මං වැඩිපුරම ලිව්වේ මහා ජීවන අරගලයක් මැද්දෙයි -අනීතා දේසායි

Desai, Anita
කුඩා දරුවකු ලෙස අනීතා දේසායිට වුවමණා කළේ තමන් ලියූ පොත් ගෙදර පොත් රාක්කයේ තිබෙනවා දැකීමටය. නිකොලොයි ගොගොල්, ‍තෝමස් හාඩි සහ වර්ජිනියා වුල්ෆ්ට ආසන්නයෙන් අනීතා දේසායි ගේ ද පොත් කිහිපයක් තිබෙනවා දැකීමය. මේ පොත් කිහිපයේ සිහිනය මේ වන විට කෘති 18ට අයිතිවාසිකම් කියයි. බුකර් සම්මානය සඳහා ඇගේ කෘති තෙවතාවක්ම නිර්දේශ විය. 1978දී සාහිත්‍ය ඇකඩමි සම්මානය දිනා ගන්නා ලදී. 'ද විලේජ් බයි ද සී' වෙනුවෙන් බ්‍රිටිෂ් ගාර්ඩියන් සම්මානය ද දිනා ගන්නා ලදී.
මේ, ජෝෂුවා බාන්ස් විසින් සැම්ප්සෝනියා වේ වෙබ් අඩවියට අනීතා දේසායි සමඟ කළ සාකච්ඡාවකි පරිවර්තනයකි.

*ඔබ ලේඛිකාවක් බව දැනගත්තෙ කොහොමද?

බොහොම කුඩා කාලෙ ඉඳන්ම මම දැනගෙන හිටියා මොනවද කරන්න ඕනා කියලා. කොටින්ම කියනවා නම් මම කතා කරන්න පටන් ගත්ත කාලෙන් ඉඳන්ම අකුරු ශබ්ද කරනවා වෙනුවට වචන කියලා. අනිත් එක අපේ ගෙදර සෑහෙන්න පොත් තිබුණා. පවුලේ හැමෝම මේ පොත කියවන එක පුරුද්දක් වෙලා තිබුණා. ගෙදර මුල්ලකට වෙලා කුරු‍ටු ගාන එක තමයි මං වැඩිපුරම කරලා තිබුණේ. ඒ නිසාම පොඩි කාලෙ ඉඳන්ම ගෙදර සාමාජිකයෝ මට කියලා තියෙන්නෙ 'ලේඛිකාව' කියලා.

මම මුලින්ම යමක් ලියලා මුද්‍රණය වුණේ අවුරුදු 09දී. ඒක ළමා සඟරාවකට ලියපු ඉතාම කුඩා ලිපියක්. ආපස්සට හැරිලා හිතනකොට මට මං ගැන සතුටක් දැනෙනවා. මොකද ඉතාම පොඩි දේවල්වලින් සතු‍ටු වෙලා ඉන්න මං පුරුදු වෙලා හිටියා. මට කියවන්න පුළුවන් වීම ගැනයි මුලින්ම සතු‍ටු වුණේ. ලියන්න ලැබුණ එක දෙවැනුව ආපු කාරණාවක්. කුඩා ළමයෙක් විදිහට සඟරාවලට සහ පුවත්පත්වලට ලියලා ලැබෙන සල්ලිවලින් පොත් ගන්න එකයි ඒ කාලෙ මගේ එකම සතුට වුණේ.

*ලිවීම පටන් ගත්ත කාලෙ ඔබ කියවන්න ප්‍රිය කළේ මොන වගේ පොත්ද?

මම වැඩිපුරම ප්‍රිය කළේ වර්ජිනියා වුල්ෆ්, ඩී.එච්.ලෝරන්ස්, ‍තෝමස් හාඩි වගේ අයගෙ පොත් තමයි.ඒ අතරේ රුසියානු ලේඛකයන්ගෙ පොතුත් කියෙව්වා. මිනිස්සුන්ගේ හිතේ ඇතුළ ස්පර්ශ කරන්න පුළුවන් තාලෙ ලිවීමක් කරන්න පුළුවන් අය ඉන්නවයි කියලා දැන ගත්ත එක තමයි ඊළඟ සතුට වුණේ. විශේෂයෙන්ම පියදෝර් දොස්තොවුස්කි, ලියෝ ‍තෝල්ස්තෝයි වගේ ලේඛකයෝ ළඟ තිබුණ අසීමාන්තික අත්දැකීම් සම්භාරය මාව මුසපත් කළා. මේ සියල්ල අතරේ මං වැඩියෙන්ම ප්‍රිය කළේ නිකලොයි ගොගොල්ට. ඔහු ලියපු සමහර කෙටිකතාවලට සමාන කරන්න තරමට හොඳට ලියන්න කිසිම දවසක කාටවත් බැරි වෙයි කියලයි මට හිතෙන්නේ. ඔහුගේ රචනා ශෛලිය හරිම අද්භූතයි. මුලා කරවන සුළුයි. ඒ වගේම අතිශය කුතුහලාත්මකයි.

anitha
*ලිවීමට පටන් ගත්තට පස්සෙ ඔබත් නිශ්චිත දින චර්යාවක් අනුගමනය කරනවද?

