කුඩ හොරාගෙන් රිදී ගසට ආ ගමේ උපන්න සිංහල ළමයා

kanch 1
ගම්සභා හන්දියේ විසාල රවුලකි. ට්‍රැ‍ෆික් ලයිට් උඩ වැලක් එතෙන්නා මෙන් සුදට හැරුණු රවුල් ගොඩකි. එතන එකම ජරමරයකි. වාහන පපුව පුම්බාගෙන නලා නාද කරති. පයින් ගමන් කරන්නෝ පමණක් වදෙන්-පොරෙන් රවුල් ගස් බේරමින්-රිංගමින් මහත් වෙහෙස මහන්සියෙන් ඇවිදිනු පෙනෙයි. මම ද බසයෙන් බැස ගම්සභා හන්දියේ තිබු ඒ මහා දුවන රවුලෙන් බේරී ඩයස් පෙදෙස තෙක් දුවන්නට වීමි. රවුල් ගස් මාරාවේශයෙන් මෙන් සර්ප ලීලාවෙන් මා ලුහුබඳිනු පෙනෙයි. හෙවණ මල් වියන් යටින් ඩයස් පෙදෙසේ ප‍ටු පාර දිගේ ඇවිදින්න වූයෙන් මා ලුහුබැඳි රවුලට මා මඟහැරී ගියාක් මෙන් දැනුණි. රවුලකට ඒ සා ශක්තියක් ඇතැයි නොසිතූ මුත් දුවන රවුලකට ඇති බලය අසීමිත වූයෙන් මා උන්නේ තරමක බියෙනි.
'මොකෝ ළමයෝ බය වෙලා?’
‘ආං අරහෙ රවුලක් දුවනවා. මුළු ගම්සභා හන්දියම වැහිලා. වාහන පවා නැවතිලා. මගේ පස්සෙනුත් එලෙව්වා’
සිබිල් වෙත්තසිංහයෝ ඒ ගැන තැකීමක් නැතිවම තමන්ගේ පැද්දෙන පු‍ටුවේ හරිබරි ගැහී වාඩි වූයේ ඈ ඒ ගැන කලින් දන්නා නියාවක් පාමිනි. ඈ උන්නේ රාමු කළ චිත්‍ර සහිත අමුතු වටපිටාවකය. බැලූ බැලූ අත වූයේ හබරල කොළ ඉහලාගෙන යන වැඩිහිටියන්ගේ චිත්‍ර ය. කුඩ හොරා ගේ චිත්‍ර ය. අශ්වයන් පිට නැඟි යුද කරන සෙබළුන් දෙදෙනෙකුගේ චිත්‍රයකි. පිළිවෙළකට අහුරා තැබුණු සම්මාන ඵලක ය. ඒ සියල්ල මැද ඇගේ නවතම සිතුවම් සහිත 'පුදුම රිදී ගස' නමැති ජපානයේ මුද්‍රණය කළ කෘතිය ය.
ඈ යළිත් තමන්ගේ පැද්දෙන පු‍ටුවේ හරිබරි ගැසී වාඩි වූයේ කණ්ණාඩි දෙක ගලවා නැවත පිස දමමිනි. මගේ ප්‍රශ්න කෙටි අතර ඇගේ පිළිතුරු දීර්ඝය.
‘කොහොමද චිත්‍ර අඳින්න පටන් ගත්තේ?’
‘පොඩි කාලෙ කවදාවත් චිත්‍ර ඇන්දෙ නෑ. හැමෝම දන්නේ අර බිත්තියේ ලොකූ චිත්‍රයක් ඇන්ද කතාව. ඒක තමයි ඉස්සෙල්ලාම චිත්‍රයකට කියලා ඇන්දේ. මට අවුරුදු 05ක් විතර කාලේ අවුරුද්දක් දවසක තමයි මම ඕක කරලා තියෙන්නේ. අපි පොඩි කාලෙ ළමයින්ට කියලා චිත්‍ර ඇන්දෙව්වේ නෑ. ස්කෝලවල අපිට කියලා චිත්‍ර ඇන්දෙව්වෙත් නෑ. පොඩි කාලෙ ළමයින් අදින චිත්‍ර කවුරුත් ගණන් ගත්තෙත් නෑ. හැබැයි පොඩි ළමයෙක් විදිහට මගේ හිතේ ආසාවක් තියෙන්න ඇති චිත්‍ර අදින්න.
