සර්ප•

2615194ee90c2a2dcbd25b96ea8d8a0c
ඒක පුංචි දූපතක්.
දූපතටම හිටියෙ එක පුරුසයයි. එයා සර්ප වෙදෙක්. හැබැයි මේ පුරුසයා ලෑලි කෑල්ලක් හේ කෙසඟයි. නිතරම කිව්වෙ
'මං මේ සාමාන්‍ය මනුස්සයෙක් වෙච්චි; අපේ මී මුත්තා, කිරි කිත්තගෙන් ඉගෙන ගත්තු සිල්ප එහෙම ඇරෙන්ඩ වෙන යමක් නෑ ඔහේ'
කියලයි.
දූපතේ හැම තැනම සරුසාරෙට වැඩිච්ච ප්‍රාණජීව, සප්සඳ, ඉරරාජ, වනරාජ, ගරුඩරාජ, පත්තරාජ වගේ බෙහෙත් පැළෑටි තිබ්බා. විස උරන ගල් ආදියත් මේ පුරුසයා ළඟ තිබ්බා. මොක තිබ්බත් වැඩක් තියේයැ බෙහෙත් කරන්න මිනිස් පුළුටක් නැතිව. ඊටත් ස්තිරියාවක් ඇහැටවත් දකින්න නැතිව.
ඉතිං මේ පුරුසයා උදේ නැගිට්ට ගමන් දෙවියන්ට යාතිකා කරනවා 'අනේ අදවත් මට බෙහෙතක්- හේතක් කරන්න මිනිස් පුළුටක් එවන්න'ය කියලා. මුලින්,මුලින් මිනිස් පුළුටක් කිව්වට පස්සෙ,පස්සෙ මිනිහා කියන්න ගත්තා ස්තිරියාවක් එවන්ඩ කියලා.
එක,එක දවසට එක,එක දෙවියන්ට. එක දෙවියෙක්ට හරි වැඩේ පත්තු වෙයි කියලයි පුරුසයා හිතුවේ.
ඔහොම සති ගණන්,මාස ගණන්,අවුරුදු ගණන් කාලෙ ගෙවිලා ගියා විතරයි. ස්තිරියාවක් තියා පරෙයි පිහාට්ටක්වත් දූපතට වැටුණේ නෑ.
වෙදාට යස්සයා නැග්ගා. දවසෙ පැය බාගයක් වෙන් කරලා අර කලින් යාතිකා කරපු දෙවිවරුන්ට අමු තිත්ත කුණු හම්බෙන් බැන්නා. දෙස්,දෙවොල් තිබ්බා. 'අහු වුණොත් කෑලි කපන්නෙ' කියලා තර්ජනය කළා.
මේ වීර පුරුසයා තමන්ගෙ අවි,ආයුද අරන් උමගක් කපන්න ගත්තා. උමග කැපුවේ පොළොවෙ යටට. පොළොවෙ යටට අඩි 100ක් එක දිගට හාරලා එතැනින් වමට වංගුවක් අරන් දිගට කපන් යනවා කියලයි එයා හිතුවේ.
එයා ඉතිං පුරුස සක්තිය අරන් උමග කපාගෙන කපාගෙන ගියා.
                       ---------------------------------
මේ අතරෙ ප්‍රත්‍යන්ත දේසෙක සර්පයො තම්බලා,බැදලා,උයලා කන්න පුරුදු වෙලා හිටපු ලා...ස්සන කුමාරිකාවො 16 දෙනෙක් හිටියා. ඒ අය හිටියෙ කන්ද උඩ මාලිගාවක. පහළ මිටියාවතේ සර්ප විමානෙ. සේවකයො උන්නෙ සර්පයෝ මරන් එන්නයි, උන්ව රසට උයලා දෙන්නයි. වැඩිපුරම හිටියෙ ගැරඩි. බඩ කහ පාට; ඇගේ උඩ ළා කහ පාට උන්. දවසෙ වැඩි හරියක් තණකොළ බිස්සෙ ඇදි,ඇදී ඉන්න ගැරඩි තමන්ගෙ අංකෙ කතා කරනකන් පුදුම කාංසියකින් හිටියෙ.
අංකෙ කතා කළාම සේවකයෙක් ඇවිත් බඩ මැද්දෙන් අල්ලලා වට දෙකක් කරකවලා මාලිගාවෙ උඩට විසි කරනවා. මැද සඳලුතලේ පෝර බෑග් එකක් තියන් ඉන්න සේවකයා ගැරඩියාව පෝර බෑග් එකට දාලා උයනගෙට යවනවා.
