නාගරික චූල සංස්කෘතියේ අලුත් මුහුණ | Colombo Hippie Market

12778734_10207963774265776_1166148800310938043_o
හිපි මාකට්‍ටුව තිබුණේ හැංගිලා ය. කොටින්ම කියනවා නම් බී.එම්.අයි.සී.එච් පරිශ්‍රයට අල්ලපු ඉඩමේ වුවත් බී.එම්.සී.එච් නම් ඒ ගැන කෙළ බිඳක් හෙලුවේ නැත. යාබද පල්ලිය තමන්ට වුවමණා තරමට ගාම්භීරව උන්නා මිස 'මේං මේ පැත්තෙන් යන්න. ගියාම වම් පැත්තෙ නුග ගහක් තියෙනවා' යැයි කීමටවත් කාරුණික වුණේ නැත. හිසට ඇලුණු කැ‍රැළි කොණ්ඩා සහිත, බාච්චු ඇඳුම් ඇඳගත් තරුණයන් කිහිප පොලක් නුග ගස ඇති පැත්තට හැරුණෙන් අපි ද ඒ පැත්තට ගමන් කළෙමු.
එතැන මහා සැනකෙළියකි. එහෙත් අවට පරිසරය නිශ්ශබ්දය. දැවැන්ත නුග ගස තමන්ගේ අතු ඉති බිමට හෙළමින් පෙරහරේ යන අලියකු මෙන් වැනෙමින් හුන්නේය. ඒ නුග ගස යට සිමෙන්ති රවුමකි. රවුම ඇතුළත දෙදෙනකු ගිටාරයක් වයයි. ඒ ද හිස වනමිනි. තබ්ලාවක් හැඩැති සංගීත භාණ්ඩයකි. ඒ වයන්නේ කාන්තාවකි. තිදෙනා ම ඇස් වසන් ගයනු පෙනේ. මහත් වූ දාහය ය. එහෙත් නුග ගස සෙවණ සදන්නේ හෙයින් ම මද සිහිලක් විටින් විට දැනෙයි. දහවල හෙයින් බොහෝ දෙනා තැන් තැන්වල වැතිරී අලස සුවයෙනි. නුග ගස යට සිමෙන්ති රවුමට ඔබ්බෙන් කවාකාර වූ පඩිපේලි කිහිපයකි. හිපි මාකට්‍ටුව නැ‍රැඹීමට ආ බොහෝ දෙනා ඒ පඩිපේලි මතය. වැතිරීගත් ගමන්ය. එකකු අත ඔරේන්ජ් ජූස් ය. චොක්ලට් බ්‍රවුනීස් ය. කප් කේක් ය. පොල් සම්බෝල සහ චීස් පිරවුම් සහිත රෝස්ට් පාන් ය.
නුග ගස යට අමුතු සැ‍රැසිළිය. ත්‍රිකෝණාකාර කොඩි වැල් එල්ලී ගෙන ඉන්නේ නාගරික උප සංස්කෘතියක සංකේතයක් විලසිනි. 'කලම්බු හිපි මාර්කට්' යනු නාගරික උප සංස්කෘතියක පෙත්තකි. රංචු ගැසීමේ ආසාවෙන් යුක්ත මිනිසා එකතු පහතු වී කමින්, බොමින්, භාණ්ඩ මිලදී ගනිමින්, සේයාරූ ගනිමින් දවස හරින චූල සංස්කෘතිකාංගයකි. පසුගිය වකවානුව මුළුල්ලේ නගරය මූලය කොටගෙන ඇ‍රැඹි මෙවන් සැනකෙළි බොහොමයකි. විශාල සංස්කෘතික වෙනස්කමක් සහිතව නොවුණත් සංස්කෘති කිහිපයක් පවා තේරුම් ගැනීමේ නොහැකියාවක් පවතී. සාමූහිකව ජීවත් වීමට නොකැමති ශ්‍රී ලාංකිකයාට මේ අලුත් චූල සංස්කෘතික කාරණා මඟහැර යා නොහැකිය.
