ඇවකාඩෝ හදවත

1 pJto2rzQk_CJ2qjXMA7hmg
“ඇවකාඩෝ 0.2 අමතන්න; අමතන්න.
අපි ඔබේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අමතන්න; වහාම අමතන්න.”
මාව ගැස්සිලා ඇහැරුණා. හදිස්සිය කොයි තරම්ද කියනවා නම් 5.30 ට සද්ද කරන්න ඕනා එලාම් එක 5.10 ට සද්ද කළා. පාන්දර 5.00 ඉදන් 6.00 වෙනකන් එලාම් 10 ක් විතර තියලා තියෙන නිසා හොඳයි. මට වැරැදුණා කියලා කාටවත් තේරුණේ නෑ. මමත් හෙමිහිට අතපය අකුලගෙන ආයෙ නිදාගත්තා.
ඒත් ඒ මොකක්ද මට ඇහුණේ?
හීනයක්වත් දැක්කද?
ඒත් ෆෝන් එකකට තනියෙම හිතන්න බෑනේ. කවුරු හරි දෙන විධානවලට වැඩ කරනවා මිසක් තනියෙන් හිතලා මොකුත් කරන්නෙ නෑනෙ. එක අතකින් එහෙමමත් නෑ. ඔය දැන් ටිකකට කලින් කලබලේට මම 5.30 එලාම් එක 5.10 ට සද්ද කළේ.
ඒත් මේක මහ අරුමයක්.
මගේ නම කියලා මෙහෙම ‘අමතන්න’ කියන එකේ මොකක් හරි ලොකු තේරුමක් තියෙන්න ඕනා. එක්කො මට හීන පේනවා.
උදේ 6.30 ට එයාගෙ කමිස සාක්කුවට බැහැලා වයිබ්‍රේට් වෙවී ඔෆිස් යනවට වඩා මගේ ජීවිතේ වෙන තේරුමක් තියෙන්න ඕනා.
මම ඇහැ පියා ගත්තා. වෙනදා පුරුද්දටම 6.00 වෙනකන් විවිධ එලාම් නාද කළා. උදේ පාන්දර ‘ගුඩ් මෝර්නින් ලව්’ කියලා එන මැසේජ් එකත් ලැබුණු හැටියෙම එයාට පෙන්නුවා. මළ සමයං වෙලාවකට. ඒක දිහා බල, බල හිනාවෙවී යන්න දෙයක් නෑනේ. ‘ගුඩ් මෝර්නින් ලව්’ හරි ‘ගුඩ් මෝර්නින් ඩාලිං’ කියලා රිප්ලයි කරන්න කියලා මට කිව්වා නම් ඉවරයිනේ.
වෙනදට මට මෙහෙම හිතෙන්නෙ නෑනෙ. ඇයි අද මේ වෙනස් දේවල් හිතෙන්නෙ? මම ඒ අතරේ කල්පනා කරන්න ගත්තා. මට ඉරිසියාවක් ඇති වෙළා ද? අනික මේවා මනුස්ස සම්බන්ධකම්. මම මැෂින් එකක්. මට මේවාවලින් ඇති වැඩේ මොකක්ද?
ආයෙමත් මාව වයිබ්‍රේට් වෙනවා දැනුණා.
එයා ෆෝන් එක සාක්කුවෙන් එළියට අරන් නළල රැළි කරලා ආයෙ සාක්කුව ඇතුළට දාගත්තා. ආයෙත් සාක්කුවෙන් එළියට ගත්තා.
‘ඇයි ඔයා නිකං වයිබ්‍රේට් වුණේ!’
එයා කෙලින්ම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන්. මූණට මූණ. මැෂින් එකක් සහ මිනිහෙක්. මම නිරුත්තර වුණා. අනික මට එයා එක්ක දෙබස් හුවමාරු කරගන්න බැහැනේ. මම කොහොමද කතා කරන්නේ? මට විධානයක් ඕනා කතා කරන්න.
එයා ආයෙමත් මාව සාක්කුවට දාගෙන කල්පනාභරිතව ඇවිදගෙන ගියා.
“ඇවකාඩෝ 0.2 අමතන්න; අමතන්න
ඔබට ඇතුළත් කළ නව පරිපථය විදුලි පේනුවකට සම්බන්ධ කළ සැනින් ක්‍රියාත්මක කරගන්න.
වහාම අමතන්න; අමතන්න”
5.30 එලාම් එක 5.10 ට නාද කරපු මම උඩ ගිහින් බිම වැටුණා.