හැබැයි මේ අතරෙ නයි, මාපිල්ලු, ලේ මාපිල්ලු, කුණකටුවො, දෙපත් නයි වගේම පොලොංගුත් හිටියා. උන්ව වැඩිපුර ඇල්ලුණේම නෑ.
ඒත් දවසක් ලේ මාපිලෙක්වයි, පොලගෙක්වයි ඇල්ලුණා.
පොලගවයි,ලේ මාපිලාවයි කාපු කුමාරිකාවො 16 දෙනාම මීමැස්මොරේ හැදුණා වගේ ගැහෙන්න ගත්තා. ඇඟ පුරාම ලප දාන්න ගත්තා. උදේ-හවා වමනෙ යන්න ගත්තා.
දැන් මේ මාලිගාවම විනාස වෙන්න යන්නෙ කියලා පිය රජතුමාට තේරුණා. ඒ උත්තමයා කුමාරිකාවො 16 දෙනාව ලා...ස්සන රුවල් නැවක නග්ගලා බෙහෙත් කරවන්නයි කියලා ප්‍රත්‍යන්ත දේසෙකට යවන්ඩ නියම කළා. තනි නොතනියට සේවකයෝ දෙන්නෙක්වත් පැටෙව්වා.
නැව මහා හයියෙන් ප්‍රත්‍යන්ත දේසෙ බලා ගමන් කරමින් තිබ්බා. ඔය අතරෙ සේවකයෝ දෙන්නා කපිතාන්ගෙ අණ නොතකා නැව හරවන්න නියෝග කළා බටහිරට. වයඹ ඉදන් ආපු අයිස් පරයක් බටහිරට යන නැවේ හැප්පුණා.
'සට පට ඩෝං' ගාලා නැවේ කෑලි හැලුණා. මේ අය පා...වෙලා පා...වෙලා ආවෙ දූපතකට.
                            ---------------------------------------
දූපත පුරාම පුදුම පාළුවක් තිබ්බේ. එක පැත්තක සරුසාරෙට හැදුණ ජම්බු ගස් විතරයි. ජම්බු ගස් යට ජම්බු කොට්ටෝරුවෙ මිනිස්සු වගේ වාඩි වෙලා කතාව. ජම්බු ගස්වලට ටිකක් එහායින් පිනි ජම්බු යායක්. ඊටත් එහාට වෙන්නෙ බල්බ් දැම්මා වගේ ඈතට පේන ලොවි ගස් සීයක් විතර. තව උනන්දුවෙන් බැලුවම පෙනුණේ ජම්බෝල, පේර, නමිනං වගේ ගස්.
කුමාරිකාවෝ නැව අයිස් පරේක හැප්පුණා කියලවත් නොදැන දූපතට ගොඩ බැස්සා. මුලින්ම ලුණු වතුරෙන් අත් හෝදගෙන ජම්බු කඩන්න ගත්තා. ඊළඟට පේර, ලොවි, ජම්බෝල කඩ,කඩා කන්න ගත්තා. ඒ වෙනකොටත් සමහර අයගෙ මූණු හොඳටෝම ඉදිමිලයි තිබ්බේ. කකුල් බෙර කොටන් වගේ. වමනෙ දාන අය දිගටම ඒක කරගෙන ගියා. අන්තිමට නැවෙන් එළියට ආවෙ සේවකයෝ දෙන්නයි,නැවේ කපිතානුයි. ඒ වෙද්දිත් කුමාරිකාවෝ පළතුරු කඩමින් ඈතට නොපෙනී ගිහිල්ලා හිටියේ.
මේ පුරුසයො තුන් දෙනා පුරුස දහිරිය අරන් ගිනි ගොඩක් ගැහුවා මුලින්ම. ඊළඟට නැවෙන් පාවෙලා ආපු වයින් පීප්පයක් රෝල් කරගෙන ඇවිත් ගිනි ගොඩ වටේ ඉදන් බොන්න ගත්තා.
                       ------------------------------------

ඔය අතරෙ සර්ප වෙදා තමන්ගෙ උමග හාරගෙන, හාරගෙන යනවා.
කුමාරිකාවො ජම්බු, පේර, ලොවි, ජම්බෝල කකා කැලෑව මැද්දට යනවා.
සේවකයෝ දෙන්නයි, කපිතානුයි වයින් පීප්පෙ ඉවර කරනවා.
