මානසවිල :කැළැඹීම:

face55d10d321adb63780dcc3b3c0949
සිහිනය අංක 226•
මතු මහළ දොරටු හැරී ඒ මහා ශබ්දයෙන් වසමින් කෙනෙකු ආයෙන් කාලය ද; ආසාව ද: දඩුවමට බිය සිත ද එකවර නතර විය. සාමාන්‍ය ඔරලෝසුවේ වේගය එහිම කුඩා අංශු බවට පෙරලාගෙන හෙමින් ගමන් කරන්නට විය.
දැන් සියල්ල නිශ්චලැයි කිව හැකි නොවේ. දැන් මට සියල්ල නැවතිල්ලේ පෙනෙන්නාක් මෙනි. මතු මහළ සැඟැවී සිට ඔහු ද; ඔබ ද; ඇය ද ජීවිත කාලය පුරා දැන සිටි තවත් බොහෝ අය ද ජලය මෙන් පැහැදිලිව මා ඉදිරිපිටය.
තාවකාලික විස්මෘතියක ගැලී, වේගය වේගයැයි නොදැන දිවීම පවා අවබෝධ නොකොට මතු පහළ ඒ මහා දොර හැරෙතැයි බලා සිටීමේ ලජ්ජාව දැන් සිරුරේ මා හොඳින්ම දන්නා ඉන්ද්‍රියන් තුළින් සුගන්ධයක්ව හමා යනු දැනෙයි.
සුගන්ධය වූ කලී ඔබත් මමත් ඇසට-ඇස බලා ප්‍රේමයක් වූයේ යැයි නිශ්චිතව නොකී සමයක ද ගල,ගලා පවතින්නට වූවකි.
ඉතාම සෙමින්, දීප්තිමත් දෑසින් යුක්තව අපි එකිනෙකා තුළ දැල්වුණේ යැයි අනෙකුන් කියූ එළිය පියවි ඇසට පෙනෙතැයි සිතා උනුන් අභිමුඛව වාඩි ගෙන උන්නෙමු. ආලෝකය ද; සුවඳ ද ප්‍රේමයේ වාහකයන් බව එතෙක් මම නොදැන සිටියෙමි. අපි එවිටත් නිශ්චිතව ආලෝකය හඳුනාගත නුහුණු රැවටිලිකාර මොහොතක් පසු කරමින් සිටියෙමු.
රවුල් කොට සපිරි මුහුණක මා කිසි දින දැක නොතිබූ මදහසක් විය. ඔබ, වමත දිගු කර මගේ අතැගිලි අල්ලා ගනු ඇතැයි සිතුව ද, ඒ මොහොත යළි ආපස්සට ඇදී ගියේය.
ඇයත්; ඔබත් යළිත් මා දන්නා කිහිප දෙනෙකුත් ඈත,මෑත බලමින් හුන්නේ කෙනෙකු එන නියාවෙනි. තවත් කිසිවකු මෙතැනට පැමිණීමට වුවමණාදැයි සිතීමට වැය කළ යුතු කාලය සැවොම එකතුව මට පිරිනැමීම ගෞවරයක් සේ සලකා යළිත් මම මීදුමට නතු වුණෙමි.
ඒ අතර සිහින සතරක් ද; ඒ හා මිශ්‍ර අනු සිහින තුනක් ද දුටිමි.

පළමු සිහිනය:
පළගැටියන් රෑන් රෑන් පැමිණ හඬ,හඬා මළ සිරුරක් උකුල හොවාගෙන හුන් මා සහසන්නට විය. උහු, ස්වකීය කොළ පාට ශරීර උස්ව ඔසවාගෙන මගේ සිරුර වසාගෙන අස්වැසුම් බස් කියයි. සීතලක් ඒ තටු අතර මට දැනුණි. මළ සිරුර අල්ලා හුන් අත කෙමෙන් මැකී යන්නට විය. හැඬුමකින්, සියයකින් පසුව එතැන කිසිවක් වූයේ නැත. සුදු පැහැ ඇඳුම් හැද චාරිත්‍රාණුකූලව මළ ගෙදරට කිසිවකු පැමිණ සිටියේ නැත. මම නින්දෙන් ඇහැරී සිටියෙමි.

දෙවැනි සිහිනය:
දිය සෙවළ සහ පාසි බැඳුණු උස් කඳු මුදුනක, ඒ ගැටිත්තක උත්තුක්කුටියෙන් වාඩි ගෙන කෙනෙකු උන්නේය. ඕ, පහළ ඇති ප්‍රපාතය නරඹමින් ගිරි බෙයදක පිපි කහ පැහැති කුඩා මලක් ඉල්ලා හඬමින් උන්නේය. මිනිස් පුළුටකුදු නැති එතැන ඉල්ලා හැඬුවාට එ'මල හෝ අන් කිසිදු මලක් නෙලා ගෙනැවිත් දෙන්න කෙනෙකු වූයේ නැත.
එහෙත් ඒ දෑසේ වීයේ අපිරිමිත ආසාවකි. මින් පෙර කිසිදාක නොදුටු ඒකාකාර දීප්තියකි.
මම ඒ සීනයේ අතරමැඳ අකාරුණිකව ඇහැරුනෙමි. ඒ ද ගත තූ තූ කොට දැමූ අධික දාහයකින් සහ යටි ගිරියෙන් නැඟූ හඬක් සමඟ ය.

