ලිවීම කියන්නෙම අවදානමක් | සුදර්ශන සමරවීර

IMG_0484
සුදර්ශන සමරවීර ප්‍රකට විචාරකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි.වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය 'සුනෙත් කාන්තගේ ශෝකාන්තය' නමින් ද, පළමු කාව්‍ය සංග්‍රහය 'මීදුමාරේ සළු උනා' නමින් ද පසුගියදා නිකුත් විය. මේ හෘද සංවාදය එය නිමිති කරගෙන ය.

 

+ ඔබේ කෙටිකතා ඇතුළේ තියෙන ඉන්ද්‍රජාලික ස්වභාවය නිසා, වෙනත් කෙටිකතාකරුවන් අතරින් වෙන්වෙලා පෙනෙනවා. ඒත්, කෘතියේ අන්තර්ගත පළමු කෙටිකතා හතරෙන් පස්සේ ඒ ස්වභාවය වෙනස් වෙනවා. ඒවා යළිත් ඉන්ද්‍රජාලික නොවන වර්ගයකට වැටෙනවා. මේ ආකෘතියේ වෙනස්කම පැහැදිලි කරන්න පුළුවන්ද?
මේක නම් හරි ම සංකීර්ණ එළැඹුමක්. ඉන්ද්‍රජාලික හෝ එසේ නොවන ආකෘතියක් හදන්නේ කෙසේදැයි කියා ඇත්තටම මම මගේ ලිවීමේදී වෙහෙසෙන්නේ නෑ. ලිවීමේ ආවේශය භාර අරගෙන කතාවකට ප්‍රවේශ වුණාම, ඒක ගොඩනැගෙමින් යනවා. හැබැයි මේ ගොඩනැංවීමෙදි කතාවේ තේමාත්මකය වගේම, සංරචනය ගැනත් සවිඥානිකයි. අර ඔබ කිව්ව ඉන්ද්‍රජාලික හෝ නොවන කියන බෙදීම ගැන නම් මට නිශ්චිතව මුකුත් කියන්න බෑ. මේ ගොඩනැංවීමට මම නොදැනුවත්වම වාගේ, ප්‍රබන්ධ කතාව පිළිබඳ මගේ කියැවීම, න්‍යායික දැනුම සහ අනෙකුත් සමකාලීන සන්දර්භය බලපානවා ඇති . කෙටියෙන්ම කියනවා නම්, යථාර්ථවාදී වගේ ම, පශ්චාත් යථාර්ථවාදී ආඛ්‍යාන කියන දෙක ම තවමත් එක සේ වලංගුයි කියලයි මම විශ්වාස කරන්නෙ.

 

