ඡායාරූප ශිල්පයේ නිහඬ නාටකය

por-de-tras-das-fotografias-de-sebastiao-salgado.html
මගේ හදවත රිදුම් දෙන සේයාරුවකි. ඒ 1981-1983 කාලයේ බ්‍රසීලයයි.
'මට මේ අයව හම්බ වුණේ මහ පාරෙදි. මං කාර් එක පැත්තකින් නවත්තලා ඒ අයත් එක්ක ගියා. කුඩා දරුවකුගේ මරණයක් ගෙන යමිනුයි ඒ අය හිටියේ. ඉතාමත් කුඩා මිනී පෙට්ටියක් එක් පිරිමියෙක් අපහසුවක් නැතිව ඔසවගෙන යනවා. ඊසාන දිග බ්‍රසීලයේ කුඩා දරුවන්ගේ හදිසි මරණ බහුලයි. බැප්ටිස් කරන්නත් පළමුවයි මේ අය මිය ගිහින් තියෙන්නේ. සාමාන්‍ය ආගමික විස්වාසය අනුව ඒ දරුවන්ට ස්වර්ගයට යන්න අවකාශයක් නෑ. ඉතිං ඇස් ඇරගෙනමයි මිනී පෙට්ටියේ තියලා තියන්නේ. එහෙම කරන්නේ තමන් විසින්ම යන මාර්ගයක් හොයා ගන්නයි.'
සෙබස්තියෝ සල්ගාදෝ විවර කළ මිනී පෙට්ටියේ ඇති දරුවාගේ සේයාරුවක් ‍රැගෙන තිබෙනවා. ඔහුව මල්වලින් වහලයි තියෙන්නේ. කුඩා මුහුණේ ඇස් විවරවයි තියෙන්නේ. කුඩා ශරීරයක්, කුඩා මිනී පෙට්ටියක් ඇතුළත නිසොල්මනේ නිදා සිටීම දැකීම පුදුමාකර රිදීමක්. මං හිතන්නේ මේ කුඩා දරුවා කොයි මොහොතක හෝ නැගිටීවි කියලයි. මවගේ විය හැකි කකුල් දෙකක් සේයාරුවේ වම් පැත්තෙන් අර්ධ වශයෙන් පේන්න තියෙනවා. ඒ සේයාරුව එපමණයි. නමුත් රාත්‍රී නින්දක් නැතිව ඔබව කල්පනාවටත්, වේදනාවටත් පත් කරන්න ඒ සේයාරුවට පුළුවන්. ඒ හා සමාන අනෙක් සේයාරුවේ ඉන්නෙත් අකලට මිය ගිය කුඩා දරුවෙක්. ඔහුව මලින් සරසලා ඇස් විවර කරවලයි ඉන්නේ. මවගේ විය හැකි අතක් මිනී පෙට්ටියේ වම් කෙලවරෙන් පේන්න තියෙනවා. ඇගේ ඇඟිලි දෙකක් සුදු නූල් සමූහයකින් ගැට ගහලා. යම් චාරිත්‍ර විධියක් විය යුතුයි ඒ පෙන්නුම් කරන්නේ.
Artigo1
සෙබස්තියෝ සල්ගාදෝ කොහොමද මෙහෙම පින්තූර ගන්නේ? අන්න ඒකයි මගේ ඔළුවෙ නලියන ලොකුම ගැටලුව.
කොහේ සිට මේ රූප රාමු ඔහුගේ ඔළුවට පැමිණෙනවාද? මෙතරම් ශෝකයක්, මෙතරම් රිඳීමක් කළුසුදු සේයාරුවක හංගන්න ඔහු ඉගෙන ගත්තේ කොහොමද? අන්න එතකොට 'ද සෝල්ට් ඔෆ් ද අර්ත්' වාර්තා චිත්‍රපටිය ඉස්සරහට එනවා. ඊළඟට සද්දයක් ඇති නොකරමින් අපිට ඒක බලන්න සිද්ධ වෙනවා. 2014 තිරගත කරපු ප්‍රංශ-බ්‍රසීලියානු වාර්තා චිත්‍රපටියක් වෙච්ච 'ද සෝල්ට් ඔෆ් ද අර්ත්' අධ්‍යක්ෂණය කළේ විම් වෙන්ඩර්ස්. 87 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටිය වුණෙත් මේ සිනමාපටයයි. බ්‍රසීලියානු ජාතික ඡායාරූප ශිල්පියකු වන සෙබස්තියෝ සල්ගාදෝ වසර 40ක සේයාරූ දිවිය ගැනයි මෙහි සාකච්ඡා වන්නේ. ඔහු අමුතු ඡායාරූප ශිල්පියෙක්. ඔහු මේ වසර 40 ඇතුළෙම ඇවිදලා තියෙන්නේ ලෝකයේ දුෂ්කරම තැන්වල. පුදුම සහගත සේයාරූ ගොන්නක් ලබා ගන්න සාමාන්‍ය මිනිසකු අඩිය තබන්න බිය වන තැන්වල ඔහු ලෙන්සයෙන් නොයෙක් විස්කම් කරලා තියෙනවා.