පෙරකී සිමෙන්ති රවුම යට සංගීත වාදනයට ඔබ්බෙන් ආලේඛ්‍ය චිත්‍ර අඳින රවුල්, කොණ්ඩා සහිත මිනිසෙකි. කපු සරමක් සහ කමිසයක් ඇඳ විසාල ඇට මාල කිහිපයක් බෙල්ල වටා පටලාගත් හේ එකම අරමුණකය. ඉදිරිපස පු‍ටුවේ පිළිමයක් මෙන් එක සීරුවට වාඩි වී සිටින ගැහැනියකි. ඔහු වටා එල්ලී ඇත්තේ රාමු කළ ආලේඛ්‍ය චිත්‍ර සමූහයකි. බොබ් මාලේ, ඩබ්. ඩී. අමරදේව, මාලනී ෆොන්සේකා වැන්නවුන් මෙන් ම නාදුනන අය ද රාශියකි.
12744494_10207963777265851_5445595839518460592_n
'ගෙට් යුවර් ඕන් හිපි පෙන්ඩන්ට්' කියා අතින් ලියූ කාඩ්බෝඩ් කැබැල්ලකි. ඊට එහායින් ඇත්තේ 'ඕයි ගෙට් යුවර් ඕන් රින්ග්' කියා ලියූවකි. කළු නූලක දැවටූ පිත්තල පැහැති කොළ, අත් සහ මුහුදු අශ්වයන් පෙන්ඩන්ට් වශයෙන් සකසා ඇත. නුග ගසේ එල්ලා ඇති කොඩිවැල්වලින් ප්‍රයෝජනය ගෙන ඒ මත එල්ලූ හැගරයකි. එහි 'මාවල්' ටී ෂර්ටයක් එල්ලා ඇත. 'ද ඩාක් නයිට්' ටී ෂර්ටය ඊට එහායින් වැනෙන්නේ සුළඟට ය. මේව විකිණීම පිණිස ය.
හිපි මාකට්‍ටුවට ඇතුළු වෙන තැනම නැවැතූ කැරවෑනයකි. කැරවෑනය පුරා වර්ණවත් ඩූඩ්ල් ආකාරයේ සිතුවමකි. ඒ හිමිකරු තුසිත ගුණවර්ධන ය. 'හැන්ගෝවර් හොටෙල්ස්' ඔහුගේ සංකල්පයකි. කන්ටේනර් ඇතුළත තැනූ නිවාස සහිත මේ හැන්ගෝවර් හොටෙල්ස් ගැන ඔහු පවසන්නේ මෙවන්නකි.
'සංචාරය කරන්න එන ගොඩක් අය දැන් බජට් ට්‍රැවල් තමයි හොයන්නේ. ඒ වුවමණාව ඉලක්ක කරගෙන තමයි අපි මේක පටන් ගත්තේ. ඩොලර් 15ක් වගේ ගාණකටයි අපි මේ අයට කන්ටේනර් නිවාස දෙන්නේ. මිරිස්ස, ක‍ටුනායක ගුවන්තො‍ටුපොළ ආසන්නයේ තමයි මේ නිවාස පිහිටලා තියෙන්නේ. බීච් එක ගාව තියෙන නිසාත් ඒ අය ගොඩක් කැමතියි එන්න. ඒ වගේම අපේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒ අයට. තීම් නයිට්, බාබකිව් නයිට් වගේම ශ්‍රී ලන්කන් නයිට් වගේ ප්‍රෝග්‍රෑම්ස්වලට ඒ අය ගොඩක් කැමතියි. මෙහෙම කන්ටේනර් ගෙයක් ගන්න අයට අපි කුස්සිය දෙන්නේ නොමිලේ. තමන්ට ඕනා කරන කෑමක් හදාගෙන කන්න එතකොට ඒ අයට පුළුවන්. බීච් එක ළඟ නිසා මාළු, ඉස්සො, කකුළුවෝ වගේ ඒවා තමයි ඒ අය හදාගෙන කන්නේ. ඒ වගේමයි ඔය ඉස්සරහා නවත්තලා තියෙන කැරවෑන් එක. ඒකත් අපි සංචාරකයන්ට දෙනවා ගමන් යන්න. අපේ මේ කන්ටේනර් ගෙවල් ලංකාවෙ අයටත් දෙනවා. විදේශිකයන්ට විතරක් කියලා නැහැ.'
