ආලෝකය සහ අඳුර සේයාරුවක් කිරීමේ කලාව

Approaching Shadow

ෆැන් හෝ ට ආලෝකය සහ අඳුර ගැන තියෙන්නේ පුදුමාකාර ලෝලත්වයක්. ඔහුගේ ඡායාරූපවල සෙවනැලි බොහොමයි. පතිත ආලෝකයෙන් වැඩ ගන්න දන්න ෆැන් හෝ මිනිස් රූප ඇතුළට වගේම ගොඩනැගිලි ඇතුළට ආලෝකය සහ අඳුර යොමු කරවන්නෙ තමන්ට ඕනේ විදිහටයි. හරියටම ඔහුගෙ අතේ මැජික් යෂ්ටියක් තියෙනවා වාගෙයි. ෆැන් හෝ ගේ ප්‍රකටම සේයාරු හඳුන්වන්නේ ‘Approaching Shadow’ නමින්.
බොහෝ විට වීදි ජීවිතය කැමරාවෙන් අල්ලා ගන්නයි ඔහු උත්සාහ කරන්නේ. හොංකොං හි ජන ජීවිතය ඔහුගෙ කැමරාවට හසු වන්නේ තරමක් වෙනස්ව. ඔහුගෙ කැමරා කෝණ වෙනස්. ඔහු ආලෝකයෙනුයි වැඩ ගන්නේ. අඳුර එක්කයි ගිවිසුම් ඇති කරගෙන තියෙන්නේ. කළු-සුදු සහ දුඹුරුවෙන් ඉදිරිපත් කරන මේ ඡායාරූපවල චලන චිත්‍රයක තරම් දිග කතාවක් තිබෙනවා. චීන අකුරු පුවරු සහිත වීදියක උඩුකයට බැනියමක් ඇඳි මිනිසෙක් රික්ෂෝවක් තල්ලු කරගෙන යනවා. ඔහුගේ වම් පැත්තෙන් කාරයක සෙවනැල්ලක් ඉතා දිගුවට වැටී තිබෙනවා. ඉර එළිය මුළු ඡායාරූපය පුරාම විසිරිලා තියෙන්නේ දිය සායම් චිත්‍රයක වාගෙයි. ඔහු ඒ සේයාරුව හදුන්වලා තියෙන්නේ ‘A Day is Done'කියලයි.

A Day is Done

‘Arrow'නමින් හඳුන්වන තවත් සේයාරුවක් අරගෙන තියෙන්නේ උඩුකුරුවයි. විශාල ආලෝක කදම්භයක් විසින් ඇති කළ සෙවනැලි තීරුවක් මතින් ගැහැනියක් ඇවිද යනවා. එපමණයි. ගැහැනියගේ රූපය කුඩාවට සහ අපැහැදිලිව පෙනෙන අතරෙම ගොඩනැඟිලි සහ සෙවනැලි ආදිය පින්තූරයේ ලොකු ඉඩක ඉන්නවා. මේ ගතිගුණ දරන්නේ ඔහුගේ සේයාරූවල පමණක් නොවන්න පුළුවන්. එහෙත් ඔහු හරිම නිර්භීතයි තමාට වුවමණා කතාව කීමට පින්තූර භාවිත කිරීමේදී.
ඊළඟට මගේ ඇස කිතිකවපු පින්තූරය ඔහු නම් කරලා තියෙන්නේ 'Back to Back Comic'නමිනුයි. තට්‍ටු නිවාසයක සමාන්තරව ඇති ජනෙල් පේලි කිහිපයක් යට බිම වාඩි වී, දෙපැත්තට හැරී කියැවීමේ නිරත කුඩා ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු තමයි මේ සේයාරුවේ ඉන්නේ. 'Between Showers' කියන්නේ තවත් අපූරු වීදි සේයාරුවක්. වැස්ස කඩා හැලුණු අතරතුර එළවළු කදක් කර තබාගෙන යන මිනිසෙක් පින්තූරයේ ඉදිරියෙන්ම ඉන්නවා. වම් පස කුඩා පිරිමි ළමුන් තිදෙනෙකු ඔහු දෙස බලා සිටිනවා. ඊට පි‍ටුපසින් තවත් මිනිසුන් සහ ගැහැනුන් තමන්ගේ වැඩ රාජකාරිවල නිරත වී සිටිනවා. සේයාරුව දුඹුරු පැහැයෙන් යුක්තයි. සෙසු වීදි ඡායාරූපවල පොදුවේ දකින්නට හැකි වේගය සහ ජීවිතයේ දුක්බර බව ඔහු පෙන්වන්නේ ඔහුටම ආවේණික ආකාරයකින්. ඔහු ඡායාරූපවලින් සැඟවුණ අරුත් ඇති කවි ලියනවා වාගෙයි. බැලූ බැල්මට යමක් නොහඟවමින් පින්තූරය ඇතුළට ගිලා බසින්නට ෆැන් හෝ ඔබට ආරාධනා කරනවා.