පොතක් ලිව්වත්, නොලිව්වත් මං හැම උදේකම පැය තුනක් විතර මගේ ලියන මේසෙ වාඩි වෙලා ඉන්නවා. මං හැම තිස්සෙම කියන්නෙ මුල්ලකට කරලා තියෙන මේසෙකුයි, පු‍ටුවකුයි විතරක් මට ඇති කියලයි. හැබැයි ඒ මුල්ලෙ ජනේල් සහ ලස්සන භූමි දර්ශනයක් එහෙම තියෙනවා නම් වැඩිය කැමතියි. ඒ කොහොම වුණත් මම ලියන්න ගත්තම වෙන කවුරුත් ළඟ ගැවසෙනවට නම් කැමති නෑ. මට තනියෙම ලියන්නයි ඕනා. සාමාන්‍යයෙන් කොළවල පෑනකින් ලියන්නයි මං කැමති. පරිගණකයෙන් ලියන්න ගන්නෙ ඊළඟට. කොහොමත් ඒ ක්‍රමය නිසා ඉබේම සංස්කරණයත් වෙනවා.

*ලිවීමේදී ඔබ අනුගමනය ක්‍රමය පැහැදිලි කරන්න පුළුවන්ද?

හැම පොතකම ලියන්න පටන් ගන්න් ඡේද කිහිපය හරිම ප්‍රමෝදාත්මකයි. ඒක නිකං මාවම ඇතුළට උරා ගන්නවා වගේ හැඟීමක්. ඒත් එක්කම සුළු බයකුත් ඇති වෙනවා. මම යන්නෙ කොහෙද කියලා දන්නෙ නැහැ. කොහෙන් නතර වෙයිද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම මේ ලියන එක හරියටම හරි යයිද කියලා මම දන්නෙත් නැහැ. එහෙම වුණාම තමන් එක්කම සටන් කරමින් සෑහෙන කාලයක් මං ගත කරනවා. ඇත්තම කිව්වොත් මේ අවදිය තමයි පහු කරගන්න ඉතාම අමාරු. හැබැයි බොහොම උනන්දු කාලයත් ඒකම තමයි.
ඊළඟට කතාව වෙනමත්, චරිත වෙනමත් දෙපැත්තකින් තියලා වෙන්න පුළුවන් දේවල් ගැන හිතනවා. එතකොටයි වැරදෙන්න පුළුවන් තැන් මට පේන්න ගන්නේ. ඒ වගේමයි නවකතාවක් ලියන්න කලින් ඒ ගැන පර්යේෂණත් කරනවා.

desai_main_1980580f
*ඔබටත් නවකතාව සංස්කරණය කිරීමට කර්තෘවරයෙක් ඉන්නවද? ඔබේ ලේඛන ජීවිතයේදී හමු වුණ, වැඩ කළ කර්තෘවරු ගැන මොකද හිතන්නේ?

මං ලියන්න පටන් ගන්න කාලෙ එහෙම කිසි දෙයක් ඉන්දියාවෙ තිබුණේ නෑ. ඒ වගේමයි ප්‍රබන්ධ සම්බන්ධයෙන් තවත් කවුරුත් මැදිහත් වෙන්න ඕනා කියලා මං හිතුවෙත් නැහැ. මොකද මේ කතාව ලියන්නෙ මම නම් ඒක හරියට ලිවීම මගේ වගකීමක් වෙන නිසා. මං ලියන දේවල් වෙන කෙනෙකු දකිනවට ඒ හැටි කැමැත්තකුත් නෑ. ඒ ගැන මට බයක් තිබ්බේ. මොකද ඒ අයගෙ විවේචන නිසා මම ලියාගෙන යන දේ වෙනස් වෙනවට අකමැත්තකින් මං උන්නේ.
වෙනත් කෙනෙකුට වුවමණා විදිහට නැවත් ලිවීම ගැන ඒ හැටි පැහැදීමක් නෑ. එහෙම තමයි මීට කලින් මගේ ලිවීම සම්බන්ධයෙන් වෙනත් අය මැදිහත් වෙන එක ගැන මං හිතුවේ. නමුත් දැන් මගේ ප්‍රකාශක සමාගමේ කර්තෘ තමයි මුලින්ම මම ලියන දේ කියවන්නේ. සමහර විට ඒ අයගේ අදහස් නිසා සියල්ල වතුරේ යන්නත් පුළුවන්. නමුත් මේ තාක්කල් මට වැඩ කරන්න ලැබුණු කර්තෘවරු සියල්ලම ඉතාම සුහදශීලී සහ නිර්මාණශීලී අය. ඒ නිසා මගේ බයට වැඩිදුරක් යන්න වුවමණා වුණේ නෑ. ඒ ප්‍රශ්නෙ බොහොම හොඳට විසදුණා.