කලම්බු හිපි මාකට්‍ටුව සංවිධානය කර ඇත්තේ 'ක්වෙස්ටිවල්ස්' නම් උත්සව සංවිධානයක් මඟිනි. මාකට්‍ටුව ඇතුළත පිහිටි වෙළෙඳසැල්වල තරමක අපිළිවෙලක් දක්නට ලැබුණේ එහි ඉඩකඩ සීමිත බැවින් විය හැකිය. ඉතා කුඩා පරිශ්‍රයක වෙළෙඳසැල් රාශියක් පිහිටා තිබීම ඊට ආසන්නම හේතුව විය හැකිය. විශේෂයෙන් ම එක් වෙළඳසැලක් තව එකකින් වෙන් කරන් ඉඩ පිළිබඳ ඔවුන්ට සැලකිළිමත් වීමට තිබූ බව කිව යුතුය. නමුත් පළමු වතාවේ ඇති විය හැකි අතපසුවීම් දෙවැනි වර මඟ හරවා ගැනීමට ඔවුන්ට හැකි වනවාට සැකයක් නැත.
නර්තනා වෑවිට උන්නේ ආභරණ රාශියක් පිරිවරාගෙන ය. ඇගේ වෙළෙඳසැල 'නාරි' ය.
12744590_10207963769225650_4019063195158153289_n
'මේවා ඔක්කොම ගෙන්නන්නේ චයිනාවලින්. මම මේකට 'නාරි' කියලා දැම්මේ කාන්තාවන්ගේඅ ජුවෙලරි අවශ්‍යතා ඉෂ්ට කරන නිසා වගේම තවත් දේවල් වැඩි දියුණු කරන්න හිතාගෙනයි. අපි ළඟ ෆැෂන් ජුවෙලරි, ෆන්කි ජුවෙලරි වගේ නොයෙක් වර්ග තියෙනවා. කරාබු, මාල, වළලු තමයි වැඩිපුර ම විකිණෙන්නේ. සපත්තු වගේ දේවලුත් තියෙනවා. විශේෂයෙන්ම වයිනාවල තියෙන ගොඩක් ජුවෙලරි වර්ග ලංකාවෙ දකින්න නැහැ. මෙහෙට ගෙන්නන්නෙත් එකම වගේ ඒවා. ඒත් මං ගෙන්නන්නේ ටිකක් වෙනස් ඒවා. ඒක නිසා ම මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා.
මුලින්ම 'නාරි' පටන් ගත්තේ ඕන්ලයින් ෂොප් එකක් විදිහට. අපේ ෆේස්බුක් පේජ් එකෙන් තමයි වැඩිපුර ම කට්ටිය ජුවලරි ගන්නේ. ඇත්තම කිව්වොත් ඔන්ලයින් බිස්නස් හරිම ලේසියි. වෙලාවත් ඉතිරියි. ඩේටාවලට යන සුළු ගාස්තුව විතරයි. අනික අපි කොහොමත් වැඩි වෙලාවක් ෆේස්බුක් එකේ ඉන්නවනේ. කස්ටමර්ස්ලා ඇවිත් රීවීව් ලියනවා, ජුවෙලරි දාලා ෆොටෝස් අප්ලෝඩ් කරනවා. අපි ගැන ලියනවා. ඉතිං ඒක වර්චුවල් සම්බන්ධයක්.
මේ වගේ එළියට ඇවිත් ෂොප් එකක් කරන පළවෙනි වතාව තමයි මේ. මේකත් හොඳයි. කස්ටමර්ස්ලා මූණට, මූණ හම්බ වෙලා කතා කරන්න පුළුවන් මේ වගේ වෙලාවකට. ඔන්ලයින් විකුණන එකයි මෙහෙම එළියට ඇවිත් විකුණන එකයි හැඟීම් දෙකක්. මට නම් ඒ දෙකම හොඳයි.
