නිදං•

dcf6281d06588c6eedfb9606e969b3da

'ඇයි යකෝ තොපි හිතන් ඉන්නෙ මම හරකෙක් කියලද? හැම වෙලේම ගොම ඉල්ලන් එන්නෙ. අපේ ගෙදර ගොම නෑ යකෝ. මූසල හැත්ත. අර එහා ගෙදරින් ගිහින් අහන්න තොපේ දිවවල් නැවෙන්නැද්ද? හැම ලබ්බටම මෙහේම දුවං එන්නේ. ඇයි අපේ ගෙදර නෝනා හොඳ හින්දද මෙහෙ එන්නෙ. එයාට යකා නැග්ගොත් මෙන්න ගහන වලංවල සයිස් එක. එකයි; මළා. හොඳේ. උඹලට නැටි උස්සං දුවංඩ වෙන්නෙ.'

පාපිස්ස උඩ හිටපු බූතයා 'හචෝං පචෝං' ගාලා කිඹුහුම් අරින්න ගත්තා. දම් පාට මීදුමක් වගේ කිසි හැඩයක් නැති කීප දෙනෙක් ලැජ්ජා වෙලා උඩට පාවෙන්න ගත්තා.
බූතය සුදු පාටයි. කළු පාට අවුට් ලයින් එකකුත් තිබ්බා. ඒක පොයින්ට් පහෙන් වගේ. අර නිකං ලාවට පේන ගාණට. කේන්ති ගිය නිසාම තමයි උන්දැට කිඹුහුම් ගියේ. ඇයි පීනසේ ඇවිස්සෙනවනේ කේන්ති ගියාම. ඊටත් පාපිස්ස උඩ එක හෝසෙට දූවිලි. බූතය කියනවා වගේ මේ ගෙදරට එන බැල්ලිගෙ පුත්තු සෙරෙප්පු, සපත්තු ගස, ගස යන්නෙ ඉතිං මේ පාපිස්සෙනෙ. ඉතිං දූවිලි තමයි.

'ඉතිං තමුසෙට ඔතනම ලගින්න ඕනෙද? වෙන තැනක ඉන්නවකො'

දවසක්, බූතයගෙන්; වැඩ දන්න, බඩු අතුරුදන් කරන්න පුළුවන් වැඩකරුවෙක් වෙච්ච බූතයෙක් ඇහුවා.

'අනේ උඹ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව හිටපං. උඹට මොකෝ මං කොහේ හිටියත්. ඇයි උඹ බඩු අතුරුදන් කරන්න, බේත් මවන්න දන්නවා කියලා ලොකුද? දෙන්නෙ ඥාව් වෙන්න.'

උගේ මාර සද්දෙ. ඕන එකෙක්ට බණින ලයින් එකකයි ඉන්නේ. අනික පාපිස්සක් උඩ ඉන්න එක මාර ලොකු වැඩක් කියලයි හිතං ඉන්නෙ. දැං ඔය ගොම කතාව වුණත් හද්ද ගොං පිස්සුවක් වගේ ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අර කලින් ආපු දම් පාට මීදුම වගේ බූතයෝ එළවළු වවනවා. උංට තඩි එළෝළු පාත්තියක් තියෙනවා. ඒකෙ වැටකොලු, පතෝල, බණ්ඩක්කා,රාබු,කැරට්,රටකජු එහෙම තියෙනවා. ගොම ඕන කරන්නෙ බණ්ඩක්කා පාත්තියට. ඒක සරුසාරෙට වවා ගන්නයි උංට ඕන කරන්නෙ. අනික මුං දම් පාට පාවෙන බූතයොනෙ. වැඩි බලයක් මුකුත් නෑ. ඒකනෙ අර පාපිස්ස උඩ ඉන්න ගොං බූතයගෙන් බලු බැනුම් අහන්න වෙන්නෙ. නැත්නම් බැරියෑ මූව බණ්ඩක්කා පාත්තියට පොහොර විදිහට දාන්න.
මේවා නිසා ආං අර දම් පාට බල රහිත බූතයො ටික මහා කණස්සලෙන් නාගසලං වෙලයි උන්නේ. ප්‍රශ්නෙ කියන්න එකෙක් නෑ. බූතයන්ට ඇරෙන්න කියන කිසි මඟුලක් වෙන එකෙක්ට තේරෙන්නෑ. අනික් බූතයො මුංව ගණං ගන්නෑ. මහා භීෂණයක් තමයි ඉතිං සිද්ධ වෙලා තිබ්බේ.
දවසක් මුං තුන් දෙනා කරට අත දාං අමාරුවෙන් පාවෙවී ගියා මහා විහාරෙ පැත්තට. හා මොකටද?
ගොම අහුලන්න. වෙන මොකටද?
බණ්ඩක්කා පාත්තිය හාර, හාර කාලකන්නි ගොලුබෙල්ලො සෙට් එකක් මොකක්ද හොය, හොයා හිටියා දවස් ගාණක් තිස්සේ.