kanch 3
මං ගිංතොට ගමේ ස්කෝලෙටනේ ගියේ. මට සහජයෙන් හැකියාවක් තියෙන්න ඇති චිත්‍ර අදින්න. මිදුලෙ වැල්ලෙ කෝ‍ටුවකින් තමයි චිත්‍ර ඇන්දේ. කොළ පැන්සල් කවුරුත් දුන්නෙ නැහැනේ. ළමා චිත්‍රවලට ඒ කාලේ කාගෙවත් ඇල්මක් තිබ්බෙ නැහැ. මට අවුරුදු 05 විතර කාලේ අවුරුද්ද දාට කලින්දා අම්මා කුස්සියේ කැවුම් බඳිනවා. ඒ කාලේ ගෙදර බඩුමුට්ටු එළියට දාලා ගෙවල් හෝදලා කාරියනේ අවුරුද්දට ලෑස්ති වුණේ. බිත්ති පාටවලින් සායම් කරලා තිබ්බේ. මම අඟුරු කෑල්ලක් ගෙනැල්ලා බිත්තියේ මගේ උස තරමටම ලොකූ චිත්‍රයක් ඇන්දා. ඒ මම චිත්‍රයක් ඇන්දා පළවෙනි වතාව. ඉස්සර ස්කෝලෙදි තැඹිලි ගෙඩියකුයි, මල් ටිකකුයි මේසෙ උඩ තියලා බලාගෙන අදින්න කියලා කියනවා. ඒවා මම ඇන්දෙම නෑ. ළමයෙකු හැටියට සහජයෙන් මගේ ඔළුවෙ හැකියාවක් තියෙන්න ඇති. එහෙම අය බලාගෙන අඳින්නෙ නැහැ. මනසින් එන අදහස් තමයි චිත්‍ර හැටියට අඳින්නේ.
‘මොකක්ද ඒ ඇඳපු චිත්‍රය?’
‘අනේ කාටද මතක මොකක් ඇන්දද කියලා? අවුරුදු පහේ ළමයෙකුට කොහෙද ඕවා මතක තියෙන්නේ. ඒ ළමයගෙ හිතට එන මොකක් හරි අඳින්න ඇති.’
දැන් ඈ පැද්දෙන පු‍ටුවේ සිනාසෙමිනි.
‘ඊට පස්සේ ආයෙ කවදාවත් චිත්‍ර ඇන්දා කියලා මතක නැහැ. එකම දවසක් අවුරුද්ද දවසේ නෑ ගෙදරකට ගිහිල්ලා කෑමට ඉන්නකොට මට බඩගිනියි. ඒගොල්ලො කුස්සියේ ‍රැස්වෙලා කතා කර කර ඉන්නවා. මේසෙ උඩ තිබ්බා ගල් ලෑල්ලක්. මම ඕක අරගෙන ඇන්දා බඩ ඇතුළට ගිහිල්ලා ඉන්න ලොකූ කඳුළු ගෙඩි වක්කරන ළමයෙක්ව. හැඟීම්බර චිත්‍රයක්නෙ ඒක. බඩගිනි නිසා ඒක කියන්න ඇන්ද. ඕක දැකපු ඒ ගෙදර බාප්පා කෙනෙක් කෑ ගැහුවා මේ ළමයා බඩගින්නේ. මොනවහරි කන්න දෙන්න කියලා. ඒක හැඟීමක් කියන්න ඇන්ද චිත්‍රයක්. අද වෙනකන් මම අඳින්නෙ හැඟීම් ප්‍රකාශ කරන චිත්‍ර. නමුත් ඒ කාලෙ එහෙම දේවල්වලට ස්කෝලෙවත්, කොහේවත් අවස්ථාවක් නැහැනේ’