ඊළඟට බ්‍රෑන්ඩඩ් ටී ෂර්ට් විකුණන යවානි ඔබේසේකරයි. ඇගේ සාප්පුවේ නම් 'ක්ලෙයිඩර්'ය.
'අපි විකුණන්නෙ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ටී ෂර්ට්ස් විතරයි. මේවා ගේන්න බංග්ලාදේශ්වලින්. අපේ ඔන්ලයින් ස්ටෝර් එකකුත් තියෙනවා. මේ එළියට ආපු පළවෙනි වතාව'
නුග ගහ රවුමේ යන විට අමුතු හැඩයේ බිත්ති ඔරලෝසු කිහිපයක් නුග ගසේ අත්තක ම එල්ලා තිබෙනු දු‍ටුවෙමි. ඉලක්කම් කිසිවක් නැති මේ ඔරලෝසුවල ක‍ටු සුදු බිත්තියක තැබුවාක් මෙනි. ඔරලෝසු මුහුණත කපා ඇත්තේ පදම් කළ ලීයකිනි. ලී ඔරලෝසුවකට අයිති කලාත්මක ගතිය සහ අමුත්ත එහි නො අඩුව දක්නට ලැබුණි. ලීයෙන් තැනූ රවුම් භාජන සහ පිගන් ‍රැසක් ද එහි විය. එකිනෙකා තුළ බහාලන ලී බෝනික්කන් ද කිහිප දෙනෙකි. සිනාමුසු මුහුණින් සිටින බෝනික්කන් යුවළක් අයෙකු ගෙන පිරික්සයි. ලී ඔරලෝසුවේ ගණන් විමසයි. ලී පිගන් සෑදු ආකාරය විමසන දෙදෙනෙකි. ඒ අසලින් ම එල්ලූ රාමු කළ චිත්‍ර කිහිපයකි. ඈ සසිකා පසන් කුමාරි ය. "Artifacts" යනු ඇගේ වෙළඳසැළේ නමයි.
12779224_10207963770505682_1813776566126745614_o
'අපේ ගම පොලොන්නරුවේ. අප්පච්චිට වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒකෙ තමයි මේ බෝනික්කෝ හදන්නේ. මම ගෙදර ගිය වෙලාවක මේ ලීවලින් හදපු බෝනික්කො දැකලයි මේවා විකුණන්න ඕනා කියන අදහස ආවේ. ඒ වගේමයි අපි කොන්ක්‍රීට්වලිනුත් අච්චු හදලා නොයෙක් දේවල් දැන් හදනවා. ඉස්සෙල්ලාම මේවා කලා පොළට තමයි දාලා බැලුවේ. ඒ වෙලාවෙ හොඬ් ඉල්ලුමක් තිබ්බා. ඒ නිසාම දිගට ම කරගෙන යන්නත් හිතුවා. අපිට ෆේස්බුක් පේජ් එකකුත් තියෙනවා. කිලෝමීටරයක් ඇතුළේ ‍ෆ්‍රී ඩිලිවරි කරනවා.
ඒ වටරවුම ආසන්නයේ රෙදිවලි සෑදූ බොහෝ දේ ය. ඒ අතරින් බෝනික්කන් සහ බෑග් විශේෂය. 'ස්ටිච් ලැබ්' අයිතිකාරිණිය නිමේෂා ප්‍රනාන්දුය. ඕ කතා කරන්නේ ලජ්ජාවෙනි.
'අපි මේ එළියට ආපු පළවෙනි වතාව. අපිමයි මේවා ඔක්කොම හදන්නේ. අපේ අම්මාට තමයි උදව් කරන්නේ. ගෙදර මහන මැෂින් කිහිපයක් තියාගෙන අම්මා මේවා මහනවා. ඇත්තම කියනවා නම් මේක පටන් ගත්තේ විනොදෙට වගෙයි. බිස්නස් එකක් විදිහට කරන් යන්න මුලින් අදහසක් තිබ්බෙ නෑ. ඒත් ගොඩක් අය බෑග්, බෝනික්කො දැකලා සල්ලි දීලා ගන්න අහන්න ගත්තා. ඊට පස්සෙයි මේවා විකුණන්න හිතුවේ. අපිට ඔන්ලයින් ස්ටෝර් එකකුත් තියෙනවා. හෑන්ඩ් ලූම් බඩුවලට මිනිස්සු හරි කැමතියි. ඒ නිසා ඕඩර්ස් ගොඩක් නිතරම ලැබෙනවා.
