වෙනම සාහිත්‍යාලංකාරයක් ඉපැදවූ GLF

12484787_10207719939410057_2823004605530550660_o
සමර ගෑ බිත්ති මත උදෑසන අව්ව ඇලවී සිටියෙන් ඒ මත සෙවනැලිය. ගාල්ල කො‍ටුව ඇතුළත උදෑසන මහත් කලබල ය. ජේත්තුවට ඇඳගත් මනාල යුවළ එකිනෙකා ලුහුබඳිමින් ෆොටෝ අල්ලනු පෙනේ. ඒ මැද ධාවනය වන මොරිස් මයිනර් රථය. ගාල්ල කො‍ටුවෙන් ඇතුළුව වීදි පසු කර, විශාල නුග ගස් පසුකර එක් වම් නැම්මකි. දකුණත් නැම්ම ‍රැජින පාරට ය. වම් නැම්ම දිගේ සමුද්‍ර කෞතුකාගාර ගොඩනැඟිල්ලය. ඉනුත් මදක් ඉදිරියට ගිය තැන ‘ගෝල් ඩි ගෝල්’ ශාලාවය.
පැ‍රැණිකම සඟවාගෙන ඇතුළත කො‍ටු පවුර යට හෙවණ තපින්නට ආ ක්‍රීම් පැහැ ත්‍රීවීලරයකි. එතැනින් උඩට නඟින්නට තරප්පු පේලියකි. පාමුල දම්වැල් ලූ බයිසිකලයකි. හාත්පස පරිසරය විසින් ඔබව නොමඟ යවන විටම වම් පස නැවතූ කැරවෑන් රථයකි. ඉන් ඔබ්බෙන් ගාලු සාහිත්‍ය උළෙල ගැන කියැවෙන බැනරය. දැන් සිහි එලවා ගැනීම පහසුය. සෙස්ස අතහැර ත්‍රිකෝණ කොඩිවැල් සහිත සියඹලා ගස යට සංවාදයට සහභාගි වීම මනාය. ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල වෙනම සාහිත්‍යාලංකාරයකි. ඊටම අනන්‍ය උප සංස්කෘතියක් සමඟ පෙනී සිටින හෙයින් වෙනම වටහා ගැනීම සුදුසුය.
07 වැනි ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව චූල සාහිත්‍ය උත්සව ද්විත්වයක් යාපනය සහ නුවර ආශ්‍රිතව පැවැත්වුණි. මේ සාහිත්‍ය උළෙලේ වැදගත්ම අංගය වන්නේ ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය සහ ඩී.එස්.සී. ත්‍යාගයයි. එමෙන්ම අලුතින් ලබා දෙන ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය යනු දේශීයව මෙතෙක් ලබා දී තිබෙන වඩාත්ම වැඩි මුදල් වටිනාකමක් සහිත සාහිත්‍ය ත්‍යාගයයි. එසේම 2016 උත්සවයේ නාම අනුග්‍රහය ලබා දුන්නේ ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.
12471806_10207719942610137_8995740948201435907_o
මෙවර ගාලු සාහිත්‍ය උළෙල ඇ‍රැඹුණේ ජනවාරි 08 වැනිදායිනි. ඒ නුවර සාන්ත පාවුළු දේවස්ථානයේ පැවැති සංගීත සැදෑවකිනි. ප්‍රකට පියානෝ වාදන ශිල්පියකු සහ සංගීතඥවරියක වන සවුන්දරී ඩේවිඩ් සහභාගී වූ මේ සන්ධ්‍යාව සමඟින් සාහිත්‍යාලංකාරය ඇ‍රැඹුණි. එදින උදෑසන 9.30-10.30 සිංහල කවිය ගැන සුනන්ද කරුණාරතන, ඉසුරු චාමර, ටිම්රාන් කීර්ති ආදී කවීන් සමඟ සංවාදයකි. ප්‍රකට ප්‍රබන්ද කතා රචකයකු වන සෙබස්තියන් ෆෝක්ස් සමඟ ‘තින්කින් අවුට් ලවුඩ්’ නම් සංවාද තීරුව ඊළඟටය. ජනවාරි 13 වැනිදා මේ උළෙලේ දිගුව ගාල්ලේදී ඇ‍රැඹුණි.