අවුරුදු අටක් වෙනකන් අපි හිටියේ ගිංතොට. ඊට පස්සේ පවුල පිටින් කොළඹ ආවා. ඇවිල්ලා අම්මා මාව දැම්මා හෝලි ෆැමිලි කොන්වන්ට් එකට. එහේ අපිට ඉගැන්නුවේ සිංහල මිනිස්සු නෙවෙයි, පිටරට සුදු අයනේ. මේ රටේ දේවල් නෙවෙයි අපිට ඉගැන්නුවේ. සාහිත්‍ය, කලාව ඔක්කෝම පිටරට දේවල් අපි ඉගෙන ගත්තේ. ඒකත් හොඳට ගියා. ඉංග්‍රීසි සාහිත්‍ය ගැන මට විසාල දැනුමක් ලැබුණා. එතනදිත් කාලෙ හැටියට ද්‍රව්‍ය බලා ඇඳීම තමයි දුන්නේ. මොනව හරි තියලා ඒක අඳින්න දෙනවා. කවදාවත් මම ඒවා ඇන්දෙ නැහැ. ඒ වෙනුවට මම ගුරුවරුන්ගේ මූණු අඳින්න ගත්තා. ඔන්න එතකොට තමයි ඒගොල්ලො දැනගත්තේ මම මෙහෙම අඳින්න ආසයි කියලා. හැබැයි ඒක දියුණු වුණේ නැහැ එතනින්.
kanch 4
ගෙදරදි කළු-සුදු පෑනෙන් මම ගමේ පරිසරය, අත්තම්මාව එහෙම ඇඳලා තියන කොට තාත්තා ඒ චිත්‍ර අරගෙන ගිහිල්ලා කලාභවනේ චිත්‍ර ප්‍රදර්ශනයකට තියලා තියෙනවා. එතකොට මට අවුරුදු 13ක් විතර වෙනවා. ඕක දැකලා රෝයල් ප්‍රයිමරියේ හෙඩ් මාස්ටර් සුගතපාල මහත්මයා අපේ ගෙදර ඇවිල්ලා කිව්වා බොහොම අපූරුයි මේ ළමයගේ රේඛා චිත්‍ර. එයා සම්පාදනය කරන පොතකට චිත්‍ර අන්දවා ගන්න සතු‍ටුයි කියලා. අම්මා හිතුවා මෙහෙම චිත්‍ර අඳින එක මහ බාල වැඩක් කියලා. මාව කොළඹ ගෙනාවෙත් උගන්නලා ලොකු තැනකට යවන්නනේ.
වැඩිහිටියන්ගේ ආකල්ප තිබ්බෙ එහෙමනේ. ඒ නිසා චිත්‍ර අඳින එකට කැමති වුණේ නෑ. ඒත් මේ ඉල්ලීම දිගටම කරනකොට එකම පොතක චිත්‍ර අන්දන්න කැමැත්ත දුන්නා. මීට පස්සේ නම් මම ඔය වැඩේට ඉඩ දෙන්නෙ නැහැ. ළමයව හිඟන්නෙක් කරන්න කැමති නෑ කියලා අම්මා කිව්වා. මොන ජීවිතයක්ද ඔය චිත්‍ර කලාව කියලයි අපේ අම්මා ඇහුවේ. නව මඟ පස්වැනි ශ්‍රේණියේ කියැවීම් පොත තමයි ඒ මම චිත්‍ර ඇන්ද, පස්සෙ කාලෙක ගොඩාක් ජනප්‍රිය වෙච්ච පොත. ඒ පළවෙනි වතාව ලංකාවෙ පාට පොතක් කළ. ලෝක සාහිත්‍ය ඔක්කොම අඩංගු කරපු පොතක් ඒක. ස්කෝලෙ පාවිච්චියටයි ඒක සම්පාදනය කළේ.
එතකොට ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා සිළුමිණ පත්තරේ කතෘ. එතුමා පත්තරේට ලිපියක් ලිව්වා මේ ළමයගෙ චිත්‍ර බොහොම අගෙයි, මේවා දියුණු කරන්න ඕනා, මෙයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. මේක කියෙව්වට පස්සේ අපේ අම්මාට මම චිත්‍ර අඳින එක ගැන පොඩි පැහැදීමක් ඇති වුණා.’
