කළු සුදු ජීවිතවල මැකී ගිය වර්ණ -Black and whit and sex

ipad-art-wide-605728563-420x0
ඇන්ජි ට ඇත්තේ මැරලින් මොන්රෝ වර්ගයේ කොණ්ඩයකි. ඒ රන්වනින් කැ‍රැළි ගැසීගෙනය. එක් උරයක් පැන්නූ ටීෂර්ටය එක් උරයක තිසර පටයක ශේෂයක් පෙන්වයි. අව් කණ්ණාඩි ලාගෙන පැමිණි ඈ සිනාසෙමින් තම අත් බෑගය පිරික්සයි. කැමරාවට මුහුණ දී කතා කරන්නැයි අධ්‍යක්ෂවරයා පවසන විට ඈ කුඩා කෙල්ලක මෙන් විළිබරව සිනාසෙයි. කැ‍රැළි කොණ්ඩය උඩට කෘත්‍රිම විදුලි ආලෝකය වැටී දිලිසෙයි.
'මම ඇන්ජි. මං ලිංගික ශ්‍රමිකයෙක්'
ඒ පටන් ගැන්මයි. ඔබව උස්සා පොළොවේ ගසමින් ඈ තමන් ලිංගික ශ්‍රමිකයකු බව උදාරම්ව පවසයි. දැන් ඈ කලබලයෙනි.
'මං දුම් බිව්වට කමක් නැද්ද?'
ඊළඟ පැනය කැමරාව පසුපසින් ඉන්නා අධ්‍යක්ෂවරයාටය. ඔහු දුම් බොන්න ඈට අවසර නොදෙන තැන ඈ අසන්නේ මේ රූගත කිරීම අතරතුර යම් වරදක් වුවහොත් ඒ නිවැ‍රැදි කළ හැකිද කියාය. ඊට ලැබෙන පිළිතුරද අකාරුණික 'නැත' යන්නයි.
මේ 'බ්ලැක් ඇන්ඩ් වයිට් ඇන්ඩ් සෙක්ස්' සිනමාපටයේ ආරම්භක දර්ශනයයි. 2011 වසරේ නිෂ්පාදනය කරන්නට යෙදුණ මේ සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෝන් වින්ටර් විසිනි.  2011 ජූනි මස පැවැති සිඩ්නි සිනමා උළෙලේදී මුල් වරට තිරගත කෙරුණ 'බ්ලැක් ඇන්ඩ් වයිට් ඇන්ඩ් සෙක්ස්' ප්‍රශ්න කරන්නේ කවුරුන් විසින් කාවද යන්න තීරණය කිරීමට සිනමාපටයේ අවසානයට ළඟා විය යුතුය.
ඇන්ජි ගේ චරිතය නිරූපනය කිරීමට නිළියන් 08 දෙනෙකු යොදාගෙන ඇත්තේ මන්දැයි වැටහෙන්නේ සිනමාපටයේ මධ්‍යයට ගිලෙන විටය. පෙත්තෙන්, පෙත්ත ගලවමින් ස්ථරයෙන්, ස්ථරයට ළඟා වෙමින් මේ පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ ලොව පැ‍රැණිම ‍රැකියාවේ අලුත්ම හැඩයද?
විනාඩි 94ක් පුරා කළු-සුදුවෙන් පෙනෙන කාන්තා ශරීර ඇතුළත ඇති කටහඬ ප්‍රේක්ෂකයාට ඇසෙන්නට ගන්නේ සිනමාපටය ආරම්භ වී මද වෙලාවක් ගත වූ පසුවය. තමන් ලිංගික ශ්‍රමිකයකු බව පවසන ඇන්ජි ප්‍රශ්න කරන්නේ තමාව ප්‍රශ්න කරන්නට ඔහුට ඇති හැකියාව පිළිබඳවය.
'ලිංගිකත්වය කියන්නේ ලිංගිකත්වයට. ඒකෙ වෙන දෙයක් නෑ'
මේ ඇන්ජිගේ නිර්වචනයයි.
'ඇයි මෙච්චර ප්‍රශ්න?'