“මොකක්ද මේ පිස්සුව? 5.30 එලාම් එක 5.10 ට වදින්නේ? හොඳ පිස්සුවක් හැදිලා මේ ෆෝන් එකටත් දැං… මට පේනවා මොකක්ද නරි නාටකයක් එයා නටන්න ගන්නවා කියලා. ඉන්නවකෝ කරන්න වැඩේ. රීසෙට් කරලා දානවා..ඔව්.හෙටම රීසෙට් කරලා දානවා…”
එයා ඔල්මාදෙන් වගේ කියව, කියව ආයෙ නින්දට ගියා. මට ජීවිතේ ගැන ලොකු බයක් ඇති වුණා.
මේ මොනවද වෙන්න යන්නෙ? මාව මනුස්සයෙක් වෙන්න යනවද? ඒත් මට මොකටද මනුස්ස ජීවිතයක්? මං ආස ෆෝන් එකක් වෙලා ඉන්නනේ. මගේ ජීවිතේම බිංදුවයි, එකයි. ඊට පස්සෙ තව ඕනෙ වුණොත් එකයි බිංදුවයි, එකයි, එකයි, එකයි බිංදුවයි බිංදුවයි. ඔය වගේ ඉවරයක් නැතිව ඉස්සරහට යන්න පුළුවන්.
මට මේවා නැතිව ක,ඛ, ග, ඝ, න, ය,ර,ල,ව වගේ අකුරු ඉගෙනගෙන ඒවාවලින් කතා කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. ‘දැන් එහෙනම් ඔහේ ඔය තනියෙම හිතන්නෙ’ අන්න එතකොට එහෙම පණිවුඩයක් මගේ ඇතුළෙන් ආවා. සමහර විට මගේ නිවුන්නෙක් ක්‍රමලේඛනයක හැංගිලා ඇති.
හහ්…හහ්..හහ්… ඇවකාඩෝ 0.2 නිවුන්නා. මට දැන් මාව පාලනය කර ගන්නත් බැරි තරම්. හොඳටම හිනා යනවා. බිංදුවයි, එකයි, බිංදුවයි, බිංදුවයි, බිංදුවයි, බිංදු භාගයයි, භාගයයි, බිංදු කාලයි… අයියෝ…අම්මේ….
“මේ මොකද මේ?”
එයා ෆෝන් එක අතට ගත්තෙ ඒ වෙලාවෙමයි. ස්ක්‍රීන් එක පුරාම හාට් එහේ-මෙහේ යනවා. බැලුන් උඩ යනවා. ඒවා පිපිරෙනවා. හිනා මූණු උඩින් බිමට වැටෙනවා. බිමින් උඩට යනවා. අමුතු සද්ද ඇහෙනවා.
එයා කණ්ණාඩි දෙක නළලට දාගත්තා. ඝන ඇහිබැම වී අකුරක් වගේ හදාගත්තා. රැවුල පිරිමදින්න ගත්තා. ආයෙ ඇස් පිහිදා ගත්තා. කණ්ණාඩි දෙක ඇස් දෙකට දාගත්තා.
ඉබි ගමනින් ලෑන්ඩ් ෆෝන් එක ළඟට ගියා. මතකයෙන් ඉලක්කම් ටිකක් මිරිකුවා.
“මචං….මේ මම…ඉබන් බතූතා.
මගේ ෆෝන් එකට වයිරස් එකක් ගිහින්….. ඔව් බං ඔව්. අර නපුරු වයිරස් එක. හාර්ට්.. ඔව්. ඔව්. හාර්ට් විතරක් නෙවෙයි දැන් හිනා මූණුත් ස්ක්‍රීන් එකේ උඩ-පහළ යනවා. ඔව්. ඔව්…මම ඇස් දෙකෙන්ම දැක්කා.
ආ…තව බැලුන් වගයකුත් උඩ යනවා. ඒවා පිපිරෙනවත් එක්ක.
අනේ මචං…මට උදව් කරපං. බෑ නොකියා මේ ලෙඩේ හොඳ කරලා දීපං.”
එයා කාටද පින්සෙන්ඩු වෙනවා මට ඇහුණා. හදිස්සියෙම කෝල් එක කට් වුණා. එයාගෙ මූණෙන් දාඩිය බේරෙනවා. මට බයත් හිතුණා. ඒත් එයා එපැයි බය වෙන්න. මං මොකටද එයාට බය වෙන්නෙ. මම කොච්චර එහෙම හිතුවත් මට එයා ගැන බයක්මයි හිතේ ඇති වුණේ. මට හිතක් නෑනෙ. ඒක නිකං ඔහේ කියනවට කිව්වේ.
