට පැමිණෙන කැස්පා වයිස් දුර්වල හදවතක් ඇත්තෙකි. වයලීනය කෙරෙහි ආශක්තව සංගීතයෙන් තම දුර්වල හදවත වේගවත් කර ගැනීමට උත්සාහ දරන්නෙකි. අනේ...එහෙත් වයලීනය සමඟ නිදන්නට එපා කීමෙන් කැස්පා වයිස්ගේ හදවත එක මිනිත්තුවකට නතර වෙයි. ඒ සා ප්‍රේමයකින් පසුවන කැස්පා, කුමාරයා ඉදිරිපිට වයලීනය වයන්නට මොහොතකට පෙර වයලීනයත් සමඟම බිමට කඩා හැලෙයි. ඔහුගේ කුඩාවූත්, සෞම්‍යවූත් ඒ හදවත නතර වෙයි.
'ද රෙඩ් වයලීන්' මහත් ශෝකී වයලීන රාව බොහොමයක් පසුබිමෙන් ඇහෙන්නට සලස්වමින් ප්‍රේක්ෂකයා තැති ගන්වමින් ගලා යයි. විටෙක ඉවසීම පරීක්ෂා කරමින්ද, තවත් විටෙක කෝපයට පත් කරමින්ද සිනමාපටය ගලා යයි.
පළමු රූප රාමුව වෙන්දේසියකි. ඒ පැ‍රැණි භාණ්ඩ විකිණීම පිණිසය.
OLYMPUS DIGITAL CAMERA
'රතු වයලීනය' පැමිණෙන්නේ අවසානයට පෙරය. ඒ ද ස්වල්ප ආතතියක් ඇති කරවමිනි. ප්‍රකට නිකලෝ බුසොටිගේ නම ද ඈදමිනි. ඔහුගේ අවසන් නිර්මාණය ලෙස පාරට්‍ටු කරමිනි. මේ වයලීනය පාරට්‍ටු කළ යුතු තරමටත් වඩා ඉහළය. පුරාවෘත සහ කුඩා පසු කතාන්දර ද බොහොමයක් සමඟ දශක හතරක් එහේ-මෙහේ ඇවිදීම එතරම් පහසු නැත. මේ අපහසුව සිනමාපටයේ ස්වාභාවයයි. ඔබව නොසන්සුන් කිරීම සිනමාපටයේ අභිප්‍රාය වී තිබෙන්නාක් මෙනි. හුදෙක් සංගීත භාණ්ඩයක දැකිය හැකි ආකර්ශණයට වඩා වැඩි යමක් මේ වයලීනය තුළ තිබෙන බව අපට ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂවරයා දැරූ උත්සාහය සාර්ථක වී ඇති සැටියකි. ඔබ සතු සංගීත ඥානය නොව ඔබ සතු කම්පනීය හැඟුම් සම්භාරයක් සිරුරෙන් එළියට ගැනීමට තැත් කරන්නාක් මෙනි. සැබැවින්ම මේ ශෝකය සහ වේදනාව උපදින්නේ වයලීනය කෙරෙහිම නොවේ. ඒ අත දරන්නන් කෙරෙහිය. ඔවුන්ගේ ජීවිතවල ඇතැයි අපට සිතෙන ශෝකය කෙරෙහිය. මේ අනුමාන ශෝකය ඔබව කලබලයටත්, විමතියටත් පත් කරන්නේ නම් වයලීනය අමතක කර දැමිය හැකිය. එහෙත් ඒ රතු බද, කම්පනය වෙන්න බලාගෙන උඩුබැල්ලෙන් සිටින තත් කිහිපය එතරම් ලෙහෙසියෙන් මතක කළ හැකි නොවේ. එහි ඇත්තේ සිතුවම්ගත මතකයකි.
ටැරොට් කාඩ් කියැවීමෙන්, එකිනෙක කාල පරාස වෙන් කරමින් අමුතු ආකාරයට කියන මේ කතාව සිනමාපටය තුළ තවත් උප සිනමාපට කිහිපයක් තිබෙන්නාක් මෙනි. බොහෝ විට ඒ දශක හතරක කැපුමක් හරහා රටවල් කිහිපයක් පසාරු කරමින් ගලා යන නිසා විය හැකිය.
red-violin
1980 තරම් ඈතක ෆෙඩ්‍රික් පෝප් විසින් අහිගුණ්ඨික ගම්මානයක් පසු කරන්නේ මෙන්න මෙවිටය. එකල මේ අභිරහස් වයලීනයේ හිමිකාරිය පෙර කී අහිගුණ්ඨික නඩයේ එකියකි. ඔහු තමා සතු භූමියේ ඔවුන්ට රිසි සේ ‍රැදීමට අවාර දී හුවමාරුවට ඈ වැයූ වයලීනය ඉල්ලා සිටියි. මේ නම් අපූරු ගනුදෙනුවකි. වයලීන වාදකයකු වූ ෆෙඩ්‍රික් පෝප් ව ඔහුගේ ම කඳු මුදුනට පමුණුවන ගණයේ වයලීනයකි. ඔහු ස්ත්‍රී ධූර්තයෙකි. සුළු බන්ධනයකින් පවා සංගීතයක් උපද්දන්නට උගත්තෙකි. ඔහු සතුව ඇත්තේ අමුතු ආවේශයකි. උමතුවකි. එහෙයින් ඒ උමතුවෙන් මහත් වූ සංගීත නාද උපදියි. රහස ඇත්තේ වයලීනයේය. අභිරහස් රතු පාට තුළය. ඇගේ රුධිරය තුළය.