+ කටවහර එක්ක වෙනත් භාෂා රීතියකට කියවන්නාව මෙහෙයවීමක් මම දකිනවා. මුලදී වෙහෙසකර ගතියක් දැනෙන ඒ භාෂාවට, පාඨකයා ඉක්මනින් අවනත වෙනවා. මේ අත්හදා බැලීමේ අවධානමක් දැනුණේ නැද්ද?
භාෂාව පිළිබඳ මම ටිකක් අත්හදා බලමින් ඉන්නවා. ඒ, ප්‍රවේශ කීපයකින්. සම්මත භාෂා යථාර්ථය තව දුරටත් ප්‍රබන්ධ කතාවක් සම්බන්ධයෙන් ඒ විදිහටම බලපැවැත්විය යුතුයි කියලා මම හිතන්නෙ නෑ. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයෙදී භාෂාව සන්නිවේදන මාධ්‍යයක් විදිහට යොදා ගන්නවනෙ. මේ භාෂාත්මක සංස්කෘතික තර්කණය, සාහිත්‍යයේදී ඒ විදිහටම රැකිය යුතු නෑ.
අපි සාහිත්‍ය නිර්මාණයක් කරනවාය කියන්නේ, කිසියම් තේමාත්මක විෂය පදාසයක් ගැන කතිකාවක් නිර්මාණය කිරීමක්. මේ කතිකාව එක් එක් ලේඛකයො විවිධ ප්‍රවේශ මඟින් කරනවා. හැමෝටම එකම විදිහට ඒක කරන්නවත්, එකඟ වෙන්නවත් බෑ තමයි.
කොහොම වුණත් මම හිතනවා කතාවේ විෂය හෝ තේමාත්මකය මොකක් වුණත්, රසිකයා මුලදිම ඇවිදින්නේ භාෂාව මතයි. පළමුවැනිම දේ, මේ භාෂාත්මක සංචාරය නැවුම් - ආනන්දනීය එකක් වෙන්න ඕන. අපි කවුරුත් කැමැති, මෙතෙක් නොගිය තැන්වලට දුෂ්කර මාර්ග දිගේ වුණත් යන්නනෙ.
unnamed
දෙවැනි එක, සාහිත්‍ය නිර්මාණ මඟින් ඇති කරන කතිකාව වෙත රසිකයා සක්‍රීය කරන්නට, භාෂාව මත යළි යළි ඇවිදින්නට සිදු කිරීම, හොඳ කමටහනක් කියලා මම හිතනවා.මගේ ප්‍රයත්නය සාර්ථකද? නැද්ද? කියන එක ගැන මට තක්සේරුවක් දෙන්න බෑ. හැබැයි ලිවීම කියන්නෙම අවදානමක් තමයි. ඒ ලිවීම වෙනුවෙන් තව දුරටත් මම ඕනෑම අවදානමක් භාර ගන්නට පැකිලෙන්නෙ නෑ.

 

+ සමියාගේ ගේම, මායාවී ආදී කෙටිකතාවලින් කිසිසේත් බලාපොරොත්තු නොවන අවසානයකට අරගෙන ගිහින් උස්සලා පොළොවේ ගැහීමක් පෙනෙන්න තියෙනවා. මේ අනපේක්ෂිත තිගැස්මට ඔබ කැමැති ඇයි?
අවසානයක් බලාපොරොත්තු වීමම, අපේ එක්තරා කියැවීමේ ඇබ්බැහියක්. සංකේතාත්මක ප්‍රකාශනයක් නේද? මම ඒට මෙහෙම වටේ යන උත්තරයක් දෙන්නද? අනපේක්ෂිත තිගැස්ම තමයි අපේ ජීවිත කතාවලත් බොහෝ විට අවසානය. මම හිතන්නේ කෙටිකතාවකට වඩා විඳගන්න අපහසුම ජීවිත කතාවනෙ.
මේ ජීවිත කතාව අපට ඕනෙ විදිහට නිර්මාණය කරන්න අපට බෑනෙ. හැබැයි ජීවිතේදී සැලැසුම්කරණ, ඉලක්ක වෙත මෙහෙයවා ගැනීම්, බලාපොරොත්තු ආදිය වෙත සංවිධානය කිරීම් තියෙනවා. මේ කතාවලත් එහෙම තියෙනවා. හැබැයි, අහඹුව හෝ නොසිතූ - නොපැතූ අහඹුවක් එක් වරම අප වෙලා ගන්න පුළුවන්. මම කියන්නෙ නෑ ජීවිතය යනු සම්පූර්ණයෙන්ම අහඹුවක් හෝ ඇක්සිඩන්ට් එකක් කියලා.
ජීවිතය මේ සියල්ලෙහි අච්චාරුවක්. මම උත්සාහ කරනවා මේ ජීවිත කතාවේ අච්චාරු, තිගැස්ම කෙටි කතාවකට ගේන්න. ජීවිත කතාවේ අර අනපේක්ෂිතය ඉතා අපහසුවෙන් වුණත් අපට භාර ගන්න වෙනවා නම්, කෙටිකතාවක් සම්බන්ධයෙන් අපි මොකද කරන්න ඕනෙ කියලා මම අහන්නම්. අපි නොයෙක් කල්පනා ගැට ගහමින්, රස්තියාදු ගැහීමක් තමයි මම නම් බලාපොරොත්තු වෙන්නෙ. මගෙ සාහිත්‍යයික නොපනත්කම්වලට හේතුවත් ඕකයි.
21314697_1629035083794707_461785260164415091_n

 

+ මීදුමාරේ සළු උනා කවි පොතෙන් ඔබ සියුම් හැඟීම් අවුලවන්න උත්සාහ කරනවාද?
නෑ. ඇවිලෙන සියුම් හැඟුම් මුදන්න උත්සාහ කරනවා.

