විකල්ප සාහිත්‍ය සයුරේ ගාලු කැළැඹීම

15965788_10210847945528255_5292455304350740747_n_edited
කල් වේලා ඇතිව ගියෙන් වෙනදා නොයන ප‍ටු පාරකින් මෙවර ගාලු කො‍ටුවට ඇතුළු වුණෙමි. සීතලය; මද පින්නක් සහිත සුළඟ ය; සමර ගොඩනැගිලිවල තැවරෙන්නට බලා සිටින උදෑසන අව්ව ය; මම ය. බයිසිකල්වලින් මන්දගාමී ගමනින් පාතරාසය ගෙනෙන්නට බේකරියට යන අය ය. පාට සිලි උරවල පාන් ඇතුළු වෙනත් සුළු කෑම ලාගෙන නැවත ගෙදර යන අය ය. ඒ අතර විදේශිකයෝ ද කිහිප පොළකි. අයකු ප‍ටු පාර අසල සුඛෝපභෝගී තේ හලකින් තේ කෝප්පයක් ගෙන තේ හල ඉදිරිපිට හිටගෙන ම තේ බොයි. නිදිමත රේඛා මඟ හරිමින් හේ දුම් වැටියක් දල්වන්න තතනයි. දැන් මම ලේන් බාන් වීදියේ ය. එතැනිනුත් නොම්මර 68 ළඟ ය. සිහින් දිගු ලී පටියක කළු තීන්තෙන් පින්තාරු කළ ඒ නම සමඟ සබැදෙන වෙනත් නම් ද බොහොමයකි. මම උදෑසන කිස අමතක කොට ලේන් බාන් වීදියෙන් හැරී යළිත් ගාලු කො‍ටුව තුළට වන්නෙමි.

IMG_2279_edited

උසට උසේ හිටගෙන ඉන්න කොඩි කණු එල්ලාගෙන උන්නේ ‘ගාලු සාහිත්‍ය උළෙලේ’ බැනර් ය. නිල් පසුබිමේ සුදෙන් කුකුළෙකි. ඒ යට කො‍ටුවක ‘ෆෙයාර්වේ ගෝල් ලිට්‍රිචර් ෆෙස්ටිවල්’ යන්න අවධාරණය කර ලියූවකි. ඒ 13 වැනි සිකුරාදා උදැහැනැක්කයි. වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9.00ට ය. ඒ සා උදයක කුහුඹුවන් මෙන් වැඩසටහන් විස්තරය සහිත කුඩා අත්පොත අතැතිව දුවන්නෝ ය. සාහිත්‍ය ගැන මේ සා ප්‍රබෝධයක් තිබිය හැකිදැයි ඔබට ඕනෑ නම් දැන් මගෙන් අසන්නට පුළුවන. එහෙම ප්‍රබෝධයක් සහ ලාලසාවක් පසුගිය වසරේ ද ගාලු සාහිත්‍ය උළෙලෙන් මම දිටිමි. සාමාන්‍ය සාහිත්‍ය උත්සව සමඟ එන වචන කඩු, කිණිසි, ‍තෝමර සහ ක්ලේමෝ බෝම්බ නොපෙනුණ, අදාළ කටයුත්ත පමණක් ප්‍රධාන කරගත් මෙවන් සාහිත්‍ය සැනකෙළි අත්‍යවශ්‍ය සමයකය අප සිටින්නේ.
IMG_2040
හෝල් ඩි ගෝල් ශාලාව ඉදිරිපිට නවතා තිබුණු කැරවෑනයකි. ඒ බඳ වටා ඩූඩ්ල් ය. ඇතුළේ කට ඇරගෙන නිදන මිනිසෙකි. ඊට හූවක දුරින් කුඩා ඩීමෝ බට්ටෙක් ඇතුළත ක්‍රියාත්මක ජංගම කෑම කඩයකි. ගැහැනියක් ‘සූස්’ ගාමින් වතුර පැහෙන කේතලයක් ලිපෙන් බාගෙන තේ සාදයි. ‘ටක ටොක’ හඬින් කිරි තේ සාදන්නේ වූයෙන් එතැන ඉමිහිරි සුවඳ ගුලාවකි. අග්ගලා ද, හැලප ද, පෑන් කේක් ද, මාළු පාන් සහ බිත්තර පාන් මෙන් ම රෝල්ස් ද වූයෙන් කිරි තේවලට කැපෙන කෑම කුමක්දැයි කෙනෙකු සිතිවිල්ලේ ය. දැන් ඒ තේ සාදන්නීගෙන් ප්‍රශ්නයක් නාසා එතැන පහු නොකරන්න සිතන මගේ සිත ය.
‘බිස්නස් හොඳ ද?’
කලින් තේ බිව් දෙදෙනෙකුට ගණන් බේරන තේ සාදන්නිය කලබලයට පත්ව කෝප්පයට දමමින් හුන් කිරි තේ එක ඉහිරිවා ගත්තී ය. විළියෙන් සිනාසෙන්නී ය.
‘ඔව්. බිස්නස් නම් හොඳට ම හොඳයි. ගොඩක් සෙනඟ එනවනේ. ගාණත් වැඩි නැති නිසා අපේ කඩෙන් ගොඩක් අය කනවා. අනිත් තැන්වල ඉතිං ටිකක් ගණන් වැඩියිනේ.’
ඕ කලබලයෙන් මුත් කීවේ සීරියස් කතාවකි.