Sebastiao-Salgado
අතීතයේ එක් තීරුවක් ආවරණය වන පරිදි ලබාගෙන තියෙන ඡායාරූප තුළ සං‍තෝෂය නම් ඉතාම අල්පයි. දුෂ්කර සහ ක‍ටුක ජීවිත කාචයෙන් ප්‍රති නිර්මාණය කිරීමයි ඔහුගේ කාරිය වෙලා තියෙන්නේ.
එක් සේයාරුවක ඉන්නවා වයස අවුරුදු 08-09ක කුඩා පිරිමි ළමයෙක්. ඔහුගෙ අතේ කුඩා ලී වයලීනයක් තියෙනවා. ජල බඳුනක් හා සමාන යමක් සහ සාස්පානක් වැනි යමකුත් තියෙනවා. ඊට අමතරව ශක්තිමත් රිටකුත් ඔහුගේ අතට අහු වෙලා තියෙනවා. ඉතාම කෙසඟ ශරීරයේ උඩ කොටස වැ‍රැහැලි කමිසයකින් බාගෙට වැහිලයි තියෙන්නේ. යටිකය නිරුවත්. ඔහුගේ දකුණු පැත්තෙන් ඉන්නේ ඔහු වැනිම කෘශව ගිය බල්ලෙක්. ඉදිරියේ තියෙන්නේ කාන්තාරය. නමුත් ඔහු ඈත බලන් ඉන්නේ පුදුමාකාර බැල්මකින්. ජවයකින්. බලාපොරොත්තුවකින්. මේ සියල්ල කළු-සුදු සේයාරුවක හංගන්නෙ කොහොමද? ඒක අහන්න ඕනා සෙබස්තියෝගෙන්.
සමහර විට ඔහු තමන්ගේ තට්ට හිස අතගාමින් ලොකු කල්පනාවක නිරත වෙන්න පුළුවන්. දෙන්න පිළිතුරක් ඔහුට නැති වෙන්නත් පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ 'ද සෝල්ට් ඔෆ් ද අර්ත්' බැලීමයි. සෙබස්තියෝට තමන්ගෙ පාඩුවෙ ඉන්න ඉඩ දීමයි. ඔහු මරණය ජීවිතය ඇතුළෙම ඉතාම සුලබ දෙයක් විදිහට දකිනකොට අර පෙර කී වේදනාවෙන් ඔබව කීරි ගැහෙන්න ඉඩ තියෙනවා. මරණ සුලබ නිසා මිනී පෙට්ටි මිලදී ගන්න සාමාන්‍ය වැසියන්ට මුදල් නෑ. ඉතින් ඔවුන් කරන්නේ මිනී පෙට්ටියක් කුලියට ගැනීම. තවත් එක් සේයාරුවක තිබෙන්නේ කුලියට මිනී පෙට්ටි විකුණන්න කඩයක බිත්තික රදවලා තියෙන හැටි. මිනී පෙට්ටිවලට යටින් කෙසෙල් කැන් වශයෙන් එල්ලලා. දොඩම් පැසක්, දෙකක් ඊට උඩින් එල්ලෙනවා. තවත් එළවළු ආදිය කුඩා බක්කිවල දාලා විකුණනවා. ඒ අතරෙම කුඩා දරුවන්ට අයිස්ක්‍රීම් පවා විකුණනවා.