මේ කතා කෙරෙන්නේ ජනවාරි 15 වැනිදා උදෑසන මාධ්‍ය දිනයෙන් ඇ‍රැඹි සංවාද සහ සිදුවීම් සමූහයක් පිළිබඳය. ඒ හා බැඳුණු තැන් සහ සැරිසැරූ මිනිසුන් ගැනය. සාගර කෞතුකාගාරයේ ඉන්දියානු ලේඛිකා අනුරාධා රෝයි ය. ඒ, ‘ස්ලීපින්ග් ඔන් ජුපීටර්’ අතැතිවය. 2015 මෑන්බුකර් සම්මානය සඳහා දිගු නිර්දේශ ලැයිස්තුවට ඇතුළත් වූ මේ නවකතාව වත්මන් සමාජයේ ආගම, ආදරය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මායාමය කතාන්දරයකි.
ලී තරප්පු සහ ලී පොළොවක් සහිත සාගර කෞතුකාගාරය අවට විසිරී පවතින සහසක් දේ යළිත් මගේ අවධානය අවුල් කර දමයි. ආසන්නයේ ඇති පැ‍රැණි නුග ගස සෙවණේ කොලු, කුරුට්ටන් ක්‍රිකට් ක්‍රීඩාවේය. ඒ වට රවුමේ බයිසිකල් පදින දෙස්-විදෙස් පිරිසකි. උසාවිය ඉදිරිපිට ලී බංකුවක අසුන්ගෙන පොතක් කියවන කාන්තාවකි. ඕ ගාලු සාහිත්‍ය උළෙල ගැන කුහුලෙනි.
‘මොකක්ද මෙතන තියෙන්නේ? පොත් විකුණනවද? හරි සෙනඟක් ඉන්නවා නේද?’
12471337_10207719937850018_3998458555814667076_o
‘මොකද මෙතන කරන්නේ? උසාවියෙද වැඩ කරන්නේ?’
ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් පිළිතුරු දීමෙන් එක් පාර්ශ්වයකටවත් පිළිතුරක් උපයාගත නොහැකිය. ඈ පරාජය විය.
‘මගේ මහත්තයා උසාවියේ වැඩ කරන්නේ. එයා එනකන් මං මෙතනට වෙලා පොතක් කියවනවා.
‘හැබෑට මොකක්ද අතන වෙන්නේ? ලොකු උත්සවයක්ද? සිංහල පොත් එහෙම විකුණන්න තියෙනවද?’
‘ඒක තමයි ගාලු සාහිත්‍ය උත්සවය කියන්නේ. සිංහල පොත් විකුණන්න නැහැ. ඉංග්‍රීසි පොත් නම් විකුණන්න තියෙනවා.’
12473870_10207719933729915_8858979205532637438_o
කුඩා ලී කැබැල්ලකට ස්වීප් ටිකට් අමුණාගෙන නුග ගස හෙවණේ එහා-මෙහා ඇවිදින කාන්තාවකි. වෙහෙසකර වූත්, ශෝකී වූත් ඇගේ මුහුණේ බලාපොරොත්තුවකි. ඇඟිලි අතර සංවර්ධන වාසනා ටිකට් පත් කිහිපයකි. 45 හැවිරිදි ඈ ඒ.ජී.එල්.ලලිතා ය. කතාවට එළැඹියේ මහත් ප්‍රබෝධයෙනි.
‘මාස 08ක් තිස්සේ ඉඳන් ස්වීප් විකුණනවා. මීට කලින් මං හෝටලේක වැඩ කළා. එතන සේවකයෝ වැඩියි කියලා අයින් වෙන්න වුණා. ඊට පස්සේ තමයි ස්වීප් විකුණන්න පටන් ගත්තේ. ඒත් මේ රස්සාව හරි පාඩුයි. දවසක ආදායම රුපියල් 200ක් වගෙයි. සමහර දවස්වලට රුපියල් 100ත් හම්බ වෙනවා. මේකෙන් හම්බ වෙන කොමිස් එක අඩුයි. කවුරුහරි වැඩිපුර කීයක් හරි දීලා ගියොත් වැඩිපුර ගාණක් හම්බ වෙනවා. ඒක ඉතිං හැමදාම වෙන්නෙ නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ ආදායමෙන් ජීවත් වෙන්න අමාරුයි. වෙන රස්සාවක් කරන්න තරම් ඉගෙනගෙනත් නැහැ. ඒත් වෙන රස්සාවක් හම්බ වෙයි කියලා හිතේ තියාගෙන මේක කරගෙන යනවා’
ඈ අව්වට මුවා වෙන්නට අත්ල තබාගෙන මා හා සිනාසෙයි. ඒ සා කරදර මැද ඈ සිනාසෙන හැටි පෙනෙන විට කොහෙන්දෝ රිඳුමක් නැඟී එයි.