                       ------------------------------------
වැද්දා එනවා කුමාරිකාව අරන් කැලේ මැද්දෙන්. කුමාරයා නට,නට සිංදු කිය කිය ආවට වැද්දගෙ ඒ සෝබන නෑනෙ. ඌ නිකන්ම නිකන් කුමාරිකාව කැලේ මැද්දෙන් දක්කගෙන යනවා. කුමාරිකාවට දැන් මූව එපාම වෙලා.
'අනේ මූව සතෙක්, සරපයෙක්වත් කාලා මැරෙන්නෑනෙ'
කියලා පාපී සිතුවිල්ලෙන් යනකොට උමග කපපු පුරුසයා එනවා 'කලේ උකුලෙ තියාලා'. කුමාරි ගත්තා කඩුව. දුන්නා වැද්දගෙ හෘද මාංස එළියට එන්න. සර්ප වෙදාට ස්තිරියාවක් වෙනුවට කුමාරියෙක් හම්බ වුණා.
'අනේ මට බෙහෙත්- හේත් කරන්න ළදක් ලැබුණා. ළදුනි ඔබ දෙවගනක්'
කියලා කුමාරිකාවට අහළ-පහළ ඇළ,වේලි,කඳු,පල්ලම් පෙන්න,පෙන්න තමන්ගෙ වාසස්ථානෙට එක්කගෙන ගියා.
'ඉතිං මාව අතින් අල්ලන් යන්නකො අයියා'
කියද්දිත් ඒ පුරුසයා නෙවෙයි ඇඟිලි තුඩකින් ඇල්ලුවේ.
'මං ඔයාව මලක් වගේ බලාගෙන කන්දෙ විහාරෙට පූජා කරන්නම්'
කියලා කැලේ මැද්දෙන්ම එක්කගෙන ගියා. ඒ අතරෙ පොත්වල තිබ්බ කතා එහෙම කිව්වා. කුමාරි කට ඇරගෙන ඒවා අහගෙන වෙදාගෙ පස්සෙ වැටිලා යනවා.
'මං දැකලා තියෙන සමහර වලාකුළුවල සයිස් එක මෙන්න'
කියලා ඒ අතර වෙදා පෙන්නනනවා.
'හානේ...කොහෙදිද දැක්කෙ?'
අහ,අහා කුමාරිකාව පුරුසයා එක්ක යනවා.
                              ------------------------------
සර්පයො කාලා පලු දාපු කුමාරිකාවො 16 දෙනා කැලේ පසාරු කරන් උමං කටක් ළඟට ආවෙ ඒ වෙලාවේ.සිග් සැග් කපලා තිබ්බ උමං කට දිගේ යන තැනකට යන්න කියලා ඒ අය ගමන පටන් ගත්තා.
පැය ගාණක් ගත කරන් 16 දෙනා උමගෙ අනිත් කොණින් මතු වෙද්දි; සර්ප වෙදා වැද්දගෙන් ඔටෝ ලැබිච්ච කුමාරිකාවව මලක් වගේ පරිස්සම් කරලා කන්දෙ විහාරෙට පූජා කරලා.
සිහිවටනෙකට කියලා කුමාරිකාවගේ මිරිවැඩි සඟලෙන් වම් කකුල තියාගෙන.
කුමාරිකාවො 16 එක පේළියට සර්ප වෙදාගෙ කුටියට ඇතුළු වුණා.
'අපිට විස වෙලා අයියා. අපිට බෙහෙත් කරන්න. රිද්දන්නෙපා.'
කියලා ඒ අය එක හඬින් රිදී සීණු හොල්ලලා කිව්වා.
අයියා නෙවෙයි කුමාරිකාවො එක්කෙනෙකුටවත් රිද්දුවේ. හැමෝගෙම කකුල්වල ඇස්වටය හරියෙ සර්ප දෂ්ටනවල සලකුණු දකින්න තිබ්බා. පුරුසයා, විස මුඛය පාදලා එතැන පිරිසිදු වතුරෙන් හේදුවා. සප්සද මුලක් අරගෙන දෙහි ඇඹුළෙන් උරච්චි කරගෙන විස මුඛයට තිබ්බා. තවත් අයට විස ගල් පාවිච්චි කරලා විස ඇද්දෙව්වා.
තවත් කුමාරිකාවන්ව බෙහෙත් ඔරුවල බස්සලා තිබ්බා. රණවරා, කරපිංචා, හාතවාරියා ආදියෙන් හදපු කැඳ පෙව්වා.