IMG_1621

‘හෝප් ඇන්ඩ් ෆ්රී අමන්ග් ඉන්දියාස් යන්ග්’ සංවාදය සෝමිනී සෙන්ගුප්තා සමඟ ය. හෝල් ඩි ගෝල් ශාලාවේ අඩකට වඩා සෙනග ය. ඒ උදෑසන 9.30 ටය. ඊට සමාන්තරව තවත් සංවාද ත්‍රිත්වයකි. ‍තෝරා ගැනීමේ පරාසය වැඩි හෙයින් අතරමං වූ මම, අවසන ‘තින්කින් අවුට් ලවුඩ් ‘ ‍තෝරා ගත්තේ කේට් ටෙම්පස්ට් කියන දේ දැන ගැනීමේ කුහුලෙනි.
1.00 ට ඉවුම්, පිහුම් සැසියකි. නම ද වතුර මෙන් ගලා යයි. ‘ද ආර්ට් ඔෆ් ද ටාට්’ ජේසන් ලිකර් විසින් පවත්වන පේස්ට්‍රි සෑදීමේ සැසියකි. මේවා මුදල් ගෙවා කලින් වෙන් කරවා ගත යුතු සැසිවාර ය. ගාලු සාහිත්‍ය උළෙලේ හැඩය සහ පැහැය වෙනස් යැයි මා කියන්නේ මෙවැනි මුසු කිරීම් හේතුවෙනි. මා වඩාත් ප්‍රිය කළ සංවාදය පැවැතියේ 11 ටය. ෆෙයාර්වේ පැවිලිනයේ ය. ‘බෑඩ් නිවුස්:ලාස්ට් ජර්නලිස්ට් ඉන් අ ඩික්කේටර්ෂිප් ‘ ලියූ ඉන්දියානු ලේඛකයා, අන්ජන් සුන්දරම් වන් වේ ටිකට්ටුවක් ගෙන හිතුමනාපේ කොංගෝවට ගිය මාධ්‍යවේදියෙකි. විනාඩි 45 ක සංවාදයක් සහ විනාඩි 15ක ප්‍රශ්න ඇසීමේ වාරයක් සමඟ මමත් ඔහු සමඟ ග්‍රෙනේඩ් පිපිරෙන රුවන්ඩානු වීදියක ගසක් මෙන් උසට, උසේ හිටගෙන උන්නෙමි.
‘ඔයාල සැපෙන් නිදියන්න; මම ඔක්කොම බලාගන්නම්’ කී ඒකාධිපති පාලකයකුගේ කතන්දර රාශියක් සමඟ අන්ජන්, සංවාදය ම අයිස් කුට්ටියක ගිල්වා දැමුවේ ය. අපි අධික රශ්මිය සහිත ගාල්ලේ එළිමහනක ගැහෙන සීතලෙන් උන්නෙමු. මේ සමාන්තරව කෝල්ම් ටොයිබින් හෝල් ඩි ගෝලයේ සිටි අතර කැතී මේරි උන්නේ මෙරිටයිම් මියුසියමයේ ය. එපමණක් නම් ඉවසා සිටිය හැකිය. ඒ වෙලාවේ ම අනීතා නායීර් සහ ආනන්ද් පද්මනාභන් ගෝල් හෙරිටේජ් විලාවේ උන්නෙන් කාල සටහන අවුල් වෙන සුළු විය.