rain

ෆැන් හෝ උපන්නේ 1937 ඔක්තෝබර් 08 වැනිදා ෂැංහයි නුවරදි. කුඩා කාලෙම පවුලේ අය සමඟ හොංකොං වෙත සංක්‍රමණය වුණ ෆැන් හෝ ඡායාරූප ගන්න පටන් ගත්තේ කුඩා කාලෙදිමයි. ඒ ඔහුගේ පියා තෑගි දුන් රොලෙෆ්ලෙක්ස් කැමරාවකින්. ඔහු ඡායාරූප ගන්න තනිවම ඉගෙන ගත් කෙනෙක්. වීදි ජීවිතය, වෙළෙඳපොළ, කුඩා මුඩුක්කු සහ නගර ජීවිතය ඔහුට ඡායාරූප ගන්න යම්කිසි පෙළඹවීමක් ඇති කළා කියලයි ඔහු හිතන්නේ. මේ කුඩා වයසෙන්ම සේයාරූ ගන්න හුරුවුණ නිසා ඔහු තමන්ගේ පින්තූරවල නෙගටිව්පට සකසන්න යොදා ගත්තේ පවුලේ අයගෙ නාන බාල්දියයි. හොංකොං හි 1950-1960 ජන ජීවිතය තමයි ඔහු අල්ලා ගත්තේ. නාගරීකරණයට ලක් වෙමින් පැවතුණ නිසාම මේ ගන්ධබ්බ අවදිය ඔහුට කදිම සේයාරූ ගොන්නක්ම තෑගි කළා.

Fan_Ho-Waterfront

2006 අවුරුද්දෙ දි ෆැන් හෝ ගේ සේයාරූ ප්‍රථම වතාවට දු‍ටුව චිත්‍ර හළක අයිතිකරුවෙකු වන ලෝරන්ස් මිලර් කිව්වෙ මෙන්න මෙහෙම දෙයක්. '
ඔහුගේ ඡායාරූප අමූර්ත වෙන්නෙත් මානවවාදී වෙන්නෙත් එකම මොහොතෙයි.' 1950-1960 අතර කාලයේ ගත් පින්තූර ගැන 2006දී කෙනෙකුට එහෙම හිතෙන්නේ ඔහු ඒකෙන් සසල වෙච්ච නිසා වෙන්න ඕනා. මෙන්න මේ සසල වීමයි අද වෙනකොට අපිට අහිමි වෙලා තියෙන්නේ. ඔහුගේ ඡායාරූපවලින් නිශ්චිත සසලවීමක් අපට ලබා දෙන නිසාම අපි ඒවාට ආශක්ත වෙනවා. වෙනම කල්පනා කරන්න පටන් ගන්නවා. ෆැන් හෝ කියන්නේ එයාකාර වාසනා ගුණයක් තිබුණ ඡායාරූප ශිල්පියෙක්.
ඊළඟට ඔහු පිළිබඳ යූටියුබ් වීඩියෝ කිහිපයක් හමු වෙනවා. 'ද ආර්ට් ඔෆ් ෆොටෝග්‍රැ‍ෆි' ඉන් එකක්. ටෙඩ් ෆෝර්බ්ස් ඉතා අභිරුචියෙන් ෆැන් හෝ ගේ පින්තූර ගැන කතා කරනවා. ඒ හරහා තවත් යූටියුබ් යොමු කිහිපයක් වෙතම යොමු වෙනවා. මේ සෑම වීඩියෝවකම ඔහු ගැන කතා කරන්නේ ඉතාම ආදරෙන්. ජ්‍යාමිතික හැඩ සහ ආලෝකය, අඳුරු ඡායරූප සඳහා භාවිත කළ ආකාරය ගැන.

works 1964

‘Afternoon chat’ 1959දී ගත් සේයාරුවක්. කාන්තාවන් දෙපොළක් කතාබහක නිරත වෙමින් ඉදිරියෙන් ඇති පඩිපෙළක් වෙත ගමන් කරනවා. ඊට ආසන්නයෙන් තවත් කාන්තාවක් සිටිනවා. තවත් කිහිප පොළක් පඩිපෙළෙන් බැස එනවා. ආලෝකය ඔවුන්ගේ හිසට උඩින් දිළිසෙනවා. දිය සායම් චිත්‍රයක ගතිගුණ නැවතත් ඔහු උකහාගෙන වගෙයි. නැවතිල්ලේ එදෙස බලා ඉන්නට ඔබව පොළඹවන්නේ අන්න ඒ ආලෝක කදම්භ ආදිය ඔහු තමන්ට ඕනෑ ආකාරයට දමනය කරගන්න දන්නා ගතිය නිසයි. කාලානුරූපීව සෙසු ඡායාරූප ශිල්පීන්ගෙන් වෙන්කොට ෆැන් හෝ ව හඳුනාගත හැක්කේත් මේ කාරණය නිසාමයි.
ඔහු විසින් අන්තර්ජාතිකව ලබාගෙන ඇති සම්මාන සංඛ්‍යාව 280ක් වනවා. ඒ අන්තර්ජාතික සේයාරූ ප්‍රදර්ශන සහ තරඟ වෙනුවෙනුයි. එපමණක් නොව හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ නළුවකුද වනවා.