"Squared" අයිතිකාරිණිය ඒෂින් ද සිල්වා ය. ඈ ළඟ විකුණන්න තිබෙන දේ සිත් ඇදගන්නා සුළුය. කුඩා ඉඩක වුව ඇගේ වෙළෙඳ කුටිය ආකර්ශණීය ලෙස සැලසුම් කර තිබුණි. පෙරලා දැමුණු නූල් පන්දු උඩ බ්‍රේස්ලටයකි. පදම් නොකල රළු ලී උඩ තැබූ අත් පළදනාය. කරාබු ය. මුදු ය. අටපට්ටම් හැඩයේ වළලු සහ චතුරස්‍රාකාර වළලු වඩාත් අලංකාර ය. වඩාත් සිත් ගත්තේ ඇගේ මහපටගිල්ලේ ලූ ත්‍රිකෝණාකාර මුදුවයි. ඔබට කැමති නම් කැමති ආකාරයෙන් මාල, මුදු සහ වළලු ඈට කියා තනා ගත හැකිය.
12779020_10207963767745613_1713229689363788099_o
'මමයි මේවා ඩිසයින් කරන්නේ. ගොඩක් ඒවා යූ.එස්.ඒ යවලා තමයි හදවන්නේ. මම මේ එළියට ඇවිත් මෙහෙම ස්ටෝල් එකක් දාපු පළවෙනි වතාව. මෙච්චර කල් ඔන්ලයින් ස්ටෝර් එකෙන් තමයි මේවා විකුණුවේ. අපේ ෆේස්බුක් පේජ් එක තමයි වැඩිපුරම ජනප්‍රිය. ඉන්ස්ටග්‍රෑන් එකවුන්ට් එකත් ඒ වගේම ජනප්‍රියයි.
හරිම සිම්පල් ඩිසයින් තමයි මම හදන්න වැඩිපුරම කැමති. ගොඩක් සංකීර්ණ වුණාම ජුවෙලරි එකක ලස්සන බලන්න අමාරුයි. අනිත් එක දැන් ට්‍රෙන්ඩ් එකත් සිම්පල් ඒවා අඳින එකනේ. ගොඩක් අය මගෙන් ඉල්ලන්නෙත් වෙන කාටවත් නැති විදිහෙ මාලයක්, වළල්ලක් හරි මුද්දක් හරි හදලා දෙන්නයි කියලයි. ඉතිං ඒ නිසාම වෙන අය ළඟ නැති අමුතු ජුවෙලරි මගේ ළඟ තියෙනවා.'
නිම්මි ප්‍රනාන්දු උන්නේ හිපි මාකට්‍ටුවේ එක් ත්‍රිකෝණාකාර මුල්ලකය. ඈ සතුව කප් කේක්වලින් පිරුණු මේසයකි. ලජ්ජාශීලීව කේක් ගැන කියන්නට පටන් ගත් ඈ මහත් කලබලයෙනි.