IMG_1753

සුළු දේ සහ වටිනා දේ එකතු කිරීමේ ආශාවෙන් මඬනා ලද හෙයින් මාධ්‍ය සගයන් සියල්ල බසයක පටවාගත් සලූකා, තල්පේ බලා යන්නට පටන් ගත්තේ. ඒ ‘අව්ල් ඇන්ඩ් පුසිකැට්’ හෝටලයට ය. කාව්‍ය සඳහා පිරිනමන එඩ්වර්ඩ් ලියර් ත්‍යාගය පළමු තැන සඳහා 2,50 000ක මුදලක් ද, දෙවැනි තැන සඳහා රු.1,50 000 ක් මෙන්ම තෙවැනි තැන සඳහා රු. 75 000 ක මුදලක් ද ලබා දෙන ලදී. කවි ගායනා කිරීම පිළිබඳ ආශාව වැඩි කරමින් තරුණියක දිගු කාව්‍යයක් කීවේ සභාවේ අත්පොළසන් වට දෙකක් සොරකම් කරමිනි. මේ අතරතුර ලේඛකයන් සමඟ දිවා ආහාර වේල් සහ රාත්‍රී ආහාර වේල් ලබා ගැනීමේ සැසිවාරයන් ය.
මුදල් ගෙවා කලින් වෙන් කරවා ගත යුතු මේ සැසිවාර අතිශය ජනප්‍රිය ඒවා විය. හවස් වරුවේ ගාල්ලේ ප‍ටු වීදි පුරා පින්තූර ගනිමින් ඇවිදීමේ නිරත මට එවන් දිවා ආහාර වේලකට පැමිණි යුවළක් මුණ ගැසුණි. කාන්තාව නම කීවත්, නම නොලියන්න කීවේ පෞද්ගලික හේතුවක් මතය. එදින දහවලේ ප්‍රකට ලේඛකයකු සමඟ දිවා භෝජනය ගැනීමේ ප්‍රීතියෙන් ඉස්මුරුත්තා වී සිටි ඕ ප‍ටු පාරේ ලී බංකුවක දිග ඇදී භෝජන සංග්‍රහය ගැන විස්තර කරන්නට විය. ඈට කියන්නට අමතක වූවක් ඇත්නම් ඒ මුළුතැන්ගෙයි කෑම සැකසූ ආකාරය පමණක් වන්නට ඇත. එතරම් ප්‍රීතිමත් පාඨකයකු මට මීට පෙර හමුවී නැතුවා ය. සාහිත්‍ය නම් විසාල සාගරයේ කොතරම් අලංකෘත මුතු බෙල්ලන් ඇති ද? සිප්පි ක‍ටු සහ මට්ටි ආදිය ඇති ද? ඒවා නොදැක බෝට්ටුවක් ගෙන දුර ගමන් යමින් සිටින අප; හදිසියේ හමු වූ වර්ණවත් සිප්පි ක‍ටු දැක පුදුම වන්නෝ ය.

IMG_2034

ෆෙයාර්වේ සාහිත්‍ය උත්සවයේ මට පෙනෙන හරස් කැපුම එවන් අරුමැසි කුඩා සිදුවීම් ය. අනෙකා මඟ හැර දමන සුළු වූ දිය සුළි ය. සවස 2 ට පැවැතියේ ෆෙයාර්වේ සම්මානය සඳහා නිර්දේශ වූ දෙමළ සාහිත්‍ය කෘති ලියූ ලේඛකයන් සමඟ සංවාදයකි. 2.30 ට සුනිලා ගලප්පත්ති හමු විය හැකිව තිබුණි. ‘අ ලෝන්ග් වොච්: වෝර්, කැප්ටිවිටි ඇන්ඩ් රිටර්න් ඉන් ශ්‍රී ලංකා ‘ පැවැත්වූයේ මැරිටයිම් මියුසියමයේ ය. ඊළඟට මගේ සිත් ගත් කවි කියැවීමේ සැසිය පැවැත්වූයේ ලූක් රයිට් සහ අනීතා නායර් සමඟ ය. ඒ ලිප්ටන් තේ සලේ දුම් දමන ගම්මිරිස් මුසු තේ සමඟ ය. මේ ජවනිකාව ඔබව වෙනත් ඉවුරකට ගෙනගොස් අතාරින්නේ සාම්ප්‍රදායික නොගලන ජල පහරක් මැද කුඩාවට සිටගෙන සිටින නිසා ය. සවස 4 ට ද ප්‍රසාංගික කාව්‍ය සැසියකි. ඒ, මයිකල් ෆ්‍රේර් විසිනි. ඒ සමගාමීව ‘ද ඩීප් රීඩ් ‘ හෝල් ඩි ගෝල් හි දී පැවැත්වෙන්නේ පිලිප් ග්‍රෙගරි ඔන් ත්‍රී සිස්ටර්ස්, ත්‍රී ක්වීන්ස්, ද අදර් බොලියන් ගර්ල් ඇන්ඩ් ද වයිට් ක්වීන් මැයෙනි. ජෙමී ෆොක්ස්ට්‍රොට් සමාරම්භක කාව්‍ය කියැවීම මෙහිදී සිදු කෙරුණි.