private

මේ සියල්ල මැද නැවතත් ඔහුගේ සේයාරුවක් විත් මගේ ඇසේ වදිනවා. ඔහු එය නම් කරලා තියෙන්නේ ‘Private’නමිනුයි. ඒ 1960දී ගනු ලැබූවක්. සුදු පැහැයෙන් පිරියම් කළ බිත්තියක තරමක් උඩින් ඇති කවුළුවකින් යුවළක් ඉතා සමීපයෙන් සිටින ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඔවුන්ගේ උඩුකය පමණයි දර්ශණය වන්නේ. ඊට සමාන්තරව දකුණු පස කෙලවරේ පහළට වන්නට 'ප්‍රයිවෙට්' යන අකුරු පේලිය සමඟ තවත් අකුරු පේලියක් ගැසූ නාම පුවරුවක් තිබෙනවා. මේ සේයාරුව එපමණයි. සෑම විටම ඔහුගේ සේයාරූ සහ ඒවාට දී ඇති මාතෘකා දෙස ඔබට විමසිල්ලෙන් බලන්න සිදු වීම අනිවාර්ය ලක්ෂණයක්. එවිටයි ඔබට එහි ඔහු කියන කතාව නියමාකාරයෙන් වටහා ගැනීමට හැකි වන්නේ.
2003 වසරේදී ලෙයිකා ලයිකර් විසින් තම වෙබ් අඩවියට කළ සම්මුඛ සාකච්ඡාවකදී කියන්නේ තමන් පින්තූර ගැනීමට භාවිත කරන්නේ එක කැමරාවක් බවයි.
'මම නිකං ගොපළු මිනිසෙක් වගෙයි. සරලව හැසිරෙන්නයි ආසා. අනික කැමරා දෙකක් උස්සගෙන යන්න මම කැමති නෑ. ඒක කරදරයි. අනික අනවශ්‍ය බරක්. ඊට වඩා මං කම්මැලියි.'

Construction

වීදි ඡායාරූප ශිල්පියකුට වීදි ආහාර පිළිබඳ කැමැත්තක් තිබිය හැකි යැයි අනුමාන කළත් ඔහු වීදි ආහාර ප්‍රිය නොකරයි. සේයාරූ සංස්කරණයට ෆොටෝෂොප් සහ ලයිට් රූම් මෘදුකාංග භාවිත කරයි.
ලෙයිකා ඊළඟට අසන පැනයට මම ආසා ඇත්තෙමි.
'ඡායාරූප ගන්නකොට ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන දිනයක් හෝ වෙලාවක් තියෙනවද? එහෙමත් නැත්නම් ඕනෑම දවසක්, වෙලාවක් හොඳයි කියලද ඔබ හිතන්නේ?'
'මං කැමතියි ඉර යාන්තමින් බැහැගෙන යනවට. එතකොට මට දිග සෙවනැලි සහිත පින්තූර ලැබෙනවා'
'ඇයි ඔබ විදි සේයාරූ ගැනීම ‍තෝරා ගත්තේ?'

fan-ho-smile-of-angkor

'ඇත්තටම වුණේ වීදි සේයාරූ ගැනීම විසින් මාව ‍තෝරා ගැනීමයි. මං චිත්‍රපට පිස්සෙක්. කතා කීමට තිබ්බ වුවමණාව තමයි මාව ඡායාරූප ශිල්පියෙක් කළේ. ඊටත් වැඩියෙන් මට වැළඳුණු ඉ රුවාරදය මාව වීදි දිගේ ඇවිදිමින්, අලුත් හුස්ම ගැනීමට පෙළඹෙව්වා. දොස්තරවරු අනුමත කළේ එහෙමයි. මෙහෙම ඇවිදින අතරෙයි මං ඡායාරූප ගත්තේ.'වචන බොහොමයක් නාස්ති කිරීමෙන් සිදු විය හැකි අනර්ථය වළකන්නට ෆැන් හෝ ගේ සේයාරූ ගොන්නක් කියැවීමය ඊළඟට මම ඔබට ආරාධනා කරමි. අඳුර, ආලෝකය සහ සෙවනැලි අතර ඉමහත් ශෝකයක් වූයේ නම් එයද ඔබේ ළඟම තබා ගන්නට කියමි.
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ආලෝකය සහ අඳුර සේයාරුවක් කිරීමේ කලාව"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com