'මං හදන්නෙ චොක්ලට් කේක්, ඩේට් කේක්, ඔරේන්ජ් කේක් සහ වැනිලා කේක්. ඩේට් කේක් එකක් 80යි. අනිත් ඒවා 100යි. මං එනකොට කප් කේක් 130ක් ගෙනාවා. දැනට ම 32ක් විකිණිලා ඉවරයි. මෙහෙම එළියෙ කේක් විකුණන්න ආපු පළවෙනි පාර තමයි මේක. හිපි මාර්කට් එක හිතුවට වඩා හොඳයි. හරි විනෝදජනකයි. '
ඈට එහා පැත්තෙන් තිබූයේ අතින් සැකසූ සුබ පැතුම්පත් සහිත ලංකා හෑන්ඩ්ස් වෙළෙඳසැළයි. කතාබහ කරන්නට අයිතිකරු පෙනෙන මානයක නැති හෙයින් අපි වෙනතක ගියෙමු. මහත් සුවඳකි. අලුතින් පිලිස්සූ රෝස්ට් පාන් සහ සම්බෝල සුවඳක් නහය පසාරු කරගෙන ආ හෙයින් එතැනින් අඩියක්වත් එහාට යන්නට නොසිතුවෙමි. ටාෂ් උන්නේ අමුතු සැම්පලයේ පිහා‍ටු තොප්පියක් ලාගෙනය. ඇගේ වෙළෙඳසැලේ මෙනු පත්‍රය කළු ලෑල්ලකි. සුදු හුණු කූරෙන් ලියූ ආහාර වට්ටෝරු ය. ඊට උඩින් ඇණ ගසා ඒ මත නූල් ඇද සැකසූ උඩු රවුලකි. සැකක් නැත; හැරී බැලූ විට ඈ ද ව්‍යාජ උඩු රවුලක් ආකාරයේ යමක් පැළඳගෙන සිටිනවා දුටිමි.
12778677_10153638849619145_4385546203536231637_o
මේ Tosakanth's Roast Paan' වෙළෙඳසැළයි. සුවඳ ඉමිහිරි ය. හිත නොසන්සුන් කර මඟ වරදන සුළුය.
'අපි ළඟ උණු උණු රෝස්ට් පාන් එක්ක පිරවුම් ගොඩක් තියෙනවා. දැවිල්ල කන්න කැමති අයට චිලි චිකන්, පොල් සම්බල් ඇන්ඩ් චීස් තියෙනවා. කේජුන් චිකන් ඇන්ඩ් ක්‍රෑන්බෙරි සහ ඇඹුල් තියල් තියෙනවා. රුපියල් 50ක් ගෙවලා වැඩිපුර චීස් දාගන්නත් පුළුවන්. ස්පයිසි තායි චිකන් බර්ගර් කන්නත් පුළුවන් රෝස්ට් පාන් කන්න අකමැති අයට. මගේ සිග්නේචර් ඩිෂ් එක පොල් සම්බල් ඇන්ඩ් චීස්. ඇත්තට ම ඒකම තමයි මෙතනට ආපු ගොඩක් අය ඉල්ලුවෙත්. මේ බලන්න දැන් පොල් සම්බෝල ඉවරත් එක්ක.
මීට කලින් ඩිසයින් මාකට් එකට වගේම තවත් පොඩි, පොඩි මාර්කට්වලට ගිහිල්ලා තියෙනවා. අද වැඩෙත් සෑහෙන්න හොඳයි.'
දැන් සුවඳ පරයා මහත් වෙහෙසක් දැනෙයි. අපි සියල්ල නවතා කැරවෑනය අසලට ගොස් ඊට හේත්තු වී ඔරේන්ජ් ජූස් බොන්නට වීමු. හිසට ඇලුණු කොණ්ඩා සහිත බොබ් මාලේ පන්නයේ තරුණයන් කිහිප දෙනෙකි. සරුවාල ඇඳගත් තරුණියන් කප් කේක් කමින්, කැකිරිපළමින් ඇවිද යනු පෙනෙයි. කුඩාවට කරපටි ලාගෙන තරුණියක හා ඇවිදින්නේ බලු සුරතලෙකි. ඥාව් හඬක් නැගුණෙන් අපි ඒ දෙසට ගියේ ඥාව් කියන්නේ ඇත්ත බළලුන්දැයි සැක හැර දැනගන්න ය. එතැන සුරතල් සතුන්ගේ ආහාර වෙළෙඳසැලකි. අමුතු එහෙත් අපූරු නමකි. "Pugzcy's Kitchen' යනු සුරතල් සතුන්ට පෝෂ්‍යදායී ආහාර විකුණන වෙළෙඳසැළකි. ක්‍රිෂානි සිනාමුසු මුහුණින් ඉන්නේ ඒ ගැන කීමටය.