IMG_1750

එදින සවස 6.00ට ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ සම්මාන ප්‍රධානය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි. සම්මානනීය නවකතාකරුවන් රාශියක් සහභාගී වූ මේ සම්මාන ප්‍රධානෝත්සවයේදී වසරේ හොඳම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නවකතා වෙනුවෙන් සම්මාන සහ මුදල් ත්‍යාග ලබා දුනි. වසරේ විශිෂ්ටතම සිංහල නවකතාව ලෙස ‘මහාරාවණ ‘ කෘතිය ලියූ ටෙනිසන් පෙරේරා ටත්, හොඳම ඉංග්‍රීසි නවකතාව ලෙස තීනා කුමාරගුරුනාදන් ලියු ‘first utterance ‘ය හොඳම දෙමළ නවකතාව සඳහා හිමි සම්මානය දිනා ගනු ලැබූයේ එම්.සිවලිංගම් විසිනි. ඒ ‘Pancham Pilaika Vantha seemi’ වෙනුවෙනි. ජයග්‍රාහකයන් සඳහා ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් ද, නිර්දේශිත නවකතා වෙනුවෙන් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ද මෙහිදී පිරිනමන ලදී.

IMG_1752

ඉනික්බිතිව වයින් රස බැලීමේ සැසි කිහිපයකි. ජින් මාස්ටර් ක්ලාස් සහ සන්සෙට් සීරීස් ඉනුත් පසුව ය. රාත්‍රිය විවෘත වූයේ ලේඛකයන් සමඟ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහ වෙනුවෙනි. කොල්ම් ටොයිබින්, ඩිනා ජෙෆරීස්, කේට් ටෙම්පස්ට් සහ ජෝන් ගිම්ලට් ය. මේ සියල්ල අතර නිදහසේ ගාලු කො‍ටුව පුරා සැරිසරන සාහිත්‍ය ලෝලීන් ය. ‍ෆ්‍රී වයිෆයි දෙන ලිප්ටන් තේ ශාලාවේ බීන් බෑග් මත දිගෑදී පොත් කියවන අය ය. හදිසියේ එතැන දොර විවර කරගෙන පැමිණ ගී පහක්, හයක් ගයා යන උමාරියා සිංහවංශ ය. ලිප්ටන් තේ ශාලාව ඇතුළත විසාල බොයිලේරුවක පැහෙන උණුවතුර කල්දේරමකි. පැතැලි නොගැඹුරු සුදු පෝසිලේන් කෝප්ප මත අඩක් පි‍රැවූ තේ වර්ග ය. එතැන සිටි ප්‍රියමනාප මිනිසා වහා පැමිණ කුඩාම කෝප්පයක් මට දී බී බලන්නැයි කීවේ ය. මුලින් ළා පාට ය. ක්‍රම, ක්‍රමයෙන් ඒ තද පැහැය ගනී. රස ද ඒ සමානව ම වෙනස් වෙමින් පවතී. අන්තිම කෝප්පය තිත්ත රසැති හෙයින් ‘අම්මෙහ් ‘ කියා කියැවුණි. ‘හහ්...හහ්...හා ‘ කියමින් සිනාසුණු ප්‍රියමනාප මිනිසා මට වතුර වීදුරුවක් දුන්නේ සියලු රස කැපී යන්නට විය යුතුය.
IMG_1522
සෙනසුරාදාව උදා වූයේ ගාල්ලට සිංහල සාහිත්‍ය සමාජයේ බොහෝ දෙනෙකු අතින් අල්ලාගෙන ම පැමිණෙමිනි. ෆෙයාර්වේ සාහිත්‍ය උත්සවයේ ප්‍රථම වතාවට සිංහල දිනයක් සංවිධානය කර තිබූ හෙයින් ‘සිංහල කවියේ හරස්කඩක් ‘ මැයෙන් පැවැති මේ සංවාදයට නූතන කාව්‍ය අවකාශය නියෝජනය කරන කවීන් වන මාලතා කල්පනා ඇම්බ්‍රෝස්, ඉසුරු චාමර සෝමවීර සහ සුනන්ද කරුණාරත්න සහභාගී විය. සංවාදය මෙහෙයවන ලද්දේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි. සිංහල දිනයේ පැවැති සාර්ථකම සංවාදය වටය මෙය බව මගේ අදහසයි. කවි කියැවුම් වට කිහිපයක් සහ මෘදු සංවාද හරහා ගලා ගිය මේ සැසිය වෙනත් සංවාදවලට ද ආදර්ශයක් සරි ය. උදෑසන 10 ට පැවැතියේ සේපාලි මායාදුන්නේ, සුනේත්‍රා රාජකරුණානායක සහභාගී වූ ‘සිංහල නවකතාව සහ කාන්තාව ‘ සහ ෆෙයාර්වේ සම්මාන සඳහා නිර්දේශිත කතුවරුන් සහ ඔවුන්ගේ කෘති පිළිබඳ කළ සංවාදයකි.
මේ සඳහා ලියනගේ අමරකීර්ති, කපිල කුමාර කාලිංග, එරික් ඉලයප්පාරච්චි, ටෙනිසන් පෙරේරා සහ සමන් වික්‍රමාරච්චි ආදීන් සහභාගි වූහ. සංවාදය මෙහෙයවන ලද්දේ ප්‍රකට ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක විසිනි. ‘චයිනමන් ‘ නවකතාවේ ලේඛක සහ එහි සිංහල පරිවර්තක දෙපළ ද හවස් වරුවේ පැවැති සංවාද මණ්ඩපයට එකතු විය. ක්‍රිකට් පසුබිම් කරගත් අතිශය දේශපාලනික නවකතාවක් ලෙස පොදු පාඨක සමාජය හඳුනාගත් චයිනමන් සමඟ එහා-මෙහා ඇවිදීම ආනන්දජනක විය. ශෙහාන් කරුණාතිලක සහ දිලීප අබේසේකර පෙනී සිටි මේ සංවාදය මෙහෙයවන ලද්දේ හර්ෂණ රඹුක්වැල්ල විසිනි.