ඈ කතාව නවතා තේ කෝප්පය නිවෙන්නට හැරියාය. මම ඒ ඉඩෙන් කුඩා ජනේලයෙන් අවට නැ‍රැඹීමි. ගම්සභා හන්දිය දෙවනත් කළ, ඩයස් පෙදෙස වන තෙක් මා ලුහුබැඳි දුවන රවුල කොහිදැයි මද සැකයෙන් විපරම් කළෙමි. කිසි හාහූවක් නැත. රවුලක් දුවනවා තබා පාරේ වාහනයක්වත් යනවා නොපෙනේ. එකත් එකටම විසාල කන්ටේනර් රථයක් පැමිණ දුව දුවා හුන් රවුල වදෙන්-පොරෙන් පටවාගෙන යන්නට ඇත.
IMG_E1494
යළිත් පැද්දෙන පු‍ටුවේ කිරි-කිරිය ඇසුණෙන් මම කවුළුවෙන් දෑස ගලවා ගතිමි. ‘ඒ කාලෙ ජූනියර් සෙටිපිකෙට් කියන්නේ මේ කාලෙ ඕ ලෙවල් වගේනේ. ඒක පාස් වෙච්ච ගමන් සුගතපාල නෝනයි, මහත්තයයි මාව එක්කගෙන ගියා ලංකාදීප පත්තරේට මුද්‍රණය කරනවා බලන්න. එතකොට පත්තරේ පටන් අරන් මාස 06යි. පත්තරේ නිෂ්පාදනය කරනවා මුල ඉදන් අගටම බලන්න මට හරි ආසාවක් තිබ්බා. ඊට පස්සේ මට ආසාවක් ආවා පත්තරේක වැඩ කරන්න. මම කිව්වා ‘අනේ මහත්මයා මාවත් බන්දන්නකෝ පත්තරේට’ කියලා. එතකොට මට වයස 18යි. අම්මා කිව්වා ඕකට නම් ඉඩ දෙන්න බැහැ, මොන රස්සාවල්ද ඔය පත්තරවල කියලා. මහා ගෝසාවක් ඇති කළා. 1948 මට යන්තම් 19 ලැබුවා විතරයි, මං ලංකාදීප පත්තරේට බැඳුණා. එතකොට කර්තෘ ඩී.බී.ධනපාල මහත්මයා. එතුමා මට කිව්වා ගමේ දේවල් අඳින්න කියලා. කො‍ටු හතරක පින්තූර ඇඳලා ආත්තම්මා මට කියලා දුන්නු ජන කවි ලිව්වා. සෙනසුරාදා දවස්වලට මේක පළ වුණේ. ඒ කාලෙ නගරබද මිනිස්සු ජනකවි කියන්නෙ මොනවද කියලා දැනගෙන හිටියේ නෑ. මම තමයි ඉස්සෙල්ලම පත්තරේකට බැඳුණු කාන්තාව. සුනිල් ශාන්ත, චන්ද්‍රරත්න මානවසිංහ වගේ අය එතනට එනවා. ඒ අය මම අඳිනවා බලන් ඉදලා කියනවා 'මෙතනින් යන්නෙපා, ඔයා තමයි ඉස්සෙල්ලාම පත්තරේකට බැඳුණු ගෑනු කෙනා' කියලා. උඩ තට්ටුවේ තියෙන්නෙ 'ටයිම්ස්' එක. මම ඔතනටත් ගිහිල්ලා ඒ පත්තරේ කාන්තා පි‍ටුව කරපු සීතා ජයවර්ධන කියලා නෝනාට කතා කරලා චිත්‍ර අඳින්න අවස්ථාව ඉල්ලා ගත්තා. එතන කර්තෘ සුදු මහත්තයෙක් වික්ටර් ලුවිස් කියලා. එයා මාව එහෙටත් බාර ගත්තා, චිත්‍ර අඳින්නත් ඉඩ දුන්නා.