 

+ ඔබේ කවි එන්නේ කොහේ සිටද?
මතක මීදුමාරයේ සිට. මී දුමාරේ සළු උනා කියන්නෙම අතීත මතක කඳු මුදුන් මීදුම් සළුවලින් වසා ගැනීමක්. මීදුම් ඇඳුම් ඇඳ ගැනීමක්. විටෙක මේ මතක නිරුවත් කරමින්, හැඳි මීදුම් සළු උනා දමනවා . අනිත් එක, මේ වගේ මීදුමාරයෙන් පිරී ගිය අවකාශයක සළු උනා දමා නන්නත්තාර වීමක් . අහා! අපි සළු උනා කියන්නේ බීලා වෙරි වෙලා, නැත්තටම නැති වෙලා යනවා වගෙ අදහසකින්.මී දුමාරෙක එතුණු මේ මතක මැද, වෙරි වෙලා සළු වෙලා (නැත්තටම නැති වෙලා) යනකොට ලියැවුණ කවි මේ. මගෙ කවි එන තැනක් මට හරියට හොයාගන්නම බෑ. ඇයි ඉතිං ඒ කවි එන මාවත මී දුමාරෙන් වැහිලනෙ .

 

+ වර්තමාන කවිය ඔබ ස්ථානගත කරන්නේ කොහේද?
කිහිප ආකාරයක පිළිතුරු උපද්දවන ප්‍රශ්නයක්. අපි මේ කතා කරන්නේ සමකාලීන සිංහල කවිය නම්, මං හිතනවා ඒ කවිය තියෙන්නෙ බොහොම නිදහස් අවකාශයක. අපි සයිබර් අවකාශයේ, පත්තර පිටුවල වගේම, පොත් විදිහටත් කවි පළ කරනවා. අනිත් එක ඒ අපි ලියන කවි විවිධ ආකෘතිවලින් සමන්විතයි. එදිනෙදා දේශපාලනය, රාජ්‍ය, පවුල, ආගම, ප්‍රේමය ඇතුළු නොයෙක් අනුභූතීන්වල කවි ලියැවෙනවා.
මේ මොනව ගැන කොහොම ලිව්වත්, මම හිතන්නෙ සමකාලීන සිංහල කවියෙ 'කවිය' තියෙනවා.'කවිය නැති' කවිත් ඕනෙ තරම් තියෙනවා. කවිය කියන්නෙ මොකද්ද කියලා නිශ්චිත යමක් නෑ. එය අපරිවර්තනීය යමක්. පරණම පණ්ඩිත කතාවකට අනුව යමින් කිව්වොත් නම්, ආනන්දය සහ ප්‍රඥාව කියන දෙකම එකවර ගෙන ආ හැකියි කවියට. කවියෝ කවියට එනවා. පොත් ලියනවා.නියම එක පොතක් ලියලා, සමහරු ආයෙ නොඑන්නම යනවා.
වර්තමාන කවිය නිශ්චිතව ස්ථානගත කරන්නට බැරි පාවෙන අවකාශයක තියෙනවා කියලයි මට හිතෙන්නෙ. හැබැයි අපේ කවිය, කාව්‍යමය විශ්වය ඇතුළෙ,විශ්ව කවියට සමාන්තරවම 2017 වසර සලකුණු කරන පශ්චාත් නූතන තැනක එල්ලි එල්ලි තියෙනවා.

 

සංවාදය
කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

http://bit.ly/2zboxvO

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ලිවීම කියන්නෙම අවදානමක් | සුදර්ශන සමරවීර"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com