හිම මිදෙනකන්

ester-marie-doysabas-253268

හැම තප්පර දෙකකටම පාරක් ම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා. පණිවුඩ එකක් පිටිපස්සෙ ඒකට ම අදාළ අනු පණිවුඩ 20-30ක් පෝලිමට හිටගෙන ඉන්නවා මට පෙනුණා. සමහර පණිවුඩවල තිබ්බ නො ඉවසිලිමත් ගතිය මට පෙනුණා. ඒවා තමන් දාගෙන ඉන්න සනීප සපත්තු පවා හොලවනවා මට පේන්න ගත්තා. නො ඉවසිල්ලෙන් නැවෙන-දිගෑරෙන කමිස අත් දිහාව මම බලාගෙන හිටියා. මේසයේ කෙළවරට තට්ටු කරන කප්පාදු නොකරපු නියපොතු සහිත රළු අතක් මට පෙනුණා. ගලවන-නැවත ඇස් දෙකේ දාගන්න තනි කළු කණ්ණාඩි රාමුවක් පවා මට පෙනුණා.
මම, දකුණු පැත්තේ උඩම තියෙන 'පවර්' බට්න් එක තෙරපගෙන හිටියා. බාගෙට කාපු ඇපල් ගෙඩියක ලකුණක් පෙන්නගෙන හිටපු ෆෝන් එක පහනක් නිවිලා යන ප්‍රවේසමෙන්ම තමන්ව නිවා ගත්තා.
සම්බන්ධයක් ඉවර නොකර, ඉවර කළේ එහෙමද කියලා ආයෙ පාරක් මම කල්පනා කරන්න ගත්තා. ෆෝන් එකට ආත්මයක් නැහැ. ශරීරයකුත් නැහැ. ඒක නිකං හැඟීම් එකතු කරගෙන ඉන්න හිතන යන්ත්‍රයක් වගෙයි. ඉතාම කුඩා, අජීවී වස්තුවක් ඇතුළේ අසීමාන්තික ජීවිතයක් හංගලා තියාගන්න තමන්ට පුළුවන් කියලා උදාරම් හැඟීමෙන් මගේ ෆෝන් එක හිටියේ. කිසි දවසක නොනිමන පහනක් වගේ දිවා-රෑ නොබලා දැල්වෙමිනුයි ඒක තිබුණේ.
ඒත් තෙල් ඉවර වුණාම පහන් පවා ඉබේ නිවෙනවා. තෙල්වලට වතුර කලවම් වුණාම පහන් නිවෙනවා. ඒ මොකුත්ම නැතිව මිනිස් අතකින් දැල්ල මිරිකලා දාලා නිවලා දාන්නත් පුළුවන්. ඇඟිලි තුඩුවලට ස්වල්ප ගිනි ගැනීමක් දැනීමෙන් ඒක කරන්න ඇහැකියි.

 