ඔය අතරෙ තමයි ජනතා පත්තරේ පටන් ගත්තේ. අදුනන කෙනෙක් මාව එතනට දැම්මා. ලේක්හවුස් එකෙන් මට හරියට සැලකුම් ලැබුණා. මුලු පි‍ටුවක්ම මට දුන්නා චිත්‍ර අඳින්න. ලේක්හවුස් එකේ දෙමළ පත්තරේ ඇරෙන්න ඔක්කෝම පත්තරවලට මම චිත්‍ර ඇන්දා. ඇත්තෙන්ම මම වැ‍ටුපක් බලාගෙන වැඩ කළේ නෑ. වැ‍ටුප විදිහට ලැබුණේ රුපියල් 18යි. ඔය 18 ගිහිල්ලා අපේ අම්මට දුන්නම කිව්වා, 'මොන කෙහෙල්මලක්ද? මෙච්චර වියදම් කරගෙන, ගෙවල් දොරවල් වහලා ආවේ මේ 18 ගන්නද? මීට වඩා විසාල අනාගතයක් ඔයාගෙන් බලාපොරොත්තු වුණා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. වළේ වැටිලා ඉවරයි' කියලා. ඔය 18 අම්මා ගත්තෙම නෑ. මම ඒ රුපියල් 18 න් පල්ලෙහා තට්ටුවේ තිබ්බ පොත් සාප්පුවෙන් හැම මාසෙකම පොත් ගත්තා. හොඳ දැනුමක් මට ලැබුණා.ඒක හොඳට වුණේ. අම්මා සල්ලි ගත්තා නම් මට පොත් කියවෙන්නෙ නෑනේ. රීඩර්ස් ඩයිජස්ට්, ලයිෆ්, ටයිම් වගේ සඟරා, පත්තර නොසෑහෙන්න කියෙව්වා. යුනිවර්සිටි එකට ගියාට වැඩිය දැනුමක් මං ඒ පත-පොතින් ලබා ගත්තා.’
IMG_1497
මේ අතීත කතන්දර කියන විට ඇගේ දෑසේ දිලිසීම මට සැඟවිය හැකි නොවේ. ඒ කටහඬේ ඇත්තේ මහත් ප්‍රබෝධයකි. ‘ලේක්හවුස් එකේ ඉන්නකොට තමයි වෙත්තසිංහ කියන උප කර්තෘ මහත්තයා මට කතා කරලා ‘කතාවක් ලියන්නකෝ ළමයෝ’ කිව්වා. මං කිව්වා මම දන්නෑ කතා ලියන්න කියලා. ඔය කවි ඒවා මේවා ඇතුළෙන් කතාවකුත් හදාගන්නකෝ කියලා කිව්වා. හැබැයි ඒ වෙනකොට මගේ හිතේ කතාවක් තිබුණා. මම පුංචි කාලෙ පඩිය උඩ වාඩි වෙලා ඉන්නකොට දැක්කෙ හබරල කොළ ඉහළගෙන වැස්සේ යන මිනිස්සුන්ව. ඒක පින්තූරයක් විදිහට මගේ හිතේ තිබ්බා. ඒ කාලෙ අපේ ගමේ කුඩ තිබුණේ නෑ. මං හරි ආසයි ඔය දර්ශනේ බලන්න. අපේ ගම්වල හරියට වඳුරෝ. පළතුරු ගස් එහෙම තිබ්බනේ. ඔය සිද්දි දෙක එකතු කරලා තමයි 'කුඩ හොරා' කතාව 1952 දී ජනතා පත්තරේට ලිව්වේ. ඕක දැකපු සුගතපාල මහත්මයා මට කිව්වා පොතකට චිත්‍ර එක්ක ඕකම ඇඳලා දෙන්නයි කියලා. නවමඟ අතිරේක කියවීම් පොත කියලා පොත් පෙළක් සුගතපාල මහත්තයා මුද්‍රණය කළා. ඒකෙ ඉස්සෙල්ලාම පොත හැටියට නිකුත් කළේ කුඩ හොරා පොත. ඒ තමයි ලංකාවේ ළමා පොතකට පින්තූර වැඩිපුරම පාවිච්චි කරපු මුල්ම වතාව. මේ පොත රට පුරා ජනප්‍රිය වුණා. කළු-සුදුවෙන් මුල් පොත මුද්‍රණය කළේ.