*කවදා හරි දවසක ලිවීමට නොහැකි වීමේ බාධාවකින් පෙළිලා තියෙනවද?

අපොයි ඔව්. ඒකට ප්‍රතිකර්මයක් මමම හොයා ගත්තා. වැඩියෙන්ම කියවන්න කැමති පොතක් නැවත කියවන එක තමයි ඒකට හොඳම පිළියම. සමහර විට ගොඩාක්ම ඈත කාලෙක කියවපු පොතක් වෙන්නත් පුළුවන්. වර්ජිනියා වුල්ෆ්ගේ '‍ටු ද ලයිට් හවුස්' හරි කවි පොතක් හරි වෙන්න පුළුවන්. කවි පොත් තමයි මේ වැඩේට හොඳම. මොකද කවියො තමයි වචන එක්ක සෙල්ලම් දාන්නේ. ඒ අයට පුළුවන් එක වචනෙකින් නවකතාවක එක ඡේදයක දේවල් කියන්න.

2553453
*ලිවීම පටන් අරගෙන වසර 20ක් ඇතුළත වගේ නේද ඔබ ලියූ හොඳම පොත් ලියැවුණේ? දරුවන් හතර දෙනෙක් උස්මහත් කරමින්, පවුලේ වැඩකටයුතු කරන අතරතුර නේද ඔබ වැඩිපුරම ලිව්වේ. ලිවීමට වඩාත් හොඳ ශාන්තව ගත කරන කාලයක්ද එහෙමත් නැත්නම් ආතතියක් සහිත වීමද?

මං හැම තිස්සෙම ලිව්වෙ ආතතියක් සහ අධික කාර්යබහුල වටපිටාවක ඉදගෙනයි.  ආතතියක් සහිත වීමෙන් මගේ ලිවීමට ආවේශයක් ලැබෙනවා. දැඩි ඒකාග්‍රතාවයක් ලැබෙනවා. ඒක හරිම කුතුහලාත්මකයි. නමුත් මං වැඩිපුරම ලිව්වේ මහා ජීවන අරගලයක් මැද්දෙයි. දරුවො ලොකු මහත් වෙන්න පටන් ගත්තම ඒ අයට අවධානය නොදීම ගැන වරදකාරී හැඟීමක මාව පැටලුණා. ඊට පස්සෙ ප්‍රමාණාත්මකව මගේ ලිවීම අඩු වුණා.

*ඉන්දියාවේ ඔබට අත් හරින්නට බැරි, ශෝකී හැඟීමක් ඇති කරන යමක් තියෙනවද?

මම කැමතියි ඉන්දියාවෙ ජීවත් වෙනකොට දැනෙන කාලය පිළිබඳ හැඟීමට. ඔබ ඉන්දියාවෙ ජීවත් වෙන්න පටන් ගත්තම වෙලාව ගතවෙන්නෙ ඉතාම හෙමින්. හැමෝම තමන්ගෙ අතීතෙ ගෑන පුදුම විදිහට හිතන්න ගන්නවා. අතිශය නාගරීකර්ණය වෙච්ච මුම්බායේ පවා එහෙමයි. සියල්ල අලුතින් ඉදි කරලා වගේ පෙනුණට පරණ දේවල් උඩයි මේ අලුත් දේවල් ඉදි කරලා තියෙන්නේ කියලා ඔබට දැනෙන්න ගන්නවා.
හැම වෙලාවකම අතීතෙ ඔබේ පස්සෙන් එන ගතියක් තියෙනවා. ඒ වගේමයි මිත්‍රත්වය වෙනුවෙන් ඕනෑ තරම් වෙලාවක් ඉන්දියාවෙ තියෙනවා. ඒ නිසාම මං මෙක්සිකෝවෙ ඇවිදින්න නිතර යනවා. මං අර කලින් කියපු අමුතු ඉන්දියානු ගතිය මට මෙක්සිකෝවෙදිත් අහු වෙනවා.

පරිවර්තනය
කාංචනා අමිලානි
www.sampsoniaway.org

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "මං වැඩිපුරම ලිව්වේ මහා ජීවන අරගලයක් මැද්දෙයි -අනීතා දේසායි"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com