Sebastiao-Salgado-Les-mains-de-lhomme-Mines-de-Charbon-de-Dhanbad-2
ජීවිතය මරණයත් එක්ක කරන අනවශ්‍ය සහ දුක්බර ගනුදෙනුව පෙන්නන්න ඔහු පාවිච්චි කරන්නේ මම කලින් විස්තර කළ සේයාරුවයි. ඉතා ප්‍රබලවත්, පැහැදිලිවත් ඒ පින්තූරය ඉල්ලා ඉන්නේ ඔබේ අවධානය. නොලැබෙන්නෙත් ඒකම බව මම දන්නවා. අන්න ඒකයි අනෙක් දුක්බර කාරණය.
සෙබස්තියෝ සල්ගාදෝ ඡායාරූපය ගැන කියන්නෙ මෙහෙමයි.
'සේයාරුවක් කියන්නේ ආලෝකයෙන් චිත්‍ර ඇඳීමක්. ඡායාරූප ශිල්පියා කරන්නේ තමන්ට ලැබෙන ආලෝකයෙන් ඉතා සූක්ෂම විදිහට චිත්‍ර අඳින්නෙකුටයි. ඔහු ලියමින්, නැවත ලියමින් පසුවෙන්නත් ඕනා.'
ඔහු බ්‍රසීලයේ රන් ආකර හාරන ස්ථානයක සේයාරූ ගොන්නක් අරගෙන තිබෙනවා. මේ සියල්ල කළු-සුදු ඡායාරූප. වඩාත් වැදගත් වන්නේ ඔහු මේ සේයාරූ ගන්න රන් ආකර සේවකයන් සමඟ ඒ අඳුරු ගුහාවට බැසීමයි. ඒ ගමන ඉතා අවධානම්සහගතයි. දුෂ්කරයි. ඔවුන් ඔසවාගෙන යන්නේ රත්‍රන්. නමුත් ඒ මුහුණුවල දකින්න තියෙන අන්ත පීඩීතබව රත්‍රන්වල කාන්තියට වඩා ආලෝකයෙන් අඩුයි. පැද්දෙන ඉණිමගෙන් කිසියම් මොහොතක බිමට වැටෙන්න පුළුවන් අවධානමක් සහිතවයි ඔවුන් හිණිපෙළේ එහා-මෙහා යන්නේ. ඡායාරූප ශිල්පියා පවා මේ අවධානම අරගෙනයි තමන්ගේ කැමරා ආම්පන්න එල්ලාගෙන ඉණිමගෙන් නැගීමත්-බැසීමත් කරන්නේ.
SEBAST2
සෙබස්තියෝ මොවුන්ගේ දුක්බර මුහුණු අල්ලා ගන්න සමත් වෙලා තියෙන වපසරිය ඉතාම ඉහළට විහිදෙනවා. ඒක නිකං කඳු මුදුනක් වගෙයි. කොතරම් ඉහළදැයි එකවර කියන්න අපහසුයි.
1991 කුවේටයේ තෙල් ආකර කිහිපයක් ගිනි ගන්නවා. සෙබස්තියෝව මේ ආරංචියෙන් සලිත වෙනවා. ඒ මෙන්න මෙහෙම.
'මං කුවේටයේ තෙල් ආකර ගින්න දැක්කෙ රූපවාහිනියෙන්. ඒක දැක්ක සැනින් මට තේරුම් ගියා මම ඒක බලන්න යන්න ඕනා කියලා. ඒ ඡායාරූප ගැනීම මගේ කර මත පැවරිලා තියෙන ලොකුම රාජකාරිය කියලා. ඉතිං මට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක නිකං විසාල තියටර් එකක වැඩ කරනවා වගේ හැඟීමක්. තෙල් ලිං 500ට ආසන්න ප්‍රමාණයක් ගිනි ගන්නවා. ඉතාම ඝණකම දුමාරයක් අහසට නගිනවා පේනවා. ඒක ගින්නකින් නැ‍ඟෙන දුමක් කියලා හිතාගන්නත් බැරි තරම්. හරි දැවැන්තයි. ප්‍රහාරාත්මකයි. ඒ වගේම ව්‍යසනකාරීයි. මේ ගින්නෙන් ලොකු අඳුරක් මුළු දවස පුරාම ඇති වුණා. ඒක හරියට ලෝකෙ එක පැත්තක් අඳුරු වුණා වගෙයි.'
765DFB15EF1549418D0FCE957C69E232
ගින්නක, අපූර්වත්වයක් සෙබස්තියෝට පෙනෙන අතරේ එය තෙල් ලිංවලින් නැ‍ඟෙන ගින්නක් වීම ඊට වඩා ලොකු ආර්ථික කාරණාවක් මතු කරනවා. ඔහු ඒ කාරණාව අතපසු නොකරමින් සේයාරූ මඟින් එය මතු කරන්න උත්සාහ කරනවා.