නුග ගස රවුමේ ත්‍රීවීල් සාමුහිකයකි. එම්. බී. සමන් ඉන්නේ ත්‍රීවීලරයට වාරුවීගත් ගමන්ය.
‘මට වයස අවුරුදු 48යි. මං මෙතන ඉන්නේ 1980 වගේ ඉදන්. ඉස්සර වගේ නෙවෙයි දැන් ගාලු කො‍ටුව ඇතුළට සෙනඟ ගොඩක් එනවා. ඒ නිසා ආදායම හොඳයි. සෙනසුරාදා, ඉරිදා, පෝය වගේ දවස්වලට සෙනඟ වැඩිපුර එන නිසා ආදායම සරුයි. මෙහෙම ෆෙස්ටිවල් තියෙනකොට නම් වැඩිපුර හොඳයි. එදාට හයර් වැඩියි. කොහොමත් මේ ලැබෙන ආදායම නම් හොඳටම ඇති ජීවත් වෙන්න.
කො‍ටුව ඇතුළේ පාරවල් අලුතෙන් හදලා තියෙනවා, අලුතින් හෝටල් දාලා තියෙනවා. ඒ නිසා විදේශිකයෝ එනවා සෑහෙන්න වැඩියි. කො‍ටුව එක්සත් ත්‍රීරෝද රථ සංගමය කියලා අපි සමිතියක් පිහිටවගෙන තියෙනවා. ඒකෙ සාමාජිකයෝ 82ක් ඉන්නවා. ඒ සමිතියෙන් අපි සමාජ සත්කාර කරනවා. අවුරුද්දකට පාරක් ධර්ම දේශනාවක් පවත්වනවා.’
12474102_10207719928889794_6397174834204355253_o
11.00-12.00 දක්වා හෝල් ඩි ගෝල් හි අමිතාව් ගෝෂ් ගේ ඉබිස් ත්‍රිත්වය පිළිබඳ සංවාදයකි. සාගර කෞතුකාගාරයේ ඒ මොහොතේම තවත් සංවාදයකි. ඒ ප්‍රකට නවකතාකරුවකු වන මාක් ටලි සමඟය. එළිමහන ගිනි ගන්නා අතර වීදි අතර ඇවිදීමෙන් අධික දාහය ඔබ උමතු කරයි. කළාල එලූ, බීන් බෑග් ආකාරයේ සැහැල්ලු කොට්ටා තැබූ සියඹලා ගස යට හාන්සි වීම හොඳම පිළිතුරයි. තැන තැන කමින්, බොමින්, පොත් කියවමින් දවස ගත කරන ජනතාවකි. තැනක නොමිලේ තේ සපයන ඩිල්මා කවුන්ටරකි. දාහය මට්ටු කරන අයිස් ටී ද එතැන සූදානමිනි. දාහය මට්ටු නොවුණහොත් විසාල පෙට්ටියක අයිස් සමඟ බහාලූ තැඹිලිය. ඊට ඔබ්බෙන් එලවලු රොටීය. කොත්තුය. පැටිස් සහ නොයෙක් අවුළුපත්ය.
හදිසියෙන් එහා-මෙහා දුවන ලේඛකයන්ය, ලේඛිකාවන්ය. ඉනුත් ශ්‍යාම් සෙල්වදොරෙයි ය. විසාකේස චන්ද්‍රසේකරම් ය. සොනාලි දැරණියගල ය. ශෙහාන් කරුණාතිලක ය. පාඨකයන් සමඟ ඔවුන්කෙටි සංවාදවලය. ඉඳහිට කෙනෙකු අත්සන යොදන මෙන් නවකතා ආදිය ඉදිරිපත් කරනු පෙනෙයි.