'මං හිතන්නෙ උං හොයන්නෙ නිධානයක්'

ටිකක් වැඩිපුර දම් පාට බූතයා එක පාරටම කිව්වා. ඒ කිව්වෙත් ගිරිය යටිං කෑ ගහලා.

'හිමිං කියහං යකෝ. බූතයොත් බය වෙනවා උඹේ කෑ ගැහිල්ලට. මේ මාව බිමටත් වැටෙන්න ගියා.'
'ඉතිං උංට මොකටද අපේ පාත්තියෙ තියන නිධාන දෙන්නෙ. අපි හාරමු නිධානෙ. ළා දම් බූතයා අනිත් දෙන්නගෙන් ඇහුවා.'
'හිටපං වාඩි වෙලා පොඩ්ඩක් කල්පනා කරන්න.'

එක බූතයෙක් බිමට බැහැලා තාප්පෙක වාඩි වුණා. අනිත් එකා ඊළඟට. ඊට පස්සෙ ඉතිරි එකා බිමට බැස්සා. දැං තුන් දෙනාම තාප්පෙ උඩ. උසේ පිළිවෙලට. කල්පනා කර කර.

'මේහ්.... උඹ දන්නවද නිදං හාරන්න'
'මං දන්නෑ බං'
'මම දන්නෙත් නෑ බං. ඇයි උඹ දන්නෙ නැද්ද?'

උං එකෙක්වත් නිධාන හාරන්න දන්නෙ නෑ. අඩුම තරමෙ නිදන් වදුළු ගැනවත් දන්නෙ නෑ. බිලි දෙන්න ඕනාය, තුන් කුළුදුල් බිලි, කුකුළු බිලි අරව මේවා ගැන කිසි දෙයක් දන්නෙ නෑ. ඒත් ගොලුබෙල්ලොන්ට නිධානෙ ගන්න ඉඩ තියන්න කැමතිත් නෑ.

'එක්කො ඕක බොරුවක් වෙන්නැති බං. කළුතර කොහෙද බං නිදං? රජෙක්වත් හිටියැ කියලැයි බං මෙහේ. ආං අර අනුරාජපුරේ නං ඕන හැටියෙ නිදං ඇති. දුටුගැමුණුගෙ කඩුවත් අර වැවක් පතුලෙං ගොඩ ගත්තය කියන්නෙ බං.'

'අනේ ගොනෝ. ගොං රජෝ. මොන කළුතරක්ද බං. අපි ඉන්නෙ මේ අනුරාජපුරේ තමයි. දුටුගැමුණු විතරයි ඉතිං උඹ දන්න රජා. ඌයි උගේ කඩුවයි. මළකඩ කාපු හත්ජරාවක් වෙන්නැති. යකෝ තව කොච්චර රජවරු හිටියද? වලවල් හාර හාර කොච්චර නිදං වළලන්න ඇතිය කියලද උඹ හිතන්නෙ. ලස්සයක් විතර නිදං.'

අනිකගෙ කට හෝයි ගාලා ඇරුණා.

'ලස්සයක්?'

'ඔව් බං. ලස්සයක් විතර නිදං. ඔය අරූ, මූ හෑරුවා කිව්වට අර ප්‍රසිද්ධ නිදං කප්පිත්තා මේවා කාබාසිනියා කළා කිව්වට ඔක්කොම කොහේ හාරන්නද බං. තව තීනවා. අපේ බණ්ඩක්කා පාත්තිය යට මොනව ඇතියි කියලද උඹලා හිතන්නෙ?'

'ගෑනුන්ගෙ ඇඳුම් හෙම ඇති නේද මචං? බිසෝවරුන්ගෙ? සේවිකාවන්ගෙ? තණපට එහෙම?'

'චීයා!!! වනචරයා!!!'

ටිකක් ළාමක පාට ළා දම් බූතයා තාප්පෙන් බිමට පැන්නා. ඌව බිමට වැටුන්නෑ. සිගරට් දුමක් වගේ ටිකක් වෙලා පා වෙවී තිබ්බා. ඊට පස්සෙ යාන්තමට හැඩයක් හැදිලා බිම නලියන්න ගත්තා.