සිනමාපටය නැරඹීමෙන් ඉක්බිතිව අපට දරා ගන්නට සිදුවන කම්පනයේ ධාරිතාව මැනීමට තවත් කාට හෝ මැදිහත් විය හැකි නම් ඒ කෙතරම් අස්වැසිල්ලක් වනු ඇතිද?
නිකොලෝ බුසොටි ලෙස රඟන කාර්ලෝ සෙචී, ඇනා බුසොටි ට රඟන අයිරීන් ග්‍රේසියෝලි මෙන්ම සෙසා ගේ චරිතය රඟන අනීතා ලෝරන්සි කැපී පෙනෙයි. ජෝර්ජස් පුසේයිනි ට රඟන ජීන් ලුක් බීඩුවා, කැස්පා වයිස් ට රඟන ක්‍රිස්ටෝප් කොන්ක්ස් ඊටත් ටිකක් වැඩිපුර කැපී පෙනෙයි.
'ලලාසය කාලය අතික්‍රමණය කරයි' කියමින් මිනිත්තු 130ක් පුරා ධාවනය වූ මේ සිනමාපටය රටවල් පහක, භාෂා පහකින්, මාස හයක් මුළුල්ලේ නිර්මාණය වූවකි. 1997 දී කැනඩාවෙන් එහි සමාරම්භය සටහන් වුණි. තිර නාටකය ෆ්‍රාන්සුවා ජිරාඩ් සහ ඩොන් මැක්කෙලර් දෙදෙනා සුසංයෝගයෙන් රචනා වූවකි. සිනමාපටයට පාදක වී ඇත්තේ ප්‍රකට ඇන්තෝනියෝ ස්ට්‍රාඩිවාරිගේ වයලීනයකි. එහෙත් මේ නිමවන්නාගේ බිරියගේ ලේ එහි පාට ආලේප කිරීමට මිශ්‍ර කිරීම තිර පිටපත ලියූ ෆ්‍රාන්සුවාගේ පරිකල්පනයකි. සිනමාපටයේ පසුබිමෙන් ගලා යන එයටම ආවේනික වයලීන ස්වරය ජෝන් කෝර්ග්ලියානෝ විසින් නිමැවූවකි.
සිනමාපටය 2000 වසරේදී ඔස්කාර් සම්මානය හිමි කර ගන්නේ හොඳම සංගීතය වෙනුවෙනි. 2000 වසරේදී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා නිර්දේශ වූයේ හොඳම විදෙස් සිනමාපටය වෙනුවෙනි. 2000 වසරේදී ග්‍රැමී සම්මානය සඳහා නිර්දේශ වූයේ සිනමාපට සංගීත වාදනය වෙනුවෙනි.
3043768845_30fd707512_z
1960 තරම ඈත කාලයක චීනයෙන් ඇසෙන්නේ වෙනත්ම කතාන්දරයකි. ඒ සංස්කෘතික විප්ලවයක් සමඟ ගිනි ඇවිලුණු කාලයකි. කලාව සහ සංස්කෘතිය කෙරෙහි බරපතල මැදිහත්වීම් ඇතිම් සියලු දෙනා මර්ධනය කරමින් යන අතරය මේ රතු වයලීනය වයන්නා සෙබළුන්ට හමු වන්නේ. වයලීනය ගින්නට හෙළන්නට ඔහුට බල කෙරෙයි. එහෙත් තවත් නිළධාරිනියක නිසා, සංගීතය කෙරෙහි ඈ සතු ප්‍රේමය නිසා ප්‍රකට වයලීනය ගින්නේ දමන්නට පෙර සඟවා තැබෙයි. ඒ වෙනුවට ගින්නට හෙළන්නේ වෙනත් වයලීනයකි.
වයලීනයකට පවා එහෙම මරණයෙන් බේරී සිටීමට හැකි නම් සිනමාපටයකට කාගේත් ඇසකින් බේරී සිටින්නට හැකිද? බේරී සිටියත් ඒ කොතරම් කාලයකටද? රතු වයලීනයක අතීතය පිලිස්සුම් සළකුණු සහිතව පෙනෙයි නම් එය වයන්නා හට එකී පිළිස්සුම් උරුම වෙයිද?
එහි ඇති පිළිස්සුම් මෙන්ම ශෝකයද පරම්පරාවෙන්, පරම්පරාවට රූරා හැලෙනු ඇතිද?

කාංචනා අමිලානි

පුවතත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "අවුරුදු සියයක් වැයූ ඒ රතු වයලීනය The red violin"

Trackbacks

  1. [...] අවුරුදු සියයක් වැයූ ඒ රතු වයලීනය The red violi... [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com