දහවල් 12.15 සිට 2.00 වන තෙක් හෝල් ඩි ගෝල් හි විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘ෆ්‍රැන්ජිපානි’ සිනමාපටයේ දර්ශන වාරයකි. සිනමාපටයට පෙර කෙටි හැඳින්වීම ශ්‍යාම් සෙල්වදොරෙයිගෙනි. එහි දිගුව විසාකේස චන්ද්‍රසේකරම්ගෙනි. ශාලාව ඇල්පෙනෙත්තක් බිම වැටෙන තෙක් නිහඬතාවයකිනි.
12469377_10207719916009472_5314267272355868174_o
සවස 3.45-5.00 තෙක් ‍ෆියෝනා ෂෝ සහ මෝනා ආශිගේ තේ සහ කවි ය. සියඹලා ගස යට වෙනත් සමාගමයකි. වයස්ගත පිරිමි කිහිප දෙනකු සහ ගැහැනු කිහිප දෙනෙකු වයින් බොමිනි. වයස්ගත පිරිමියකු ගිටාරයක් වයනු පෙනෙයි. ඒ අසල තරුණයන් කිහිප දෙනෙකු අලස සුවයෙන් වැතිරී කවි පොතක් කියවනු පෙනෙයි. අයකු බිමට හිස නවාගත් වනම කුමක්දෝ ලියනු පෙනෙයි.
මේ සියල්ල අතරතුර තැඹිලි පුරවාගත් බයිසිකලයක් හෝල් ඩි ගෝල් වෙත පිවිසෙන දොර‍ටුව ඉදිරිපස තිබූ බව අමතක කළ නොහැකිය. දීප්තිමත් කහ ටී ෂර්ටයක් ඇඳ සිටින කීර්ති 40 හැවිරිදිය.
‘මම හබරාදූවෙ ඉදන් තමයි මේ තැඹිලි ගේන්නේ. හැමදාම එක වගේ ආදායමක් නැති වුණාට මේ ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන්. වෙනදට මං වැල්ල හරියෙ උන්නේ. අද මෙතන උත්සවයක් තියෙන නිසා මෙතනට ආවා. එහෙම දවසට ආදායම ටිකක් වැඩියි. රස්නෙ නිසා ගොඩක් අය තැඹිලි බොනවා.
දැං අවුරුදු 20ක් තිස්සේම ඉතිං මේක තමයි රස්සාව. හැබැයි සුනාමියෙන් පස්සේ ඔක්කොම වෙනස් වුණා. ඊට පස්සේ කො‍ටුව ඇතුළ සෑහෙන්න සංවර්ධනය කළා. ඒකෙන් ඉතිං අපිට හොඳක් වුණේ. විදේශිකයෝ එන ප්‍රමාණෙ වැඩි වුණා ඊට පස්සේ.’
කුඩා වීදි පුරා නිදහසේ සැරිසරන සාහිත්‍ය ලෝලීන් අතර විදේශික මුහුණු රාශියකි. බොහෝ දෙනෙකු ගාලු සාහිත්‍ය උළෙල ගැන අදහස් කීම පසෙක ලා දාහයෙන් ගැලැවීමට දුවයි.
සවස 5.30-6.30 තෙක් පැවැති ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ 2016 ප්‍රශස්තම නවකතාව ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය ‘මහාසාමි’ කෘතිය වෙනුවෙන් සේපාලි මායාදුන්න හිමි කර ගන්නා ලදී. හොඳම ඉංග්‍රීසි නවකතාව සඳහා සම්මානය ‘ඉට්ස් නොට් ඉන් අවර් ස්ටාර්ස්’ වෙනුවෙන් රිස්විනා මෝසෙත් ඩි. අල්විස් සහ ‘රේල්ස් රන් පැරලල්’ සඳහා අයතුරායි සාන්තන් දෙදෙනාට පිරිනමන ලදී. මේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අතින් ඔවුන් සම්මාන දිනා ගන්න ලදී.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් 2014/2015 වර්ෂවල ප්‍රකාශයට පත් වූ නවකතා 89ක් අතරින් මේ ‍තෝරා ගැනීම සිදු කරන ලදී. ෆෙයාර්වේ සාහිත්‍ය දිරිගැන්වීමේ සම්මානය ‘පර්ල් ඔෆ් ද තෲත්’ කෘතිය වෙනුවෙන් සජානි සේනානායක හිමි කර ගනු ලැබීය.
