ආදරය අත හැරීම සහ අල්ලා ගැනීම -The Lunchbox

the_lunchbox_press
ආදරය කෙතරම් ඉහළක සිට කඩා වැටිය යුතුද? ඒ කුඩා ගල් කැට විලාසයෙන් නොව ඉතා මෘදු මල් පෙති ආකාරයෙනි. එහෙත් මල් පෙති ඇද හැලෙන්නේ කුඩා ගල් කැට සමඟ නම් ආදරයට පෙරහන්කඩ දැමිය යුතුද? ‍ෆිල්ටර්ගත ආදරයක් ඇතැයි සිතන ගෘහනියක ස්වකීය ස්වාමියාගේ අවධානය දිනා ගැනීම පිණිස කුමක් නම් කරනු ඇතිද? උදේ ‍රැයින් කාර්යාලයට යන සැමියාට රස අහරක් තනා 'ඩබ්බවාලා' අත යවන්නට සිතනු ඇතිද? මහල් නිවාසයේ උඩ තට්‍ටුවේ වෙසෙන වැඩිමහලු කාන්තාවගේ උපදෙස් ගෙන නව ආහාර වට්ටෝරු සකසනු ඇතිද? එහෙත් උත්ප්‍රාසය උදා වන්නේ උන් පසුව නම් කුමක් කරන්නද?
මුම්බායේ වෙසෙන ඊලා නම් ගෘහණිය 'ඩබ්බවාලා' අත තම ස්වාමියා වූ රජීව්ට යවන්නේ ආදරය කලවම් කර තැනූ දිවා ආහාරයයි. එහෙත් රජීව් තම බිරිය නොතකා හරියි. ඔහු වෙනත් සබඳතාවකය. කුඩා දියණිය ඇගේ ලෝකය තුළය. ඊලා ගේ තිගැස්ම ආරම්භ වන්නේ 'ඩබ්බවාලා' අත යැවූ දිවා ආහාරය ස්වාමියාට නොලැබුණ බව දැනගත් මොහොතේය. සාජන් පුදුමයටත්, ප්‍රහර්ෂයටත් පත් වන්නේ වෙනදා ලැබෙන එකම වර්ගයේ දිවා ආහාරය මෙවර අමුතු පුසුඹකින් සහ රසකින් යුක්ත වීම පිළිබඳය.
1415602522_the-lunch-box-poster-tr
මධ්‍යම පාන්තික ජීවිත ගැන ඉතා සියුම්ව කියන 'ද ලන්ච් බොක්ස්' මිනිස් සබඳතා ගැන කතා කරන්නේ ඊටත් වඩා සියුම්වය. කු‍ටුම්භය තුළ ඇති සුළු පිපුරුම් සමඟ එකිනෙකා මඟ හරින ස්ත්‍රීන්, පුරුෂයන්ගේ මුහුණු අපට පෙනෙන්නේ තරමක් අපැහැදිලිවය. එහෙත් ඔවුන්ගේ සුසුම් සහ දිවා ආහාරයේ සුවඳ සිනමාපටයෙන් ගලා එයි. සෙනඟ පිරුණු දුම්රියේ සෙලවෙන, දුම් පිරුණු වීදියේ තෙරපෙන මේ මහා සෙනඟ මැද ආලු පරාටා, ගෝබි පරාටා, ගාජර් හල්වා මෙන්ම චායි සුවඳද හමා එයි.
අනියම් සබඳතා කොයි තරම් සූක්ෂමව මිනිස් ජීවිත කඩා බිඳ දමන්නේදැයි නොකියා කියයි. ස්වාමියාගේ අවධානයත්, ආදරයත් ඉල්ලා සිටින විවාහක ගැහැනියක නොසලකා හැරෙයි. එහෙත් ඔහු තමන්ට එවන දිවා ආහාරය පිළිබඳ ළතැවෙයි. මල් ගෝවා ව්‍යංජනය දිනපතා ආහාරයට ගතහොත් ඔහුට ලෙඩක් වැළැඳිය හැකි බව අවධාරණය කරයි. තමන් ඔහුට ඔහුට මල් ගෝවා ව්‍යාංජනයක් නොයැවූ බව දන්නා ඊලා විස්මයටත්, කලබලයටත් පත් වෙයි.
අනපේක්ෂිතව අන් අයකුගේ බිරියක අතින් පිසූ රසවත් දිවා ආහාරයක් ලැබීමෙන් ප්‍රහර්ෂයට පත් වන සාජන්ගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. නපුරු, නරුම මිනිසකු ලෙස සිනමාපටය ආරම්භයේ හුවා දක්වන සාජන් ක්‍රම ක්‍රමයෙන් මෘදු වන්නට පටන් ගනී. ඔහුගේ බිරිය මිය ගොසිනි. හුදෙකලාව වෙසෙන හෙතෙම දැඩිව දුම්පානයට ඇබ්බැහි වූවෙකි.