මම ලේක්හවුස් එකේ අවුරුදු 30ක් හිටියා. ජනසතු කරනකන්ම හිටියා. මට කෙනෙක් කිව්වා ජපානෙ ළමා පොත් චිත්‍ර තරඟයක් තියෙනවයි කියලා. මම ඒකට කුඩ හොරා ව යැව්වා වර්ණ ගන්වලා. කුඩ හොරා එක්ක පින්තූර අටක් යැව්වා. ඒකට මට තුන්වෙනි තෑන හම්බ වුණා. ඒක ලොකු අවස්ථාවක් වුණා. එහේ ප්‍රකාශන ආයතනයකින් කියලා එව්වා අපි මේක පොතක් හැටියට ජපානෙ මුද්‍රණය කරන්න කැමතියි කියලා. මම අවසරය දුන්නා. 1986 ඔවුන් ඒක මුද්‍රණය කළා. මේකට එහේ ප්‍රකාශනය කරපු හොඳම ළමා පොතට දෙන තෑග්ගත් මට ලැබුණා. මේක මට ලොකු දෙයක් වුණා. කොහොම හරි කුඩ හොරාට දැන් වයස 61යි.’
IMG_1570
ඈ මහ හඬින් සිනාසෙන්නීය. ඒ සිනාවේ ඇත්තේ තවම ඇගේ ඇතුළත ජීවත් වන ළමයාගේ දඟකාරකම විය යුතුය.
‘ඕන කෙනෙක් මගේ ගැන කියනකොට කුඩ හොරාව තමයි මුලින්ම මතක් කරන්නේ. ඊට පස්සේ දුවන ‍රැවුල.
ඊට පස්සේ වජිරාරමයේ නාරද හාමුදුරුවෝ මට එන්න කියලා කිව්වා මගේ චිත්‍ර බොහොම හොඳයි, හාමුදුරුවෝ ලියලා තියෙනවා සඳහම් මඟ කියලා ළමයින්ට පොත් දෙකක්. ඒ පොත් දෙකට චිත්‍ර අඳින්න කිව්වා. මම බොහෝම කැමැත්තෙන් චිත්‍ර ඇන්දා. ඒක හාමුදුරුවන්ට මම පූජා කළා. සතයක්වත් ගත්තෙ නැහැ. ඊට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අපේ ගමට අලුත් චිත්‍ර ඇඳලා දෙන්න කිව්වා. ඔය විදිහට ප්‍රභූවරුන් හරියට මට කියලා පොත්වලට චිත්‍ර අන්ද ගත්තා. මං ඒ කාලෙ කාගෙන්වත් සල්ලි ගත්තෙ නැහැ. අනේ මට සල්ලි එපා කියනවා. සල්ලි ගන්න එක ලැජ්ජාවක්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට අපේ ගමේ චිත්‍ර ඇඳලා දුන්නහම 'කීයක් ඕනද ළමයෝ' කියලා ඇහුවා. 'කීයක්වත් එපා මහත්මයා, මට මේක ඇන්ද එකම ලොකු ගෞරවයක්' කියලා කිව්වම 'එහෙම කියන්න එපා.' කියලා උත්තර දුන්නා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කිරිමණ්ඩල මාවතේ ඉන්න කාලෙ එයාගෙ පුස්තකාලෙන් ඕන පොතක් ‍තෝර ගන්න කිව්වා. මම පොත් දෙකක් ‍තෝර ගත්තම ඒක අස්සන් කරලා දුන්නා. ඒ පොත් දෙක තාම තියෙනවා. ඕක තමයි ඉතිං මගේ ජීවිත කතාව.’