12473877_10207719909969321_7923919415005221979_o
ජනවාරි 16 වැනි සෙනසුරාදා 9.00-10.30 තෙක් සාගර කෞතුකාගාරයේ පැවැති ‘කොමඩි ඇන්ඩ් කොමික් රයිටින්’ සංවාදය පැවැතියේ සෙබස්තියන් ෆෝක්ස්, ශෙහාන් කරුණාතිලක සහ චිමී ටෙන්ඩෆ් සමඟිනි. චයිනමන් නවකතාව හා සබැඳි පසු කතාන්දර සහ ප්‍රවාද සමඟ කොමික් රචනා පිළිබඳ කෙරුණු මේ සංවාදය ශාලාවේ අසුන් පුරවා දැමූවකි. 10.00 සිට 11.00 තෙක් ගෝල් හෙරිටේජ් විලා හි පොයට්‍රි ෆාමසියකි. ප්‍රශ්නවලට කාව්‍යමය බෙහෙත් වට්ටෝරු ලබා දෙන මේ අපූරු පොයට්‍රි ෆාමසිය පවත්වාගෙන යනු ලැබූයේ විලියම් සීග්හාර්ට් විසිනි.
යළිත් සියඹලා ගස යටට මා යොමු කළේ සජීවී ගායනයකිනි. ඒ ටී.එන්.එල් රේඩියෝවෙනි. ‘යූ ආර් මයි සන්ෂයින්’ යැයි ගැයෙන්නේ වෙනත් තාලයකටය. ඒ ඉමිහිරිය. දහවල් 11.00-12.00 දක්වා සොනාලි දැරණියගල ‘වේව්’ නවකතාව සමඟ හෝල් ඩි ගෝල් හි සංවාදයකි.
සවස 4.00-5.00 දක්වා හෝල් ඩි ගෝල් හි ස්වයංලිඛිත චරිතාපදාන ඇසුරින් නවකතා ලිවීම පිළිබඳ සංවාදයකි. ඒ ප්‍රකට ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයි සහ සොනාලි දැරණියගල සමඟය. වඩාත් හෘදයාගම වූ මේ සංවාද තීරුව ෆනී බෝයි, ද හන්ග්‍රි ගෝස්ට් සහ ස්විමින් ඉන් ද මොන්සූන් සී ආදී කෘති හරහා සොනාලි දැරණියගලගේ වේව් වෙතත් යළි ෆනී බෝයි වෙතත් දෝලනය විය. ශ්‍යාම් සෙල්වදුරෙයි ට අනුව ඔහු වඩාත් සැලුණේ සමකාමී බව ගැන ලිවීම පිළිබඳ නොවේ තම කෘතියේ සෙසු චරිත හැසිරවීම ගැන බවයි. සොනාලි දැරණියගලට අනුව ඈ තමාට කීමට ඇවැසි කතාව කීවා පමණි. මනසින් කුඩු පට්ටම් වෙමින් ,මතක සමඟ පොර බඳමින් කළ ඒ ලිවීම ශෝකී තරමට ම අසීරුය.
සාහිත්‍යයේ වෙනත් රසක් සමඟ සමර ගොඩනැඟිලි අතර සැරිසැරූ දින දෙකක් නිමා වන්නේ හදිසියේමය. ආපසු යාම වලකන ඉමිහිරි සංගීතයත්, තේ කොළ සුවඳ ඉහිරවන ඩිල්මා තේ කවුන්ටරයත් ‘කෝ එන්න’ කියා අතින් අදියි. බෙයාර්ෆුට් පොත් විකුණුම් මධ්‍යස්ථානය පොත් කවර පෙන්වමින් අලුත් පොත් සුවඳක් එහේ-මෙහේ හමා යවයි. ඒ අතර නවකතාකරුවන්, කවියන් සහ සාහිත්‍යකාමීන් කකුල් පිට කකුල් දමාගෙන ද, එරමිණියා ගොතාගෙන ද කළාල මත ය.
ගාලු සාහිත්‍ය උළෙල ඇසුරේ හැදී වැඩෙන නව සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳ යළිත් මා සැලකිල්ලෙනි. ඒ තවත් නව වසරක සාහිත්‍ය සිහින දකිනු රිසියෙනි.
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය :bit.ly/1SnfoTx

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "වෙනම සාහිත්‍යාලංකාරයක් ඉපැදවූ GLF"

  1. නුවර කුමාරි
    04/03/2016 at 9:34 am Permalink

    රසවත් සටහනක්

  2. බොහොම ස්තූතියි නුවර කුමාරි.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com