BWSA5.ai
එවර සාකච්ඡාව මෙහෙයවන්නාට රඟන මැතිව් හෝම්ස් ඇන්ජිගෙන් අසයි. දැන් ඔබ නියම පටලැවිල්ලකය. කවුරුන් කාගෙන් ප්‍රශ්න කළ යුතුද? දැන් ඈ ඉල්ලා සිටින්නේ වැඩිපුර ගෙවීමකි. ලැබිය යුතු මුදල හෙට්‍ටු කිරීමකි. මේ සියල්ල ඇතුළත ඈ වේදිකාව පුරා ලලාසයෙන් යුක්තව සක්මනේය. මැරලින් මොන්රෝ වර්ගයේ සිනාසීම් සහ අභිනයන්ගෙන් සපිරි ඈ ඊළඟට රංගන ශිල්පිණියක මෙන් හැසිරෙයි. සමීප රූපයකින් සෝබර ඇගේ මුහුණ ප්‍රේක්ෂකයා දකින්නේ ඊළඟටය. තම ‍රැකියාවට අදාළ අභිනයන්ගෙන් සහ හැසිරීමෙන් මේ සිනමාපටයට පලක් නැති බව ඒත්තු ගැන්වෙන විට ඈ වෙහෙසිනි. ශෝකයෙනි. පුපුරා යන කෝපයෙන් හිස ‍රැදි බොරු කොණ්ඩය ගලවන ඇන්ජි සැබෑ ස්වරූපය පෙන්වයි. ඈ සතු කණා‍ටු කොණ්ඩය ලිහා දමමින් ඇන්ජිගේ චරිතයට පෙනී සිටින පළමු වැන්නිය වූ කැත්‍රීන් හික්ස් දෙවැන්නියට වේදිකාවට පැමිණීමට ඉඩ ලබා දෙයි. ඒ කෙටිඡේදනයකිනි. ආන්යා බේයර්ස්ඩෝෆ් ඊළඟට ඇන්ජිගේ චරිතය රඟයි. මේ දෙවැනි ස්ථරයයි.
'මෙතන හරි හීතලයි'
ඇන්ජි චෝදනාවක් ඉදිරිපත් කරයි. ඊළඟට ජෝන් සමඟ ආරවුලක පැටලෙන්නට තැත් කරයි. ඈ ඔහුට බල කරන්නේ අසභ්‍ය වචනයක් කීමටය. තමන්ට ඔහු විසින් එල්ල කිරීමට නියමිත පීඩනය ඈ විසින් පෙරලා ඔහු වෙත යොමු කිරීම ඇගේ අරමුණයි. ඇන්ජිගේ තර්කය සරලය.
ඇන්ජි විසින් ඇගේ ජීවිත තතු, ‍රැකියාවේ තතු කීමට පෙර ඇයට වුවමණා වන්නේ විශ්වාසය පිළිබඳ සහතිකයකි.
'ඔබේ බිරියගේ නම කුමක්ද?'
දැන් විශාල නිශ්ශබ්දතාවයකි. ඈ පුපුරා හැලෙන්නේ ඊළඟ තප්පරයේය. තවත් දිගු නිහැඩියාවකි.
'මැටිල්ඩා'
MV5BMTkzMDQ0NDgzM15BMl5BanBnXkFtZTcwMDA3NDk3Ng@@._V1_CR0,60,640,360_AL_
ඔහු නිශ්ශබ්දතාවය මැදින් තම බිරියගේ නම කියයි. අනෙකාගේ ජීවිතය පියනක් විවර කර කුඩා ටින් එකක් තුළ බලන්නා සේ නැ‍රැඹීමේ ආශාවෙන් පසුවන්නාට තමාව වසාගෙන සිටීමට නොහැකි බව යළිත් ඇන්ජි ඔප්පු කරයි. ලිංගික ශ්‍රමිකයන් වේවා, ඒඩ්ස් ආසාදිතයන් වේවා මේ සියල්ලගේම පොදු සාධකය වන මිනිස්කම ඇතුළත අඩු හෝ වැඩි අයිතිවාසිකම් නැති බව ඈ පවසන්නේ නොවේද?
ඊළඟට ඇගේ දුරකතනය නාද වෙයි.
'හෙලෝව්!!!'
ඇගේ හඬ මෘදු වෙයි.
'කවුද ඒ? ඔයාගෙ සේවාදායකයෙක්ද?'
ඒ නරුම ප්‍රශ්නය මැතිව් හෝම්ස්ගෙනි.
'නැහැ. ඒ මගේ දුව'
ඇන්ජි යළිත් ඔ හුගේ මුහුණට දමා ගසන්නේ මානුෂීය හැඟීමකිනි. ඒද දරුවකු පිළිබදය.
'එයා ඉන්නෙ තාත්තා එක්ක' ඈ තවත් විස්තර කියයි. නොසන්සුන් වෙයි. වරලස සකසයි. අපි කතා කර කර උන්නේ මොනවාදැයි  අසයි.