'මේක හරියන්නෑ. අර ඒ දවස්වල උඹ කිව්වා නේද ඕන කුණු කේස් එකකට ගෙන්නන්න පුළුවන් බාප්පා කෙනෙක් ප්‍රේත අපායෙද කොහෙද ඉන්නවා කියලා. ආං ඌට කතා කරපංකො. අර ලස්සන නමක් හෙම තියෙන්නෙ.'

'ආ...ඔය කියන්නෙ පංසුපිසාචක බාප්පා නේද? ඒක නමක් නෙවෙයි බං. කරපු පව්වල පවර් එකට හම්බ වෙච්ච රෑන්ක් එකක්. ඒ මිනිහා ඉන්නකම්ම අනුන්ගෙ දේපොළ කොල්ල කෑවා. හොරට තාප්ප හැදුවා. කඩං වැටෙන්න ගෙවල් හැදුවා. ඊට පස්සෙ පිං කළා. ඒත් පව් බැලන්ස් වුණේ නෑ. කෙලින්ම ගියේ ප්‍රේත අපායෙ.'

'අනේ බාප්පෙ වරෙංකො!!'

ළා පාට බූතයා අනිත් එකාගේ බාප්පාට අඩ ගැහුවා. මේ පංසුපිසාචක කියන්නෙ පස් ගොඩැලිවල, කුණු ගොඩවල්වල, අසූචි වලවල්වල, කඳු බෑවුම් වගේ අපිරිසිදු තැන්වල උපදින අයට. මේ අය මුළුමනිනම සැපෙන් තොරයි. ඉතිං පව ඇත්තේ කොතනද එතනට කාන්දම් වගේ ඇදිලා එනවා.
පුතා කතා කරන්න කලින් පුතාගේ යාළුවා 'අනේ වරෙංකො' කියපු වචනෙ ඇහිලා තාප්පෙ ළඟට ආපු බාප්පා හති දාන්නත් ගත්තා.
හැබැයි බාප්පාගේ පෙනුම නම් අන්තිම අජූතයි. පසුයි, කුණුයි තියෙන තැන්වල හිටිය නිසා ඔක්කාරෙට එන ගඳකුත් එයා ළඟින් ආවා.

'අපෝ බාප්පෙ මොකක්ද බං ඔය ගඳ?'

'ඇයි උඹලා දිව්‍ය ලෝකෙ ඉන්නවයි කියලද හිතන්නෙ. මාත් බූතයා, උඹත් බූතයා. අපි අපායෙ ඉන්නවා කියලා කොන් කරන්නෙපා. උඹලා මනුස්ස ලෝකෙ හිටියාය කියලා ලැබිච්ච බක්කක් තියෙනවැයි. අර පාපිස්සෙ බූතයගෙන් උඹලා ලැජ්ජා වෙන තරම මදිද?'

ඒක ඇහුවා විතරයි බූතයෝ තුන් දෙනාම තුන් විදිහකට ඇඹරෙන්න ගත්තා.

'හා...කියහං වැඩේ මොකක්ද? වැඩි වෙලා ඉන්න බෑ. මේ ආවෙත් මෙහේ එන එකෙක්ගෙ ඇගේ එල්ලිලා. ඌ ආයෙ යනකොට ඌත් එක්කම යන්න ඕනා. අපිට මෙහේ තහනං කියලා බොලා දන්නවනේ.'

ඒ පාර කටකාර බූතයා කාරණේ පැහැදිලි කරන්න ඉදිරිපත් වුණා.

'අපිට නිධානයක් ගන්න තියෙනවා. බාප්පා දන්නවැයි නිදං හාරන්න?'

'හා... මොකෝ මං නොදන්නෙ!! මොනවැයි ඒකෙ තියෙන්නෙ? '

'අපි තාම තියෙන දේ දන්නෑ බාප්පෙ. ඒත් වටින දේවල් තියෙනවා කියලා දන්නවා. දැනටමත් බාගෙට හාරලයි තියෙන්නෙ. බාප්පට තියෙන්නෙ කුකුල් බිල්ලක් හරි කුප්පියක දාපු ගිනි ගන්න ප්‍රේතයෙක් හරි අරං එන්න. ගල බිඳලා ඇතුළට යන්න ඌව පාවිච්චි කරන්න පුළුවංනෙ.'