ඒත් මගේ ඇගිලි තුඩු අගට ගිනි ඇවිලුණේ නෑ කියලා අද උදේ වෙනකන් මම හිතාගෙන හිටියා. දැඩි විශ්වාසයකින් එකිනෙකා එක්ක හිනාවුණා.
මගේ ඇගිලි තුඩු විතරක් නෙවෙයි යටි අල්ල පවා පිළිස්සිලයි තිබුණේ. ඒත් කිසි වේදනාවක් නොදැනීම සහ ඒ පිළිස්සීම නොදැකීම හරි පුදුමයක් හැටියට මම ගණන් ගත්තා.
ඒ නිසාම දවස් කිහිපයකින් දකුණු පැත්තේ උඩින් තිබුණ 'පවර්' බොත්තමට දීර්ඝ තෙරපුම් සත්කාරයක් දෙන්න මම තීර්ණය කළා. බාගෙට කාපු ඇපල් ගෙඩියක් තිරය ඇතුළේ ගිලිලා, නිවි-නිවී දැල්වෙන්න උත්සාහයකයි හිටියේ. තිරය දැල්වුණා.
හරිනම් ෆෝන් එක දැනගන්න ඕනා ඒ සියලුම පණිවුඩ ටික තමන් කියවලා බලලා 'ඩිලීට්' බොත්තම තෙරපගන්න.
මම හිතන්නෙ ෆෝන් එක සහ මම අතර එහෙම 'පරචිත්ත විජානන ඥානයක්' තිබිලා නැහැ. ෆෝන් එක කියන්නෙ හිතක් පපුවක්, මොළයක් කිසි දෙයක් නැති බයිනරිවලින් කතා කරන රොබෝ කෙනෙක්.
ෆෝන් එක පුරාම අප්‍රමාණ පණිවුඩ විතරයි තිබුණේ. හැම ඇප් එකකම, ඊමේලයකම, කෙටි පණිවුඩ ලැබෙන ඉන්බොක්සයේ ඇතුළු සෑම තැනකම විවෘත නොකරපු පණිවුඩ උතුරා යමින් තිබුණා. මම ෆෝන් එක හොල්ලන්නවත් බය වුණා. 'පවර්' බට්න් එකෙන් වගේම 'වොලියුම්' බට්න්වලින් පවා හඳුනා නොගත්ත පණිවුඩ බිමට වැටේවි කියන අනියත බියකින් මාව සලිත වුණා.
ආයෙත් කමිස බොත්තම් කරකැවෙන, සාක්කුවලට අත් දමන-නැවත ගන්න, සපත්තු ලේස් ගැට ගහන, කමිස අත් නවන, දණහිසට තට්ටු කරන, සපත්තු කිරි-කිරි ගාණ සද්ද දස-දහස් ගාණින් මට ඇහෙන්න වුණා. පණිවුඩ එකක් තව එක්කෙනෙකුගේ උරහිසේ හැපෙන, අවලාද කියාගන්න, ඔත්තු බලන විදිහ මට පේන්න ගත්තා.
මේ පාර මගේ ඇගිලි තුඩු දිව්වේ ෆෝන් එකට ඇතුළු වෙන්න ලබා දෙන්න ඕන රහස් කේතයටයි. හැබැයි රහස් කේතය ඉලක්කම් 04ක් වුණාට ඒ ඉලක්කම් හතර ඇතුළේ අවුරුදු කීපයක සිදුවීම් අප්‍රමාණයක් තියෙන බව මට ආයෙමත් මතක් වුණා. එතකොට ගිනි ගන්න ඕන ඇගිලි තුඩු අධික සීතලකින් ගල් වෙන්න තීරණය කරලා. ෆෝන් එක එකම අයිස් ගොඩක් වුණා. ගල, ගලා ඉන්නකොට අයිස් බවට පත් වුණ දිය ඇල්ලක් වගේ වුණා. ඒ සීතලෙන් රහස් කේතය පවා වෙව්ලුම් කෑවා.
මම හිතුවේ ඒ සම්බන්ධයක් ඉවර වීමේ ගින්දර සහ සීතල කියලයි.

 

නමුත් ගින්දර සහ සීතල එක පාර ඇති වෙන්න බැහැ කියන තර්කය එක්ක මම පාවෙමින් ටික වෙලාවක් උන්නා.
ෆෝන් එක යම්කිසි මාර්ගඵලයක් ලැබුවා වගේ හදිසි, ඒත් දැඩි තීරණයකට ඇවිල්ලා තිබුණා. හැම පණිවුඩයක්ම, පින්තූරයක්ම, වීඩියෝවක්ම මකා දමමින් කෙටි කාලයක් ගත කළා. ඊට පස්සේ බාගෙට කාපු ඇපල් ගෙඩිය හිතුමතේම නිවිලා ගියා.
මම ආයෙත් දකුණු අත පැත්තෙ තියෙන 'පවර්' බොත්තම තෙරපන්න ඕනද? මම ෆෝන් එකෙන් ඇහුවා. හරියට ළඟම යාළුවෙකුගෙන් අහනවා වගේ. ෆෝන් එක හිතක්, පපුවක්, හදවතක්, මොළයක් මොකුත්ම නැතුව මේසය උඩ උඩුකුරුව හිටියා.
සමහර විට තාම ඉන්නවා ඇති.
ආයෙ ගිනි ගන්නකන්; සමහර විට ආයෙ හිම මිදෙනකන්.

 

කාංචනා අමිලානි
පෙබරවාරි 09|

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "හිම මිදෙනකන්"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com