සමහරවිට•

couple
සම්බන්ධයක් නිර්වචනය කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පාවිච්චියට නොගන්න වචනයක් මං පාවිච්චියට ගන්නවා. ඔව්; මේ සම්බන්ධෙට දැන් කියන්න පුළුවන් නිරවුල්ම වචනෙ ඒක.
සමහරවිට•
ඔබ හිතන්නෙ මේ කියන්නෙ එයා ගැන කියලා. නෑ.මේ කියන්නෙ එයා ගැන නෙවෙයි. මේක හරියට කතාවක් උඩ ලියපු තව කතාවක් වගේ. යට තියෙන කතාව හොයා ගන්න නම් ඔබට කරන්න තියෙන්නෙ උඩින් තියෙන කතාව හූරලා අයින් කරන එකයි. එහෙම බැරි නම් හෝදලා දාන එකයි. මට කියන්න ඕන කතාව තියෙන්නෙ අන්න එහෙම යටක.
අපි කියලා වචනයක් හදන්න බැරි තත්ත්වෙක අපි හිටියේ. එක්කො 'අ' විතරයි. නැත්නම් 'පි' විතරයි. මේ වචන දෙක වෙන, වෙනම කාටවත් පාවිච්චියට ගන්න බෑ. 'අ' යන්න ගත්තොත් ඇදයක් දාලා වෙන වචනෙකට පෙරලගන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඒකෙන් ඇති වැඩක් තියෙනවද? එහෙම නැත්නම් බිත්තියකට ඉණිමඟක් හේත්තු කරනවා වගේ තව අකුරු කණෙන් ඇදන් ඇවිත් 'අ' යන්නට හේත්තු කරලා පුදුම ලස්සන වචන හදන්න පුළුවන්.
'පි' යන්න ගත්තත් එහෙමයි. පාපිලි, කොම්බු, ඇද,  ඕන තරම්. තව අමුණන්න ගැලපෙන අකුරු ඕන තරම්. එහෙම ඇමිණුවට පස්සෙ හැදෙන ලස්සන වචන ඕන තරම්. ඒත් 'අපි' නැහැනෙ ඒ කොහේවත්.
ඉතිං 'සමහරවිට' තමයි කැපෙනම වචනෙ•
ඔයා හිතන්නෙ මම මොනවා කල්පනා කරනවා ඇතියි කියලද?
නෑ. ඇත්තම කතාව මම මොනවා කල්පනා කළත් ඔයා ඒ ගැන කල්පනා කරන්නෙ නෑ කියනෙක. එතකොට සමහරවිට කියද්දි රිදෙන්නෙ වෙන අයට. ඒක එහෙමද? නෑ. එහෙමත් නෑ. එහෙම කාටවත් රිදෙන්නෑ. මේ කතාවෙ, ඇතුළෙත් ගැට; පිටත් ගැට.
සමහරවිට•
ඔබ කොහොමද ලියුම් කියවන්නෙ කියලා මම හිතන්න ඕනා නෑ වගේම සරල දෙයක් මේක. සම්බන්ධකම් කියන්නෙ ලයිට් වයරයක එල්ලිච්ච වවුලෙකට විදුලි සැර වැදෙනකන් බලන් ඉන්න එක වගේ අමානුෂික දෙයක්. ඒක අමානුෂික වෙන්නෙ අන්තිමේදී ඌ මැරෙන නිසා. සම්බන්ධකම් කියන්නෙත් ඒ වගේ. අන්තිමේදී විදුලි සැර වැදිලා මැරෙනවා. අර බලන් ඉන්න කාලෙ තමයි වසන්තය තියෙන්නෙ. ඒත් බලන් ඉන්නකොට දන්නෙ නෑ මේ වසන්තයයි කියලා. හිතෙන්නෙම බලාගෙන ඉදීමෙන් පස්සෙයි ලස්සනම කාලෙ එන්නෙ කියලා. නැහැනේ. ලස්සන කාලෙ නොදැනුවත්වම ගෙවිලා. අන්තිමට හීන එක්ක කරන්ට් වයර් එකේ එල්ලිලා, විදුලි සැර වද්දගෙන මැරිලා.
සමහරවිට උඩ කතාවත් එහෙම එකක් වෙන්න ඇති. ඔව්. ඒකත් ඒ වගේමයි. පොඩි තැනක්, දෙකක් වෙනස්. අන්තිමට විදුලි සැර වැදිලා මැරෙන එක හැබෑයි. වෙන විදිහ විතරයි වෙනස්.
ඔබ හිතන්නෙ මේක ආදර කතාවක් කියලද? නැහැ. මෙතන ආදර කතාවක් නෑ. ආසන්න දෙයක්. ඒකත් සමහරවිට•
ඔව්. ආයෙත් අර කාලකන්නි වචනය.
දැන් සඳලුතලෙන් වැටෙන්න බෑ. මහන්සියි. අනික එහෙම වැටිලා තුවාල වුණත් ඒකෙ වැඩි අගයකුත් නැති වෙයි. ගස් හිටවලා තියන ඒවා. ගස් ගමන් යන්නෙ නෑ. ගමන් යන අය හිටවලා තියන්නත් බෑ.
සමහරවිට• ගස් අරගෙන ගමන් යන අය ඇති. ඒත් වැඩි දුර නොයා ඒ ගස් මැරෙනවා. ගස්වලට ගමන් යන්න කතා කරන්නෙපා. ගමන් යන අය හෙවණට මිසක් ගස් ළඟ නතර වෙන්නත් එපා.
ඔව්. මේක අවවාදයක්•
සමහරවිට•
කාංචනා අමිලානි•මාර්තු 20•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "සමහරවිට•"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com