මේ අතරේ තෙල් ලිං, තෙල් නළ අලුත්වැඩියා කරන්නෝ පැමිණෙනවා. ගිනි නිවන භටයෝ පැමිණෙනවා. ඔහු මේ සියල්ල තමන්ගේ කැමරාවට හසු කර ගන්නවා. හදිසියේම අශ්වයන් රාශියක් හිස් ලූ,ලූ අත දුවනවා ඔහුට හමුවෙනෙවා. කුරුල්ලන් පියාඹන්න බැරිව තැන්,තැන්වල වහලා ඉන්නවා. ඔවුන්ගේ අත්ත‍ටුවල ගිනිගත්ත තෙල් ලිං ‍රැදිලා තියෙනවා. පියාඹාන්න බැරි කුරුල්ලෝ ගැන සෙබස්තියෝ කියන්නෙ මොනවද කියලා මං ආයෙමත් හිතනවා.
රුවන්ඩාවේ ‍ටුට්සි-හුටූ ගෝත්‍රිකයන්ගේ අරගලය මැද්දට කැමරාවත් අරන් පනින සෙබස්තියෝ මහ මඟ මරා දැමුණු මිනිසුන්ගේ සේයාරූ අපිට ඉදිරිපත් කරන්නේ මිනිසත්කමේ කෲරත්වය ගැන පාඩම් උගන්වන්න වගෙයි. ඔහු මුකුත් කියන්නෑ. ඒත් ඔහුගේ ඡායාරූපවලින් ලේ ගලනවා. සරණාගත කඳවුරුවල හිනා මුහුණින් ඉන්න කුඩා දරුවෝ අපේ ඇස්වලට ක‍ටුකම්බිවලින් අනිනවා දැනෙනවා. මේ සා රිදීමක් ඇති කරවන්න ඡායාරූපයකට පුළුවන්ද කියලා නැවත හිතෙනවා.
Gold Serra Pelada, Brazil
'ද සෝල්ට් ඔෆ් ද අර්ත්' වාර්තා චිත්‍රපටිය නරඹන අතරතුර එය නතර කර කල්පනා කරන්න ඔබට සිද්ධ වෙන්නෙ ඇයි කියලා නැවත පහදන්න වුවමණාවක් නෑ. මේ සිනමාපටය ඒ තරමටම බරක්. මිනිස්කම කොයිතරම් වේදනාසහගතද කියලා මං ඔබෙන් ප්‍රශ්න කරනවා. සිනමාපටය නොබලා ඔබට එයට පිළිතුරු දෙන්න බැරි බවට සැකයක් නෑ. ඉතින් අකුරුවලට වශී නොවී රූපයට වශී වෙන්න මං ආරාධනා කරනවා.
'මං අකමැතිම දේ වෛරය කොයි තරම් ලෝකය පුරා පැතිරිලාද කියලා දැනෙනවටයි. ලෝකයේ එක කෙලවරක මිනිස්සු කොටසක් මේ වෛරයේ අකාරුණික ගින්නට අහු වෙලා. ඔවුන් දන්නේ නෑ තමන් කුමනාකාර ගින්නකටද අහු වෙලා ඉන්නේ කියලා. නමුත් ඒකෙන් දරුණුවට දැවෙන බව නම් ඔවුන්ට තේරෙනවා. අන්න ඒකටයි මං වැඩිපුරම අකමැති. ඒකෙන් තමයි මං වැඩිපුරම වේදනාවට පත් වෙන්නේ.'
ඒ වේදනාව වාර්තා චිත්‍රපටයෙන් ඇති තරමක් විඳින්නට හැකි බව මගේ අදහසයි. සෙබස්තියෝ සල්ගාදෝ පෙන්වන ශෝකාන්තය බැලීම ඔබ සතු කාරියක් කොට එය ඔබ පිට පටවා මා නිදහස් වන්නේ එහෙයිනි.

කාංචනා අමිලානි
පුවත්පත් ලිපි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "ඡායාරූප ශිල්පයේ නිහඬ නාටකය"

Trackbacks

  1. [...] ඡායාරූප ශිල්පයේ නිහඬ නාටකය [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com