IMG_1604
ඈ යළිත් මහ හඬින් හිනැහෙයි. මුළුතැන්ගෙයින් ඉමිහිරි සුවඳ හමා එයි. මම තවම දුවන ‍රැවුල ගැන බයෙනි. ගම්සභා හන්දියේ කැ‍රැකි, කැ‍රැකි මා ලුහුබැන්ද ‍රැවුල කොයිවෙලේ හෝ උඩුමහලේ ජනේලයෙන් ඇතුළුව මා වෙළා ගැනී යැයි බියෙන් ඉදහිට ජනේලයෙන් පහළ බැලුවෙමි. එහෙත් ‍රැවුලට වූ දෙයක් නැත.
මම ඇගේ නවතම චිත්‍ර ඇතුළත් 'පුදුම රිදී ගස' සහ 'සිද්ධාර්ථ කුමාරයාගේ කතාව' සිහිපත්ව ඒ ගැන විමසීමි. ඕ ගෙතුළට ගොස් ‍රැගෙන ආවේ පුදුම රිදී ගසේ ජපන් භාෂාවෙන් මුද්‍රණය කළ පිටපතකි. රිදී ගස ඈ කුඩා කළ අම්මා කියූ කතාවකි.
‘ජපානෙ දැන් ඉතින් මගේ පොත් 08ක් විතර කරලා තියෙනවා. 'පුදුම රිදී ගහ'ත් බොහෝම ලස්සනට ඒ අය මුද්‍රණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙට පොත්වලට එහෙට යවන පින්තූර ආයෙ එවන්නෙ නැහැ. ඒ ගොල්ලො කෞතුකාගාරෙක චිත්‍ර තියාගන්නවා. මම අඳින්නෙ විශේෂ ආරකින් කියලා ඒ අය පිළි අරගෙන තියෙන නිසයි එහෙම කරන්නේ.’
තම අතීත කතාවේ තවත් දෑ මට කියන්නේ ඈ නිවිසැනසිල්ලේ ය.
‘මම ළමා බයිබලේ ඇන්දා. දැන් මම කොච්චර ලෝක ප්‍රසිද්ධ වුණත් මම නැහැ ඕක හිතට ගන්නේ. මම හරි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් කිව්වම තාමත් හිතට මොකක්ද වගේ. මං තාම ගමේ උපන්න සිංහල ළමයෙක්. ඒ ළමයා මගේ හිතින් ගිහිල්ලා නැහැ. ඒ ළමයා තමයි මගේ මනසේ ජීවත් වෙන්නේ. ඔය චිත්‍ර අඳින්නෙත් ඒ ළමයා තමයි. මට ඉස්සර ගම දාලා එනකොට බොහෝම දුකක් ඇති වුණා. අත්තම්මා දාලා එන්න තමයි වැඩිපුරම දුක හිතුණේ. මම ගමට තාම ආදරෙයි. කියලා කිසිම වෙලාවක මම හිතන්නෙ නැහැ මම හරි ලොක්කෙක් ය කියලා.’
ළමයින්ගේ ලෝකය සේම වැඩිහිටියන්ගේ ලෝකයද පාට කළ ඇගේ චිත්‍ර කිසි විට අපේ මනසින් ඈත්ව නොයන බවට තවත් සහතික නුවමණාය. සිතුවමක ජීවත් වීමට ඈ කියා දෙන්නේ වෙනත් ආකාරයකටය. එනිසාම අප 'කුඩ හොරා' සමඟ මනසින් දුර ගමන් යන්නෙමු. දුවන ‍රැවුල විත් සර්පයකු මෙන් අප වෙළා ගනී යැයි බියපත්වය. සූත්තර පුංචා සිහිපත්ව හදිසි සිනා වඟුරවමිනි. ඒ සිනාවේ චිරාත් කාලයක් අපව ගිල්වීමට ඈට වාසනාව සහ දීර්ඝායුෂ ලැබිය යුතුමය.

 

සටහන සහ සේයාරූ : කාංචනා අමිලානි
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "කුඩ හොරාගෙන් රිදී ගසට ආ ගමේ උපන්න සිංහල ළමයා"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com