12764816_10153638860484145_1775070639891027643_o
' අපි සුරතල් සත්තුන්ට පෝෂ්‍යදායී, ගුණාත්මක කෙටි කෑම විකුණනවා. මේවා ඔක්කොම හදන්නෙ ගෙදර. සාමාන්‍යයෙන් සුරතල් සත්තුන්ට දෙන කෑමවල ගුණාත්මක බවක් නැහැ. නමුත් ඒ කෑම දීමෙන් සත්තුන්ට ඉක්මනින් ම ලෙඩ වෙන්න පුළුවන්. විශේෂයෙන් ම බල්ලොන්ට ඉක්මනින්ම ආසාත්මිකතා වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ නිසාම අපි හදන කෑම ගැන අපිට සියයට සියයක් වග කියන්න පුළුවන්. මේවා ඔක්කොම පෝෂ්‍යදායී කෑම වට්ටෝරු. ඕර්ගනික් වර්ගයේ ආහාර. කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් අපි පාවිච්චි කරන්නෑ. ක්ෂණික ආහාර දීමෙන් අසරණ සත්තුන්ට කරන්නෙ ලොකු අසාධාරණයක්. ඒක පවක්. මගේ බලාපොරොත්තුව සුරතල් සතුන්ට පෝෂ්‍යදායී ආහාර වර්ග කන්න දෙන්න ඒ අයගේ අයිතිකාරයන්ට අනුබලයක් දෙන එකයි.'
ඇගේ වෙළෙඳසැල ආසන්නයේ කූඩු කිහිපයක ලූ වීදි සුරතලුන් රාශියකි. කැමැත්ත පරිදි මොවුන්ව හදා වඩා ගැනීමට ඕනෑම අයකුට ‍රැගෙන යා හැකිය. අර ඥාව් හඬ නැඟුණේ එයින් එක් කූඩුවකිනි. පුරු පුරු ගාමින් එකිනෙකාගේ ගෙළ වෙළෙන බළලුන් රාශියක් එහි සිට අවට බලා සිටිති. ඒ කිසිවකුගේ අවධානය තමන් වෙත යොමු වන තෙක්ය. නව නිවසක පදිංචියට යාමට ය.
යළිත් නුග ගස යටින් ගිටාර් නාදය සමඟ සෞම්‍ය ගී හඬක් නැඟී එයි. හැන්දෑව ඉර සමඟ පොර බදන්නේ කෙසේ හෝ ඉර එළිය පලවාහරින්නට විය යුතුය. නොහික්මුණ ත්‍රිකෝණ කොඩිවැල් එහේ-මෙහේ කැරකෙයි. නුග ගස හෙවනැලි තම බදෙන් ගලවා දමන්නට මෙන් අතු සොලවයි. කැරවෑනය සැර දමමින් තම එන්ජිම පණ ගන්වා ගත්තේ ගොරෝසු පිරිමියකු ගොරොද්දය අදින්නාක් මෙනි.
"හා...හා... දැන් යනවලා." කැරවෑනය ඊට හේත්තු වී හුන් අපිව බිම දැමූයෙන් කේන්ති ගත් අපි එන්නට ආවෙමු. කැරවෑනයකට මොන හයියක්දැයි අතර මඟදී සිතුවෙමු. කලම්බු හිපි මාර්කට් පළමු කථාංගය නිම වුණේ එලෙසින් නම් නොවේ. රාත්‍රිය තෙක් පැවැතුණු අපූරු සංගීත සාජ්ජයකිනි. කැරවෑනය අපිව තල්ලු කර දැමූ හෙයින් ඒ කිසිවක් නොදැන එන්න සිදු විය. එහෙයින් සියලු වරද කැරවෑනය අතය. සංතුෂ්ටිය තරමක් ගැඹුරුය. මුහුද මෙන් ‍රැළි නඟන සුළුය. ඒ මඟ හැරියේ නම් ඔබ, වෙරළ දැක, දැක ඊට නොබට අවාසනාවන්තයෙකි.
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය : http://epaper.dinamina.lk/?id=39&tday=2016/03/0

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "නාගරික චූල සංස්කෘතියේ අලුත් මුහුණ | Colombo Hippie Market"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com