කලබලයටත්, පුදුමයටත් පත් වන ඊලාට උඩ තට්‍ටුවේ වෙසෙන මැදිවියේ ගැහැනිය උපදෙස් දෙන්නේ කුඩා ලිපියක් ලියන ලෙසයි. ඇගේ ලිපිය ලැබීමෙන් සාජන් නම් මැදිවියේ කන්තෝරු මිනිසා මහත් වූ ප්‍රහර්ෂයක් ලබයි. ඔහු තමා විඳින රහසිගත තිගැස්ම තමා තුළම සඟවා ගැනීමට තැත් කරන ආකාරය පෙන්වන අයුරු කදිමය. 'ඩබ්බවාලා' විසින් ගෙනෙන දිවා ආහාරය ස්වකීය කාර්යාලයේ මේසය මත තැබූ සැනින් එය විවර කර පුසුඹ බලන හෙතෙම අසල්වැසි කාර්යාල සගයාගේ පුදුමයට ලක් වෙයි. සාමාන්‍යයෙන් බිරියන් විසින් ස්වාමියන් වෙත එවන ආහාර මෙලෙස පුසුඹ ඉව කර බලන්නෝ නැති හෙයින් ඔහු විශේෂිත වෙයි. ඔහු විඳින රහසිගත සතුට, තිගැස්ම සහ විනෝදය ප්‍රේක්ෂකයාව කළඹයි. තිරයෙන් එහාට වී අසුන්ගෙන තමන්ගේ පාඩුවේ ඉන්නට නොදී තිරය ඇතුළටම කැඳවා ගනී. දැන් අපි සාජන්, ඊලා සහ සෙසු පාත්‍ර වර්ගයා අතරය. මසාලා සුවඳ අතරය. උණුවෙන් ලිපේ පිළිස්සෙන පරාටා කිහිපයක් ඉව කරමිනි. කදිමට බැ‍ඳෙන වම්බ‍ටු ව්‍යංජනයක සුවඳ බලමිනි.
url
සාජන් සහ ඊලා අතර ගොඩනැ‍ඟෙන මේ සබඳතාව අතත්‍ය එකකි. එකිනෙකා නොදැක, නමක් පවා නොදැන හුවමාරු වන දෛනික ලිපි යුගල එකිනෙකාව මානසික බැඳ තබන්නේ තමන්ට අහිමි යමක් විසිනි. ඒ මා කලින් කියූ ගල් කැට සමඟ බිමට කඩා හැළෙන මල් පෙතිය. ඔවුන් මල්පෙති අහුලා ගැනීමට රුසියෝය. එහි සුවඳ බලන්නට පවා සැරසුණෝය. රහසිගතව සහ අමාරුවෙන් ලබා ගන්නට යන අනෙකාට අයිති ඔබේ ආශාව කෙතරම් විශාලදැයි හැ‍ඟෙන්නේ මෙවිටය. සෑම විටම ඔබේ ආශාව පරිමාව ඉක්මවා යන්නට නොදී සුළු බාධකයක් ඒ හරහා වැටෙයි.
සාජන් ගේ සේවා කාලය අවසන්ව විශ්‍රාම යන්නට මසක් පමණක් ඇති හෙයින් ඔහුගේ තනතුර පුරවන්නට පැමිණෙන තරුණයා විසින් මේ ඒකාත්මිකව ගලා යාමට නියමිත කතා සැකිල්ල වෙනස් කරයි. ප්‍රේක්ෂකයාගේ ආශාව ඊලා සහ සාජන් අතර ඇති මේ අපූරු සම්බන්ධය විනිවිඳීමය. එහෙත් සිනමාපටය ඒ වලකමින් අතරමැදට ශායික්ව පටලවයි. සාජන් ආහාර ගන්නා තැනට ඔහුව යවයි. සාජන් සමඟ දුම්රියේ යවයි. සාජන්ගේ මනෝ රාජ්‍යයට කඩා වදින මේ සතුරා සමඟ අප උරණ වන්නට ප්‍රථම ඔහු ඒ චිත්‍රපටයට අත්‍යවශ්‍ය සාධකයක්, චරිතයක් බව ඒත්තු ගන්වයි. ඒ අපූරු ලක්ෂණය, රිද්මය හින්දි සිනමාපටයකට අයිති නැති තරම්ය. මසාලා වට්ටෝරුවෙන් එළියට තල්ලු කරන 'ද ලන්ච්බොක්ස්' වෙනත් අන්තයක ‍රැදෙයි.
සාජන් ෆර්නැන්ඩස්ට රඟන ඉර්ෆාන් ඛාන් තමන්ගේ රාජකාරිය ඉ‍ටු කරන්නේ මැනවිනි. ඊලා ට රඟන නිම්රාත් කැවර් සිනමාපටය පුරා ඇවිදින ශෝකී හඬ අමතක නොවන තරම්ය. ඈ නිශ්ශබ්දව කරන ශබ්ද කිරීම කොතරම්ද? කු‍ටුම්භය කොතරම් නීරසද? එහි රසක් උපදා ගත යුත්තේ ඔබ විසින්ම නොවේද? නොසලකා හැරීම ස්ත්‍රීන් හෝ පුරුෂයන් විෂයෙහි වෙන, වෙනම බලනොපාන අතර එහි පෙනුම පමණක් වෙනස්ය. ඔබට අහිමි වන්නේ ආදරය පමණක්ද? එහි හැඩය සහ පැහැය අප විසින්ම පූර්ව නිගමනයකට පැමිණීමේ අවධානම කොතරම්ද?