කුමාරිකාවො කීප දෙනෙක්ම හිටියෙ ටිකක් අසාධ්‍ය තත්ත්වෙ. එක්කෙනෙකුගේ තොල් නිල් පාටට හැරිලා තිබ්බා. දත්වලට පොඩි ලී මිටියකින් තට්ටු කරලා බැලුවන බුරුල් වෙලා බව පෙනුණා. ඔළුවෙන් කෙස් ගස් කීපයක් ඇදලා බැලුවම බොහොම ලේසියෙන් ගලවලා අතට ආවා. ඒ මරණ ලක්ෂණ බව වෙදා දැන ගත්තා.
කුමාරිකාවව පහසුවෙන් බිම දිගා කරලා බේත්- හේත් කරන්න පුළුවන් අනිත් කුමාරිකාවො ටික ගණන් බැලුවා.
'හ්ම්...පහයි'
ඒ පස් දෙනාගෙන් අමාරු වැඩිම කුමාරිකාව පැදුරක බාවලා තිකුළු, වියන් දුඹුළු, කහ, ලුණු පස්වගය, වම්බටු සුණු කරලා තුවාලය මත තවරන්න පටන් ගත්තා. ඒ අතර කුමාරිකාව වමනය කරන්න ගත්තේ මරණ ලක්ෂණ නිසාද වැඩියෙන් ජම්බු කාපු නිසාද කියලා හිතලා බලන්නත් තවත් වෙලාවක් ගත වුණා.
'ජම්බු ගෙඩි කීයක් කෑවද?'
ඔහු ඉතාම මෘදුව ඇහුවා.
'50ක් විතර කෑවා අයියා'
කුමාරිකාව වෙදාගෙ ඇස් දෙක දිහා බලාගෙන, තමන්ගෙ ඇස් පොඩ්ඩක් අඩවන් කරලා නැලවිලි ස්වරයෙන් කිව්වා.
වෙද මහත්තයාගෙ හිත පොඩ්ඩක් හෙල්ලුණා. සරීරය පුරා ගින්දරක් නැගිලා ආවා.
අනෙක් කුමාරිකාවත් සර්ප දෂ්ටනේකට ලක් වෙලා. ඒ මේ දූපතේ ජම්බු ගස් ගොන්න අස්සෙදි. විස මුඛය සියුම්. කළු පාටට හැරිලා තුවාලයේ මැද ඉදිබු පිටක් වගේ උසට පෙනුණා. මේ නයෙක් දෂ්ට කළ තැනක් කියලා පුරුසයට එක පාරටම පෙනුණා.
ඔහු මහන්සි නොබලා කුමාරිකාවන්ට බෙහෙත්- හේත් ආදිය කරන්න පටන් ගත්තා.
ජටාමාංස, කුංකුමප්පු, හඳුන්, මනෝසීල, මුරුංගා ඇට සුණු, මහරිමල්, සුවඳකොට්ටම්, ගිතෙල්- මීපැණි, නිකමුල්, එළකටරොළුමුල්, සුදු මී පැණි, ඇද්දෙමට කරටි, හරේණුක, සියන් දුඹුළු, දාරුහරිද්‍රා, සුළු කූරමුල් කියන බෙහෙත් අවුසද සීරුවෙන් තෝරලා බිම එළපු පැදුරක අතුරලා පුරුසයා මහා ආවේසයකින් වගේ කුමාරිකාවො පස් දෙනාට බෙහෙත් කළා.
ඔය අතරෙ වයින් මදිවට කංසා පොඩ්ඩකුත් බීලා ජම්බු ගස් යට දපලා හිටිය කප්පිත්තයි, සේවකයො දෙන්නයි ඇහැරිලා උමග දිගේ එන්න ගත්තා. ඇවිත් මතු වුණේ සර්ප වෙදාගෙ කූඩාරම ළඟින්. ඒ එද්දි වෙදා කුමාරිකාවො ටික පැදුරුවල නිදි කරවලා, තවත් සමහර අය බෙහෙත් ඔරුවල දාලා. පස් දෙනෙක් විතරක් සිහියෙන් ඉන්නවා. අනිත් එකොළොස් දෙනාම මළා හා සමානයි.
ඒ වෙද්දිත් එකියකට වෙදා කෘත්‍රිම ශ්වසනය දෙනවා.
කුමාරිකාව නැවේ කප්පිත්තව දැක්ක ගමන් කෑ ගහන්න ගත්තා.
'අතෑරපං වනචරයා මාව. අතෑරපං'
මෙච්චරකල් කුමාරිකාවො පුළුන් රොදවල් වගේ එහා- මෙහා කර,කර හිටපු සර්ප වෙදා කෙසෙල් ගහට කොටලා හොට පටලගත්තා වගේ වුණේ.