IMG_1574_edited

ගාලු කො‍ටුව ආශ්‍රිත සාමාන්‍ය ජීවිතය ද සාහිත්‍ය උළෙල පැවැත්වෙන අතරතුර උඩු යටිකුරු වූවක් මෙන් විය. ත්‍රීවිලර් රථ පදවන්නන්, තැඹිලි විකුණන්නන්, ස්වීප් ටිකට්කරුවන් සහ පළතුරු වෙළෙන්දන් තැන තැන කඳවුරුලාගෙන සිටිනු දක්නට ලැබුණි. හෝල් ඩි ගෝලය ඉදිරිපිට ප‍ටු අන්තයේ උන්නේ ජංගම අඹ සහ රඹුටන් වෙළෙන්දෙකි.
‘මේ රඹුටන් ආවාරෙ නේද? කොහෙන්ද මේවා ගෙනාවේ?’
ඔහු මවිතයෙන් මගේ දෙස බලාගෙන සිට මා ඇසූවක් ගණනකටවත් නොගෙන මටත් ප්‍රශ්නයකින් ම දමා ගැසුවේ ය.
‘නෝනා අඹ හරි රඹුටන් හරි ගන්නව ද?’
දැන් ලජ්ජාව මට ය.

IMG_2272

ඒ අතර උදේ-දවල් නොබලමින් මංගල ඡායාරූප ගන්නා මනාල යුවළ ය. හරියට ම සේයාරුව ගන්නා විට ඒ මැදින් උමතුවෙන් මෙන් ඇදී යන ස්කූටර ආදී බයිසිකල් සමූහයා ය. නළලේ ද මුහුණේ දා දාඩිය පිසිමින් මනමාලියගේ මුහුණ නරඹන මනමාලයන් ය. ගාලු කො‍ටුව අසල සමර බිත්ති මතට සෙවනැලි වැටෙන තෙක් කල් මරණ ඡායාරූප ශිල්පීන් ය. ඒ අතර පැ‍රැණි පල්ලිය අසල තණ කොළ බිස්සේ නයි නටවන්නෙකි. උරය උඩ රිලවෙකි. රිලවා ඉවසුම් නැතියෙන් උරයෙන් ලිස්සා එයි. හිස කසයි. බලා සිටින අයට උසුළු විසුළු කරයි. එකම තාලයට නටා වෙහෙසට පත් දළත් නැති නයා දැන් නටන්නේ ස්ලෝ මෝෂන් ය. ස්ලෝ මෝෂන් නටන නයි ගාල්ලේ සිටින බව අනේ කවුරුත් නොදන්නා සෙයකි.