මෙහෙම ගිනි ගන්න ප්‍රේතයො ඉන්නවා කියලා අහලා තිබ්බට දම් බූතයො කවදාවත් උංව දැකලා හෙම තිබ්බෙ නෑ. ඒත් බාප්පා දැකලා ඇතිය කියලා උං තුං දෙනාම හිතුවා.

'ආ... බොලා කියන්නෙ නිජ්ඣාමතණ්හිකයො ගැන. උං එකෙක්ව චාටු කරං බෝතලේක දාගන්න මට පුළුහං. ආං පුතේ ගින්දර පොරවල්. ඇවිදින ගිනි ගොඩවල්.'

පංසුපිසාචක බාප්පා හිටපු ගමන් දුවන්න ගත්තා.

'මං යනවා. මං යනවා. අන්න අරූ යනවද කොහෙද'

ඒත් එක්කම ළා නිල් පාටට වලාකුළු වගේ හැදිච්ච ප්‍රේතයෙක් පංසුපිසාචක බාප්පවත් උස්සගෙන කුණු වලක් යටින් නොපෙනී ගියා.
ඊට පස්සෙ ආයෙමත් දම් පාට බූතයො තුන් දෙනා ඉතිරි වුණා. උං තුං දෙනා ආයෙම ලොකු කල්පනාවකට වැටුණා. දැං මේ නිදං වැඩේ උංට යස්ස කරදරයක්. ඒ මදිවට පංසුපිසාචක ප්‍රේත බාප්පා. දැං උං තුං දෙනාට හොරාට බාප්පා නිධානෙ ගනීවි කියලත් බයයි. අනික හාරං, හාරං යන ගොලුබෙල්ලො සෙට් එක!!

.................................................................

'අයිං වෙයල්ලා...අයිං වෙයල්ලා...'

එහෙම කියං මංසපිණ්ඩික ප්‍රේතයො හත් දෙනෙක් උදලු, නාරස්සන, වේවැල් කූඩ, මිටි, විසිකැති වගේ ආයුධ මහා රාසියක් උස්සං පෙරහරක් වගේ යනවා පෙනුණා.

'කවුද බං ඒ'

දම් බූතයෝ එක, එකාගෙ මූණු බලනවා. අරුං ටික කුණු ගොඩක් දෙබෑ කරං මතු වුණේ මහා බයානක විදිහට. අනික බාප්පා ගියා විතරයිනෙ. පංසුපිසාචක බාප්පා ළඟ මොබයිල් ෆෝන් එකක්වත් තිබ්බෙ නෑනෙ. ඉතිං කෝමැයි එහෙව් පණිවිඩ දෙන්නෙ? උංට දැං මේ කිසි දෙයක් තේරුං ගන්න බෑ. ඇයි හත්වලාමෙ මේවා කාට කියන්නද?

'උං අපේ නිධානෙ හාරන්නවත් ආවද ලොකු අයියෙ?'

බාල දම් බූතයා ලොකු එකාගෙන් ඇහුවෙ කඳුළු පුරෝගෙන. ලොකු එකා පොඩි බූතයට උත්තර දුන්නෙත් සෙම, සොටු පුරෝගත්ත මුහුණින්.

'අනේ මං දන්නෑ පුතේ. මට නම් කිසී දෙයක් තේරෙන්නෑ.'

උං බැරි මරගාතෙ තාප්ප උඩින්, ගෙවල් උඩින්, කුකුළු කොටු උඩින්, කුණු ඇලවල් උඩින්, ලයිට් වයර් උඩින් පියාඹගෙන යන්න වුණා. බණ්ඩක්කා පාත්තිය දැන් පේන මානෙ තියෙන්නෙ. එතන මහා ගිනි විජ්ජුම්බරයක් පාටයි. ගොලුබෙල්ලො රටෙත් නෑ. එතැන කුකුළු කොටුවෙ හිටපු මහ කුකුළා 'කොක් කොක්' ගගා එහේ-මෙහේ දුවනවා. කිකිළියෝ පොඩි භාජනවලට වතුර අරගෙන එහේ-මෙහේ දුවනවා.

'කවුද බං අර බණ්ඩක්කා පාත්තිය හාරන්නෙ'

'උං මංසපිණ්ඩිකයොලු. රජ කෙනෙක් හොයන්නලු ඇවිත් ඉන්නෙ. කඩුව උං ළඟ තියෙනවලු. රජ්ජුරුවො නෑලු.'

'ඉතිං රජ්ජුරුවො මොකටද උංට?'

'ජාඩි දාන්න'

 

කාංචනා අමිලානි• පෙබරවාරි 21•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "නිදං•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com