කිසි ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව කපිතාන් පැන්නා ඉනේ තිබ්බ කිරිච්චියත් උරුක් කරගෙන වෙදාගෙ ඉස්සරහට. ඇන්නා නෙවෙයි වෙදාගෙ සරීරෙ කූරු ගෑවා.
ඉතිං එයා මළා.
                                -------------------------------
ඒත් කන්දෙ විහාරෙට පූජ කරපු කුමාරිකාවට ඕනා වුණේ හින්දි ෆිල්ම්වල වගේ ප්‍රීතිමත් අවසානයක්.
ඒක වෙන්නෙ මෙහෙමයි.
කප්පිත්තයි, අතවැසියො දෙන්නයි බමන මතින් එනකොට සර්ප වෙදා කුමාරිකාවො පස් දෙනා මරණින් බේර ගන්න වෙර වීරිය ගන්නවා.
එක කුමාරියකට කෘත්‍රිම ශ්වසනය දෙනකොටමයි කප්පිත්තයි, අතවැසියො දෙන්නයි ආවේ.
'ඊයා. දෙතොල් සිඹින්නෙපා. වනචරයා පලයං අහකට' කියලා කුමාරි කෑ ගැහුවා.
කන්දෙ විහාරෙට මලක් වගේ පූජා කරපු කුමාරිට එහේ හිටියට ඉවසුම් නෑ. 'සර්ප වෙදා අයියා ෂෝක්' කියලමයි හිතුණේ. ඉතිං ඈ විහාරෙ ජනේලෙකින් පැනලා සිංදුවක් කාරිය කියාගෙන දූපතට එනවා. ඒ එද්දිමයි කුමාරිකාවක් කාටද 'වනචරයා' කියනවා ඇහුණේ.
වැද්දගෙ හෘද වස්තුව අතට එන්න කඩුවෙන් කොටපු කුමාරිට කප්පිත්තා මොකෙක්ද? පැන්න ගමන් ගත්තා ලොකු ගල් ගෙඩියක්. කිරිච්චිය උරුක් කරන් වෙද අයියව මරන්න පනින පෝරිසාදයට දුන්නා ඔළුවෙ පැලුමක් ඇති වෙන්න.
'අනේ මගේ කුමාරි'
කියලා වෙද අයියා කුමාරිව වඩා ගත්තා. ඊට පස්සෙ ඒ දෙන්න දූපතත් දියුණු කරන් ජීවත් වුණා. තනියට බළල් පැටව් කීප දෙනෙකුත් හිටියා.
                                ----------------------------
එහෙම ඉවර වුණාට වඩා ඓතිහාසික අවසානයක් තමයි තියෙන්නෝනා කියලා වෙදා හිතුවා. ඒක වෙන්න ඇත්තෙ මෙහෙමයි.
කප්පිත්තයි, අතවැසියො දෙන්නයි සැලසුම් කරපු විදිහට වෙලාවට වයින් බීලා වෙරි වෙලා වගේ උමග දිගේ වෙදා හොයාගෙන යන්න පටන් ගත්තා. එක මිනිහෙක්ට මොකටද දූපතක්ම කියලයි රජතුමා කිව්වේ. අනික මුතු,මැණික් ආකර එක්ක. මෙහෙයුමේ මහ මොළකාර කුමාරිකාව සිහිසුන් වෙලා වගේ බිම වැටිලා උන්නා. වෙද අයියා කුමාරිගෙ මායමට අහු වෙලා කෘත්‍රිම ශ්වසනය දෙන්න පටන් ගත්තා. කුමාරිකාව කටේ හංගගෙන හිටපු විස සහිත කොපුව සූක්ෂමව තමන්ගෙ දිවෙන් වෙදාගෙ කට ඇතුළට මාරු කළා. ප්‍රතිජීවක ඔසු ගාණක්ම කුමාරිට කලින් දීලා තිබුණ නිසාත්, ඈ ඒ විස කොපුව කට ඇතුළේ පුපුර නොගන්න පරෙස්සම් වුණ නිසත් ඈට තමන්ගෙ ජීවිතේ ගැන බයක් තිබ්බෙ නෑ.
බෙහෙත් කරන්න ස්තිරියාවක් පැතුව සර්ප වෙද පුරුසයා කටින් සෙම දාගෙන බිම වැටිලා උන්නා.
කුමාරියෝ 16 දෙනා තඹ වැල්ලෙ කපු කටින්න ගත්තා. ඉනුත් ලස්සනෙන් අගතැන්පත් එකියක් උස් මණ්ඩපේකට වෙලා උන්නා.

 

කාංචනා අමිලානි• පෙබරවාරි 24•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "සර්ප•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com