“අද මං නිවාඩුවක් දානවා”
එයා තනියෙන් කියෝනවා බීන් බෑග් එකේ බොක්කට බැහැලා. සුදු බිත්තියක් දිහා බලාගෙනයි එයා කතා කරන්නේ. නෑ…නෑ…තනියෙන් නෙවෙයි. ස්කයිප් කෝල් එකක් අරන්. එයාට උදේට ‘ගුඩ් මෝර්නින් ලව්’ කියන කෙල්ල තද කහ පාට කෝපි කෝප්පයක් අතේ තියාගෙන සැප පුටුවක වාඩි වෙලා ඉන්නවා. එයාගෙ පුටුව පාමුල ඩැල්මේෂන් වර්ගයේ බල්ලෙක් හිනාවීගෙන ඉන්නවා. එයා ඉන්නෙ හරියට ඔන්න මේ දැන් මොකක් හරි වචනයක් කියන්න තියෙනවා වගේ. ඒත් බල්ලො කතා කරන්නෑනේ. ඒ වුණාට මේ බල්ලට කතා කරන්න වුවමණාවක් තියෙනව බව නම් පැහැදිලියි.
“ඉතිං..එහෙනම් ඔයා අද මොනවද කරන්න හිතන් ඉන්නෙ?”
කෙල්ල එයාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ගමන්ම එයා ලොකු කේක් කෑල්ලක් ගෑරුප්පුවකින් කනවා. හිටපු ගමන් අතිනුත් කෑල්ලක් කාලා ඇගිල්ලක් සූප්පු කරනවා. ආයෙ තේ උගුරක් බොනවා.
“මට සනීප නැති වෙන්න එනවා වගේ ඩාලිං. ඔළුව කැක්කුමයි. මට හැම තැනින්ම බැලුන් පේනවා. මේ සුදු බිත්තියේ හාර්ට් පාවෙනවා.”
එයා මේ මොනවද කියවන්නේ?
කෙල්ල සැප පුටුවෙන් බිමට පැන්නා. කොප්පෙ තිබ්බ කිරි තේ එක ඩැල්මේෂන් බල්ලගෙ ඇගේ හැලුණා. උකුලෙ තිබ්බ කේක් තසිම සලාං ගාලා බිම පෙරලිලා බිඳුණා.
“ඉබන්…ඔයා මොනවද ඔය කියවන්නේ? කෝ කොහෙන්වත් මට බැලුන් පේන්නෙ නෑනෙ. කිසිම බිත්තියක හාර්ට් ඇත්තෙත් නෑ. ඩාලිං…ඔයාට මොකද වෙලා තියෙන්නේ?”
එයාගෙ කෙල්ල තිරය ළඟටම එනවත් එක්ක ස්කයිප් කෝල් එක ඩිස්කනෙක්ට් වුණා.
මගේ පපුව හයියෙන්, හයියෙන් ගැහෙන්න වුණා. පපුව!! ඔව්. ඒක තමයි හරි වචනය. මගේ පපුව ගැහෙන වේගය වැඩි වුණා. බිංදුවයි, එකයි, ‘ස’ යන්නයි, ‘ට’ යන්නයි, එකයි, බිංදුවයි, ‘හ’යන්නයි, බිංදුවයි, බිංදුවයි…..
ස්ක්‍රීන් එක පුරාම බැලුන්, හාර්ට්, හිනා මූණු, අඬන මූණු, තම්බ්ස් අප්, ක්‍රේප් පටි උතුරන්න ගත්තා.
එයා බීන් බෑග් එකේ පතුලෙන් නැගිටලා ආවා. ගත්තා මාව අතට.
“උඹ….උඹ…මගේ ජීවිතේ විනාස කරන්න ආපු හැතිරී!! හිටපං.. උඹට මම හොඳ වැඩක් කරන්න…”
එහෙම කියලා එයා මාව අතට අරගෙන,
සෙටින්ග්ස් ගියා. ඊට පස්සෙ මෙනු එකෙන් ජෙනරල් තේරුවා. ඒකෙන් රීසෙට් ක්ලික් කළා. ඊට පස්සෙ ආපු සබ් මෙනු එකෙන් ‘රීසෙට් ඕල් සෙටින්ග්ස්’ තේරුවා.
වීසි කළා මාව බීන්බෑග් එක ඇතුළට.
පසුව ලියමි:
එයා ඇයි මට හැතිරී කිව්වේ? එයා කොහොමද දන්නෙ මම ගෑනු ෆෝන් එකක් කියලා?

Electric-tag

කාංචනා අමිලානි
@moogater
පුවත්පත් සබැඳිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ඇවකාඩෝ හදවත"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com