තෙවැනි සිහිනය:
මහනෙල් පොකුණක රෝස මල් පිපී තිබුණි. පොකුණු වට පොල්තෙල් පහන් දැල්වෙමින් තිබුණි. කහ පැහැති ආලෝකයක් බෙදූ ඒ අසල අවකාශය මද ධූමයකින් පිරුණාක් මෙන් විය. ස්ත්‍රෝත්‍ර ආකාරයෙන් කෙටි ගැස්සුම් සහිතව මිමිණුමක් ද පැවතුණි.
ඒ ගිනි මැලයක්ද, ඒ වටා ගමනේ යෙදුණු දෙදෙනෙක් ද මීට වසර 15 ට පමණ පෙර චානක්‍යපුරියේ කෝවිලක වූ විවා මඟුලකි. හිමිදිරියේ හෙයින් අධික සීතලෙන් මඩනා දෙතොල් ගැහෙමින් පැවතුණි. මනාලියද, මනාලයාද බිර්ලා මන්දිරයේ ඇතුළත නිම කළ පොකුණ ළඟට ආයේ කොහොමදැයි මට වටහා ගත නොහැකි විය. මනාලයා කොලණිය වටා ගමන් කළ සුදු අශ්වයා ද, පොකුණේ පිපී තිබූ රෝස මල් අනුභව කරමින් සිටියේ මේ නියම ලෝක ස්වාභාවය යයි මට ඒත්තු ගන්වමිනි. සැනින්, හේෂාවරයකින් ඒ සිහිනයෙන් අවදි වෙන්නට කටයුතු යෙදුණි.

සතර වැනි සිහිනය:
ඔබ ද; ඔහු ද; ඇය ද පිළිවෙලින් වාඩි වී සිටියේය. සෑම පාර්ශ්වයක් අතම වීදුරු බුජමක් ලූ එතෙක් කළ අනුවණකම් ය. ඉස් ගෙඩියන් සේ එහා මෙහා පාවෙමින් පැවති අනුවණ ක්‍රියා සියල්ල පිළිවෙලින් මට පිළිගැන්වුණි. ලේබල් නොගැසූ ඒ වීදුරු බුජම් ඒ ඔබේය; ඇගේය; ඔහුගේය නොදැන හිස් බැල්මෙන් මම භාර ගතිමි. දැන් ඒ අය බලා සිටින්නේ හුවමාරුවකටය.
මම මගේ අත්ල යට සම හාරා එතුළින් ගත් කුඩා සමනලුන් ඔවුන්ට පිරිනමන්නට විය.
එහෙත් ඒ කුඩා සමනලුන් පමණක් නොසෑහේ යැයි ඔබ පමණක් කියා සිටින්නට වූයෙන් රත් කළ, මල් ලියකම් සපිරි කිරිච්චියකින් ළමැද සිදුරු කර එතෙක්-මෙතෙක් දිවි හිමියෙන් රැකගෙන සිටි රන් මාළුවා ඔබට දුනිමි. මද වෙලාවක් වරල් ගස්සමින් සිට අලුත් අයිතිකරු වෙත අවනතව එ'රන් මාළුවා වෙනත් හෘදයක් ඇතුළට පිවිසුණි.
ඒ සිහිනයෙන් මම ඉතා මෘදුව ඇහැ ඇරුණෙමි.

අනු සිහින ත්‍රිත්වය පැටලුම් හැර කීම උගහටය. එහෙත් කීම යුතුය.

පළමු අනු සිහිනය:
උකුලේ හොවාගෙන හඬමින් සිටි මළ සිරුර මගේ ය. ඒ මගේ මුහුණය. මදක් සුදුමැළිව, එහෙත් සැනසිලිදායකව පෙනුණ ඒ මුහුණ එවර මම හඳුනා ගතිමි.

දෙවනි අනු සිහිනය:
ගුවනින් ඉතා විසාල ජල බිංදු වැටෙමින් පැවතුණි. ඒ ජල බිංදු ඇතුළත මනාව හැඳ,පැළඳගත් මිනිසුන් ය. ගැහැනුන් ය. සාද කතා ය. අතැති උස් වීදුරුය. ජල බිංදු බිමට වැටුණු පසු බිත්තරයක් ඇතුළෙන් අමාරුවෙන් එළියට පැමිණි සම්පූර්ණව වැඩි මිනිසුන් ය, ගැහැනුන් ය. අන් බසකි. නොතේරුම් හැසිරීම් ය.
එළිමහනක තේ බොමින් සිටි මා හඳුනාගෙන කරන හිස සෙලැවීම් ය. පානය කරමින් සිටි තේ බදුන ඔසවා ප්‍රීතිය පළ කරන මම ය.

තෙවැනි අනු සිහිනය:
මම නින්දට වම් හ. ඒ නින්දේත්, මේ අනු සිහිනයේත් වෙනසක් සෙවීම දැන් උගහටය.

මම යළිත් මතු මහළ සහ ඔබ පැමිණි දොරටුව දෙස බැලීමි. සිහින දකින අතරතුර, ඒ සිහින පහදන්න අනු සිහින දකින අතරතුර නතර ව තිබූ කාලය දැන් ගමනේය.
මම යළිත් නින්දටම වම් හ•

කාංචනා අමිලානි• මැයි 23•

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "මානසවිල :කැළැඹීම:"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com