IMG_2028

15 වැනි ඉරිදාව උදා වූයේ කෙඩර් මහත්මිය සමඟ ගාලු කො‍ටුව පුරා ඇවිදීමේ වැඩසටහනක් සමඟිනි. ඇගේ පවුලේ ඉතිහාසය වසර සියයකට එහා ය. ඒ පවුලේ අය තරම් ගාලු කො‍ටුවේ ‍තෝම්බු දන්නා වෙනත් අය නැති තරම් ය. දහවල ‘බුම් බුම් ‘ ශබ්ද සමඟ ඇ‍රැඹියේ මහා ජෑස් සංගීත උළෙලක් සමඟිනි. විදෙස් ජෑස් ගායන, වාදන ශිල්පීන් රාශියක් සහභාගී වූ මේ උළෙල පැවැති උසාවි පරිශ්‍රය ඉදිරිපස ඉඩ දැන් එකම හිස් ගොඩකි. බීර බොමින්, කුරුම්බා බොමින් එහා-මෙහා නැලවෙන පිරිස අතර සාහිත්‍ය සංවාද ද අතරින් පතර නැඟී එයි. වචනයේ පරිසමාප්ත අරුතින්ම මේ නම් කදිම සැණකෙළියකි.

IMG_2222

ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගම අනුග්‍රහය දක්වන ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ කරන ලද්දේ 2015 වසරේදීය. සාහිත්‍ය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉදිරිපත් කරන ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල වෙනම තලයක සංවාදයට භාජනය කළ යුත්තකි. සාහිත්‍ය උළෙලේ නිර්මාතෘවරයා ලෙස සලකනු ලබන්නේ ජෙෆරි පීටර් ජොබ්ස් ය. අම්රිතා පීරිස් සාහිත්‍ය උළෙලේ අධ්‍යක්ෂවරියයි. ගාලු සාහිත්‍ය උළෙලේ භාරකරු ලෙස කැපී පෙනෙන මෙහෙයක් ඉ‍ටු කරන්නේ ‘ෆනී බෝයි ‘ ලියූ ශ්‍යාම් සෙල්වදුරෙයි ය.
විකල්ප සාහිත්‍ය උත්සව නැතැයි ළතැවෙන, එහෙත් එවන් විකල්ප සාහිත්‍ය උත්සව පටන් ගත් විට ඒවාට සමෝසමේ බැණ වදින අපේ කුඩා ලෝක කවදා පුළුල් වේදැයි සිතමින් මම ලේන් බාන් වීදිය දිගේ සමර බිත්ති පසු කරමින් ආපසු එන්නට වීමි. නොම්මර 68 යළිත් මුලිච්චි වූයෙන් ඒ අසල මදක් තාවරව යළිත් ගමන පටන් ගතිමි.

IMG_2247

ලාංකීය සාහිත්‍ය සමාජය කළඹන බොහෝ උත්සව අතර වැඩි කලබලයක් නැතත් කළබල විය යුතු යමක් කරන ගාලු සාහිත්‍ය උළෙලේ ආලෝකය දිගු දුර විහිදෙන්නේ නම් ඒ මගේ පරම සතුටයි. සුළු දේ ද, අලුත් දේ ද නොතකන දූපත් සිහින මහාද්වීප දක්වා දුවන ‍රැවුල මෙන් ඇදී යතොත් ඒ ද පරම සංතුෂ්ටියකි.

IMG_2008

සේයාරූ සහ වියමන : කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය : දිනමිණ 'තරු ලකුණ'
(මේ ලිපිය 2017 ජනවාරි මස 27 වැනි සිකුරාදාවේ දිනමිණ 'තරු ලකුණ' අතිරේකයේ පළ විය.)

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "විකල්ප සාහිත්‍ය සයුරේ ගාලු කැළැඹීම"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com