The-Lunchbox-poster
රිතේෂ් බත්‍රා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'ද ලන්ච්බොක්ස්' හි තිර පිටපත ලියා ඇත්තේද ඔහු විසින්මය. 2013 මැයි 19 වැනිදා කාන්ස් සිනමා උළෙල වෙනුවෙන් නිකුත් කළ මේ සිනමාපටය මිනිත්තු 105ක් පුරා දිවෙන්නකි. අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක ඇස්තමේන්තුවකට තැනූ මේ සිනමාපටයේ බොක්ස් ඔෆීස් වාර්තාව අමෙරිකානු ඩොලර් මිලියන 13කි.
86 වැනි ඔස්කාර් සිනමා උළෙල වෙනුවෙන් ඉන්දියාවෙන් ඉදිරිපත් කිරීමට පළමුව යෝජනා වූයේ 'ද ලන්ච්බොක්ස්'ය. එහෙත් සංවාද කිහිපයකට පසුව තීරණය වූයේ 'ද ගුඩ් රෝඩ්' චිත්‍රපටය ඒ සඳහා සුදුසු බවයි. 'ද ලන්ච්බොක්ස්' හට ඔස්කාර් සිනමා උළෙල මඟහැරුණේ එලෙසය. මේ තීරණයට විරුද්ධව සිනමාපටයේ නිෂ්පාදකයකු වන අනුරාග් කාශ්‍යප් තමන්ගේ ට්විටර් ගිණුමේ තම අප්‍රසාදය පළ කර ඇත.
යළිත් ඊලා අහර පිසින සුවඳ හමා යනු දැනෙයි. ගෑස් ලිපට අල්ලා ඈ චපාති පුළුස්සයි. 'ඩබ්බවාලා'ට ‍රැගෙන යනු පිණිස කුඩා ඇලුමිණියම් භාජනවල බහාලයි. කොළ පැහැති රෙදි බෑගයක බහාලයි. ඉතා සංකීර්ණ ආහාර බෙදා හැරීමේ ක්‍රමෝපායක් ලෙස ඉන්දියාවේ ප්‍රචලිත 'ඩබ්බවාලා'ගේ ආහාර සේවාව සියුම් බන්ධනයක ඇති කරවයි. මුළුතැන්ගෙයි සිට ඩබ්බවාලාගේ බයිසිකල්වලට නැඟ වැස්සේ එහා-මෙහා යන මේ ආහාර ඔරුවලින්, බස්වලින් සහ කෝච්චිවලින් එහා-මෙහා යයි. කිසි විට යවන්නාගේ ලිපිනය වෙනස් නොවන්නේ යැයි කියන ආහාර බෑග ඉදහිට මාරු වෙයි. එවිට සාජන් හා ඊලා වැනි අහඹු හුදෙකලා මිනිසුන් සහ ගැහැනුන් එකිනෙකා හා බැ‍ඳෙයි.
මිනිස් සබඳකම්වල අසිරිමත් බව මෙන්ම ලිහී ගිය සබඳකම්වල දුක්ඛිතබව දැනෙයි. නොසලකා හැරීමකින් උත්පාදනය වන ශෝකය කොයි තරම් ලොකු දුරකට පැතිර යා හැකිදැයි කුඩා අනතුරු ඇඟවීමක් පවා කරයි. මේ ඔබේ කතාව නොවන්නේ මුත් ඔබ නොදන්නා අනෙකාගේ කතාන්දරයයි. එහි පුසුඹ මෙන්ම වේලුණු කඳුළුවල පැල්ලම් පියවි ඇසට පෙනෙන්නට තිබෙයි. ඉතින් ආදරය නොසලකා හැරිය හැකිද? ශෝකය යනු අහිමි වීම පමණක් නොවන බව උගන්වයි. සෑම අනර්ථකාරී සිදුවීම් ජාලයකම එක් කෙලවරක යම් සුබ ලකුණක් තිබෙන්නට හැකි බව කියයි. මම ඔබට රෝපණය කර ගන්නට බීජයක් පිරිනමමි. එහි මල් පිපෙන්නේ නැතැයි අවලාද නොකියන්න. ‍රැකබලා ගැනීම ඔබ සතු යුතුකමකි.

කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "ආදරය අත හැරීම සහ අල්ලා ගැනීම -The Lunchbox"

Trackbacks

  1. [...] ආදරය අත හැරීම සහ අල්ලා ගැනීම -The Lunchbox [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com