'ඔයා ගැන විස්තර කියන්න' ඒ මැතිව් හෝම්ස්ගේ ඉල්ලීමකි.
url
'මගේ නම ඇන්ජි. මං ලිංගික ශ්‍රමිකයෙක්. මං ජීවත් වෙන්නෙ සිඩ්නිවල. විවාහකයි. සංගීතයට ආසයි. මට උපාධියක් තියෙනවා. ඒ රසායන විද්‍යාව සම්බන්ධව'
කැමරාව පි‍ටුපසින් මැතිව් හෝම්ස් උපහාසාත්මක සිනහවක් නඟයි. ඒ ඇසෙන්නේ ඇන්ජිට පමණක් නොව සියලු ප්‍රේක්ෂකයාටමය. දැන් ඇවිලෙන්නේ ඇන්ජි පමණක් නොවේ, සියලුම ප්‍රේක්ෂකයන්ය.
'උගත් වෛශ්‍යාවක් ඉන්න බැරිද? ඇයි මෙච්චර ලොකු ප්‍රශ්නයක් මේ ගැන? අපි වගේ අයට සතු‍ටුදායක ජීවිත තියෙන්න බැරිද? සතු‍ටුදායක අවසානයක් තියෙන්න බැරිද? ඇයි ඔබ ලිංගිකත්වය ඔපමණ ඉහළින් රදවන්න හදන්නේ? අනික මං සම්බන්ධව විතරක්. එතකොට ඔබ ඉන්නෙ කොතැනද? ඔබට මේ දේවල් අදාල නොවෙන්නෙ කොහොමද?'
ඈ ප්‍රශ්න කරන අතරතුර සමාජයෙන් පෙති කපමින් ඔහුට පෙන්වයි. නීරස කතන්දරයක සමලුන් පවා සිටිය හැකි බවට ඉඟි සපයයි.
jhhnhm
'කොහොමද මේ ‍රැකියාවට යොමු වුණේ?'
'මෙහෙමයි. මං විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ගමන් හිටියේ. ඉගෙන ගන්න සල්ල වුවමණා කළා. මං ලිංගික ශ්‍රමිකයෙක් විදිහට සේවා ලබා දෙන ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට ගියා. රස්සාව හම්බ වුණා. රස්සාව කළා. ඉගෙන ගත්තා.'
'ඇයි මේ රස්සාවම?'
'සල්ලි. ඒක තමයි එකම හේතුව'
'එච්චරද? හරිම සරලව එච්චරයි කියලද ඔබ කියන්නේ? සිල්ලර බඩු විකුණන කඩේක වැඩ කරනවා වගේ මේක සරලා නෑ නේද?'
'ඔව්. හරි සරලයි. මේක රස්සාවක්. වෙනත් රස්සාවලදිත් ඔබ විකිණෙනවා. වෙනත් ආකාරයකට. මේකත් එහෙම විකිණීමක්. අපි පිටසක්වල ජීවීන් නෙවෙයි. අපිත් මිනිස්සු. ඒක හරි සරලව තේරුම් ගන්න.'
සරලව තේරුම් ගත හැකි යැයි ඈ කියන, අනෙකා විසින් සරලව තේරුම් ගැනීම මඟ හරින මේ ශ්‍රමයට ඔබ දෙන වටිනාකම කුමක්ද?
වැලරි බේඩර්, රොක්සෑන් විල්සන්, මිචෙල් වර්ගරා මෝරේ, ඩීනා පැනසෝ, සසිකියා බර්මෙයිස්ටර් සහ මේයා ‍තෝමස් යන අය පෙනී සිටිමින් ඇන්ජිගේ ජීවිතයේ නොයෙක් පැතිකඩ ප්‍රේක්ෂකයාට පෙන්වයි. ඈ වරෙක අසන්නේ මේ සිනමාපටයේ නම කුමක්ද කියාය. 'කළු සහ සුදු සහ ලිංගිකත්වය' කියා පැවසූ විට ඈ දෙනු ලබන පිළිතුර අපූරුය.
'නැහැ. කිසිසේත්ම කළු සහ සුදු නැහැ'
සිනමාපටයේ අවසානය තෙක් ඉවසීමෙන් ද, කුතුහලයෙන් ද මඩනා සිතින් යුක්තව එය නැ‍රැඹූ ප්‍රේක්ෂකයා විසින් මැතිව් හෝම්ස් කෙරෙහි  ඇති කරගෙන තිබූ නොපහත් හැඟීම කුඩු කර දමන්නේ ඔහු කියූ එක වචනයකිනි.
'මං යමක් කියන්නම්'
මේ කියන්නට තියෙන 'යම් දෙය' අතනොහැර දැන ගැනීම දැන් ඔබට කළ හැකිය.

කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "කළු සුදු ජීවිතවල මැකී ගිය වර්ණ -Black and whit and sex"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com